Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරියාවේ යුද්ධය වෙනස් කරන කුර්දි විරෝධී තුර්කි මෙහෙයුම

පසුගිය දා සිරියාවේ ඊසානදිග ප්‍රදේශයන් වෙත එල්ල වූ තුර්කි ප්‍රහාර හේතුවෙන් සිරියානු සිවිල් යුද්ධයෙහි තවත් වෙනස්කම් සිදු වුණා. එක් අතකින් තුර්කිය වෙත ජාත්‍යන්තර බලපෑම් වර්ධනය වෙද්දී අනෙක් අතින් සිරියානු රජය සහ කුර්දීන් අතර එකඟත්වයක් නිර්මාණය වීම සැලකිය යුතු විපර්යාසයක් ලෙස සැලකිය හැකියි.

තුර්කිය විසින් ඊසානදිග සිරියාවේ තුර්කි – සිරියා දේශසීමා ප්‍රදේශය වෙත පහර දීම අරඹන ලද්දේ ඔක්තෝබර් 9 වන දා යි. සිය දේශසීමාවෙන් කිලෝමීටර් 30 ක සුරක්ෂිත ප්‍රදේශයක් පිහිටුවා ගැනීම තම අපේක්ෂාව බව තුර්කීන් සඳහන් කරනවා. තුර්කිය සඳහන් කරන්නේ සිරියානු ප්‍රජාතන්තවාදී බලකා (SDF) සංවිධානය සිය දේශසීමාව ආසන්න ප්‍රදේශයන් පාලනය කිරීම තමන්ට තර්ජනයක් බව යි.

තුර්කියෙහි ක්‍රියාත්මක කුර්දි විමුක්ති සංවිධානයක් වන කුර්දිස්ථාන කම්කරු පක්ෂය (PKK) සමග SDF සංවිධානයට සමීප සබඳතාවයක් ඇති බවට චෝදනා කරන තුර්කි රජය එකී කරුණ හේතුවෙන් තම රටට SDF සංවිධානය තර්ජනයක් බව කියා සිටිනවා.

මෙම තර්කය මත, 2018 ජනවාරියේ දී තුර්කි හමුදා සිරියාවේ වයඹදිග අෆ්‍රින් ප්‍රදේශය වෙත ද ප්‍රහාර එල්ල කළා. අෆ්‍රින් දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම තුර්කි හමුදා සහ ඔවුනට හිතවත් සිරියානු සන්නද්ධ කණ්ඩායම් අතට පත් වුණා.

කියවන්න​: සිරියාවේ යුද්ධය සංකීර්ණ කරන තුර්කි ක්‍රියාන්විතය

අෆ්‍රින් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිරියාවේ ISIS සංවිධානයට අයත් පාලන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අල්ලාගෙන තිබුණේ නැහැ. එහෙයින් SDF සංවිධානය නැගෙනහිර සිරියාවෙහි ත්‍රස්තවාදීන් සමග සටන් කරමින් සිටියා. නමුත් මේ වනවිට ISIS සංවිධානයට අයත් වූ ප්‍රදේශයන් මුදාගෙන අවසන්. එම සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කර නැති වුණත් ඔවුන් අතේ කිසිදු පාලන ප්‍රදේශයක් පවතින්නේ නැහැ.

ඇමරිකානු සහ බටහිර ස්ථාවරය

මෙම සිද්ධියේ දී ඇමරිකානු ස්ථාවරය ආන්දෝලනාත්මක එකක් වුණා. ඔක්තෝබර් 6 වන දා ඇමරිකානු හමුදා ඊසානදිග සිරියාවෙන් ඉවත් කරගන්නා බව එම රට කියා සිටියා. ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සඳහන් කළේ ප්‍රතිවිරුද්ධ හමුදා දෙකක ගැටුමකට ඇමරිකානු සෙබළුන් මැදි විය හැකි හෙයින් ඔවුන් ඉවත් කරගන්නා බව යි. නමුත් මෙම ස්ථාවරය දැඩි විවේචනයට බඳුන්ව තිබෙනවා. SDF සංවිධානයෙන් තමන්ට අවශ්‍ය දේ කරගෙන පසුව ඔවුන් අතැර දැමූ බවට ඇමරිකාව වෙත චෝදනා එල්ල වනවා.

තුර්කි පොලිස් මුර රථයක් දේශසීමාවේදී (AP)

මෙම චෝදනා හේතුවෙන්ම දෝ තුර්කියට එරෙහිව සම්බාධක පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළා. පසුව, තුර්කියට එරෙහි සම්බාධක පැනවීම සහ වෙළෙඳ සබඳතා අත් හිටුවීම පිළිබඳ පියවරයන් ගැනීමට තමන් යොමු වන බව ඇමරිකාව කියා සිටියා.

