ජනතාව රටේ බලය බව ඔප්පු කරන ස්විට්සර්ලන්ත නීතිය

ස්විට්සර්ලන්තය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සොබා සෞන්දර්යයෙන් අනූන රාජ්‍යයක් විදිහට යි. ඒ සෞන්දර්යාත්මක පරිසරය රැක ගැනීම සඳහා ඔවුන්ට හැකි සියලු දේ සිදු කරනවා. ස්විට්සර්ලන්තය විශේෂ වන කාරණා බොහෝමයක් තිබෙනවා. සොබාදහමට අමතර ව, එහි ශක්තිමත් ආර්ථිකය, සාමකාමී සමාජීය වටාපිටාව සහ යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී ස්විට්සර්ලන්තය ගොඩනඟා ගත් අනන්‍යතාව ඉන් කිහිපයක්.

මේ සියලු යහපත් කාරණා රඳා පවතින්නේ එක්තරා පොදු සාධකයක් මතයැ යි කිවහොත් නිවැරදි යි. ඒ ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යි. මෙම ක්‍රමවේදය, සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් ආසන්න වන අතර, එය වඩාත් සාර්ථක ලෙස භාවිතයේ පවත්වා ගන්නා රාජ්‍යය වන්නේත් ස්විට්සර්ලන්තය යි. වරෙක ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවා ස්විට්සර්ලන්තයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අගය කළ අතර, එය ප්‍රංශය තුළත් ස්ථාපිත කිරීමේ කැමැත්තෙන් පසු වූ බව පැවසෙනවා. එහෙත්, ඕනෑම රටකට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට ආසන්න ව යන ක්‍රමවේද ගැළපෙන බව ඉඳුරා ම පැවසිය නොහැකි යි.

ස්විට්සර්ලන්තයේ “කැන්ටන්” නමැති ෆෙඩරල් ඒකක බෙදී ඇති අන්දම – holidaystoswitzerland.com 

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලි කරගනිමු

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියන්ට නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි සහභාගීත්වය ලබා දෙමින් දේශපාලනික වශයෙන් ස්වයං නීර්ණ ලබා දීමේ උපරිම අවකාශය සලසා දෙන ප්‍රජාත්නත්‍රවාදයේ එක් ආකාරයක් හෝ පද්ධතියක් ලෙස හැඳින්විය හැකි යි. අනෙකුත් රටවලට සාපේක්ෂව ස්විට්සර්ලන්තයේ නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා ජනතා සහභාගීත්වය අසාමාන්‍ය මට්ටමක ඇතැයි පැවසුවොත්, මේ කාරණය වඩාත් සරල වෙනවා. ලෝකය පුරා පොදුවේ දැකගත හැකි ප්‍රජාතන්ත්‍රවාදයේ ආකාරය වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යි. එනම්, ප්‍රාදේශීය මට්ටමේ සිට ව්‍යවස්ථාදායකය සහ විධායක මට්ටම දක්වා පුරවැසියන් ගේ ඡන්දයෙන් පත් වූ, ඔවුන් නියෝජනය කරන පුද්ගලයන් හරහා රටක තීන්දු තීරණ ගැනීම සිදු වෙනවා.

ස්විට්සර්ලන්තයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් හරහා යි. මිනිසුන් සෘජු ව සහභාගී වී පාලනය සිදු කරගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ගොඩ නැඟීම ප්‍රායෝගික ව අසීරු වන බැවින්, ස්විට්සර්ලන්තය සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හැකිතාක් රැකෙන පරිදි තමාට ම අනන්‍ය වූ ව්‍යුහයක් ගොඩ නඟා ගෙන තිබෙනවා.

