Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සියවසේ ඛේදවාචකය: ජෝන්ස්ටවුන් සමූහ සිය දිවි නසා ගැනීම

ඉතිහාසයේ පටන් ම ලොව මිනිස් වර්ගයා අතර ජනප්‍රිය වූ ආගම් විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ ඒ ආගම් මත ගොඩනැඟුණු විවිධ නිකායන් ද බොහෝ ප්‍රමාණයක් පවතිනවා. මෙම ඇතැම් ආගමික මතවාද ඇතැම් විටදී අවසන් වන්නේ ඛේදවාචකයකින් වීම කනගාටුවට කාරණයක්.

ඉතිහාසය පිරික්සා බැලීමේ දී එවැනි කනගාටුදායක සිද්ධීන් සම්බන්ධයෙන් අපට විස්තර අධ්‍යයනය කළ හැකි වනවා.

ජිම් ජෝන්ස් පියතුමා – www.britannica.com

මෑත කාලීන ව විවිධ ආගම් පදනම් කර ගනිමින් බිහිවූ ත්‍රස්තවාදී කල්ලි සහ ඒවා නිසා ඇති වූ බිහිසුණු ප්‍රතිවිපාක ගැන ශ්‍රී ලාංකියන්ට අමුතුවෙන් පැහැදිලි කර දීම අවශ්‍ය වන්නේ නෑ. යම් යම් තනි පුද්ගලයන් තමන්ගේ තනි මතයක් සාර්ථක ව ප්‍රචාරය කොට ආගමේ නාමයෙන් ජීවිත ගණනින් බිලිගත් අවස්ථා ද දකින්නට ලැබෙනවා.

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ 1978 වර්ෂයේ දී අමෙරිකා ඉතිහාසයේ සිදුවූ දැවැන්ත ම සිවිල් ජන සංහාරයකට ආගමික නිකායක් කළ බලපෑම පිළිබඳ යි.

ජේම්ස් වොරන් ජෝන්ස්

ජේම්ස් වොරන් ජෝන්ස් හෙවත් අමෙරිකා එක්සත් ජනපදය පුරා පසු කාලයේ දී ජිම් ජෝන්ස් නමින් ප්‍රචලිත වූ මේ කතාවේ කතානායක උපත ලබන්නේ 1931 මැයි මස 13 වනදා යි. කුඩා කාලයේ සිට ම ජිම් ජෝන්ස් යනු වෙනස් ආකාරයේ මත දැරූ පුද්ගලයෙක් වූවා. පළමු ලෝක යුද සමයේ සෙබළෙක් වූ ඔහුගේ පියාගේ ආබාධ තත්ත්වයන් නිසා ජෝන්ස් එතරම් හොඳ ළමා කාලයක් ගත කළේ නෑ.

පියාගේ අසනීප තත්ත්වය නිසා නිවෙස් මාරු කරමින් වගා කටයුතුවල යෙදීමෙන් ජීවත් වීමට ජිම් ජෝන්ස් ගේ පවුලේ අය කටයුතු කළා. නමුත් පෙර පරිදි ම ඒවා සාර්ථක වූයේ නෑ. මේ නිසා ඇතැම් අවස්ථාවලදී නිවෙස අසල කැලයට වැදී ආහාරයට යමක් සොයා ගැනීමට පවා ඔවුන්ට සිදු වුණා. මේ පවුලේ අසරණ භාවය නිසා ඔවුන්ට මූල්‍යමය වශයෙන් උදවු උපකාර කිරීමටත් ඇතැමෙක් කටයුතු කළ බවද සඳහන්.

ජිම් ජෝන්ස් කුඩා කාලයේ – www.abcnews.com

කෙසේ වෙතත් කුඩා ජිම් ජෝන්ස්ගේ මවට සහජ බුද්ධියක් හෝ දරුවන් පාලනය කිරීම සම්බන්ධයෙන් දැනුමක් තිබුණේ නෑ. ජිම් පාසල් යාම ආරම්භ කිරීමෙන් අනතුරු ව ඔහුගේ මවට රැකියාවක් සොයා ගැනීමට පවා සිදු වුණා. මවගේ අඩු සැලකීමත් පියාගේ අසනීප තත්ත්වය ත් නිසා කුඩා ජිම් ජෝන් ගේ ළමා කාලය කිසිම අවධානයකින් හෝ අධීක්ෂණයකින් තොර ව ගෙවී ගියා.

