දහ අටවන සහ විසිවන සියවස් අතරතුර මහා බ්‍රිතාන්‍යය ලෝකයේ භූමි ප්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් යුරෝපයේ ප්‍රමුඛත ම යටත් විජිත බිහි කරන්නා බවට පත් වුණා. ලෝකයේ සියලු ම මහාද්වීපවලට අයත් ප්‍රධාන ගොඩබිම්වල කොටසක් හෝ දූපත් පාලනය කරමින් ලෝක ඉතිහාසයේ විශාලත ම සහ දිගු කලක් පවත්වා ගත් අධිරාජ්‍යයක් බිහි කිරීමටත් ඔවුන් සමත් වුණා. යටත් විජිතකරණයේ උච්චත ම කාල පරිච්ඡේදයේ දී පෘථිවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 25% ක පමණ මහා බ්‍රිතාන්‍යයේ පරිපාලනය පැවතුණු අතර, ඕනෑම වේලාවක ඔවුන්ගේ අධිරාජ්‍යයේ කුමන හෝ කලාපයකට හිරු පායා තිබුණා. මහා බ්‍රිතාන්‍යයට “හිරු නොබසින අධිරාජ්‍යය” යනුවෙන් ආමන්ත්‍රණය කළේ ඒ නිසා යි.
විසිවන සියවසේ මුල් භාගය වනවිට ලෝක දේශපාලනයේ ඇති වූ බල පෙරළි,ලෝක යුද්ධ සහ නිදහස් අරගල හේතුවෙන් යටත් විජිත බොහෝ ගණනකට නිදහස ලබා දීමට ඉංග්‍රීසින් කටයුතු කළා. බොහෝ යටත් විජිත ලැබුවේ පූර්ණ නිදහසක් නොවෙයි. නිදහස ලබා ගත් ප්‍රදේශ, ව්‍යවස්ථානුකූල ව සංවිධානය වූ රජයක් ගොඩ නඟා පසු බ්‍රිතාන්‍ය කිරීටය සමඟ පාලන බලය බෙදාගත් ක්‍රමයක්, එනම්, ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ආකාරයෙන් ක්‍රියාත්මක වුණා.
බොහෝ රාජ්‍ය පසු කලෙක බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලබා ජනරජයක් වීමට ක්‍රියා කළත්, ඇතැම් රාජ්‍ය බ්‍රිතාන්‍ය මහ රැජන තම නායිකාව ලෙස පිළිගැනීමට දිගට ම කටයුතු කළා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ කැරීබියානු කලාපයේ ඇතැම් රාජ්‍ය ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි. බාබඩෝස් දිවයිනත් පසුගිය නොවැම්බර් 29 දක්වා ම කටයුතු කළේ මේ ආකාරයෙන්. නමුත්, නොවැම්බර් 30 වැනිදා ඔවුන් බ්‍රිතාන්‍යයේ මහ රැජනට සමුදෙමින් ලෝකයේ නවත ම ජනරජය බවට පත් වුණා.
වීරයන්ගේ චතුරස්‍රයේ ඓතිහාසික මොහොත
වසර 396 ක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයත් සමඟ බැඳුණු අවසාන රැහැන කපා හරිමින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ දී උත්සවශ්‍රීයෙන් බ්‍රිතාන්‍ය මහ රැජන නියෝජනය කරන රාජකීය සම්මත ධජය බාබඩෝස් දිවයිනේ දී අඩකුඹු කළා. ඓතිහාසික අවස්ථාව දැක බලා ගැනීම සඳහා එරට අගනුවර වූ බ්‍රිජ්ටවුන් හි වීරයන්ගේ චතුරශ්‍රයට විශාල සෙනඟක් පැමිණ සිටි අතර, එරට ජාතික සංස්කෘතික පදනමේ ප්‍රධාන විධායක නිලධාරී කැරෝල් රොබර්ට්ස්-රීෆර්, නව ව්‍යවස්ථාපිත තත්ත්වයට බාබඩෝස් දේශය පත් වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඉන්පසු පුරවැසියන්ගේ අත්පොළොසන් මැද ඩේම් සැන්ඩ්‍රා මේසන්, ලෝකයේ නවත ම ජනරජයේ ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නා.
බාබඩෝස් ජනරජය ඇයගේ මංගල ගමන දියත් කර ඇති බවත්, සංකීර්ණ සහ කැළඹිලි සහගත ලෝකය හඳුනා ගනිමින් මෙම යාත්‍රා කිරීම සිදු කළ යුතු බවත්, ඇය සිය සමාරම්භක කථාවේ දී සඳහන් කර තිබුණා.