මේ අතර ජර්මනිය සහ ප්‍රංශය තුර්කිය වෙත යුධ අවි වෙළෙඳාම නවතා දමන බව නිවේදනය කළා. ජර්මන් යුධ ටැංකි තුර්කි හමුදාවේ වැදගත් කොටසක් වන අතර 2018 අෆ්‍රින් මෙහෙයුම් අතරතුර ද තුර්කියට යුධ අවි වෙළෙඳාම් කිරීම නවතා දමන ලෙස ජර්මනියෙන් ඉල්ලීම් කෙරුණා. එහෙත් එම අවස්ථාවේ ජර්මනිය එම ඉල්ලීම් අනුව කටයුතු කළේ නැහැ. කෙසේ වෙතත්, තුර්කි ජනාධිපති රචෙප් තයෙප් එර්දොවාන් නිරන්තරයෙන් ජර්මනිය සමග ගැටුම් ඇති කරගන්නා අයකු ද වනවා.

ජර්මනියටත්, තුර්කියටත් ඒ ඒ රටවල දේශපාලනය වැදගත් වන්නේ සැලකිය යුතු තුර්කීන් ප්‍රමාණයක් ජර්මනියේ ජීවත් වන නිසා යි. එමෙන්ම සැලකිය යුතු කුර්දි ජනගහනයක් ද ඇතැම් යුරෝපා රටවල ජීවත් වනවා.

සිරියානු රජයේ ස්ථාවරය

සිරියාවේ සිවිල් යුද්ධය ඇරඹුණ මුල් කාලයේ පටන් බෂාර් අල්-අසාද් රජයට එරෙහි කණ්ඩායමක් ලෙස කුර්දි සහ අරාබි ජනයාගේ සන්ධානයක් වන SDF සංවිධානය මතු වුණා. ඔවුන් පහසුවෙන්ම තුර්කි දේශසීමාව ඔස්සේ වන කුර්දි ප්‍රදේශ තමන් අතට ගත්තා. ඩමස්කස් අගනුවරට සමීප විවිධ සන්නද්ධ කණ්ඩායම් සිටියෙන්, රජයේ හමුදාවන්ට ඔවුන් සමග සටන් වැදීමට හැකියාවක් වූයේ නැහැ.

SDF සංවිධානයට තර්ජනයක් මතු වූයේ ISIS සංවිධානය සිරියාවේ ශක්තිමත් වීම සමග යි. කුර්දීන්ව ඉස්ලාමීය අන්තවාදීන් විසින් සලකනු ලබන්නේ ද්‍රෝහීන් ලෙස යි. මේ අනුව ISIS සංවිධානයේ තර්ජනයට SDF සංවිධානය මුහුණ දුන්නා. කෙසේ වෙතත් ඔවුන් මෙහිදී සැලකිය යුතු සාර්ථකත්වයක් දිනා ගත්තා.

තුර්කි මෙහෙයුමේ අරමුණු (The Straits Times)

මෙම යුද්ධය අතරතුර ඇමරිකානු විශේෂ බලකා සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශ වෙත එවනු ලැබුණා. සිරියානු රජය ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා. රජය කියා සිටියේ පාලනය යටතේ පවතින්නේ ද සිරියානු ස්වෛරී බිම් ප්‍රදේශයේ කොටසක් බැවින් එම ප්‍රදේශයන්ට රජයේ අවසර නොමැතිව විදෙස් හමුදා පැමිණීම​ නීති විරෝධී බවයි.

මෙම තර්කය මතම, තුර්කිය විසින් සිරියාවට හමුදා එවීම සිරියානු රජයේ අප්‍රසාදයට හේතු වුණා. ඒ පිළිබඳ තමන් පියවරක් ගන්නා බව සිරියානු රජය කියා සිටියා. මෙහි ප්‍රතිඵලය වූයේ රජය සහ SDF සංවිධානය අතර එකඟත්වයක් ඇති වීමයි. ඒ අනුව දේශසීමා ප්‍රදේශයට සිරියානු හමුදා එවන බවට ප්‍රකාශ කෙරුණා.

ISIS සංවිධානය සමග සටන් වදින සමයෙහි රජයේ හමුදා සහ SDF සංවිධානය අතර අප්‍රකාශිත එකඟත්වයක් තිබුණා. ඒ අනුව ඔවුන් තම එදිරිවාදිකම් මදකට පසෙක ලා පොදු සතුරා පරාජය කිරීමට කටයුතු කළා. මෙහිදී SDF වෙත ඇමරිකාවේ ද සිරියානු රජයට රුසියාවේ ද සහය ලැබුණා. එකල මෙම දෙපිරිස සැලකුණේ සිරියාව තුළ තම තමන්ගේ බලපෑම සඳහා ද තරග කරන දෙපිරිසක් ලෙසයි.

නමුත් වර්තමාන තත්ත්වය කෙසේ දිගහැරේ ද යන්න තවමත් අපැහැදිලියි. තුර්කි සහ සිරියානු හමුදා අතර ඍජු ගැටුම් ඇතිවීමේ තර්ජනය ද මෙහිදී පවතින හෙයින් සිරියාවේ යුද්ධය තවත් සංකීර්ණ වනු ඇතැයි සිතිය හැකියි.

Cover Image: තුර්කි හමුදා සිරියාව වෙත කඩා වදී (Getty Images)

Related Articles