අධ්‍යාපනය සහ වෙනස් වීම්

කුඩා කාලයේ දී පවුලෙන් ලැබුණු අඩු අවධානය නිසා ම ජිම් පල්ලියට සමීප වුණා. මේ හේතුවෙන් බයිබලය කියවීමට මෙන් ම ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ව වටහා ගැනීමටත් ඔහුට හැකියාව ලැබුණා. එනමුත් තමන්ගේ කුඩා කාලයේ දී ලැබුණු අඩු සැලකීම් සම්බන්ධයෙන් ඔහු සිටියේ දැඩි කනස්සල්ලකින්. ආගමික පසුබිමකට යොමු වුවත් ජිම් ජෝන්ස් ගේ සිත නොසැලකීම යන කාරණය නිසා විකෘති තත්ත්වයක් ගෙන තිබුණා.

“මං තුන්වන වසර අවසන් වන විටත් මිනීමැරුමක් කරන්න තරම් දැඩි මානසික වටපිටාවක් නිර්මාණය කරගෙන තිබුණා. මං ගොඩක් ආවේගශීලී වුණා. කිසිම කෙනෙක් මට ආදරය කළේ නෑ. ඉස්සර ඉස්කෝලේ තිබුණ උත්සවවලට ළමයි මවුපියන් එක්ක එනවා. ඒත් මට කවදාවත් එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. මං ඒ අවස්ථාවල තනියෙන් පැත්තකට වෙලා හිටගෙන හිටියා. හැමදාම තනියෙ ම”

පසු කාලෙක ඔහුගේ අඳුරු ළමා කාලය ගැන ජිම් ජෝන්ස් මේ විදිහට ප්‍රකාශ කර තියෙනවා.

ජිම් ජෝන්ස් තරුණ කාලයේ ඡායාරූපයක් – www.pbs.com

උසස් අධ්‍යාපනය ලබන සමයේ ද ආගමික වටපිටාව පිළිබඳ ව ඔහු වඩා වැඩි අවධානයක් යොමු කළා. මවගේ සහ පියාගේ දික්කසාදයෙන් පසු ඉන්දියානාවලට තම මවත් සමඟ පැමිණි ජිම් රෝහලක සේවය කිරීම ආරම්භ කළා. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය නිමා කොට වෛදවරයෙක් වීමේ අරමුණින් ක්‍රියා කළ ද 1948 දී එලනෝර් රූට්ස්වෙල් ගේ කතාවක් අසා ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක් තෝරා ගත්තා.

එකල අප්‍රිකානු අමරිකානු සම්භවයක් තිබූ ජනයාට සිදුවන වර්ගවාදී ක්‍රියාවලට එරෙහි වීමේ අරමුණක් ජිම් ජෝන්ස් ගේ සිතේ ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ජිම් ජෝන්ස් පියතුමා

මාර්සෙලින් බැල්ඩ්වින් සමඟ 1949 දී විවාහ දිවියට එළඹුණත් ඇයගේ දැඩි මෙතෝදිස්ත මත සම්බන්ධයෙන් ඔහු පළ කළේ ප්‍රතිවිරුද්ධ අදහසක්. මේ නිසා යුවළ අතර විවිධ ගැටුම් ද නිර්මාණය වුණා. මෙතෝදිස්ත පල්ලියේ ජාතිවාදී ක්‍රියාකලාප ක්‍රියාත්මක වන බව ජිම් සෑම විටෙක ම චෝදනා කළා. 1951 දී ඔහු අමරිකානු කොමියුනිස්ට් දේශපාලනයට එක්වීම හේතුවෙන් ඔහු සහ මව රජයේ අඩන්තේට්ටම්වලට පවා මුහුණ දුන්නා.

ඒ කාලයේ අමෙරිකාවේ කොමියුනිස්ට් වාදීන්ට දිගින් දිගට ම ලැබුණේ දැඩි අප්‍රසාදයක්. ඔහුගේ මවට FBI නියෝජිතයන් ගේ පවා හිංසනවලට ලක් වීමට සිදුවුණේ කොමියුනිස්ට් රැස්වීම්වලට සහභාගී වීම හේතුවෙන්.