“අපේ රට විශාල සිහින දැකිය යුතු අතර, ඒවා සැබෑ කර ගැනීමට සටන් කළ යුතු යි.”
හිටපු ආණ්ඩුකාරවරයා උත්සවය අතරතුර පවසා සිටියා.
බාබඩෝස් දේශයේ ඉපිද ජාත්‍යන්තර තලයෙන් සංගීත ලෝකය ජයගත් රිහානා ද ජනරජ දිනයේ උත්සව අවස්ථාවට සහභාගී වූ අතර, එදින ම ඇය බාබඩෝස් දේශයේ ජාතික වීරවරියක් ලෙස නම් කළා.
චාල්ස් කුමරුත් සහභාගී වෙයි
ජනරජ උත්සවයට බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහභාගී වූ අතර, බ්‍රිතාන්‍ය සිංහාසනයේ ඊළඟ උරුමක්කරු වශයෙන් බාබඩෝස් දේශය රාජකීය ප්‍රමිතිය පහත හෙළන අවස්ථාවට ඔහු බොහොම සන්සුන් ව මුහුණ දුන්නා.
“මෙම ජනරජය පිහිටුවීම හරහා අලුත් ආරම්භයක් සනිටුහන් වෙනවා. අපගේ අතීතයේ අඳුරුත ම දින සහ අපගේ ඉතිහාසයට සදහට ම කැළැලක් එක් කළ වහල්භාවයේ බිහිසුණු කුරිරුකමේ සිට මේ දිවයිනේ මිනිසුන් ඔවුන්ගේ මාවත අසාමාන්‍ය ධෛර්යයකින් යුතු ව සකස් කර ගත්තා”
බාබඩෝස් පුරවැසියන්ගේ තීරණයට ගෞරවය දක්වමින් උත්සවයේ දී චාල්ස් කුමරු සිය අදහස ප්‍රකාශ කළා.
බාබඩෝස් රාජ්‍යය ජනරජයක් වීම නූතන ලෝකයේ යටත් විජිත ආකාරයට තිත තැබූ අද්විතීය මොහොතක් ලෙස බාබඩෝස් දේශයේ කවියකු වන වින්ස්ටන් ෆැරල් පෙන්වා දෙනවා.
“මේ යටත් විජිතය නම් වූ පිටුවට සම්පූර්ණයෙන්ම තිත තබන්න. එක්සත් රාජධානියේ කොඩිය යටතේ සමහරුන් හැදී වැඩුණේ අඥාන අන්දමින්.”
වින්ස්ටන් ෆැරල් පවසා තිබුණා.
බාබඩෝස් දිවයිනට පෙර බ්‍රිතාන්‍ය කිරුළ අවසන් වරට අත්හළ රාජ්‍යය වන්නේ මුරුසිය යි. මුරුසිය 1992 දී ජනරජයක් බවට පත් වුණා. බ්‍රිතාන්‍ය කිරීටය තවමත් පිළිගන්නා අනෙකුත් රාජ්‍ය ද ඉදිරියේ දී තම ක්‍රියාකලාපය අනුගමනය කරනු ඇතැයි බාබඩෝස් වැසියන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජැමෙයිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම රාජාණ්ඩු ක්‍රමයෙන් සම්පූර්ණයෙන් ම මිදීම උදෙසා කැමැත්තෙන් පසු වෙනවා.
ඉතිහාසයෙන් බිඳක්
ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් වෙසෙන බාබඩෝස් දිවයින කැරීබියානු කලාපයේ වඩාත් නැගෙනහිරට වන්නට පිහිටා තිබෙනවා. මෑත කාලීන පුරා විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව බාබඩෝස් හි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1600 දක්වා ඈතට විහිදෙන බව අනුමාන කෙරෙනවා. දිවයිනේ පළමු ශිෂ්ටාචාරය වෙනිසුවෙලාවෙන් පැමිණි ඇමරින්දියානුවන් ගෙන් පැවතෙන අතර, ඔවුන් යාත්‍රාවල නැඟී කැරීබියානු මුහුද හරහා කළ දුෂ්කර සංචාරකයකින් පසුව බාබඩෝස් ජනාවාස කළ බව පුරා විද්‍යාඥයන් විශ්වාස කරනවා.
බාබඩෝස් දිවයිනට යුරෝපීයන්ගේ පහස මුලින් ම ලැබුණේ කුමන ජාතියක් හරහාදැ යි නිශ්චිත සාක්ෂියක් නැහැ. එහෙත්, බ්‍රසීලයට යාත්‍රා කරන අතරතුර පෘතුගීසි ජාතිකයන් දූපතට ගොඩබැස්ස බව ඇතැමුන් විශ්වාස කරනවා. පෘතුගීසි ගවේෂකයකු වූ පෙද්‍රෝ කැම්පෝස්, දිවයින “ලොස් බාබඩෝස්” ලෙස නම් කිරීමෙන් දිවයිනට බට මුල් ම යුරෝපීය ජාතිකයන් වීමේ ගෞරවය පෘතුගීසින්ට හිමි වූ බව සිතිය හැකි යි.
