Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැනඩාවේ සංක්‍රමණික හිතකර තුන් අවුරුදු සැලැස්ම

කැනඩාව යනු ලොව ජනප්‍රියත ම සංක්‍රමණික ගමනාන්තයක්. විශේෂයෙන් ම සංක්‍රමණය වීමට කැමති ආසියාතිකයන් සහ ලතින් අමෙරිකානුවන් අතර කැනඩාව ප්‍රධාන ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් සිටින අනෙකුත් රටවලට සාපේක්ෂ ව කැනඩාව වැඩි සංක්‍රමණිකයන් ගණනක් ආකර්ෂණය කර ගැනීමට උත්සහ ගන්නා අතර, සතුටුදායක මට්ටමකින් අධ්‍යාපන සහ වෘත්තීය අත්දැකීම් ඇත්නම් බොහෝ ක්ෂේත්‍ර සඳහා විවෘත වූ රැකියා වෙළඳපළක් කැනඩාවේ තිබෙනවා. කෙසේ නමුත්, සංක්‍රමණික ක්‍රියාවලිය අතිශයින් විධිමත් ලෙස සිදු කිරීමට කැනඩා රජය කටයුතු කරනවා. එබැවින්, කැනඩා සංක්‍රමණය ඉතා තරගකාරී ක්‍රියාවලියක් ආකාරයෙන් තමයි පවතින්නේ.

නවත ම වාර්තාවලට අනුව කැනඩා රජය සිය සංක්‍රමණික ඉලක්කය වඩාත් පුළුල් කිරීමට සැරසෙන බව සඳහන්. ඒ අනුව වසරකට සංක්‍රමණිකයන් 500,000 ක් පමණ ගෙන්වා ගැනීමට ඔවුන් සැලසුම් කරන අතර, ඉදිරි වසර තුන ඇතුළත සංක්‍රමණිකයන් මිලියන 1.5 ක් සඳහා ඔවුන් ගේ රැකියා වෙළෙඳපොළ විවෘත වනු ඇති.

විශාල සමාජ හිඩැසක්

තුන් අවුරුදු සැලැස්මට අනුව 2023 දී ස්ථිර පදිංචිකරුවන් 465,000 ක් සඳහා ඉඩහසර ලබා දීමට කැනඩා රජය කටයුතු කරනවා. 2024 දී එම සංඛ්‍යාව 485,000 ක් දක්වා ඉහළ දැමීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2025 දී එම සංඛ්‍යාව 500,000 ක් වනු ඇති. මෙම කරුණු එරට ආගමන, සරණාගත සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ෂෝන් ෆ්‍රේසර් මෑතක දී හෙළි කර තිබුණා.

ආගමන, සරණාගත සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ෂෝන් ෆ්‍රේසර් – twitter.com/liberal_party

මෙම සංක්‍රමණ සැලැස්ම හරහා කැනඩාව මුහුණ දෙමින් සිටින සමාජ ගැටලුවකුත් ඉස්මතු වෙනවා. කැනඩා ශ්‍රම බළකායෙන් 1946-1964 කාලවකවානුව තුළ ඉපදුණු ශ්‍රමිකයන් වේගයෙන් ඉවත් වෙමින් සිටින බැවින්, එම හිඩැස පිරවීමේ අවශ්‍යතාව මතු වන්නේ නිරායාසයෙන් ම යි. එම හිඩැස පිරවීම සඳහා ප්‍රමාණවත් තරුණ බළකායක් කැනඩාව සතු ව නැහැ. අනෙකුත් බටහිර ජාතීන් මෙන් කැනඩාව තුළත් අඩු උපත් අනුපාතයක් සහ වයස්ගත ජනගහනය වර්ධනය වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එබැවින්, යම් දුරකට ඔවුන් ගේ ශ්‍රම වෙළෙඳපොළ ගෝලීය ප්‍රජාව සඳහා විවෘත කිරීමට සිදු වෙනවා.

මේ විවෘත කිරීම කොතරම් විශාල ද?

තුන් අවුරුදු සැලැස්ම ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වුවහොත්, ස්ථිර පදිංචිය වෙනුවෙන් වාර්ෂිකව එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමණික සංඛ්‍යාවට මෙන් අට ගුණයක් කැනඩාවට පැමිණෙනු ඇති. එක්සත් ජනපදයට සාපේක්ෂ ව ගත් කල එම අගය හතර ගුණයක් පමණ වෙනවා. දැනටමත් සෑම කැනේඩියානුවන් හතරදෙනකු ගෙන් එක් අයෙක් ඉපදී ඇත්තේ වෙනත් රටක යි. එය G7 ජාතීන් අතර දැකිය හැකි ඉහළ ම අගය ද වෙනවා.

