Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘වින්ඩෝස් 11’ට ගෙට එන්න කවුළු පියන්පත් අරින්න

ලෝකයේ සතර කොන යා කරමින් විද්‍යාව හා තාක්ෂණය අධිවේගී වෙනස්කම්වලට භාජනය වෙමින් වර්ධනය වන බව නොරහසක්. තාක්ෂණයෙහි දියුණුව නිසාම මෙවැනි ගෝලීය වසංගත කාලවකවානුවක ලොව පුරා සෑම රටකටම පාහේ සිය දෛනික වැඩ කටයුතු අතපසු වීමකින් තොරව සිදුකර ගැනීමේ ඉඩකඩ හිමි වුණා. කොවිඩ් වසංගතය පැතිරීමට පෙර පැවති සාමාන්‍ය ජීවන තත්ත්වයටත් වඩා නව සාමාන්‍ය (New Normal) ජීවන තත්ත්වය යටතේ පරිගණකය හා මිනිසා අතර ඇති සහසම්බන්ධතාව ඉතා දැඩි වූවක් බවට පත්වුණා. එවන් පසුබිමක මයික්‍රොසොෆ්ට් ආයතනය “වින්ඩෝස් 11 (Windows 11)” නව මෙහෙයුම් පද්ධතිය සිය පරිශීලකයන් වෙත පසුගිය 24 වැනි දින (ජූනි 24) හඳුන්වා දුන්නා.

මයික්‍රොසොෆ්ට් ආයතනය 2013 අගෝස්තු 27 දින සිය පාරිභෝගිකයන්ට වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නත් තාක්ෂණික දෝෂ සහ අතුරු මුහුණත් පිළිබඳව වින්ඩෝස් 8.1 පරිශීලකයන්ගේ අප්‍රසාදය පළවූවා. ඒ සමඟ මයික්‍රොසොෆ්ට් ආයතනය 2015 ජූලි මස 29 වැනි දින වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතිය සිය පාරිභෝගිකයන් හට තිළිණ කළා. වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධති දෙකේම සංකලනයක් ලෙස එළිදැක්වුණු වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පරිශීලකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක් වීම හේතුවෙන් නව යාවත්කාලීන කිරීම් සමඟ මේ දක්වා භාවිතයට ගැනුණා. පුරා වසර 6ක් සාර්ථකව පැමිණි වින්ඩෝස් 10 ගමන් මඟ වෙනස් කරමින් හඳුන්වාදුන් නව ‘වින්ඩෝස් 11’ මෙහෙයුම් පද්ධතිය සතු සුවිශේෂි ගුණාංග පිළිබඳ හඳුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වෙනු ඇති.

නව Snap Layouts පහසුකම – blogs.windows.com

 

වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමට හේතු

2019 වසරේදි පැතිර ගිය කොරෝනා වෛරස වසංගතය සමඟ මිනිස් ජීවිත සීමාසහිත රාමුවකට කොටු වීම සිදුවුණා. මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගිය මාස 18ක කාලයක් පුරාවට මෙම වසංගත තත්වය යටතේ ලෝක ප්‍රජාව තාක්ෂණය සමඟ මුසුව ක්‍රියාත්මක වන ආකාරය සමීපව නිරීක්ෂණය කර තිබුණා. ඒ හරහා ඔවුන් ඉතා වැදගත් කරුණු ගණනාවක් හඳුනාගෙන තිබුණා. ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඔබ භාවිත කරන පරිගණකය තවදුරටත් හුදෙක් සරල රැස්වීම් පැවැත්වීමට යොදාගන්නා, අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතයට ගන්නා හෝ යම් ක්‍රියාවක් අවසන් කිරීමට යොදා ගන්නා උපකරණයක් පමණක් නොවන බවයි. එය යහළුවන් සමඟ විනෝද ක්‍රීඩා පවත්වන, අඛණ්ඩව ටෙලි-සිනමා සිත්තම් නරඹන, එකිනෙකා සමඟ නොනවත්වා පිළිසඳරෙහි යෙදෙන, එදිනෙදා අතිශය සාමාන්‍ය ක්‍රියාකාරකම් සජීවීව පවත්වාගැනීමට අත්‍යාවශ්‍ය ජීවිතාංගයක් බවට පත් වී තිබෙන බවයි. මේ හේතුව නිසාම නව සාමාන්‍යයට පෙර පැවති සාමාන්‍ය ජීවන රටාව ඩිජිටල් අවකාශය හරහා මිනිසා වෙත සමීප කරමින්, කාර්යාලීය විහිළු තහළු, සුහද සාකච්ඡා, කායවර්ධන ක්‍රියාදාම, නිවාඩු සැමරීම් වැනි දෑ නැවත ඔවුන් වෙත සමීප කිරීමේ අරමුණ පෙරදැරිව වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදුන් බව ඔවුන් පවසා තිබෙනවා. ඒ හරහා ඔවුන්, ඔබ සිටින තැන කොතැන වූවත් ඔබට හුරුපුරුදු වටපිටාව, ඔබට හුරුපුරුදු කියාදාම, ඔබගේ අධ්‍යාපනික රටාව, ක්‍රිඩා, සුහද හමුවීම් සියල්ල ඔබට නැවත සමීප කිරීම අරමුණ කර තිබෙනවා.