ඉන් අනතුරුව දේශපාලන පසුබිමෙන් ඈතට යන ජිම් ජෝන්ස් 1952 වන විට දකුණුදිග සමර්සෙට් හි මෙතෝදිස්ත පල්ලියක පුහුණු පියතුමෙක් වශයෙන් සේවයට එක් වුණා.

ජිම් ජෝන්ස් බිරිය සහ දරුවන් සමග – www.thought.com

එතැන් පටන් ධර්මය අධ්‍යයනය කිරීමේ යෙදුණු ඔහු අමෙරිකාවේ සිදු වන වර්ගවාදී, ජාතිවාදී ක්‍රියාවලට දැඩි විරෝධය පළ කළා. මේවාට විරුද්ධ වෙමින් තමන්ගේ ම ආගමික නිකායක් පිහිටුවා ගත යුතු බවට තීරණය කළ ඔහු 1954 දී නව ආගමික නිකායක් බිහි කළා. ක්‍රිස්තුස් ආගමිකයන්ගේ මහජන ආශ්‍රමය (Peoples Temple of the Disciples of Christ) හෙවත් මහජන ආශ්‍රමය (Peoples Temple) යන කෙටි නාමයෙන් හැඳින්වුණ නව ආගමික නිකායක නව ගමනක් ආරම්භ කිරීමට ජිම් ජෝන්ස් පියතුමන් තීරණය කළා.

මහජන ආශ්‍රමයේ නැඟී සිටීම

1954 දී ආරම්භ කළ ජිම් ජෝන්ස් පියතුමන්ගේ මහජන ආශ්‍රමය වටා ජනතාව රැසක් එක්වන ආකාරය දකින්නට ලැබුණා. අමරිකාවේ ඉන්දියානාපොලිස් හී දි මෙහි පළමු ශාඛාව විවෘත කිරීමට ද ඔහු කටයුතු කළා. චතුර කථිකත්වයත් තමන්ගේ මතය අනෙක් අය අතර බෙදා ගැනීමට තිබූ හැකියාවත් නිසා ජිම් ජෝන්ස් පියතුමන් කෙටි කලකින් ම ජනප්‍රිය වුණා. ඔහු විවිධ ප්‍රදේශයන් හි දේශන පවත්වමින් ජනතාව ආකර්ෂණය කරගත්තා.

විශේෂයෙන් ම තමා නව ලොවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව ද, වර්තමානයේ දී අමෙරිකාවේ සිදුවන වර්ගවාදී ක්‍රියා පිටු දකින බව ද ප්‍රකාශ කිරීම හේතුවෙන් බොහෝ අප්‍රිකානු අමෙරිකානු සම්භවයක් තිබූ ජනතාව ජිම් ජෝන්ස් පියතුමා වටා අත්වැල් බැඳ ගත්තා. ඔහුගේ ආගමික නිකාය වටා එක්වන ජනයා වැඩි වීමත් සමඟ ම ජිම් ජෝන්ස් පියතුමන්ගේ නාමය තවදුරටත් රට වඩා ජනප්‍රිය වුණා.

මහජන ආශ්‍රමයේ නිල ලාංඡනය – www.abcnews.com

දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති මෙම මහජන ආශ්‍රමය 1965 දී සැන්ෆ්‍රැන්සෙස්කෝවල ස්ථාපිත කෙරුණා. නැවතත් එය 1971 දී කැලිෆෝනියා වෙතට රැගෙන ඒමට ජිම් ජෝන්ස් කටයුතු කළා. 70 දශකය ආරම්භ වන විට මේ මහජන ආශ්‍රමයට විවිධ චෝදනා එල්ල වීම ආරම්භ වුණා. මහජන ආශ්‍රමය නම් ආගමික නිකායක් මුල් කර ගෙන මූල්‍යමය වංචා සිදුවන බව ද කුඩා දරුවන් අපහරණයට ලක් වන බවට ද චෝදනා එල්ල වුණා. මේ චෝදනාවලින් කලබල වන ජිම් ජෝන්ස් පියතුමන් තමන්ගේ ආගමික නිකාය අමරිකාවෙන් ඉවතට රැගෙන යන්න තීරණය කළා.

