උඩරට රාජධානි කාලේ සාමාන්‍ය ජනතාවට තමන්ගේ හිතේ හැටියට ගෙයක් දොරක් තනාගැනීම තහනම් වුණා. කොටින්ම මැටි බිත්තිවල මකුළු මැටි ගාලා සුදු පාට කරගැනීමත් තහනම්. ඒ වැඩේටත් රජ්ජුරුවන්ගේ අවසරය අවශ්‍ය වූ බව කියන්නේ රොබට් නොක්ස්. නමුත් ඉහළ රාජ්‍ය නිලධාරීන් වූ ප්‍රභූවරුන්ටත්, පන්සල්වලටත් හොද නිවාස, ගොඩනැගිලි තැනීමේ අවසරය ලැබුණා. එහෙම හදපු වලව්වලින් වැඩවසම් කාලේ ප්‍රභූවරු කොපමණ සැප වින්දා ද කියලා අපට හිතාගන්න පුළුවන්. ඒ ගොඩනැගිලි අද වනවිට පුරාවිද්‍යාත්මක ස්මාරක වෙලා.
උඩරට වලව්වලින් වැඩි ප්‍රමාණයක් අනවශ්‍ය විදිහට ප්‍රතිසංස්කරණය කර වනසා දැමූ බව ආනන්ද කුමාරස්වාමි සඳහන් කරනවා. අද වන විට විනාශ නොකර ඉතිරිව පවතින්නේ කිහිපයක් පමණයි. ඒ ගැන විස්තර සොයාගෙන මහනුවරට ගිය ගමනක් ගැන යි මේ ඔබට කියන්න යන්නේ.
හිරේට ගිය ඇහැලේපොළ වලව්ව
“මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරය” කියල ගහපු බෝඩ් එක රජ වීදියේ ගමන් කරන ඔබ සමහරවිට දැකලත් ඇති. උස් තාප්පවලින් වටවූ ඒ ගොඩනැගිල්ල අන්තිම සිංහල රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ බලවත් චරිතයක් වූ ඇහැලේපොළ අදිකාරමගේ වලව්ව යි. සුද්දො තමයි එතන හිරගෙදරක් කළේ. ඊට පසු තවත් ගොඩනැගිලි එතන හැදුවා. අධිකරණ අමාත්‍යාංශයට අයත්ව තිබූ එම දෙමහල් ගොඩනැගිල්ල සහ භූමිය පසුව සංරක්ෂණය සදහා රජයට භාරදුන් අතර, දැනටත් හොඳ තත්ත්වයෙන් පවතිනවා. ඇහැලේපොළ පවුලේ සියලු දෙනාටම අවාසනාව ළඟා වන්නේ එම වලව්වේ ජීවත්වෙමින් සිටියදී යි. සිංහල උළු සෙවිලි කර ඕලන්ද ක්‍රමයට ආරුක්කු හා කණු යොදා තනා තිබෙන මෙම දෙමහල් වලව්ව එවකට ස්වර්ණ කළ්‍යාණ වීදියට මුහුණලා මාලිගා භුමියේ පිහිටා තිබුණා. වර්තමානයේ එම වීදිය හඳුන්වනු ලබන්නේ “රජ වීදිය” කියලයි.
මහනුවර නගරයේ පැරණි වලව් අතරින් තරමක් දුරට හෝ ආරක්ෂා සහිතව පවතින පැරණිම වලව් ගොඩනැගිල්ල වශයෙන් ද මෙය වැදගත් වෙනවා. ඉංග්‍රීසීන් විසින් වලව්ව බන්ධනාගාරයක් ලෙස පත්කෙරුන ද, රජ දවස තිබූ සමහර දේ අදට ද එහි ඉතිරිව පවතිතනවා. මැද මිදුල, දැවමය දොර, උළුවසු, ලී කණු, යකඩ සේප්පුවක් ඉන් සමහරක්. මෙය කෞතුකාගාරයක් කිරීමට යෝජනා ඉදිරිපත් වුණත් තවමත් එවැන්නක් ක්‍රියාත්මක වෙලා නම් නැහැ. මෙය මහනුවර නගරයේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩුකාරයා පදිංචි වූ වලව්ව
1815 පෙබරවාරි 18 සිදුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ අල්වාගැනීමේ කුමන්ත්‍රණයට පිළිමතලව්වේ ගබඩා නිලමේ ද සහාය වුණා. ඔහු ඉංග්‍රීසින්ට උඩරට අල්ලාගැනීමටත් උපකාරී කළා. එහෙත් 1817 සුද්දන්ට එරෙහිව උඩරට රදළවරු කළ කුමන්ත්‍රණයක දී සිංහලයන්ට පක්‍ෂ වූ පිළිමතලව්වේ ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගැනුනා. මහනුවර ඔටුනු නොපළන් රජු සේ වැජඹුණු ඔහුගේ වලව්ව, ඉංග්‍රීසින් ආණ්‌ඩුකාරවරයාගේ නිල නිවාසය බවට පත්කළේ ඔහු සමග ඇති කෝපය පිටකිරීමට බව පේනවා. එවකට ලංකාවේ ආණ්‌ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් තම මහනුවර නිල නිවස ලෙස යොදාගත් මේ වලව්ව ප්‍රතිසංස්‌කරණය කිරීමට බ්‍රිතාන්‍යයෙන් මුදල් ඉල්වා සිටියත් ලැබුණේ නැහැ. ඔහු තම කැමැත්තට පවුම් 13000ක් වැය කොට වලව්ව ප්‍රතිසංස්‌කරණය කළ බව සඳහන්. එය මහනුවර “කිංග්ස් පැවිලියන්” හෙවත් රජ ගෙදර ලෙස හඳුන්වන්නට වුණා.
