ඕනෑම දුරකතනයකට AI ඡායාරූප ලබාගන්නට Apps

මෑතකදී ආ ඉදිරි පෙළ දුරකතන බොහොමයක කෘත්‍රීම බුද්ධිමය සහාය දකින්නට ලැබුණා. නමුත් ඒවායේ මිල ඉහළ බව නිසාම ඔබ එවැන්නකින් ලැබිය හැකි පහසුකම් ගැන සිතමින් ලතැවෙන්නට ඇති. හැබැයි, ඕනම දුරකතනයකට AIවලින් වැඩ පෙන්වන්නට බැරි නැහැ. ඒ සඳහා තෙවන පාර්ශවීය ඇප්ස්වල සහාය ලබා ගන්නට සිදුවෙනවා.

නව දුරකතනවල ඇති කෘත්‍රීම බුද්ධිමය සහාය

NPU එකක් සහිත Kirin ප්‍රොසෙසරය (kinja-img.com)

නූතන දුරකතන බොහොමයක නිෂ්පාදන සමාගම් විසින් ස්වාධීනව ක්‍රියා කළ හැකි කෘත්‍රීම බුද්ධිමය කොටස් ප්‍රොසෙසරය තුළ ඇතුළත් කළා.‍ Neural Processing Unit හෙවත් NPU ලෙස මේවා හඳුන්වනවා. එහි ඇති විශේෂත්වය වන්නේ හුදෙක් ඡායාරූපයට අදාල සැකසුම් හඳුනාගැනීමටත් වඩා ඡායාරූපයේ ඇත්තේ කුමක් ද, මුහුණ සංකීර්ණව හඳුනාගැනීම ආදී දේ යි. DSLR කැමරාවල පවා එකල පටන්ම Scene recognition ලෙස ඡායාරූපයට අදාල සැකසුම් ලබාදෙන විශේෂාංගයන් තිබුණු නමුත් AIවලින් ඊට වඩා අවබෝධාත්මක දියුණුවක් කැමරාව ලබා ගන්නවා.

Google Photos වැනි සේවාවක් සැලකුවහොත්, ඔවුන් මුහුණ අනුව ඡායාරූපය වර්ගීකරණය කිරීම, ඡායාරූපයේ ඇති දෙයක් Search කළ විට එයට අදාල ඡායාරූප සොයා දීම වැනි දේවල් දකින්නට හැකි වෙනවා. මේවා අන්තර්ජාල සර්වර් මත කරන ලද Processing භාවිතයෙන් සිදුවන ‍ඒවායි. දුරකතනවලට දැන් යොදන NPU වැනි දෘඪාංග කොටස් නිසා එවන් බාහිර සර්වරයක් මත යැපෙන්නේ නැතිව ස්වාධීනව සහ Real-time කෘත්‍රීම බුද්ධිමය හැකියාවන් දක්වන්නට උපාංගවලට අවස්ථාව උදාවී තිබෙනවා. Pixel දුරකතන Portrait ඡායාරූප සඳහා පසුපස බොඳ කිරීම් තනි කැමරාවෙන් සිදු කළේ එය සතු හොඳ ඇල්ගොරිතම නිසායි.

අනෙකුත් දුරකතනවලටත් මෙවන් විශේෂාංග අත්හදා බලන්නට පුළුවන්. මේ සඳහා සකසන ලද තෙවන පාර්ශවීය Apps රැසක් සොයාගත හැකියි. නමුත් මේවාට අවශ්‍ය ඉහළ Processing බලය නිසා ඇතැම් දුරකතනවල Slow වන බව සඳහන් කළ යුතු යි.

S Pro Camera

Videoවලට පවා Beauty mode එකක් (Google Play Store)

නූතන දුරකතනවල ඇති විශේෂාංග බොහොමයක් ගෙන එන මේ App එක ස්ත්‍රී පුරුෂ බව මෙන්ම වයස පවා අනුමාන කරමින් වඩාත් ගැලපෙන සැකසුම් ඇතුළත් කරනවා. Scene detection යටතේ Portrait, කෑම හා පලතුරු, හිරු උදාව, වාහන, සතුන්, මල් ඇතුළු අවස්ථාවන් 16ක් හඳුනාගන්නවා. වීඩියෝවල පවා වීඩියෝ කරන අතරතුරේ දීම Face beauty එක් කළ හැකි වීම විශේෂත්වයක්. ඡායාරූපය ගැනීමේ දී ඔබට ගැනීමට අවශ්‍ය object එක මත ටැප් කළාම එය හඳුනාගනිමින් ඊට අදාලව ඡායාරූපය හැඩගන්වන්නට එය කටයුතු කරනවා. හඳුනාගන්නා ලද අවස්ථාවන්හි දී ඉහළින් දක්වන අයිකනයෙන් ඒ බව අපට දැනුම් දෙනවා‍. GIF සැකසීමට මෙන්ම motion ඡායාරූප, Stickers ආදියෙන් ද ඡායාරූප හැඩ කරගත හැකියි. Beauty mode එක නොමැති දුරකතන සහිත අයට ඒ පහසුකම ද මින් ලබන්නට පුළුවන්. බාගත කිරීමට වැයවන්නේ මෙගාබයිට් 55 යි.

