ලංකා ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති පොත්පත්, ලේඛනවල එකල මෙරටට පැමිණි විශේෂ විදේශිකයන් පිළිබඳව සඳහන් වී තිබෙනවා. පස්වන සියවසේ දී ලංකාවට පැමිණි ෆාහියන් නම් චීන භික්ෂුවක් ගැන එම පැරණි මූලාශ්‍රවල සඳහන්. ෆාහියන් භික්ෂුව වසර 2ක පමණ කාලයක් මෙහි ජීවත් වුණු බව කියැවෙනවා. එම කාලය තුළ ෆාහියන් භික්ෂුව මෙරට ඇතැම් වෙහෙර විහාර සහ උත්සව පිළිබඳව සටහන් ලියා තිබෙනවා. අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී එදා ෆාහියන් හිමියන් ලියූ වාර්තා ද උපකාරී වනවා. මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ චීනයේ ඉපිද ලංකාවට පැමිණි ෆාහියන් හිමියන්ගේ කතා පුවත යි.
ජීවිතයේ මුල් අවධිය
ෆාහියන් හිමි, වර්තමාන බීජිං නගරයට සැතපුම් 400ක් පමණ බටහිරින් පිහිටි ෂාන්ස් ෂී නැමැති පළාතේ යෑං නැමැති ගමේ උපත ලැබුවා. කුඩා ෆාහියන්ගේ වැඩිමහල් සහෝදරයන් තිදෙනාම අවුරුදු 7 ඉක්මවීමට පෙර මියගියා. ඉන් බියට පත්වුණු ෆාහියන්ගේ පියා තම කුඩාම දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඔහුව පන්සලට පූජා කිරීමට තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆාහියන් දරුවා කුඩා කාලයේ දීම බෞද්ධ හිමිනමක් බවට පත්වුණා. කුඩා ෆාහියන් හිමියන් භික්ෂුවක වශයෙන් ආශ්‍රමයේ ආගමික ජීවිතයක් ගතකළ යුතුව තිබුණත්, උන්වහන්සේ සිය දෙමාපියන්ගේ ආදරය ලබමින් වැඩි කාලයක් සිය නිවසේ ගත කළා.
ඒ අතරතුර ෆාහියන් හිමියන්ට කුෂ්ඨ රෝගයක් වැළඳීම හේතුවෙන් උන්වහන්සේගේ පියා බියට පත්වුණා. එනිසා කුඩා ෆාහියන් හිමියන් යළි පන්සලට භාර කිරීමට උන්වහන්සේගේ දෙමාපියන් තීරණය කළා. ආශ්‍රම ජීවිතය ඇරඹීමෙන් පසු ෆාහියන් හිමියන් සහ නිවස අතර තිබුණු බැඳීම ක්‍රමයෙන් අඩුවුණා.
කාලය ගතවෙද්දී ෆාහියන් හිමියන්ගේ පියානන් මරණයට පත්වුණා. සිවුරු හැර, තනියම ජීවත්වන මව රැකබලාගැනීමට පැමිණෙන ලෙස ඥාතීන් උන්වහන්සේට ආරාධනා කළා. නමුත් ඒ වන විට ආගම කෙරෙහි නැඹුරු වී සිටි ෆාහියන් හිමියන් ආශ්‍රමයේ ගතකළ සරල දිවිපෙවතට බෙහෙවින් ආශා කළා. එනිසා උන්වහන්සේ දිගටම ආශ්‍රමයේ නැවතී ධර්මය පිළිබඳව තවදුරටත් හැදෑරුවා.