ජනතාව රටේ බලය බව පමණටත් වඩා ඔප්පු කළ රටක් තමයි ස්විට්සර්ලන්තය – www.bloomberg.com 

සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ උපකරණ

ස්විට්සර්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ෆෙඩරල් නීතිවලට යටත් වන සියලු ම ක්ෂේත්‍ර සවිස්තරාත්මක ව විස්තර කරනවා. ව්‍යවස්ථාව මඟින් පැහැදිලි නොවන ඕනෑම දෙයක් “කැන්ටන්” ලෙස හඳුන්වන ෆෙඩරල් ඒකක හෝ ජනපද තුළ ක්‍රියාත්මක වන නීති සම්පාදන ඔස්සේ පැහදිලි කර ගැනීම සඳහා ඉතිරි වෙනවා. එබැවින්, රට පුරා ප්‍රමිතිගත විසඳුම් ඉල්ලන සමාජය වෙනුවෙන් සහ තාක්ෂණික වෙනස්කම් සැලකිල්ලට ගැනීම සඳහා වරින් වර ව්‍යවස්ථාව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් ස්විට්සර්ලන්තයට මතු වෙනවා.

ස්විට්සර්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන අතර, ඡන්දදායකයන් ගේ බහුතරය එකඟ වූ පමණින් අදාළ වෙනස්කම සිදු කළ නොහැකි යි. ඒ සඳහා “කැන්ටන්” බහුතරයක එකඟත්වයත් අවශ්‍ය වෙනවා. ඇතැම් විට ගතානුගතික අදහස් දරන්නන් ගේ බලපෑම නිසා පොදු එකඟතාවයකට පැමිණීමේ දුෂ්කරතා මතු වන අවස්ථා ද තිබෙනවා. එසේ වුවත්, ස්විස් දේශපාලන පද්ධතියේ මූලික අදහස් වලට හෝ ස්ථාවරත්වයට බලපෑම් නොවන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් නිතර සිදු වෙනවා.

ස්විට්සර්ලන්තයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ප්‍රධාන උපකරණ තුනක් හමු වෙනවා. ජනමත විචාරණ පවත්වන්නේ මෙම උපකරණ තුනට අනුකූලව යි. ඒවා අනිවාර්ය, ජනප්‍රිය මුල පිරීම් සහ විකල්ප ලෙස හඳුන්වනවා.

ස්විස් ආර්ථිකය සැකෙවින් – www.eda.admin.ch 

අනිවාර්ය ජනමත විචාරණ

අනිවාර්ය ව්‍යවස්ථාපිත ජනමත විචාරණය, 1848 දී ස්විස් ෆෙඩරල් රාජ්‍යය නිර්මාණය කිරීමේ මොහොත පටන් පැවත ගෙන එන බව සඳහන් වෙනවා. මෙහි දී පාර්ලිමේන්තුව අනුමත කළ සියලු ම ව්‍යවස්ථා සංශෝධන ජනමත විචාරණයකට යටත් කිරීම සිදු කරනවා. මීට අමතර ව, සාමුහික ආරක්ෂක සංවිධාන හෝ ජාත්‍යන්තර සංවිධානවල ස්විට්සර්ලන්තයේ සාමාජිකත්වය වෙත ප්‍රවේශ වීම, ව්‍යවස්ථාපිත පදනමක් නොමැති සහ වලංගුභාවය වසරක් ඉක්මවන හදිසි නීති සම්මත කිරීම, වැනි අවස්ථාවල පවා ද්විත්ව බහුතර මතය සැලකිල්ලට ගන්නවා. ද්විත්ව බහුතර මතය යන්නෙන් අදහස් වන්නේ ජනතාව සහ කැන්ටන් ඒකක යන ද්විතයේ ම බහුතර කැමැත්ත යි. 1848 සිට 2021 දක්වා නීති 240 ක් අනිවාර්ය ජනමත විචාරණයට යටත් වූ අතර, ඉන් 174 ක් ද්විත්ව බහුතරයෙන් සම්මත වුණා.

ජනප්‍රිය මුල පිරීම්

මීට පෙර අප සාකච්ඡා කළේ පාර්ලිමේන්තුව හරහා එන ව්‍යවස්ථා සංශෝධන ජනතා මතයට යටත් කිරීමේ ක්‍රමවේදයක් ගැන යි. ස්විට්සර්ලන්තය තුළ අවැසි නම් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන හෝ වෙනස් කිරීම් යෝජනා කළ හැකි යි. මේ සඳහා යෝජකයන්ට තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් හරහා ගමන් කිරීමට සිදු වෙනවා. ඔවුන් ව්‍යවස්ථාපිත මට්ටමෙන් සිදු කළ යුතුයැ යි යෝජනා කරන වෙනස හෝ සංශෝධනය ජනප්‍රිය මතයක් බව ඔප්පු කළ යුතු යි. අවම වශයෙන් ස්විස් පුරවැසියන් හත් දෙනකුගෙන් යුත් කමිටුවක් ජනප්‍රිය මුල පිරීමක් වෙනුවෙන් පිහිටුවා ගත යුතු අතර, මාස 18 ක් ඇතුළත යෝජනාවට පක්ෂ ව වලංගු අත්සන් ලක්ෂයක් එක්රැස් කිරීමට ඔවුන්ට සිදු වෙනවා.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය අතර සැසඳීමක් – pediaa.com 