බාගන්න: S Pro Camera

Motion Stills

ෆේස්බුක් සතු කැමරාවට මඳක් සමාන නමුත් ඊට වඩා සංකීර්ණ AR හැකියාවන් ද සහිත මෙය පිටසක්වල ජීවීන්, ඩයිනෝසරයන් වැනි සතුන් අපේ ඇඟමත හෝ මේසය මත තබා නව ඡායාරූපමය නිර්මාණ කරන්නට අවස්ථාව සලසනවා. Google Research වෙතින් එන මෙය පර්යේෂණ මට්ටමෙන් අපූරු විශේෂාංග දුරකතනයට ගෙන එනවා. Instagram වැනි සේවාවන් පළ කළ හැකි වීඩියෝ කාල ප්‍රමාණය සීමා කරනවා. Post එකක් සඳහා විනාඩියක් සහ Status එකකට ලැබෙන්නේ තත්පර 15 යි. මෙවන් අවස්ථාවන්හි දී අපගත් දිගු වීඩියෝ පළ කරන්නට අපහසු වෙනවා. Motion Stills සතුව ඇති Fast Forward විශේෂාංගය මෙවන් ගැටළු විසඳා දෙනවා. කුඩා වීඩියෝ කොටස් එකතු කරමින් නව වීඩියෝ සැකසීම, GIF සැකසීම ආදී විශේෂාංග රැසක් සහිත මෙය බාගැනීමට වැය වන්නේ මෙගාබයිට් 13ක් පමණ යි.

බාගන්න: Motion Stills

Selfissimo!

හැරෙන හැරෙන අතට වදින සෙල්ෆි (Google Play Store)

Photoshoot එකකට ගියාම වෙන්නේ මොකක්ද දන්නවා ද? Pose කරන්න කියලා කැමරාකරු ලොකු එළියක් විහිදුවනවා. නායිස් ෂොට්! කියලා තව pose එකකට ඉන්න කියනවා. මෙන්න මේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව තමන්ට තනිවම කරගන්න අවස්ථාව ලබාදෙන්නට Selfissimo ඉදිරිපත් වෙනවා. Google Research වෙතින්ම එන මෙය කැමරාව විවෘත කර, අප විවිධ Pose (ඉරියව්) දක්වද්දී Shutter බොත්තම ක්ලික් නොකරම ඡායාරූපය ලබා ගන්නවා.

චලනයන් අවසන් කර නිසල වූ විට එයට අපේ ඉරියව් වෙනස් වූ බව අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. සාමාන්‍ය කැමරාවෙන් මෙලෙස කරද්දී Shutter button එක ටැප් කරද්දී අපේ Pose එකත් අවුල් වෙනවා. මෙහි ඒ ගැන නොසිතා ඔබට තිරයෙන් බලාගෙන හොඳ විධි කීපයකට ස්වයංක්‍රීයවම ඡායාරූප ගන්නට අවස්ථාව ලැබෙනවා. මෙතැන් පටන් සෙල්ෆි ගන්නට බාත්රූම් එකේ වැඩි කාලයක් වැය කළ යුතු නැහැ. ගියා – Pose කීපයකට හිටියා – ආවා. ඡායාරූප ගැනීම ඇරඹීමට සහ අවසන් කිරීමට ටැප් දෙකක් පමණයි සම්පූර්ණ කර්තව්‍යයට ම අවශ්‍ය වන්නේ.

බාගන්න: Selfissimo!

Picai

පින්තූරයක් Online දාන්න කලින් Filter එකක් තෝරාගන්න එක තරම් අමාරු දෙයක් තවත් නැහැ. දෙන ලද ඡායාරූපයකට වඩාත් හොඳ Filters දෙකක් තෝරා දෙන Picai ඒවා අතර ඡායාරූපයේ ඇති වෙනස්කම් Slide කරමින් බලන්නට අවස්ථාව දෙනවා. එවිට අප වඩාත් ම කැමති එක පහසුවෙන්ම තෝරාගන්නට හැකි වෙනවා. එය සතු Filters 100කටත් අධික ප්‍රමාණයක් අතුරින් තෝරාගෙන යෝජනා කරනු ලබන මෙම Filters දෙක ඡායාරූපයට වඩාත්ම ගැලපෙන බවට කෘත්‍රීම බුද්ධිය මඟින් තෝරාදෙනු ලබන ඒවා යි. ඡායාරූප ගැනීම සඳහා ද මෙහි Scene recognition සහිත කැමරාවක් තිබෙනවා. එය ද ඔබ ගැනීමට සූදානම් වන අවස්ථාව හඳුනාගනිමින් වැඩි පහසුවක් ලබා දෙනවා. ෆිල්ටර් තෝරාගැනීමේ දී ද ඡායාරූපය සතු දේවල් හඳුනාගැනීම මෙහි ඇති විශේෂත්වයක් වන අතර, Process කිරීම අන්තර්ජාලය හරහා ඔවුන්ගේ සර්වරයකින් කිරීම දුරකතනයට යෙදෙන බරපැණ අවම කරලනවා.

බාගන්න: Picai

කවරය: ytimg.com

Related Articles

Exit mobile version