උපසම්පදා භික්ෂුවක් බවට පත්වෙයි
එක්තරා දිනයක ෆාහියන් හිමියන් තවත් සාමණේර හිමිවරුන් පිරිසක් සමග ගොයම් කපමින් සිටියා. එම අවස්ථාවේ දී ගොයම් පැහැරගැනීමට හොරු කණ්ඩායමක් කුඹුරට පැමිණියා. හොරු කණ්ඩායම දුටු සාමණේර හිමිවරුන් බියවී පළා ගියා. නමුත් ෆාහියන් හිමියන් එම ස්ථානයෙන් ඉවත් නොවී සොරුන් උන්වහන්සේ අසලට එනතුරු බලා සිටියා. ඉන් පසුව හොරුන්ව අමතා හිමියන් මෙසේ පවසා තිබෙනවා.
“මම නුඹලා ගැන කණගාටු වෙනවා. නුඹලා එකතු වී බලෙන්ම මෙම ගොයම් පැහැරගන්නවාට මම කණගාටු වන්නේ නැහැ. නුඹ සැම මෙම තත්ත්වයට පත්ව තිබෙන්නේ දිගින් දිගටම වැරදි ලෙස හැසිරුණු නිසා යි. නුඹලා මේ අයුරින් දිගින් දිගටම වැරදි කරමින් ජීවත් වුණොත් මරණින් පසුව ද කිසිදු සුගතියක් ලැබෙන එකක් නැහැ”
සොරුන්ට උපදේශයක් ලබාදුන් ෆාහියන් හිමියන් අනිත් සාමණේරයන්වහන්සේ වැඩි මඟ ඔස්සේ ආශ්‍රමය වෙත වැඩම කළා. ෆාහියන් හිමියන් පැවසූ වචන පෙළ නිසා ලැජ්ජාවට පත්වුණු සොරුන් පිරිස හිස් අතින්ම එම ස්ථානයෙන් පිටව ගිය බව කියැවෙනවා.
මෙසේ ටිකෙන් ටික ධර්මය මනාව තේරුම් ගනිමින් ඒ ඔස්සේ සිය ජීවිතය සකසාගත් ෆාහියන් හිමියන් 20 හැවිරිදි වියේ දී උපසම්පදා භික්ෂුවක් බවට පත්වුණා.
ධර්ම පොත් සොයා ඉන්දියාවට ගිය ගමන
ක්‍රි. ව. 399 දී පමණ ෆාහියන් භික්ෂුව තවත් 10 දෙනෙකු සමගින් ඉන්දියාවට බලා ගමන් ආරම්භ කළා. මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරය හරහා ගිය එම ගමන ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. දිවා කාලයේ දී දැඩි උණුසුමක් ද රාත්‍රී කාලයේ දී දැඩි ශීතලක් ද තිබුණු නිසා කාන්තාරය හරහා ගිය ගමන දුෂ්කර එකක් වුණා. එසේම ඒ අතරතුර දී වැලි කුණාටුවලට ද ගොදුරු වුණා. සොර සතුරන්ගෙන් ද මෙම පිරිසට විවිධ බාධක එල්ල වුණා. අධික ශීත දේශගුණය දරාගත නොහැකිව හ්විකි නම් හිමියන් අපවත් වුණා. නමුත් පැමිණි සියළුම අභියෝග ජයගත් ෆාහියන් හිමි ඇතුළු පිරිස අවසානයේ දී ඉන්දියාවේ මගධ රටට සම්ප්‍රාප්ත වුණා.
එකල මගධ රට පාලනය කරමින් සිටියේ දෙවන චන්ද්‍රගුප්ත රජතුමා යි. ඉන්දියාවේ ස්වර්ණමය යුගයක් වුණු එම යුගයේ එරට පන්සල් තුළ විශාල ධර්ම පොත්පත් ප්‍රමාණයක් තිබුණා. එනිසා ෆාහියන් හිමියන්ට ඒවා පරිශීලනය කිරීමට ඉඩකඩ ලැබුණා. එසේම ඉන්දියාවේ ගතකළ වසර කිහිපය තුළ උන්වහන්සේ බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටි සියළුම ස්ථාන වැඳ පුදා ගත්තා.
