සහස්‍රයකට ආසන්න කාලයක් මුළුල්ලේ එංගලන්තයේ දේශපාලනික, සාමාජීය, සහ සංස්කෘතික ඉතිහාසය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී සිටින ලෝක ප්‍රකට දේවස්ථානයක් ලෙස ‘වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර’ හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. 1066 වසරේ සිට පවත්වන ලද බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලුම රාජාභිෂේකයන් සඳහා අනුග්‍රහය දක්වන ලද එහි පවත්වා ඇති රාජකීය විවාහ මංගල්‍යයන් සංඛ්‍යාව 17ක් බව යි වාර්තා වන්නේ. එසේ ම වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරු භූමියේ පිහිටා ඇති සොහොන් බිම තුළ සමාදානයේ සැතපෙන බ්‍රිතාන්‍ය රාජකීයයන් සහ කීර්තිමත් ඉංග්‍රීසි ජාතිකයන් ගණන 3,300ත් ඉක්මවනවා.
‘වෙස්ට් මිනිස්ටර්’ සහ ‘ඊස්ට් මින්ස්ටර්’
පසුකාලීන ව ‘ශාන්ත එඩ්වඩ් නම් පාපොච්චාරණ කරන්නා’ හෙවත් ‘St. Edward the Confessor’ නමින් ජනප්‍රිය වූ එංගලන්තයේ 1 වැනි එඩ්වඩ් රජු, 1040 දශකයේ දී තේම්ස් නදී තෙර පිහිටි ‘තෝනි දිවයින’ නම් භූමි ප්‍රදේශයේ ඔහුගේ රාජකීය මන්දිරය ගොඩනැංවීමට තීරණය කර තිබෙනවා. 960 වසරේ දී පමණ එඩ්ගා රජුගේ සහ ශාන්ත ඩන්ස්ටන්ගේ අනුග්‍රහය යටතේ ස්ථාපනය කරන ලද ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් කුඩා ආශ්‍රමයක්, 1 වැනි එඩ්වඩ් රජුගේ අලුත් මාළිගාවට යාබද ව පිහිටා තිබුණු අතර, එය වඩාත් වැඩි දියුණු කර ශාන්ත පීටර් නම් ධර්ම දූතයා වෙනුවෙන් රෝමනෙස්ක් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සුවිසල් දෙව්මැදුරක් ගොඩනැංවීමට 1 වැනි එඩ්වඩ් රජු තීරණය කරන ලද බව යි සඳහන් වන්නේ. එසේ වැඩ කටයුතු අරඹන ලද නව දේවස්ථානය සම්පූර්ණයෙන් සාදා නිම කර ඇත්තේ එයින් විසි පස් වසරකට පසු ව 1065 දෙසැම්බර් මාසයේ දී යි. නමුත් දැඩි සේ රෝගාතුර වී සිටි 1 වැනි එඩ්වඩ් රජු, දේවස්ථානය පූජා කිරීමේ උත්සවයට සහභාගී වී නැහැ.
ශාන්ත පීටර්ගේ ආසන දෙව්මැදුර මෙන් ම ප්‍රමාණයෙන් විශාල තවත් දෙව්මැදුරක් ලන්ඩන් නුවර නැගෙනහිර කෙළවරේ පිහිටා තිබුණු අතර, ශාන්ත පෝල් වෙනුවෙන් කැප කරන ලද එය ලන්ඩන් නුවර වැසියන් අතර ජනප්‍රිය වී තිබුණේ ‘ඊස්ට් මින්ස්ටර්’ ලෙස යි. ඒ අනුව යමින් 1 වැනි එඩ්වඩ් රජු විසින් ගොඩනංවන ලද මාළිගාවට බටහිර දෙසින් පිහිටි ශාන්ත පීටර්ගේ ආසන දෙව්මැදුර, ‘බටහිර දෙසින් පිහිටි ප්‍රධාන දේවස්ථානය’ යන අරුතින් ‘වෙස්ට් මින්ස්ටර්’ ලෙස හැඳින්වීමට ලන්ඩන් නුවර වැසියන් පුරුදු වී තිබෙනවා.
13 වැනි සියවසේ දී යළි ගොඩනංවන ලද සොඳුරු දෙව්මැදුර
1 වැනි එඩ්වඩ් රජු විසින් ගොඩනංවන ලද වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ ආයු කාලය සියවස් දෙකකට පමණක් සීමා වන්නේ, 13 වැනි සියවසේ දී 3 වැනි හෙන්රි රජු විසින් ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව එය යළි ගොඩ නැංවීමට තීරණය කිරීම හේතුවෙන්. ඒ අනුව ප්‍රංශයේ චාට්‍රර් ආසන දෙව්මැදුර සහ කෙන්ට් හි කැන්ටබරි ආසන දෙව්මැදුර වැනි යුරෝපය පුරා අලුතෙන් ගොඩනංවන ලද දේවස්ථාන නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් රාජාභිෂේකයන් සහ රාජකීයයන්ගේ භූමදානයන් සඳහා වඩාත් උචිත අයුරින් වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර යළි ගොඩනංවා තිබෙන නමුත් 1 වැනි එඩ්වඩ් රජු විසින් රෝමනෙස්ක් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම වන ලද වෘත්තාකාර ආරුක්කු, බිම්ගෙය තුළ ඇති ආධාරක කුලුනු සහ පූජකයින්ගේ කුටි අදටත් දැක බලා ගැනීමට හැකියාව පවතිනවා.