1625 වර්ෂයේ මැයි මාසයේ දී කපිතාන් ජෝන් පවෙල්ගේ අණ යටතේ පළමු ඉංග්‍රීසි නෞකාව බාබඩෝස් වෙත ළඟා වුණේ දිවයිනේ අනාගතය වෙනස් ම දිශානතියකට හරවමින්. එකල මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පළමුවන ජේම්ස් රජු වෙනුවෙන් දිවයිනේ හිමිකාරීත්වය පවරා ගැනීමට ඉංග්‍රීසි නාවිකයන් කටයුතු කළා. 1627 වසර වනවිට කපිතාන් හෙන්රි පවෙල්ගේ නායකත්වය යටතේ පදිංචිකරුවන් 80 දෙනකු සහ වහලුන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට ගොඩ බැස්සා.
එතැන් පටන් බාබඩෝස් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතකරණයේ රුදුරු ගොදුරක් බවට පත්වීම ඇරඹුණා. බ්‍රිතාන්‍යය සමඟ හොඳ ආර්ථික හා සමාජීය සම්බන්ධතා ඇති පුද්ගලයන් වෙනුවෙන් දිවයිනේ ඉඩම් වෙන් කොට දුම්කොළ සහ කපු වගාව සඳහා භූමිය හොදා ගැනීමට යටත් විජිතවාදීන් කටයුතු කළ හෙයින්, දිවයිනේ වන සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. කෙටි කලක් ඇතුළත උක් වගාවත් වාණිජ බෝගයක් ලෙස බාබඩෝස් හි වගා කිරීම ඇරඹුණා.
වහල් දූපතක් වූ බාබඩෝස්
සීනි නිෂ්පාදනය දියුණු වීමත් සමඟ ශ්‍රම ඉල්ලුම හමුවේ අර්බුදයකට මුහුණ පාන්නට ඉංග්‍රීසි ජාතිකයන්ට සිදු වුණා. ඊට අවශ්‍ය ශ්‍රමය වහල් වෙළඳාම හරහා සපයා ගැනීමත් සමඟ දුර්දාන්ත ඉතිහාසයක් බාබඩෝස් තුළ බිහි කිරීමට ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රියා කළා. සියරා ලියෝන්, ගිනියාව, ඝානාව, නයිජීරියාව, කැමරූන් යන අප්‍රිකානු රටවලින් වහලුන් ලෙස ගෙන ආ මිනිසුන් බොහොම දුක්ඛිත කාල පරිච්ඡේදයක් බාබඩෝස් ඇතුළු කැරීබියානු කලාපයේ දූපත්හි පිහිට වූ වගාබිම්වල ගත කළා.
මුල් වසරවල දී කැරීබියානු සීනි කර්මාන්තයේ ආධිපත්‍යය බාබඩෝස් දිවයිනට හිමි ව තිබුණත්, 1600 ගණන්වල අග භාගයේ දී ඇති වූ පළඟැටි වසංගතය, බ්‍රිජ්ටවුන් ගින්න සහ සුළි කුණාටු හමුවේ සීනි කර්මාන්තය සමඟ වැඩ කළ වැවිලිකරුවන් ප්‍රබල මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නා. කෙසේ වෙතත්, සීනි කර්මාන්තය සහ වහලුන් වෙනුවෙන් සිදු කළ ආයෝජන එයින් නැවතුණේ නැහැ. 1720 වනවිට බාබඩෝස් දිවයින තව දුරටත් සීනි කර්මාන්තය තුළ ප්‍රබල සාධකයක් නොවූ අතර, ජැමෙයිකාව හා ලීවර්ඩ් දූපත්වලට එම ගෞරවය හිමි වුණා.
ජනරජයක් වීම දක්වා ගමන් මඟ
1966 දී බාබඩෝස් දිවයිනට නිදහස ලබා දීමට බ්‍රිතාන්‍ය පරිපාලනය කටයුතු කළත්, දෙවන එළිසබෙත් මහ රැජන බාබඩෝස් හි නායිකාව ලෙස දිගට ම රැඳී සිටියා. එම කාලය අතරතුර පස් වතාවක් මහ රැජන බාබඩෝස් දේශයට පැමිණ තිබුණා. ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක සිට ජනරජයක් කරා යෑමේ උත්සාහය බාබඩෝස් දේශය ඇරඹුණේ අද ඊයෙක නොවේ. එහි ඉතිහාසය 1979 දක්වා ඈතට විහිදෙනවා.