ඉන්දියාවේ සංචාරය කරමින් සිටි ෆාහියන් හිමියන්ට ඒ අසලම පිහිටි රත්නදීප නම් දිවයින පිළිබඳව අසන්නට ලැබුණේ ඒ අතරේ යි. එම දිවයින තුළ බුදු දහම හොඳින්ම රැකී පවතින බව ද ෆාහියන් හිමියන්ට ආරංචි වුණා. එනිසා ෆාහියන් හිමියන් රත්නදීපයට වැඩම කිරීමට තීරණය කළා.
ෆාහියන් හිමියන් ලංකාවට පැමිණෙයි
ඉන්දියාවේ ත්‍රාම්ලිප්ති නැව්තොටින් නැවකට ගොඩවුණු ෆාහියන් හිමි ඇතුළු පිරිස දින 14ක නැව් ගමනකින් පසුව ලංකාවට සැපත් වුණා. ඒ අනුව ෆාහියන් හිමියන් ක්‍රි. ව. 411 දී පමණ ලංකාවට පැමිණි බවට විශ්වාස කෙරෙනවා. එම කාලය වන විට අනුරාධපුරයේ රජකම් කළේ මහානාම නම් රජතුමා යි. ඉතාමත් දැහැමි රජ කෙනෙකු වුණු මහානාම රජතුමා ෆාහියන් භික්ෂුව ඇතුළු පිරිසට නවාතැන් ගැනීම සඳහා අභයගිරි විහාරය සකස් කරදුන්නා.
උන්වහන්සේ ලංකාවේ ගතකළ වසර 2ක කාලය තුළ ධර්ම පොත්පත් විශාල ප්‍රමාණයක් කියවනු ලැබුවා. එසේම ලංකාව පිළිබඳව ලියැවී තිබුණු පැරණි ඉතිහාස ග්‍රන්ථ, අටුවා වැනි දේවල් ද පරිශීලනය කළා. එකල අභයගිරියේ සහ මහා විහාරයේ භික්ෂූන්වහන්සේ ඇසුරු කළ ෆාහියන් හිමියන් මෙරට ඉතිහාසය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගත්තා. ලංකාවේ ජීවත් වුණු කාල සමය තුළ ෆාහියන් හිමියන් ලියූ වාර්තාවල අපූරු තොරතුරු සටහන්ව තිබෙනවා. පහත දක්වා ඇත්තේ එයින් කිහිපයක්.
මිහින්තලයට පැමිණි සොර කණ්ඩායමකට විහාරාධිපති හිමියන් සැලකූ හැටි
අනුරාධපුර යුගය ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක්. එකල අනුරාධපුරයේ රජකළ බොහෝ රජවරුන් වෙහෙර විහාර සඳහා විශාල වශයෙන් මිල මුදල්, මුතු මැණික්, රන්, රිදී ආදිය පූජා කළා. ඒ එම යුගයේ දී අනුරාධපුරයේ විහාරස්ථානවල මිල කළ නොහැකි තරම් වස්තුව තිබුණු භාණ්ඩාගාර දක්නට ලැබුණු බව ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවල දක්වා තිබෙනවා.
එකල අනුරාධපුරයේ ප්‍රධානතම ආරාමයක් වුණු මිහින්තලේ ආරාමයේ භාණ්ඩාගාරය තුළ ද බොහෝ වස්තුව තිබුණා. එනිසා එක්තරා හොරු කණ්ඩායමක් මිහින්තලේ ආරාමයෙන් වස්තුව සොරාගැනීම සඳහා පැමිණි තිබෙනවා. එම අවස්ථාවේ දී එහි විහාරාධිපති හිමියන්ගේ බුද්ධිමත්බව නිසා හොරු කණ්ඩායම හසුකර ගැනීමට හැකියාව ලැබුණු බවත් එහි සඳහන්. එම වාර්තාවල තවදුරටත් දක්වා තිබෙන්නේ ඒ අයුරින් හසුවුණු සොර කණ්ඩායමට දඬුවම් කරනවා වෙනුවට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කොට පිටත් කර යැවීමට තරම් උන්වහන්සේ කාරුණික වුණු බව යි. එම වාර්තාව කියවූ විට එකල මෙරට වැඩ වාසය කළ භික්ෂූන්වහන්සේ සතුව තිබුණු යහපත් ගතිගුණ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි.