පසුව රජයට පවරාගත් පිළමතලව්වේ නිවසට හිලව් වන්නට ඉංග්‍රීසි ආණ්‌ඩුව රික්‌ස් ඩොලර් 50 බැගින් ඔහුගේ ඥාතීන්ට ගෙවා තිබෙනවා. පසුව මෙම මුදල වැඩි කර එම ඥාතීන්ට රික්‌ස් ඩොලර් 292 බැගින් ගෙවීමට අණ ලැබී තිබෙනවා. මෙය ආණ්ඩුකාර නිල නිවස බවට පත් කිරීමේ දී අලුත් සැලසුමක් යටතේ ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එහිදී පැරණි වලව්ව විනාශ වී ගෙස් ඇති බව පේනවා. නව ගොඩනැගිල්ල තැනීමේ දී වැඩ කළ කම්කරුවන්ගෙන් ශ්‍රමය සූරා කෑ බව දැක්වෙනවා. සමහරුන්ට දිනකට පණම් 2ක් බැගින් සොච්චම් මුදලක් තමයි ගෙවලා තිබෙන්නේ.
ගිරාගම වලව්වේ කෑම කඩේ
මහනුවර නගරය මැද කොළඹ වීදියට යාව පිහිටි මෙම වලව්වත් මහනුවර ලෝක උරුම නගරයේ සංරක්‌ෂිත ගොඩනැගිල්ලක්. 1814 වසරේ ඉදිකරනු ලැබූ ගිරාගම වලව්ව, වර්ෂ 1882 – 1897 අතර කාලයේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර හෙබවූ කුඩා මුදියන්සේ ගිරාගම නිලමේගේ නිලනිවස ලෙස භාවිත කළ ගොඩනැගිල්ල යි. පස්සේ කාලෙක මෙම ගිරාගම වලව්ව ව්‍යාපාරයෙකුට විකුණා දමා තිබෙන අතර, එම හේතුවෙන් 1915 වසරේ තැනූ නගර සැලැස්මෙහි මෙම වලව්ව එයි. ඒ. එම්. හබිබු ලෙබ්බේ ලෙස නම් කර කොට තිබූ බව සඳහන් වෙනවා.
දිරාපත් වී විනාශ වී යමින් පැවති මෙම ඓතිහාසික ගොඩනැගිල්ල ලෝක උරුම ස්මාරක සංරක්ෂණය යටතේ පසුගිය දා සංරක්ෂණය කර නිම කළා. පෞද්ගලික අයිතිය යටතේ පවතින මෙහි ආහාරපාන වෙළෙදසලක් පවත්වාගෙන යනවා. ආනන්ද කුමාරස්වාමි සඳහන් කර ඇත්තේ 1900 මුල් භාගය වන විට නගරයේ හොඳ තත්ත්වයෙන් පැවති එකම වලව්ව ගිරාගම වලව්ව බව යි.
මෙය අගනා දැව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ දැකගත හැකි ගොඩනැගිල්ලක්. පොඩි බලකොටුවක් වගෙයි අපි නම් දැක්කේ. බිම් මහලේ කාමර 4කුත් ඉහළ සොල්දර තට්ටුවේ කාමර 6කුත් තිබෙනවා. දෙවන මහල වටා යන සේ සදළුතලයක් තනා තිබෙනවා. තුන්වන මහලේ අර්ධ අෂ්ටස්‍රාකාර සදළුතල සහිත කුටි තුනක් තිබෙනවා.