අඩු ජන ඝනත්වය

සංක්‍රමණය දැනටමත් කැනඩා ආර්ථිකය ශක්තිමත් කරමින් සිටිනවා. නව සැලසුමට අනුව සංක්‍රමණය හරහා කැනඩාව බලාපොරොත්තු වන්නේ සිය ශ්‍රම අවශ්‍යතාව ඌන පූර්ණය කිරීම පමණක් ම නොවෙ යි. 2032 වනවිට මේ විශාල සංක්‍රමණික අගය ජනගහන වර්ධනයටත් බලපානු ඇති බව ඔවුන් විශ්වාස කරනවා. කැනඩාවේ ජනගහනය දැක්වෙන්නේ මිලියන 38 ක් වශයෙන්. ලෝකයේ දෙවැනි විශාලත ම රාජ්‍යය ලෙස මිනිස් සම්පත සඳහා විශාල පරාසයකින් පහසුකම් සැපයීමේ විභවයක් කැනඩාව සතුව තිබෙනවා. වෙනත් අයුරකින් පැහැදිලි කළහොත්, කැනඩාවේ ඇත්තේ ඉතා ම අඩු ජන ඝනත්වයක්.

කැනඩාවේ ජනගහන ව්‍යාප්තිය – geopoliticalfutures.com

 සංක්‍රමණිකයන් අතර ජනප්‍රිය එක්සත් රාජධානිය, මැද පෙරදිග රාජ්‍යවලට එලෙස ජනගහනය වර්ධනය කර ගැනීමේ විශාල අවශ්‍යතාවක් නැහැ. විශේෂයෙන් ම එක්සත් රාජධානියේ දැනටමත් ඉහළ ජන ඝනත්වයක් ඇති අතර, සංක්‍රමණිකයන් ආකර්ෂණය කර ගැනීමට වෙර දරන්නේ බොහෝ දුරට එහි ශ්‍රම අවශ්‍යතාවේ ඇති විසමතා වසා ගැනීම සඳහා යි. එක්සත් රාජධානියේ ඇතැම් රැකියා ක්ෂේත්‍ර සඳහා උපතින් ම එහි පුරවැසිභාවය ලැබූ මිනිසුන් යොමු වන්නේ අඩුවෙන්. එවැනි ක්ෂේත්‍රවල රැකියා ඉල්ලුම සැපිරීම උදෙසා වෙනත් භූ ගෝලීය ප්‍රදේශ වෙත හැරෙන්නට ඔවුන්ට සිදු වෙනවා.

ශ්‍රමිකයන් වඩාත් අවශ්‍ය රැකියා ක්ෂේත්‍ර සඳහා පුහුණුව ලැබූ අය කැපී පෙනෙන මට්ටමින් සාන්ද්‍රණය වූ භූ ගෝලීය කලාප තිබිය හැකි යි. උදාහරණයක් වශයෙන් මෑතක සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු ආසියාවෙන් සහ අග්නි දිග ආසියාවෙන් ශ්‍රමිකයන් වැඩි ගණනක් සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

මහජන සහයෝගය වැදගත් සාධකයක්

කැනඩා රජයට ඇත්තේ ඊටත් වඩා පුළුල් ව විහිදුණු සංක්‍රමණික අවශ්‍යතාවක්. එරට ඇතැම් බල ප්‍රදේශ ස්වභාවික සම්පත් සහ ආර්ථික වැදගත්කමින් අනූන වන නමුත්, ඒවායින් නිසි ප්‍රයෝජනය ලබා ගනිමින් වඩාත් පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් කරා යෑමේ විභවයක් සහිත මිනිස් සම්පතක් නැහැ. කැනඩාවේ ජනගහන ව්‍යාප්තියේ විශාල විෂමතා තිබෙනවා. අඩු ජන ඝනත්වයක් ඇති පළාත්වලට මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට නම් පුළුල් ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු යි. එබැවින්, කැනඩාවේ සංක්‍රමණ ඉලක්ක කාලයත් සමඟ විශාල වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා.

සෑම කැනේඩියානුවන් හතරදෙනෙකු ගෙන් එක් අයෙකු ඉපදී ඇත්තේ වෙනත් රටක යි – www.bbc.com/news

සංක්‍රමණිකයන් හරහා සපුරා ගැනීමට අවශ්‍ය ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් මහජන සහයෝගය ද තිබිය යුතු යි. රටක සංක්‍රමණ නීති ලිහිල් කිරීම හෝ දැඩි කිරීම කෙරෙහි එම රටේ මහජන ආකල්ප ද බලපානවා. කැනඩාව යනු සංක්‍රමණිකයන් කෙරෙහි සුබදායි ආකල්ප දක්වන ජනතාවක් සිටින රාජ්‍යයක්. බහු ජාතීත්වය පිළි ගැනීමට අමතර ව සිය රටේ ස්වභාවික ව ම පවත්නා මිනිස් සම්පතේ විසමතා ගැන ඔවුන්ට යම් අවබෝධයක් තිබෙනවා.  