ෆෙඩරල් කවුන්සිලය සහ පාර්ලිමේන්තුව අදාළ යෝජනාව සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා බැඳී සිටින අතර, එය පිළිගත යුතු ද, ප්‍රතික්ෂේප කළ යුතු ද යන්න හෝ විකල්ප ඉදිරිපත් කිරීම ඊළඟට සිදු කරනු ඇති. ඔවුන් ගේ තීරණය කුමක් වුවත්, අත්සන් ලක්ෂයකින් ඉදිරිපත් වූ යෝජනාව පිළි ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ජනමත විචාරණයක් යටතේ තීන්දු වෙනවා. යෝජනාව පිළි ගැනීම සඳහා ද්විතව බහුතරය අවශ්‍ය වන අතර, එම කඩඉමත් සාර්ථක ව ජය ගැනීමට සමත් වුවහොත්, නව ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් බවට පත් වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නව නීති සම්පාදනයක් හෝ පවතින නීතිවල සංශෝධනයක් අවශ්‍ය වේවි.

1891 දී ෆෙඩරල් මට්ටමින් “ජනප්‍රිය මුල පිරීම්” යන ජනමත විචාරණ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. එතැන් පටන් ස්විස් ජනතාව “ජනප්‍රිය මුල පිරීම්” ඔස්සේ ඉදිරිපත් වූ යෝජනා දෙසීයයකට පමණ ඡන්දය දී ඇති නමුත්, ඉන් පිළිගෙන ඇත්තේ 22 ක් පමණ යි. උදාහරණයක් ලෙස 2016 දී රටේ සෑම කෙනකුට ම මූලික ආදායමක් ලබා දීමේ යෝජනාව ජනමත විචාරණයක් දක්වා ගමන් කළත්, 76.9% ක අති විශාල බහුතරයකින් එය ප්‍රතික්ෂේප වුණා. තවත් අවස්ථාවක කම්කරුවන් සඳහා වසරකට සති හයක නිවාඩුවක් යෝජනා කිරීමේ ජනප්‍රිය මුල පිරීමක් ඉදිරිපත් වූ අතර, එය ද ප්‍රතික්ෂේප වුණා.

මෑත ඉතිහාසයේ ජනප්‍රිය මුල පිරීමක් ඔස්සේ සිදු වූ තියුණු ම ජනමත විචාරණය 2002 දී පැවැත්වුණා. දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහයක් වූ ස්විස් මහජන පක්ෂය  රටට ඇතුළු වන සරණාගතයින් සංඛ්‍යාව මැඩ පැවැත්වීමේ යෝජනාව අරබයා මෙම ජනමත විමසුම සිදු වූ අතර, සරණාගතයන් කෙරෙහි ඇති ආකල්ප සැලකීමේ දී ස්විස් ජන සමාජය තුළ පැහැදිලි බෙදුම් රේඛාවක් පවතින බව එම ජනමත විචාරණයෙන් හෙළි වුණා.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනමත විචාරණ ආකාර සැකෙවින් – www.eda.admin.ch 

විකල්ප ජනමත විචාරණ

1874 සිට ස්විට්සර්ලන්තයේ ඕනෑම පුරවැසියකුට පාර්ලිමේන්තුව අනුමත කළ නීති සහ ඇතැම් ජාත්‍යන්තර ගිවිසුම්වලට එරෙහි ව ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව පාලකයන්ට අභිමත ලෙස නීති සම්මත කිරීමේ හැකියාවක් ස්විට්සර්ලන්තයේ නැහැ. කිසියම් නීතියක් ස්විස් ජන සමාජයට ගැටලුකාරී අන්දමින් පෙනේ නම්, එය ජනතා තීන්දුවට යටත් කිරීමේ හැකියාවක් “විකල්ප ජනමත විචාරණ” හරහා ලැබෙනවා.