එම වර්ෂයේ දී ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක සිට ජනරජයක් බවට පත් වීමේ ශක්‍යතාව පරික්ෂා කිරීම සඳහා කොමිසමක් පිහිට වූ අතර, පුරවැසියන් දිගට ම පවතින ක්‍රමය තුළ සිටිනු ඇතැයි කොමිසම නිගමනය කළා. කෙසේ නමුත්, 1998 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සමාලෝචන කොමිෂන් සභාවක් හරහා බාබඩෝස් දේශය වෙනුවෙන් ජනරජ තත්ත්වය නිර්දේශ කළ අතර, 2015 දී එවකට අගමැති ධූරය හෙබ වූ ෆ්‍රයන්ඩල් ස්ටුවර්ට්, ජනරජ ආණ්ඩු ක්‍රමයක ඇති වැදගත්කම වඩාත් ඉස්මතු කිරීමට ක්‍රියා කළා.
අභියෝගාත්මක ස්වාධීනත්වය
බ්‍රිතාන්‍යය සමඟ පාලන ක්‍රමය බෙදා ගැනීමේ ක්‍රමවේදය අවසාන කළ වහා ම පූර්ණ ස්වාධීනත්වයට පත් වූ බාබඩෝස් පුරවැසියන්ට ඉදිරියේ දී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේවි. නොවැම්බර් 30 ට පෙර බාබඩෝස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍යය යම් දුරකට වගකීමක් දැරුවත්, දැන් බාබඩෝස් වැසියන්ට ඒ සහයෝගය හිමි වන්නේ නැහැ. ජනරජයක් බවට පත් වීමත් සමඟ වෙනස් වූ ඇතැම් අභියෝග බරපතළ ආකාරයෙන් සැලකිය යුතු බව එරට අගමැතිනී මියා මොට්ලි පුරවැසියන්ට පවසන්නේ ඒ නිසා යි. විශේෂයෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකය ම අර්බුදයක් වී ඇති වාතාවරණය මැද කුඩා දූපත් ජාතියක් එළඹි මේ තීරණය නිර්භීත වාගේ ම අභියෝගාත්මක යි.
රටේ පාර්ලිමේන්තු සභිකයන් නව ප්‍රඥප්තීන් අනුව දේශපාලන න්‍යාය පත්‍රය හැඩ ගස්වා ඇති අන්දම ප්‍රශංසනීය යි. උදාහරණයක් වශයෙන් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ආරක්ෂා කිරීම මූලික අයිතිවාසිකමක් ලෙස බාබඩෝස් ජනරජය හඳුනා ගෙන තිබෙනවා. එහෙත්, ලිංගික දිශානතිය සම්බන්ධයෙන් තවමත් පුරවැසියන් අතර නිසි උපදේශන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්. ජනරජයක් බවට පත් වීමේ ක්‍රියාවලිය හදිසියේ ම සිදු වූ ක්‍රියාවක් බවත්, ඉන්පසු රාජ්‍යය ගමන් ගන්නා දිශානතිය සම්බන්ධයෙන් පුරවැසියන්ට ඇත්තේ අඩු අවබෝධයක් බවත්, ඇතැමුන් පවසනවා.
“ජනරජයක් වීම කඩිමුඩියේ සිදු වූ ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. දේවල් ඉදිරියේ දී සිදු වන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අපට තවමත් නිශ්චිත ගැටලු තිබෙනවා. ‘බෑගයක දැමූ ඌරෙක් මිල දී ගැනීම’ යනුවෙන් අප අතර එක්තරා කියමනක් තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔබ කළ ගෙවීම වෙනුවෙන් ඔබ ලබාගත් දෙය ගැන ඔබ නොදන්නා බව යි. ඇත්තට ම සිදු වීමට යන දේ ගැන අපිට අවබෝධයක් නැහැ”
අප්‍රිකානු උරුමය පිළිබඳ පදනමේ සභාපති පෝල් රොක්, පාලන තන්ත්‍රයේ වෙනස් වීම ගැන දරන්නේ එවැනි අදහසක්.
ඉදිරියේ දී පූර්ණ ස්වාධීන ජාතියක් ලෙස ගෝලීය කටයුතු හා සම්බන්ධ වුවත්, දෙවන එළිසබෙත් රැජන ප්‍රධානියා ලෙස කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස බාබඩෝස් වැසියන් දිගින් දිගට ම බ්‍රිතාන්‍යය සමඟ කටයුතු කරනු ඇති.