නව මෙහෙයුම් පද්ධතියෙහි අරමුණු

මෙම නව සංස්කරණය හරහා ඔවුන් ඔබගේ පලදායීතාව සහ නිර්මාණශීලීත්වය නව මානයක් වෙත යොමු කිරීමට බලාපොරොත්තුව වනවා. ඔබ පරිගණකයේ පාලනයට යටත්ව ක්‍රියාත්මක වනවාට වඩා, පරිගණකය ඔබේ යටතේ ඔබට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වන උපාංගයක් ලෙස හැසිරවීමට භාවිතයේ පහසුව ඉහළ නංවා තිබෙනවා. එම ක්‍රියාවලිය වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය නව Widgets, Translucent Windows, සහ Window Snapping ක්‍රමවේද මෙහිදී හඳුන්වා දී තිබෙනවා. නව මුහුණුවරකින් යුතු Start button, taskbar මෙන්ම නව්‍යත්වය දනවන හඬ, අකුරු වර්ග, අයිකන (icon) ඔබේ පාලනය යටතේ ඔබට පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිමවා තිබෙනවා. ආරම්භක මෙනුව (Start Menu) තිරය මැදින් දිස්වීමට කටයුතු කර ඇති අතර, ඒ හරහා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව ඉහළ නංවා තිබෙනවා. Cloud තාක්ෂණය සහ මයික්‍රොසොෆ්ට් 365 යෙදවුම මඟින් ඔබ මීට පෙර ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS හරහා භාවිත කළ ගොනු (File) පහසුවෙන් භාවිතයට ගැනීමේ හැකියාව පවතිනවා. එකවර අතුරු මුහුණත් කිහිපයක වැඩ කිරීමේ පහසුකම ද වින්ඩෝස් 11 හරහා වඩා ආකර්ෂණීය සහ භාවිතයට පහසු ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මඟින් Desktop අතුරු මුහුණත් සහ Snap Application කිහිපයක් ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමත් පහසුවෙන් ඒවා අතර හුවමාරු වී ක්‍රියාත්මක වීමටත් අවකාශය සකසා දී තිබෙනවා.

Snap Layouts පහසුකම හරහා වින්ඩෝස් කිහිපයක එකවර වැඩ කිරීමේ පහසුව ලබා දී තිබේ – blogs.windows.com