අනවසර සංක්‍රමණය

ඇතැම් බටහිර රටවල රැකියා අවස්ථාවලටත් වඩා සංක්‍රමණිකයන් සිටිනවා. උදාහරණයක් ලෙස එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා හරහා පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් නිසා ඒ අවට ප්‍රාන්තවල යම් යම් සමාජ ගැටලු පැන නැඟී තිබෙනවා. පසු කලෙක එක්සත් ජනපදයේ ජාතිවාදය කැපී පෙනෙන මට්ටමින් වර්ධනය වීමටත් මේ අනවසර සංක්‍රමණය හේතු වුණා.

රටකට සංක්‍රමණිකයන් පැමිණීමේ ක්‍රියාවලිය විධිමත් වන තරමට ම එම සංක්‍රමණිකයන් පිළිගැනීමේ මානසිකත්වයත් ඉහළ යනවා. කැනඩාව යනු සංක්‍රමණිකයන් කෙරෙහි මිත්‍රශීලිභාවය ඉහළින් ම දක්වන රටක්. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන සංක්‍රමණ ප්‍රතිපත්ති සහ විධිමත් බව විශාල මෙහෙයක් ඉටුකොට තිබෙනවා. කෙසේ නමුත්, සංක්‍රමණ ගැටලු හමුවේ කැනඩාවත් පීඩාවට පත් වන අවස්ථාත් තිබෙනවා. ඒ පීඩාව බොහෝ දුරට පැමිණෙන්නේ එක්සත් ජනපද-කැනඩා දේශසීමාව ආශ්‍රයෙන්.

එක්සත් ජනපද-කැනඩා දේශසීමාව හරහා එන අනවසර සංක්‍රමණිකයෝ – www.dailymail.co.uk

මෑත වසරවල එක්සත් ජනපද දේශසීමාවේ සිට සංක්‍රමණිකයන් ගලා ඒම සම්බන්ධයෙන් එරට දේශපාලනය තුළ පවා යම් යම් මතභේදාත්මක තත්ත්ව ඇති වුණා. 2018 දී ස්ථාපිත කළ “කැනඩාවේ මහජන පක්ෂය” මෙම ගැටලුව ජාතික සංවාදයක මට්ටමකින් ගෙන ඒමට කටයුතු කළ අතර, 2019 ෆෙඩරල් මැතිවරණය සමයේ දී අනවසර සංක්‍රමණික ගැටලුව වැදගත් සාධකයක් ලෙස ඉස්මතු වුණා.

ගැටලු නැතුවා ම නොවෙයි

ඇතැම් බලප්‍රදේශ නිත්‍යනුකූල සංක්‍රමණයට පවා සීමා තිබිය යුතු බව විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස ෆෙඩරල් රජය ඉදිරි වසර තුන සඳහා යෝජිත සංක්‍රමණික සැලැස්ම ප්‍රකාශයට පත්කළ විට කුබෙක් පළාත් රජය තමාගේ ම සංක්‍රමණ සීමා නියම කරගැනීමට පෙලඹුණා. මින් අදහස් වන්නේ පැමිණෙන සංක්‍රමණිකයන් ගෙන් 10% ක ප්‍රමාණයක් කුබෙක් පළාතට ඇතුළත් කර ගන්නා බව යි. රටේ සමස්ත ජනගනයෙන් 23% ම සිටින්නේ කුබෙක් පළාත තුළ යි. ඒ අනුව ඔවුන් ගේ සීමා කිරීම තරමක් දැඩි ස්වභාවයක් ගන්නා බව පෙනී යනවා.

කැනඩාවේ පළාත් හෝ බල ප්‍රදේශ – en.wikipedia.org

සංක්‍රමණිකයන් කෙරෙහි ඉහළ මිත්‍රශීලිභාවයක් දැක්වුව ද කැනඩාව තුළත් ජාතිකවාදය ඉස්මතු වන අවස්ථා නැතුවා ම නොවෙ යි. ආක්‍රමණශීලි ලෙස සංක්‍රමණිකයන් තම පළාතට ගෙන්වා ගතහොත්, කුබෙක් හි ප්‍රංශ භාෂා භාවිතය දුර්වල විය හැකි බව පළාත් ආණ්ඩු ප්‍රධානී ෆ්‍රැන්කොයිස් ලෙගෝල්ට් පවසා තිබුණා.