නුගවෙල වලව්වේ හෝටලේ
පුංචි බණ්ඩා නුගවෙල කියන නම ඔබ සමහර විට අහලත් ඇති. ඔහු දළදා මාලිගයේ අලුත් මාලිගා ගොඩනැගිල්ල ඉදිකිරීමටත් මුල් වුණා. දළදා කෞතුකාගාරයේ ඔහු ගැන විස්තර තිබෙනවා. 1920 දශකය වෙද්දී නුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ විදියට කටයුතු කළේ නුගවෙල යි. ඔහුට පරම්පරාවෙන් උරුම වුණු වලව්වක් තිබුණා. 1850 දී කේ. නුගවෙල විසින් ඉදි කරන්න මුල් වුණු මේ වලව්ව හැඳින්වුණේ “බෙරගම වලව්ව” නමින්. පුංචි බණ්ඩා නුගවෙල එයට අමතරව අලුත් වලව්වක් ඉදිකළා. අක්කර පහක පමණ ඉඩමක හැදුණු දෙමහල් අලුත් වලව්වට, යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය එකතු කරන්න පුංචි බණ්ඩා නුගවෙල කටයුතු කළා. අලුත් වලව්වට ලැබුණු නම වූයේ “නුගවෙල වලව්ව” යි. පුංචි බණ්ඩා නුගවෙල තමන්ගේ දියණියන් තුන්දෙනා එක්ක නුගවෙල වලව්වේ පදිංචි වුණා. පරණ බෙරගම වලව්ව පාවිච්චියට ගත්තේ ඔහුගේ පුතුන් තුන්දෙනා යි. හැබැයි 1952 දී අබලන්ව තිබුණු පරණ වලව්ව කඩාබිඳ දමනු ලැබුවා. 1928 අවුරුද්දේ දී මහත්මා ගාන්ධි නවාතැන් ගත්තෙත් ඒ වලව්වේ යි. ඒ විතරක් නෙවෙයි, 1955 දී “Purple Plain” චිත්‍රපටිය රූපගත කරන විට ග්‍රෙගරි පෙක් නම් රංගන ශිල්පියා නුගවෙල වලව්වේ නැවතී සිටියා.
1950 වෙද්දී නුගවෙල වලව්වේ අයිතිය තිබුණේ කර්නල් ඩෙරික් නුගවෙලට යි. එම්. පී. එස්. මාරවනගොඩ මේ වලව්ව ඔහුගෙන් මිල දී ගෙන තිබෙනවා. ඔහුගේ පුත් රත්නපාල මරවනාගොඩ මෙය හෝටලයක් බවට පත් කිරීමට තීරණය කළා. නුගවෙල වලව්ව, අද අපි දකින “මැනර් හවුස්” නමින් බුටික් හෝටලයක් බවට පත් කරන්න මුල් වුණේ ඔහු යි. එය පිහිටා තිබෙන්නේ මහනුවරට නුදුරු නුගවෙල අලදෙනිය කියන ගමේ.
පානබොක්කේ වලව්ව
මේ වලව්ව දැක ගන්න නම් පිළිමතලාවෙන් දවුලගල පාරේ උඩුනුවරට යන්න ඕනෑ. මහාමාර්ගය අද්දරම ඉතා සුන්දර තණ බිස්සක් සහිත ගෙමිදුලකින් වටවුණු වලව්ව පිහිටා තිබෙනවා. සමස්ත වික්‍රම කරුණාතිලක අභයවර්ධන බුවනෙකසේකර ජයසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ ටිකිරි බණ්ඩා පානබොක්කේ (ජ්‍යෙෂ්ඨ) තමයි මෙහි මුල් හිමිකරු වන්නේ. ඔහු ක්‍රි.ව 1876 වසරේ දී සාදා නිම කර ඇති පැරණි වලව්ව අදත් එදා පෙනුමෙන්ම දැකගත හැකියි. එය දෙමහල් ගොඩනැගිල්ලක්. මැද මිදුලක් සහිත වලව්වට ඉදිරියෙන් සහ පැත්තකින් විශාල තණ බිස්සක් පිහිටා තිබෙනවා. එය තනා තිබෙන්නේ උත්සව, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සඳහායි. දැනට මෙම වලව්ව සංචාරක නිකේතනයක් ලෙස භාවිත කරනවා.