අනුරාධපුරයේ පාලනය පිළිබඳව සටහන්ව තිබුණු දේවල්
එකල අනුරාධපුරය පාලනය කළ රජතුමා ඉතාමත් දැහැමි රජ කෙනෙකු බව ෆාහියන් හිමියන්ගේ වාර්තාවල දක්වා තිබෙනවා. රජතුමා බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ බව ද එහි දක්වා තිබෙනවා. තව ද රජතුමා සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි උනන්දුවක් දක්වමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා කටයුතු කළ බවත් සඳහන් වෙනවා. එනිසා රට වැසියන් ලොකු ගැටලුවකින් තොරව ප්‍රීතියෙන් කල් ගෙවූ බව ද එහි දක්වා තිබෙනවා. එකල අප රටේ ගස්වැල් වසර පුරාම ඵලබරව තිබුණු බව පවසන ෆාහියන් හිමියන් මෙහි දේශගුණය ජීවත්වීම සඳහා ඉතා හිතකර බව සඳහන් කරනවා.
එම යුගයේ දී අනුරාධපුරයට විශාල වශයෙන් විදෙස් වෙළඳුන් පැමිණි බව ද, එලෙස පැමිණි චීන වෙළඳුන් මෙරට ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගෙන ඒවාට වටිනා වස්තුව පූජා කළ බව ද පැවසෙනවා. එසේම මෙරට මුහුදු සීමාවේ සිට සැතපුම් 40ක් දුරට තිබුණු දූපත් ද අනුරාධපුරයේ රජුට අයත්ව තිබුණු බව මෙම වාර්තාවල සඳහන්. ඒවා පාලනය කිරීම සඳහා රජතුමා විසින් වෙනම නිලධාරින් පත්කර තිබුණු බව එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
භික්ෂූන්වහන්සේ පිළිබඳ සඳහන් කරුණු
ෆාහියන් භික්ෂුව අනුරාධපුරය තුළ සංචාරය කරමින් ලබාගත් තොරතුරුවලට අනුව එකල එහි වූ සියලුම විහාරස්ථානවල භික්ෂූන්වහන්සේ 6000ක් පමණ වැඩ සිටි බව සඳහන්. ඉන් 600කට අධික භික්ෂූන් ගණනක් අභයගිරියේ වැඩ සිට තිබෙනවා. එකල චේතියගිරිය හෙවත් මිහින්තලාවේ වැඩ සිටි 200කට අධික භික්ෂූන්වහන්සේ පිරිසට රජතුමා සිව්පසය සැපයූ බව එම වාර්තාවල දක්වා තිබෙනවා. එකල බොහෝ විහාරවල වැඩ වාසය කළ භික්ෂූන්වහන්සේ පිඬුසිගා වැඩි බවත්, උන්වහන්සේලාට ලක් වැසියන් අඩුවක් නැතිව දානය පූජා කළ බවත් එහි සඳහන්.