කැනඩාව විශාල ඉඩකඩ සහිත රාජ්‍යයක් වුවත්, සංක්‍රමණිකයන් නගර කිහිපයක් පමණක් ඉලක්ක කර ගනිමින් පැමිණීමත් ගැටලුවක් වී තිබෙනවා. ටොරොන්ටෝ, වැන්කූවර් වැනි ප්‍රධාන නගරවල දැනටමත් දැරිය හැකි මිලකට ලබා ගත හැකි නිවාස ගණන අඩු වෙමින් පවතින්නේ ඒ නිසා යි. ලෙගර් ආයතනය සහ කැනේඩියානු අධ්‍යයන සංගමය එක්ව සිදු කළ සමීක්ෂණයකට අනුව සෑම කැනේඩියානුවන් හතරදෙනකු ගෙන් තිදෙනකු ම පවසා සිටියේ, නව සංක්‍රමණ සැලැස්ම හරහා නිවාස සහ සමාජ සේවා කෙරෙහි බලපෑම් ඇති විය හැකි බව යි. ෆෙඩරල් රජය ඉදිරි වසර තුළ අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක්යැ යි ප්‍රකාශ කරන ගණන 49% ක් වන අතර, 31% ක් එම සංක්‍රමණික ඉලක්කය සාධාරණ බව පවසා තිබුණා.

සංක්‍රමණය ප්‍රධාන ගැටලුවක් නොවෙයි

කැනේඩියානුවන් මෙහි දී වඩාත් ඉස්මතු කරන්නේ සංක්‍රමණිකයන් හරහා පැන නඟින සංස්කෘතික ගැටලු නොවෙ යි. ඔවුන් වඩාත් අවධානයට ලක් කරන්නේ සම්පත් බෙදී යෑමේ විෂමතා ගැන යි. කැනේඩියානු රජය මෙලෙස ගෙන්වා ගන්නා සංක්‍රමණිකයන් මිනිස් සම්පත වැඩියෙන් ම අවශ්‍ය වන පළාත් සඳහා යොමු කරන අන්දමේ වැඩපිළිවෙළක් සැකසීමට පෙලඹේවි. සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ යම් යම් බලතල පෙරට වඩා වැඩියෙන් පළාත් රජයන් සඳහා ලබා දීමටත් ඉඩ තිබෙනවා. එවැනි පළාත් මට්ටමේ සංක්‍රමණික වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වන බව යි වාර්තා වෙන්නේ.

සංක්‍රමණය කෙරෙහි කැනේඩියානුවන් දක්වන ආකල්පය – www.statista.com

අධ්‍යාපනික, වෘත්තීය කුසලතා සහ ආයෝජන හැකියාව මත ගෙන්වා ගන්නා සංක්‍රමණිකයන්ට අමතර ව සරණාගතයන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙනුත් කැනඩාව ප්‍රසිද්ධියක් උසුලනවා. 2021 දී සරණාගතයන් 20,428 ක් කැනඩාවට පිළි ගත් අතර, එය ඔවුන් ඉලක්ක කළ සංඛ්‍යාව ද නොවෙ යි. සැබැවින්ම 2021 දී කැනඩා රජය සරණාගතයන් 59,000 ක් පමණ ගෙන්වා ගැනීමට සැලසුම් කොට තිබුණා. කොවිඩ්-19 බලපෑම හේතුවෙන් එම අගය සීමා වුව ද 2023 දී එම අගය 76,000 ක් දක්වා ඉහළ දැමීමට ඔවුන් අපේක්ෂා කරනවා. මේ සියල්ල කැනඩාවේ අනාගත ආර්ථික සැලැසුම් වෙනුවෙන් ආයෝජනය වනු ඇති.

යම් යම් ගැටලු ඇතත්, සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සඳහා විවෘත වීමේ කැනඩා ප්‍රවණතාව, බොහෝ රටවල් ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවක පවා සක්‍රීය ව පවතිනවා. ලෝක දේශපාලනය තුළ තවමත් ජාතිකවාදී දේශපාලන රැල්ල ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක එවැනි අදහස් දරණ දේශපාලන පක්ෂවලට සහය දීමට පවා කැනේඩියානුවන් එතරම් පෙලඹෙන්නේ නැහැ. අර්බුද මැද වුවත්, බහු සංස්කෘතිකත්වය, නවකයන් පිළිගැනීම, වැනි වටිනාකම් සමඟ ඔවුන් සම්බන්ධ වීමට ඉහළ කැමැත්තක් දක්වනවා. කැනේඩියානුවන් අදටත් තම රටේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රධාන ගැටලුවක් ලෙස දකින්නේ නැහැ.

කවරයේ ඡායාරූපය: කැනඩාව යනු ලෝකයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය සංක්‍රමණ ගමනාන්තයක් - www.forbes.com
මූලාශ්‍ර:
Worldpopulationreview.com
www.cicnews.com
www.bbc.com
Thepienews.com

Related Articles