මීට පෙර ජෛන ආගම පිළිබඳ මූලික ඓතිහාසික කරුණු ඇතුලත් ලිපියක් අප පළ කළා ඔබට මතක ඇති. දැන් ජෛන ආගමේ මූලික ඉගැන්වීම් දෙසට හැරෙමු. මොවුන් දෙවියන් විශ්වාස නොකරයි. වේද ඉගැන්වීම් වර්ධමාන ප්‍රතික්ෂේප කල අතර දෙවියෙකු විසින් ලෝකය මැවීමක් හෝ ලෝක විනාශයක් පිළිබඳව ඉගැන්වීම්ද තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. සත්වයන්ගේ පැවැත්මට ද්‍රව්‍යය හා ආත්මය යන දෙක බලපාන බව උගන්වන ලදී. ඔව්හු මිනිසුන්ට හා සත්වයන්ට පමණක් නොව ගහකොළ, ගල්, පර්වත, ගලන ජලය ආදී ස්වභාවික වස්තූන්ටත් ආත්මයක් ඇති බව විශ්වාස කළහ. මිනිස් ඇසට නොපෙනෙන සුයුම් පදාර්ථය කර්මය ලෙස මොවුන් සලකන ලදී. අනෙක් ආගම්වල අද්‍රව්‍යමය දෙයක් වූ කර්මය ජෛන භක්තිකයන්ට ද්‍රව්‍යමය දෙයක් විය. ආරම්භයේදී ආත්මය ඉතාමත් පැහැපත් වන අතර කර්මය නැමැති පදාර්ථය ආත්මයේ ඇලීම නිසා පෙර පැවති ආත්මයේ ඔපය නැතිවී යයි. මිනිසුන් විසින් සිදු කරන අයහපත් ක්‍රියා නිසා කර්මය වැඩි වශයෙන් ආත්මයේ ඇලීම නිසා ආත්මය ඉතා අදුරු වීමට පටන් ගනියි. ශරීරයට බොහෝ දුක් දී, අවිහිංසාවාදීව ජීවත් වී, විවිධ උපවාසයන්හි යෙදීමෙන් ආත්මයට ඇලෙන මෙම කර්මය ඉවත් කල හැකිය.
වර්ධමාන විසින් වෛදික ආගමික චාරිත්‍ර ප්‍රතික්ෂේප කරන ලදි. විවිධ පුද පූජා සදහා කරනු ලබන සත්ව ඝාතන හා නිශ්ඵල වියදම් ඔහු තරයේ ප්‍රතික්ෂේප කලේය. උපත , මරණය හා නැවත ඉපදීම යන මේ සංසාර චක්‍රයෙන් විමුක්තිය ලැබිය හැක්කේ අවිහිංසාව පදනම් කරගත් දැඩි පිලිවෙතක් මගින් හා ලිංගික ආශාවන් කෙරේ වූ ස්වයං වාරණයකින් බව වර්ධමාන විසින් උගන්වන ලදි.
සෑම ජෛන ආගමිකයෙකුම විසින් පිලිපැදිය යුතු ශික්ෂා පද පහක් තිබේ. ඒවා හිංසාවෙන් තොර වීම, බොරු නොකීම, සොරකම් නොකිරීම, දේපොළ එකතු කරගැනීමෙන් වැලකීම හා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම වේ. පෙරදී ද පැවසූ පරිදි මෙම ශික්ෂා පද පහෙන් මුල් හතර වර්ධමාන මහාවීරට පෙර සිටි පාර්ශ්ව නම් තීර්ථංකරයන් විසින් උගන්වන ලදි. වර්ධමාන විසින් මෙය ප්‍රතිසංස්කරණය කරමින් එයට තව ශික්ෂා පදයක් එකතු කරන ලදි.
ජෛන ආගමේ ප්‍රධාන ඉගැන්වීම පරම අවිහිංසාවයි. මෙම අවිහිංසාව ජීවීන්ට පමණක් නොව අජීවී ද්‍රව්‍ය වලටද ලැබිය යුතු බව ඔවුන් උගන්වන ලදි. කෘමි ජීවිත පිලිබඳවත් ජෛන බැතිමතුන් විශේෂ අවධානයක් යොමු කලේය. ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රාණය රැකීමට ඔවුන් ජලය පෙරා පානය කල අතර වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට, ආශ්රමයෙන් පිටත ගමන් කරන විට සුදු රෙදි කඩකින් මුව වසාගෙන ගියේය. එසේ ගමන් කරන විට මාර්ගයේ සිටින කුහුඹුවන් ආරක්ෂා කර ගැනීමට කුරුළු පියාපත් වලින් තනන ලද ඉලපතක් ආධාරයෙන් මාර්ගය පවිත්‍ර කරමින් ඉදිරියට ගමන් කරන ලදි. ගොවිතැන් කටයුතු වලදී විවිධ ශාක හා නොයෙක් ප්‍රාණීන් විනාශ වන බැවින් ජෛන ගිහියන්ට කෘෂිකර්මය කිරීම තහනම් වේ.
පැවිදි වීමට පැමිණෙන ජෛනයාගේ හිස මුඩු කිරීමක් සිදු නොකරයි. සිදු වන්නේ කෙස් මුලින් ඇද උදුරා දැමීමකි. ගිම්හාන සමයේ ගිනි අව්වේ භාවනා කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ අපහසු ආකාරයට කය තබාගෙන සිටීම, උපවාසවල යෙදීම ආදී අතිශය දුෂ්කර කාර්යයන්හි නිරත විය යුතු වූ නිසා ජෛන පැවිද්දෝ බොහොමයක් ජීවිතක්ෂයට පත් විය.