වලව්ව ඇතුළු භූමිය අක්කර දෙකක ඉඩමක පැතිර තිබෙනවා. වලව්වේ විශාල කාමර, කෑම කාමරය, සාලය, ලී කැටයමින් අලංකාර කරන ලද විශාල කණු, දොර ජනෙල් පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට උදාහරණ සපයනවා. මෙහි විශාල කාමර හයක් දැකගත හැකියි. ලී පෙට්ටගම්, කබඩ්, හාන්සි පුටු, ඇඳන් ඇතුළු විවිධ ගෘහ භාණ්ඩ රාශියක් අදට ද ආරක්ෂාකාරීව පවතිනවා. උඩුමහලේ ආලින්දය, බිම් මහලේ මුළුතැන්ගෙය, ඒ ආසන්නයේ ඇති වී අටුව, පානබොක්කේ වලව්වේ පෞරාණික බවට හොඳම උදාහරණ යි. වහලයට සෙවිලි කර ඇත්තේ සිංහල උළු යි. මැද මිදුල දෙපැත්තේ දොරටු අසල පා සේදීම සඳහා ගල් පතුරු දෙකක් තබා තිබෙනවා.
පවුම් 3000කට පවරාගත් දුනුවිල වලව්ව
කලක පටන්ම මහනුවර නගර සභාව පවත්වාගෙන යන්නේ ඓතිහාසික ගොඩනැගිල්ලක යි. ඒ, උඩරට රාජධානි සමය තෙක් දිවෙන ඉතිහාසයක් ඇති දුනුවිල වලව්වේ යි. එය පිහිටා තිබෙන්නේ පුරාණ කන්දේ වීදියේ යි. ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර කන්දෙ වීදියට යාමට පුළුවන්.
දෙවන රාජසිංහ සමයේ රජුගේ මහ අදිකාරම් වූයේ දුනුවිල නිලමේ. සිංහල රාජ්‍යයේ උසස්‌ම නිලයක් මෙන්ම ඇත් පංතිය බාර සහ ඇත් සේනාවේ අණදෙන නිසි බලධාරියා වූ ‘ගජනායක නිලමේ’ තනතුර දැරුවේ ද ඔහු යි. දුනුවිල නිලමේ වැලිකඩ මැණිකේ සමග යුගදිවිය ගතකළේ මහනුවර කන්දේ වීදියේ තපෝවනය අසල ඇති දුනුවිල වලව්වේ යි.
පසුව දුනුවිල පරම්රාවේ නිවහන බවට එය පත්වුණා. මහනුවර යුගයට අයත් වාස්‌තු විද්‍යාත්මක ලක්‍ෂණ, ලන්දේසි වාස්‌තු විද්‍යාව, ඉංග්‍රීසි වාස්‌තු විද්‍යාව හා සංකලනය වූ කදිම ගොඩනැගිල්ලක් ලෙස ‘දුනුවිල වලව්ව’ සැලකිය හැකියි. අද දැකගත හැකි වන්නේ ඉංග්‍රීසී පාලන යුගයේ නවීකරණය කර ඉදිකළ ගොඩනැගිල්ලක්. ලන්දේසි යුගයේ අයෝනික ගෘහ නිර්මාණ ලක්‍ෂණවලට සමීප රවුම් ආරුක්‌කු යුගල කුලුනු, මැද මිදුල, ආරුක්‌කු ජනේල ආදිය නිසා වලව්වට ගම්භිර පෙනුමක් ලැබී තිබෙනවා. නවීකරණයේ දී මෙම ගොඩනැගිල්ලේ මූලික ‘අමුද්‍රව්‍ය’ ලෙස ගෙන ඇත්තේ කළුගල්. ආනයනික ‘බුරුම තේක්‌ක’ මෙහි දැව කර්මාන්තවලට යොදාගෙන තිබෙනවා. ඇතුළු වන ප්‍රවේශය දෙපස විශාල කාමර දෙකක් පිහිටා තිබෙනවා. ඉහළ මාලයේ විසිත්ත කාමරය අද නගර සභාවේ නගර ශාලාව යි. අවසන් රජ සමයේ සිටි දුනුවිල නිලමේ 1818 උඩරට කැරැල්ල සමයේ ඉංග්‍රීසීන්ගේ සැකයට භාජනය වුණා. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා ඔහු රටින් පිටුවහල් කිරීමට කොළඹට යැව්වා. කොළඹ සිරභාරයේ ගතකළ දුනුවිල නිලමේ 1821 මාර්තු 21 දින එහිදී මියගියා. 1848 දී ඉංග්‍රීසි ආණ්‌ඩුව වලව්ව පවරාගත් අතර එයට 1861 දී ඔක්. 31 දා පවුම් 3000ක වන්දියක් පමණක් ගෙවා තිබෙනවා. 1869 දී පවුම් 3000ක මුදලකට ස්‌ථීරවම එය මිල දී ගෙන තිබෙනවා. 1875 දී මහනුවර නගර සභාව පිහිටුවන විට මෙම වලව්ව නගර සභාව සඳහා යොදා ගැනීමට ඉංග්‍රීසීන් තීරණය කළා. මෙම ගොඩනැගිල්ලත් ලෝක උරුම නගරයේ ආරක්ෂිත ස්මාරකයක්.