ජෝන්ස්ටවුන්

1971 වර්ෂය වන විට කැලිෆෝනියාවේ පිහිටා තිබූ මහජන ආශ්‍රමය වටා එක්ව සිටි ජනතාවට තමන් වෙන ම පාරාදීසයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවත්, එහි ජීවත් වන අයට සුන්දර ජීවිතයක් ගත කිරීමට හැකි වන බවත් පවසා තමන් හා එක්වන ලෙසට ජිම් ජෝන්ස් පියතුමා ආරධනය කළා. ඔහුගේ දේශනවලට වහවැටී සිටි දහසකට ආසන්න ජනතාවක් ජිම් ජෝන්ස් කියන ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වුණා. මේ නිසාම ජෝන්ස්ටවුන් සිහිනය යථාර්ථයක් බවට පත් වුණා.

දකුණු අමෙරිකාවේ උතුරු කෙළවරට වන්න පිහිටා ඇති ගයානාවේ කැලයක් මැද විශාල ඉඩමක් මිලදී ගැනීමට ජිම් ජෝන්ස් සහ ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙක් කටයුතු කළා. එම කැලය මැද පිහිටි ඉඩම සම්පූර්ණයෙන් ම ගොවිපළක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ජිම් තමන්ගේ අනුගාමිකයන්ට ආරාධනය කළා. ඒ අනුව ගයානාව බලා පැමිණි අනුගාමිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ නතර වුණා. මේ ගොවිපොළ පරිශ්‍රය ජෝන්ස්ටවුන්(Jonestown) යන නමින් නම් කිරීමට ජිම් ජෝන්ස් පියතුමා කටයුතු කළා.

ජෝන්ස්ටවුන් වෙතට පිවිසීමේ ඇති පිළිගැනීමේ පුවරුව – PATRICK FORT/AFP via Getty Images

ජිම් ජෝන්ස් ප්‍රකාශ කළ ආකාරයට එය සුරපුරයක් හෝ පාරාදීසයක් වූයේ නෑ. එහි සිටි ජනතාවට ගොවිපොළ ගොඩනැ≥ඟීමට දැඩි වෙහෙසකින් කටයුතු කිරීමට සිදු වුණා. ඔවුන් පලායාම වැලැක්වීම සඳහා ගමන් බලපත්‍ර පවා එකතු කෙරුණ අතර ආරක්ෂාවට ගිනිඅවි අතදැරූ පිරිස් යෙදවීමට ද ජිම් ජෝන්ස් කටයුතු කර තිබුණා. මේ නිසා ජෝන්ස්ටවුන් හි තත්ත්වය යහපත් වූයේ නෑ. නමුත් ජිම් ජෝන්ස් පියතුමා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට වුවත් සූදානම් පිරිසක් තවදුරටත් ගොවිපොළේ රැඳී සිටියා.

තත්ත්වය තවත් නරක අතට හැරෙයි

මේ අතරවාරයේ දී ජිම් ජෝන්ස් ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් තිබුණා. තමා සහ තමන් ගොඩනැඟූ ආගමික නිකාය විනාශ කිරීමට අමෙරිකානුවන් සහ වෙනත් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරන බවට ඔහු අනුගාමිකයන් ට ප්‍රකාශ කළා. හදිසි මොහොතක සූදානම් වීමේ අරමුණින් සිටීමේ වැදගත්කම ප්‍රකාශ කරමින් ජනතාව සමූහ සියදිවි නසාගැනීමේ පෙරහුරුවලට පවා යොමු කෙරුණා.

මේ කාලය ඇතුළත තව තවත් පිරිහුණු ජිම් ජෝන්ස් මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වී සිටියා. ජෝන්ස්ටවුන් හි ජීවත් වූ අයට තම අමෙරිකානු ඥාතීන් වෙතට ලිපියක් හෝ යැවීමට ලැබුණේ ඉතාම අඩු අවස්ථාවක්. යවන ලිපි පවා අනිවාර්යයෙන් ම පල්ලියෙන් පරීක්ෂා කෙරුණා. මේ හේතුවෙන් ජිම් ජෝන්ස්ගේ පැරණි අනුගාමිකයන් සහ වත්මන් අනුගාමිකයන් ගේ අමෙරිකාවේ සිටි ඥාති හිත මිත්‍රාදීන් තම සමීපතමයන් ගැන කලබලයට පත්ව සිටියා.