අභයගිරිය ගැන විස්තර කර තිබෙන අයුරු
ෆාහියන් හිමියන් ලංකාවේ ගතකළ වසර 2ක තුළ වැඩිපුර කාලයක් අභයගිරියේ ගත කළා. එනිසා ෆාහියන් භික්ෂුව අභයගිරිය පිළිබඳව වැඩි යමක් දේශාටන වාර්තාවල දක්වා තිබෙනවා. උන්වහන්සේගේ වාර්තාවලට අනුව, එකල අභයගිරි විහාර භූමිය තුළ වටිනා මැණික් ඔබ්බන ලද, රන්, රිදී කැටයම්වලින් අලංකාර කරන ලද බුද්ධ මන්දිරයක් තිබුණාලු. එසේම එහි අඩි 20ක් පමණ උස්වුණු අලංකාර බුදු පිළිමයක් ඉදිකර තිබුණු බවත් සඳහන්. පිළිමයේ දකුණු අත මත තබා තිබුණු මුතු ඇටයක් පිළිබඳවත් එහි දක්වා තිබුණා. බුදුරජාණන්වහන්සේගේ සිරිපතුලක් මැදිකර ඉදිව තිබුණු විශාල ස්ථුපයක් අභයගිරි භූමියේ දක්නට ලැබුණු බව ද දේශාටන වාර්තාවල දැක්වෙනවා.
දළදා පෙරහැරේ විචිත්‍රත්වය ගැන සටහන්
ෆාහියන් හිමියන් දළදා පෙරහැර පිළිබඳවත් දේශාටන වාර්තාවල දැක්වෙනවා. එහි සඳහන්ව ඇති ආකාරයට වාර්ෂිකව පැවැත්වුණු දළදා පෙරහැර විචිත්‍රවත් ස්වරූපයක් ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ෆාහියන් හිමියන්ගේ වාර්තාවල තිබෙන දේවල් මේ අයුරින් දක්වන්නට පුළුවන්.
“දළදා පෙරහැර ඇතුළු නුවර පිහිටා තිබුණු දළදා මාලිගයේ සිට අභයගිරි විහාරය වෙත වැඩම කළා. දළදා පෙරහැර ආරම්භ කිරීමට පෙර අණබෙරකරුවෙකු ඒ බව නගරයේ ජනතාව වෙත දැනුම් දුන්නා. එවිට ජනයා එකතු වී දළදා පෙරහැර ගමන් කරන මාර්ගය සුද්ධ පවිත්‍ර කළා.
අණබෙරකරුවන් පණිවිඩය ලබාදීමෙන් දින 10කට පසුව පෙරහැර පැවැත්වුණා. පෙරහැර දිනයට විශාල පිරිසක් නගරයට එක් රැස් වුණා. දළදා පෙරහැර ගමන් කරන ලද මාර්ගය දෙපස ජාතක කතාවල චිත්‍රවලින් අලංකාර කර තිබුණා. අභයගිරි විහාර භූමිය වෙත වැඩම කරවන ලද දළදා වහන්සේ දින 90ක කාලයක් එහි තැන්පත් කර තිබුණා. එම දින 90ක කාලය තුළ දිනපතා අභයගිරිය වෙත විශාල පිරිසක් පැමිණ දළදා වහන්සේව වැඳ පුදා ගත්තා. දින 90 අවසානයේ දී දළදා වහන්සේ යළි දළදා මාලිගය වෙත වැඩම කරවනු ලැබුවා.”
ආපසු චීනය බලා වැඩම කිරීම
වසර 2ක කාලයක් ලංකාවේ ගතකළ ෆාහියන් හිමියන් ක්‍රි. ව. 413 දී පමණ චීනය බලා ගමන් ආරම්භ කළ බව කියැවෙනවා. චීනය බලා ගිය ගමන අතරතුර දී ෆාහියන් හිමියන් ගමන්ගත් නැව දරුණු කුණාටුවකට හසුවුණා. එම අවස්ථාවේ දී මඟීන්ගේ ජීවිත බේරාගැනීම එහි තිබුණු භාණ්ඩ රැසක් මුහුදට දැමීමට සිදුවුණා. නමුත් ෆාහියන් භික්ෂුව උන්වහන්සේ සතුව තිබුණු ධර්ම පුස්තක සුරැකිව තබාගත්තා. එම පොත්පත් චීනය වෙත රැගෙන ගිය උන්වහන්සේ ඒවා චීන බසට පරිවර්තනය කර එරට තුළ බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කළ බව පැරණි පොතපතෙහි සඳහන් වනවා.