ඔබ ලැප්ටොප් පරිගණකයක් භාවිතයට ගන්නා විට වෙනත් පරිගණක තිරයක් භාවිත කොට වින්ඩෝස් කීපකය වැඩ එකවර සිදු කරන්නේ නම් වින්ඩෝස් 11 ඊට කදිම පහසුකමක් සපයා දී තිබෙනවා. සාමාන්‍යයෙන් ඔබ අමතර පරිගණක තිරය ලැප්ටොප් පරිගණකයෙන් ගලවා ඉවත් කළ පසු ඉතිරි වන පරිගණක තිරය මත ව්‍යාකූල පරිගණක තිර කිහිපයක් දිස් විය හැකියි. ඔබ නැවත අමතර තිරය සවි කළ පසු නැවත නැවත මුල සිට වෙන් කිරීම සිදු කළ යුතු වෙනවා. නමුත් වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය මඟින් ඔබ අමතර තිරය ගලවා දැමුවත් එම තිරය පරිගණක මතකයෙහි රඳවා තබාගෙන නැවත අමතර තිරය සවි කළ පසු කිසිඳු ගැටලුවකින් තොරව පෙර වතාවේ වැඩ අවසන් කළ ස්ථානයේ සිට වැඩ කිරීමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුළ ඔබට තිරය බෙදා වැඩ කිරීමට අවශ්‍ය නම් ඔබට එකවර තිරය වෙන් කර ගත හැක්කේ කොටස් දෙකකට පමණයි. නව වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය තුළ පවතින Snap Groups හරහා ඔබට ඔබේ පරිගණක තිරය කොටස් කිහිපයකට බෙදා එකවර භාවිතයට ගත හැකියි. Translucent Windows හරහා පෙර පැවති පාරභාසී (අර්ධ විනිවිද පෙනෙන) Windows නැවත වතාවක් හඳුන්වා දී තිබෙනවා. එය වඩා අලංකාරවත්ව සහ පෙර පැවති දුර්වලතා මඟහරවා නිර්මාණය කර ඇති බව සඳහන්. පරිගණකයක Touch Screen භාවිතය බොහෝ දෙනෙකුට ගැටලු ඇති කරන්නේ Touch කිරීමේදී ඔබට අවශ්‍ය ස්ථානය නිවැරැදිව Touch කර අවශ්‍ය කාරණාව නිසි පරිදි කීරිමට නොහැකි වීම නිසායි. මේ කාරණාව සැලකිල්ලට ගනිමින් වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය හරහා වඩා පහසුවෙන් Touch Screen භාවිතය සඳහා අවශ්‍ය තාක්ෂණික නිවැරදි කිරීම් සිදුකර තිබෙනවා.

සමීපතමයන් සමඟ වේගයෙන් සම්බන්ධ වීමේ හැකියාව

ඩිජිටල් ලෝකය තුළ ඔබ වඩා ප්‍රිය කරන සමීපතමයන් ඔබේ ඇසුරෙහි තබා ගැනීමට වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය පහසුකම් සපයා දී තිබෙනවා. ඔබ ලෝකයේ කොතැනක ජීවත් වුණත් වින්ඩෝස් Chat සේවාව හරහා ඔබට ඔබේ සමීපතමයන් ඔබ අසලින්ම තබා ගැනීමට මේ හරහා ඉඩහසර සැකසෙනවා. මයික්‍රොසොෆ්ට් ටීම් (Microsoft Team) අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙම Chat සේවාව හරහා කෙටි පණිවිඩ, හඬ හෝ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට පහසුව සලසා දී තිබෙනවා. වඩා වැදගත්ම කාරණාව නම්, ඔබේ සමීපතමයන් වින්ඩෝස්, iOS හෝ ඇන්ඩ්‍රොයිඩ් යන කුමන මාදිලිය භාවිත කළ ද වින්ඩෝස් 11 තුළ එම ඕනෑම සේවාවක් හා නම්‍යශීලීව ගනුදෙනු කිරීමේ හැකියාව පැවතීමයි. මයික්‍රොසොෆ්ට් ටීම් මෘදුකාංගය වින්ඩෝස් Taskbarහි ස්ථාපනය කර ඇති බැවින් ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් ඊට සම්බන්ධ වී කටයුතු කළ හැකියි.

මයික්‍රොසොෆ්ට් ටීම් හරහා අඛණ්ඩව ඔබේ සමීපතමයන් සමඟ රැඳී සිටීමට අවකාශය සලසා තිබේ – blogs.windows.com

