Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම වැසි වනාන්තර 6ක්

වැසි වනාන්තර ලෝකයේ පැවැත්මට ඉතා විශාල දායකත්වයක් දක්වන පද්ධතීන්. විශාල වැසි වනාන්තර මඟින් ටොන් ගණනාවක කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් වා තලයට මුදා හරිනවා. එමෙන්ම ඒවා තුළ ජල උල්පත් රාශියක් ආරක්ෂා වී තිබෙනවා. තව ද මේවා සත්ත්ව විශේෂයන් රාශියකට ජීවත් වන්නට නිවහනකුත්, රැකවරණයත් සලසනවා. මේ සටහන ලොව විශාලතම වැසි වනාන්තර අතුරින් ලොව වඩා කතාබහට ලක් වෙන 6ක් පිළිබඳව යි.

ඇමසන් වැසි වනාන්තරය

image.imagesunion.com

ඇමසන් වැසි වනාන්තරය ලොව විශාලතම වැසි වනාන්තරය යි. මෙය දකුණු ඇමෙරිකා මහාද්වීපයේ ඇමසන් ද්‍රෝණියේ වැඩි කොටසක් වසාගෙන පැතිරී තිබෙනවා. මෙහි භූමි වපසරිය අක්කර බිලියන 1.7කටත් වඩා අධික යි. මෙම වැසි වනාන්තරය බ්‍රසීලය, පීරු, කොලොම්බියා, වෙනසුවේලා, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය, හා ප්‍රංශ ගයනාව යන රටවල්වල කොටස් වසාගනිමින් පැතිරී තිබෙනවා. මෙම වනාන්තරයෙන් 60%ක් පවතින්නේ බ්‍රසීලය තුළ යි.

බ්‍රසීල ඇමසන් වනය සති 4ක පටන් තවමත් දැවෙමින් පවතිනවා. බ්‍රසීල ජනපතිගේ ක්‍රියාකලාපය මෙයට වගකිව යුතු බව ලොව වටා පරිසරවේදීන් සහ පරසර සංවිධානයන් චෝදනා කරනවා. 

කොංගෝ වැසි වනාන්තරය

worldpulse.com

කොංගෝ වැසි වනාන්තරය පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේ යි. මෙය ලොව දෙවන විශාලතම වැසි වනාන්තරය වෙනවා. කොංගෝ නදිය මෙය හරහා ගලා බසිනවා. මෙම වැසි වනාන්තරය උතුරු කොංගෝවේ සෑහෙන කොටසක් වසා පැතිරී ඇති අතර, නිතර සිදුවන දඩයම් කිරීම නිසා එහි ජීවත් වන සත්ත්ව ප්‍රජාව අනතුරට ලක් වී තිබෙනවා. ලොව ප්‍රකට පිග්මි චිම්පන්සීන් ගේ නිජබිම වන්නේ මේ කොංගෝ වනය යි. මෙහි භූමි වපසරිය අක්කර මිලියන 500ක් පමණ වෙනවා.

වැල්විඩියානු සෞම්‍ය කලාපික වැසි වනාන්තරය

intheviewfinder.com

මෙම වැසි වනාන්තරය ආජන්ටිනාවේ හා චිලී රාජ්‍යයේ අක්කර මිලියන 61ක පමණ භූමි වපසරියක් පුරා විහිදී පවතිනවා. ආවෘත බීජක ශාක, උණ, කේතුධර ගස්වලින් ප්‍රධානකොටම සැදුම්ලත් මෙහි සමහර ස්ථානවල අයිස් වැස්ම හා ග්ලැසියර පවා පිහිටා තිබෙනවා. අධික වර්ෂාව නිසා සාමාන්‍යයෙන් මෙහි පවතින්නේ වැඩි ආර්ද්‍රතාවයක්. මෙහි මීදුමෙන් බර දේශගුණයක් පවතිනවා.

ඩේන්ට්‍රී වැසි වනාන්තරය

theblondeabroad.com

මෙම ඝර්ම කලාපික වැසි වනාන්තරය පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්තයේ ඊසානදිගට වන්නට යි. මෙය අක්කර 650,000කට ආසන්න භූමි වපසරියක පැතිරී තිබෙනවා. මෙය මොස්මන් ශිඛරයෙන් හා බ්ලූම්ෆීල්ඩ් නදියෙන් මායිම්ව පිහිටා තිබෙනවා. මෙහි කොටසක ඩේන්ට්‍රී ජාතික උද්‍යානය පිහිටා තිබෙනවා. මෙහි ඉපැරණි ශාක වර්ග රාශියක් දැකගන්නට පුළුවන්.

ගිණිකොනදිග ආසියානු වැසි වනාන්තර

flawedthinkerthinks.blogspot.com

කාම්බෝජය ලාඕසය හා මලයා අර්ධද්වීපයට අයත් මැලේසියාව, මියන්මාරය හා තායිලන්තය පුරාවට පැතිරී තිබූ ගිණිකොනදිග ආසියානු වැසි වනාන්තර කලකට ප්‍රථම ඉතා විශාල භූමි වපසරියක පැතිරී තිබුණා. කෙසේ නමුත් අද වන විට වන විනාශය නිසා ඒවා සීග්‍රයෙන් වියැකී යමින් තිබෙනවා.

මෙම වනාන්තර දුර්ලභ පක්ෂී, ක්ෂීරපායී, උභයජීවී හා උරග විශේෂ රාශියකට සෙවන සලසනවා. වන විනාශය නිසා මෙම සත්ත්ව විශේෂයන් ද විශාල තර්ජනයකට මුහුණ පා තිබෙනවා. මෙය කලකට ඉහත ලොව ඉහළම ජෛව විවිධත්වයක් ඉසිළූ පෙදෙසක්. එකල මෙහි එක් හෙක්ටයාරයක් තුළ සාමාන්‍යයෙන් විශේෂ 200කට පමණ අයත් ශාකයන් තිබූ බවට තොරතුරු සඳහන්ව තිබෙනවා.

සිංහරාජ වැසි වනාන්තරය

allceylon.lk

අක්කර 18,900ක භූමි වපසරියක් වසාගෙන ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙන් නිරිතදිගට වන්නට පිහිටා ඇති සිංහරාජ වැසි වනාන්තරය ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට අමතරව යුනෙස්කෝ සංවිධානය මඟින් 1978 වසරේ දී එය ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත් කළා. මෙය ඒකදේශික සත්ත්ව විශේෂයන් රාශියකට සෙවන සපයනවා.

කවරයේ පින්තූරය- wallpapertag.com

Related Articles