ජෝන්ස්ටවුන් වෙතට පැමිණි ලියෝ රයන් ඇතුළු පිරිස – www.imdb.com

මෙලෙස කලබල වී සිටි පිරිස එවකට කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයා මෙන් ම කොංග්‍රස් සභිකයෙක් ද වූ ලියෝ රයන් ගෙන් තත්ත්වය නිරීක්ෂණය කරන මෙන් ඉල්ලා සිටියා. එයට ප්‍රතිචාර දැක්වූ රයන් වහාම ක්‍රියාත්මක වන පරිදි පියතුමන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් ගයානාව බලා පිටත් වුණා. 1978 නොවැම්බර් මස 17 වනදා මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හා නිරීක්ෂකයන් කිහිප දෙනෙක් ද සමගින් ලියෝ රයන් ගයානාවේ පිහිටි ජෝන්ස්ටවුන් වෙතට පැමිණියා.

සාකච්ඡාව ඛේදවාචකයකට

ගයානාවේ පිහිටි ජෝන්ස්ටවුන් වෙත ළඟාවුණ ලියෝ රයන් සහ ජිම් ජෝන්ස් පියතුමන් අතර නොවැම්බර් 17 වනදා පැවති සාකච්ඡා වටය ඉතා සාර්ථකව අවසන් වුණා. නොවැම්බර් 18 වනදා තවත් සාකච්ඡා වටයක් පැවති අතර එය ද කලබලයකින් තොර ව නිමාව දුටුවා. නමුත් සාකච්ඡාව අවසන් කොට පිටත් වන ලියෝ රයන් අසලට පැමිණි ජෝන්ස්ටවුන් වාසීන් කිහිප දෙනෙක් තමන් ගොවිපොළෙන් රැගෙන යන මෙන් ඉල්ලා සිටියා.

මේ සිදුවීම ජිම් ජෝන්ස් පියතුමන් දැඩි කෝපයට පත් කිරීම ට සමත් වුණා. ඔහු තම ආරක්ෂකයන් සමඟ රයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නෑ. රයන් ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් පිටතට පැමිණයේ අමරිකාව බලා පිටත් වීමේ අරමුණින්. ජිම් ජෝන්ස් පියතුමා ඒ වන විටත් රයන් ඇතුළු පිරිසට පහර දෙන ලෙසට තම ආරක්ෂකයන්ට නියෝග කර තිබුණා.

ලියෝ රයන් සහ මාධ්‍යවේදීන් තිදෙනෙක් ඝාතනය කෙරුණා – www.apnews.com

රයන් ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයට ගුවන් පථයේ දී ම ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයෙන් කොංග්‍රස් සභික ලියෝ රයන් ඇතුළු තවත් මාධ්‍යවේදීන් තිදෙනෙක් ජීව්තක්ෂයට පත් වුණා. එම සිදුවීම අවසන් වෙද්දී විශේෂ විප්ලවීය ක්‍රියාවක් සිදු කිරීම සඳහා ප්‍රධාන පල්ලිය අසලට පැමිණෙන මෙන් ජිම් ජෝන්ස් පියතුමන් එහි සිටි ආරාධනය කළා. එම ආරාධනයට අනුව ජෝන්ස්ටවුන් හි සිටි සියලුම දෙනා ප්‍රධාන පල්ලිය අසලට පැමිණියා.