පරිගණක ක්‍රීඩා සඳහා පුළුල් අවකාශයක්

ඔබ පරිගණකය ක්‍රීඩා කරන්නෙකු නම් වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය ඔබේ සිහින යථාර්ථයක් කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී තිබෙනවා. Xbox’s Features භාවිතය මඟින් මෙතෙක් පැවති සීමා බාධක බිඳ හෙළමින් පරිගණකයෙහි සියලුම System Hardware උපරිම ආකාරයෙන් භාවිතයට ගැනීමට මෙහිදී අවකාශය ලැබී තිබෙනවා. ඒ අනුව Direct Storage API භාවිතය මඟින් පරිගණකය ක්‍රිඩා GPU Memory වෙත ඍජුවම ස්ථාපනය කිරීම මඟින් පරිගණක ක්‍රීඩා Load Time අවම කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතා නවීන පරිගණක ක්‍රීඩා තාක්ෂණයන් වන DirectX, 12 Ultimate වැනි තාක්ෂණ ක්‍රමෝපායයන් හරහා High Graphics, High Frame Ratesහි සීමා පුළුල් කර තිබෙනවා.Auto HDR, Vivid Colors හරහා සජීවි පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ඔබට විඳගැනීමේ හැකියාව පවතිනවා. Xbox app හරහා xCloud technology භාවිතයෙන් Microsoft Servers තුළ හිඳ පරිගණක ක්‍රීඩා කිරීමේ පහසුව සලසා තිබීම හේතුවෙන්, අවම පරිගණක පහසුකම් යටතේ ඉතා ඉහළ මට්ටමේ පරිගණක ක්‍රීඩා කිරීමට ද අවකාශය සැලසෙනවා.

 පරිගණක ක්‍රීඩා සඳහා වඩා යථාර්තවාදී මුහුණුවරක් – blogs.windows.com

තොරතුරු ඔබ වෙත සමීප කිරීමට වේගවත් ක්‍රමවේදයක්

වින්ඩෝස් 11 හරහා නැවත වරක් Widgets පහසුකම හඳුන්වා දී තිබෙනවා. ඒ හරහා ඔබට අත්‍යාවශ්‍ය Widgets ඔබට අවශ්‍ය ආකාරයට පෙළගස්වා ගැනීමේ හැකියාව ද උදා වී තිබෙනවා. මෙම Widgets මයික්‍රොසොෆ්ට් එජ් (Microsoft Edge) Web Browser අනුසාරයෙන් නිර්මාණය කර ඇති අතර නවතම කෘතීම බුද්ධියක් සමඟ සවිබල ගන්වා තිබෙනවා. ලොව වටා පුවත්, කාලගුණ වාර්තා, To do list, Traffic, කැලැන්ඩර් වැනි බොහෝ දේ ඔබට පහසුවෙන් පරිහරණය කළ හැකි වන පරිදි Taskbarහි ස්ථාපනය කර තිබෙනවා. මෙම පහසුකම ඔබට ඔබගේ ප්‍රධාන අතුරු මුහුණත මතම දිගහැර ගැනීමට හැකියාව පවතිනවා. ඉන් ඔබ සිදුකරන අනෙකුත් කිසිදු කටයුත්තක් වෙත බලපෑමක් ඇති නොකරන බව සඳහන්. මෙය macOS හි පවතින Widgets ආකාරයටම ක්‍රියාත්මක වන අතර ඔබට අවශ්‍ය විට නැරඹීමට හැකියාව ලැබෙන අතර ඔබ එය භාවිතයට නොගනී නම් එය ස්වයංක්‍රීයව තිරයෙන් ඉවත්වී යනවා. ඔබ මෘදුකාංග නිර්මාණකරුවෙකු නම් ඔබට අවශ්‍ය Widgets ඔබටම නිර්මාණය කර ගැනීමට ද ඉඩකඩ ලබා දී ඇති බව සඳහන් වෙනවා.

 Widgets හරහා ඔබට අවශ්‍ය ඕනෑම විස්තරයක් වඩා පහසුවෙන් දැනගැනීමට හැකියාව – blogs.windows.com