යළි ගොඩනංවන ලද වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර, 3 වැනි හෙන්රි රජු විසින් රෝමානු කතෝලික පල්ලිය වෙත පූජා කර ඇත්තේ 1269 ඔක්තෝබර් 13 වැනි දින යි. 1559 දී පමණ තාපසාරාමයක් ලෙස භාවිතා කිරීම නතර කරන ලද එය, ඒ කාලයේ දී ම රෝමානු කතෝලික පල්ලියෙන් ඉවත් ව එංගලන්ත සභාවට අයත් ඇන්ග්ලිකන් පල්ලියක් ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. නමුත් 1560 දී වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර වෙත ‘Royal Peculiar’ තත්ත්වය ප්‍රදානය කරන අතර, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එංගලන්ත සභාවෙන් පාලනයෙන් මිදෙන වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ හිමිකම බ්‍රිතාන්‍ය රාජකීය පෙළපත වෙත හිමි වීම යි. එසේ ම ‘Royal Peculiar’ තත්ත්වය හිමි වීමෙන් පසු ව එහි නිල නාමය ද ‘වෙස්ට්මින්ස්ටර් හි ශාන්ත පීටර්ගේ පාරිවේණික දේවස්ථානය’ ලෙස වෙනස් කර තිබෙනවා.
රාජාභිෂේකයන්, විවාහ මංගල්‍යයන්, සහ භූමදානයන්
1066 වර්ෂයේ නත්තල් දිනයේ දී කිරුළු පැලඳූ ‘විලියම් නම් යටත් කරගන්නා’ හෙවත් 1 වැනි විලියම් රජුගේ රාජාභිෂේකය සහ ඉන්පසු ව පවත්වන ලද ගණනින් 39ක් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම රාජාභිෂේකයන් සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර යි. වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ දී අවසන් වරට රාජාභිෂේකයක් පවත්වා ඇත්තේ 1953 දී බ්‍රිතාන්‍ය කිරුළේ වත්මන් හිමිකාරිය වන 2 වැනි එළිසබෙත් රැජින වෙනුවෙන්.
එසේ ම බ්‍රිතාන්‍ය රාජකීයයන් බොහෝ දෙනෙකු සමාදානයේ සැතපෙන වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ සොහොන් බිමේ මිහිදන් කරන ලද ප්‍රථම රාජකීයයා වන්නේ එය නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගත් 1 වැනි එඩ්වඩ් රජු වන අතර, පැරණි දෙව්මැදුරේ පූජාසනය ඉදිරියේ ගොඩනංවා තිබුණු ඔහුගේ සොහොන් කොත වෙනුවට අලුත් දෙව්මැදුරේ පූජාසනය පිටුපසින් ඔහුගේ මෘතශරීරය තැන්පත් කිරීම උදෙසා නව සොහොන් කොතක් ගොඩනැංවීමට 3 වැනි හෙන්රි රජු කටයුතු කර තිබෙනවා. රාජකීයයන්ට අමතර ව වෙස්ට්මින්ස්ටර් සොහොන් බිමේ කීර්තිමත් ඉංග්‍රීසි ජාතිකයන් බොහෝ දෙනෙක් මිහිදන් කර ඇති අතර ප්‍රකට කලාකරුවන් භූමිදාන කිරීම සඳහා ‘Poets Corner’ නමින් බිම්කඩක් ද වෙන් කර ඇති අයුරු දැක ගැනීමට හැකි යි. විලියම් ෂේක්ස්පියර්, ජේන් ඔස්ටින්, ඔස්කා වයිල්ඩ්, චාල්ස් ඩිකන්ස්, සහ බ්‍රොන්ටේ සොයුරියන් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරක එහි පිහිටා තිබෙනවා.
රාජාභිෂේකයන් සහ අවමංගල්‍යයන්ට පමණක් සීමා නොවූ වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ පවත්වන ලද රාජකීය විවාහ මංගල්‍යයන් සංඛ්‍යාව 17ක් බව යි වාර්තා වන්නේ. මුල්වරට 1100 නොවැම්බර් 11 වැනි දින වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ දී විවාහ දිවියට එළැඹී ඇත්තේ එංගලන්තයේ 1 වැනි හෙන්රි රජු සහ ස්කොට්ලන්තයේ රැජින යි. එසේ ම 1981 දී සිදු වූ බ්‍රිතාන්‍ය සිහසුනට උරුමකරු කියන චාල්ස් කුමරුගේ සහ ඩයනා ස්පෙන්සර් ආර්යාවගේ විවාහය මෙන් ම 2011 දී සිදු වූ විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහ උත්සවය පවත්වන ලද්දේ ද වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ දී ම ය.
කවරයේ පින්තූරය: © Domingo Leiva