සමූහ සියදිවි නසාගැනීම

මේ අවස්ථාවේ දී සමූහ සියදිවි නසාගැනීමකට යොමු වන බවට ප්‍රකාශ කළ ජිම් ජෝන්ස් පියතුමා එයට අවශ්‍ය කටයුතු සූදානම් කළා. ප්‍රථමයෙන් ම ජෝන්ස්ටවුන් හි සිටි කුඩා ළමයින්ට ඔවුන්ගේ මවුපියන් සහ හෙදියන් සයනයිඩ් මිශ්‍ර පළලතුරු යුෂ පානය කිරීමට ලබා දුන්නා. ඉන් අනතුරුව වැඩිහිටි උදවිය ද සයනයිඩ් එන්නත් කර ගැනීමට හෝ පානය කිරීමට කටයුතු කළා. මේ සමස්ත සිදුවීම ම ගොවිපොළේ සිටි ආරක්ෂකයන් නිරීක්ෂණය කළ අතර පලා යන්නට උත්සාහ කළ තැනැත්තන් වෙඩි තබා ඝාතනය කෙරුණා.

සයනයිඩ් භාවිත කළ සිරින්ජ සහ මිශ්‍ර කළ පාන – www.history.com

මෙම සිදුවීමෙන් දිනකට පසුව ගයානා ආරක්ෂක හමුදාව ජෝන්ස්ටවුන් වෙතට ළඟා වුණා. ඔවුන් දුටුවේ තැන තැන විසිර තිබූ මළ සිරුරු රාශියක්. මෙම සියදිවි නසා ගැනීමට විරෝධය පළ කර අසල වනයට පැන ගත් කිහිප දෙනෙක් දිවි බේරා ගැනීමට සමත් වී සිටියා. සමූහ සියදිවි නසා ගැනීමෙන් පමණක් පුද්ගලයන් 909 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබුණා. ඒ අතරින් 276 ක් ම කුඩා දරුවන් වීම සමස්ථ ලෝකයම කම්පාවට පත් කළා.

සමස්ත සිදුවීමෙන් 918 දෙනෙක් මරණයට

ජිම් ජෝන්ස් පියතුමන් ගේ සිරුර ද ඒ අසල වැටී තිබුණා. ඔහුගේ පපුවට වෙඩි තබා තිබුණ අතර ශරීරයේ සයනයිඩ් අන්තර්ගතව තිබූ බවට ද පශ්චාත් මරණ පරීක්ෂණය හෙළි කළා. සමස්ත සිදුවීමෙන් එදින 918 දෙනෙක් මරණයට පත් වූ බව වාර්තා වනවා. 2001 සැප්තැම්බර් මස 11 වනදා ලෝක වෙළඳ මධ්‍යස්ථානය ට එල්ල වූ අල් කයිඩා ප්‍රහාරය වන තෙක්ම අමරිකා ඉතිහාසයේ සිදුවූ විශාලත ම සිවිල් ජන සංහාරය වශයෙන් මෙය ඉතිහාසගත වී තිබුණා.

ඉහත සියදිවි නසාගැනීම සඳහා වැය වී තිබුණේ විනාඩි 45 ක තරම් කෙටි කාලයක්. එකී කාලය තුළදී ප්‍රජාව අමතමින් කතා කිරීමට ද ජිම් ජෝන්ස් පියතුමා කටයුතු කළා. එම කතාව සම්පුර්ණයෙන් ම පටිගත කෙරුණ අතර පසුව එය සොයා ගැනීමට FBI නිලධාරීන් සමත් වුණා. මරණයේ හඬ පටය (Death Tape) ලෙසින් එය ලොව පුරා ම ජනප්‍රිය වූ අතර අදටත් ඔබට මේ සමූහ සියදිවි නසාගැනීම සිදුවන අවස්ථාවේ ජිම් ජෝන්ස් පියතුමන් සිදු කළ කතාව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කළ හැකි යි.

ඛේදවාචකයෙන් අනතුරුව ජෝන්ස්ටවුන් දකින්නට ලැබුණු ආකාරය – www.gravereviews.com

ආගමික නිකායක් පෙරටු කර ගෙන තම මානසික ව්‍යාධියක් ඔස්සේ ගමන් කළ පුද්ගලයෙක් සිදු කළ මෙම සිදුවීම අදටත් ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලත ම ඛේදවාචකයක් ලෙසින් ඉතිහාසගත වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - ජිම් ජෝන්ස්ගේ ජෝන්ස්ටවුන් හි ඛේදවාචකයේ සමරු සිහිවටනය- wikimedia.org
මූලාශ්‍ර :
www.theguardian.com
www.abcnews.com
www.rollingstone.com
www.history.com

Related Articles