Application Store හරහා ප්‍රිය කරන Application ඔබ ළඟට

නව Microsoft Store හරහා ඔබට අවශ්‍ය Apps සහ අනෙකුත් විස්තර නැරඹීමට, නිර්මාණය කිරීමට, සොයා බැලීමට සහ ඉගෙනීමට හැකියාව ලබා දී තිබෙනවා. මෙම සේවාව තුළ කලින් පැවති තත්වයට වඩා ඉතා ඉහළ ප්‍රමාණයක නව විස්තර, Apps, පරිගණකය ක්‍රීඩා, ටෙලි කතා, සිනමා පට අන්තර්ගත කොට තිබෙනවා. මීට අමතරව ඉදිරියේ දී, Microsoft Teams, Visual Studio, Disney+, Adobe Creative Cloud, Zoom සහ Canva වැනි Third Party Apps Microsoft Store වෙත හඳුනවාදීමට ඔවුන් බලාපොරොත්තුව වන බව සඳහන්. වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය හරහා මයික්‍රොසොෆ්ට් ආයතනය ඉතාම නවක හඳුන්වාදීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග භාවිත කිරීමේ පහසුකම ඉදිරියේ දී ඔබට අත්විඳිය හැකියි. Amazon Appstore අනුග්‍රහය යටතේ, Intel Bridge technology මඟින් මෙම පහසුකම වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තුව වන බවත් සඳහන්.

 Android apps වින්ඩෝස් හරහා භාවිතයේ නව පහසුකම – blogs.windows.com

මෘදුකාංග නිර්මාණකරුවන්ට වැඩි ඉඩක්

Microsoft Store හරහා මෙතෙක් මෘදුකාංගය නිර්මාණකරුවන් සඳහා ලබා දී තිබූ ඉඩකඩ ඉතා පුළුල් ලෙස විවිර කර දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ආර්ථිකමය වශයෙන් වැඩි වාසි අත්වන පරිදි ඕනෑම ආකාරයක මෘදුකාංග නිර්මාණ තාක්ෂණයක් භාවිත කරමින් නිර්මාණය කරන මෘදුකාංග වැඩි පිරිසක් වෙත බෙදා හැරීමට අරමුණු කර තිබෙනවා. ඒ සඳහා පැවති ප්‍රතිපත්ති වෙනස් කරමින් මෘදුකාංග නිර්මාණකරුවන් ලබා ගන්නා ආදායම 100% ඔවුන්ට ලබා දීමටත්, මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන් ලාභ ලැබීමට අපේක්ෂා නොකරන බවත් සඳහන් වෙනවා. එහි වාසිය සිය පාරිභෝගිකයන් වෙත අත්කර දීමට ඔවුන් බලාපොරොත්තුව වන බවත් සඳහන් වෙනවා.

තොරතුරු තාක්ෂණය සඳහා අවශ්‍ය ආරක්ෂාව, වේගය

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුළ මෙන්ම, තොරතුරු තාක්ෂණය සඳහා පරිගණකය වෙත දක්වන අනුරූපතාව සහ අනුකූලතාව වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය තුළ දී ද ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට මයික්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔබේ පරිගණකයට වින්ඩෝස් 11 ස්ථාපනය කිරීම වින්ඩෝස් 10 යාවත්කාලීන කිරීමක් හා සමාන බව සඳහන් වෙනවා. ඒ අනුව වින්ඩෝස් 10 පරිශීලකයන්ට හට කිසිදු චකිතයකින් තොරව නව වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය වෙත මාරු වීමේ හැකියාව උදාවනවා. නව ආරක්ෂණවාදී තාක්ෂණික ක්‍රමෝපායයන් ගෙන් සන්නද්ධ කර ඇති වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය ඔබගේ තොරතුරුවල ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බව සඳහන්. මීට අමතරව එහි උපයුක්ත Hybrid තාක්ෂණික ක්‍රමෝපායයන් නිසා ඔබේ පරිගණකය පෙරටත් වඩා ඔබගේ අවශ්‍යතා ඉටු කිරීමේ හැකියාවෙන් යුක්තවනවා.

 Microsoft Store පහසුකම නව පහසුකම් රැසක් සමඟින් – blogs.windows.com

වින්ඩෝස් 11 ස්ථාපනයට තිබිය යුතු අවම අවශ්‍යතා

Processor : 1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)
Memory : 4 GB RAM
Storage: 64 GB or larger storage device
System firmware: UEFI, Secure Boot compatible
TPM: Trusted Platform Module (TPM) version 2.0
Graphics card: DirectX 12 compatible graphics / WDDM 2.x
Display: >9” with HD Resolution (720p)
Internet connection: Microsoft account and internet connectivity required for setup for Windows 11 Home

කවරයේ ඡායාරූපය: වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන අතුරු මුහුණත - blogs.windows.com 

මූලාශ්‍ර:

microsoft.com
blogs.windows.com
Wired.com

Related Articles