සමහර විචාරකයන් මත පල කරන පරිදි ජෛන ආගම ඉන්දියාවෙන් අතුරුදහන් නොවුනේ ඔවුන් ගිහියන්ගේ ඕනෑ එපාකම් වැඩියෙන් සොයා බලන්නට වූ නිසාවෙනි. ජෛන ආගමේ හැටියට ජෛන ගිහියෙකුට කලින් කලට ගිහි ජීවිතයෙන් ඈත්ව ආගමානුකූලව පැවිදි දිවියක් ගත කල හැකි අතර, කලින් කලට පැවිදි දිවියක්ද ගත කල යුතු විය. මුල්ම කාලීන ජෛනයෝ වෙළදාම් අතින් ඉතා ඉහල වැදගත්කමක් ඉසිලූ අතර ශ්‍රවණ බෙන්ගෝලා හා ආබු කන්ද ආදී ස්ථනවල ඉදිකර ඇති සුවිශාල ජෛන ගොඩනැගිලි ඔවුන්ට තිබූ ධනස්කන්දය පිලිබඳව සාක්ෂි දරයි. එනමුත් ජෛන ආගමේ ශික්ෂා පද පහෙන් එකක් වන දේපොළ රැස් කර නොගැනීම යන්න සලකා බලන විට එකල ජෛනයන්ගේ ශ්‍රද්ධාව ගැන සැක පහල වේ.
අද දක්නට නොලැබුනත් කලක් ජෛනයෝ ස්ථූප වන්දනාවේ යෙදුනහ. ක්‍රි.ව. මුල් අවධි වලදී ජෛන තීර්ථංකරයන්ගේ පිලිම සාදා මල් පූජා කර පහන් දැල්වීම් ආදිය සිදුකර ඇත. ජෛන තීර්ථංකරයන්ගේ පිලිම හා බුදුන්වහන්සේගේ පිලිම බොහෝ සමානව සාදා තිබෙන බැවින් මෙම පිලිම දෙක අතර වෙනස සාමාන්‍යයෙන් එකවර හඳුනාගැනීමට අපහසු වේ. කලක් ගත වන විට පන්සල තුලට කෝවිල ඇතුලු වුනාක් මෙන් ජෛන ආගමේ සමහර තැන් අල්ලා ගැනීමට ප්‍රධාන හින්දු දෙවිවරු කිහිපදෙනෙක් සමත් විය.
දේශපාලනය සදහා ජෛන ආගමේ බලපෑම සලකා බලන විට එය එකල රාජ්‍යයන්ට එතරම් සතුටුදායක නොවීය. ජෛන ආගම හා බුද්ධාගම පැන නැගුනේ ක්ෂත්‍රීයන්ගෙන් බව පෙරදී පවසන ලදි. ජෛන ආගම අවිහිංසාවාදීව ආගමක් වූ බැවින් ජෛන ආගම වැළඳගත් ක්ෂත්රීයන් අවි ආයුධ අතහැර සාමකාමී දිවි පෙවතක් ගත කිරීමට පටන් ගත්තේය. මෙහෙයින් විදේශ ආක්‍රමණ වලට රට පහසුවෙන් භාජනය වී රටේ ස්වාධීනත්වය නැතිව ගියේය. හින්දු ආගමික ඉගැන්වීම් වල තිබූ වර්ණ භේදය ජෛන දහම මගින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදි. එමනිසා වර්ණ භේදය නිසා බැටකෑ මිනිසුන් ජෛන දහම වෙත ඇදී ඒමට පටන් ගත්හ. වියදම් අධික පූජා ක්‍රම ආදිය ජෛනයන් බැහැර කල නිසාවෙන් ජනතාවට ආර්ථික අතින් සහනදායී තත්වයක් උදා විය. ජෛනයන් විසින් කාන්තාවන්ට උසස් තැනක් ලබා දුන් අතර එකල කාන්තාව විඳි ගැහැට නිසා කාන්තාවන්ට එය මහත් සහනයක් විය.
බුදු දහමට අශෝක, කණිෂ්ක හා හර්ෂ වැනි ප්‍රබල පාලකයන්ගේ සහය හිමි වුවද ජෛනයන්ට එතරම් ප්‍රබල සහයක් හිමි වූයේ නැත. බුදු දහම විදෙස් රටවල්වලටත් ප්‍රචාරය වුවද ජෛන දහම එසේ ප්‍රචාරය නොවුනේ මේ හේතුවෙනි. අනික් කාරණය නම් ජෛන දහම පරම අවිහිංසාවාදී වීමයි. මෙම ක්‍රමය තුල කුඩා කෘමියෙක්වත් වැරදීමකින්වත් මැරිය නොහැකි නිසා ජෛන ගිහියන්ට මෙය පවත්වාගෙන යාමට අපහසු විය. ජෛන ආගම මිනිසුන්ගෙන් ඈත් වීමට මෙය බලපාන ලදි. කෙසේ හෝ වසර දහස් ගණනක් මුළුල්ලේ අදටත් ජෛන දහම ඉන්දියාව තුල නොනැසී පවතියි.
මූලාශ්‍ර:
1)ඉතිහාස ධාරා 1 කොටස – ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී. මියාල්
2)භාරතීය සංස්කෘතික ඉතිහාසය – රෝලින්සන්
3)අසිරිමත් ඉන්දියාව – ඒ. එල්. බෂාම්
4)ලෝක ඉතිහාසය – බී.වී. රාවෝ
කවරයේ පින්තූරය- wikimedia.org