මේ ආකාරයේ ජනමත විචාරණයක් පැවැත්වීමට නම්, කැන්ටන් අටක් එය ඉල්ලා සිටිය යුතු යි. එසේත් නැතිනම්, සුදුසුකම් ලත් ඡන්දදායකයන් ගේ අත්සන් 50,000 ක් දින සියයක් ඇතුළත එකතු කිරීමෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබූ, එහෙත්, ජනතාවට අභියෝගයක් සේ පෙනෙන නීතියට එරෙහි වීමේ මූලික පියවර තැබිය හැකි යි. ඉන්පසු ගැටලුව සම්බන්ධයෙන් රටපුරා මහජන ඡන්දයක් පැවැත්වෙනවා. සරල බහුතරය අනුව පවතින නීතිය දිගට ම බලාත්මක වන්නේ ද නැතිනම් නව නීතිය පිළිගන්නේ ද යන්න තීරණය වනු ඇති.

විකල්ප ජනමත විචාරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු සියලු ම පාර්ලිමේන්තු තීරණවලින් 6% ක් පමණ මහජන මතය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සිදු වී තිබෙනවා. 1874 සිට 2021 දක්වා අභියෝගයට ලක් වූ කරුණු 200 ක් සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව කැඳවීමට සිදු වූ අතර, ඉන් 116 ක් අනුමත වුණා. ජනතාව කිසියම් නීතියක් ප්‍රතික්ෂේප කළ විට පාර්ලිමේන්තුව නැවතත් වඩාත් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.

 කෙසේ නමුත්, විකල්ප ජනමත විචාරණයක ප්‍රතිඵලයක් හරහා පාර්ලිමේන්තුවට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බැවින්, ස්විස් දේශපාලනය හැකි සෑම විට ම ජනමතය විමසීමට තරම් තත්ත්වය බරපතළ වන ආකාරයේ නීති සම්පාදනය නොකිරීමට වග බලා ගන්නවා. ස්විස් ජන සමාජයේ ස්වභාවය හොඳින් තේරුම් ගනිමින් හොඳ ම සම්මුතිය සොයා ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වෙනවා.

සරණාගතයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක්තරා යෝජනාවක් ජන මතයට යටත් කිරීමේ දී රට තුළ පැහැදිලි බෙදුම් රේඛාවක් තිබෙන බව හෙළි වුණා – www.britannica.com

සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු

බැලූ බැල්මට ම සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ‍යහපත් කාරණා කිහිපයක් දැකිය හැකි යි. ඉන් ප්‍රමුඛ ම කාරණය වන්නේ රජයේ විනිවිදභාවය විදහා දැක්වීම යි. එමෙන්ම, රජයේ සෘජු වගවීම සහ තීරණ ගැනීමේ දී සාමාන්‍ය පුරවැසියාගේ සක්‍රීය සහභාගීත්වය, වඩාත් හොඳ රාජ්‍ය පරිපාලනයක් ගොඩ නැංවීම සඳහා දායක වෙනවා. කෙසේ නමුත්, වේගයෙන් වෙනස් වන නවීන සමාජයට සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කොතෙක් දුරට ගැළපේවි ද යන්න නිවැරදි ව තක්සේරු කළ නොහැකි යි.

 සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ස්වභාවයෙන් ම ඉහළ අවදානමක් සහ ඉහළ පිරිවැයක් තිබෙනවා. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බොහෝ විට රටපුරා ඡන්ද සහ රැස්වීම් අවශ්‍ය වන බැවින්, එහි ආර්ථික, සමාජීය සහ දේශපාලනික පිරිවැය අධික යි. ඇතැම් විට සමාජ ගැටුම් උග්‍ර කිරීමට හේතු විය හැකි අතර, සුළු ජාතීන් සහ බහුතරය නියෝජනය කරන ජාතිය ලෙස සමාජය තුළ බෙදුම් රේඛා පවා හට ගැනීමේ අවදානමක් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බැඳී තිබෙනවා. ආගම, ජාතිය හෝ වෙනත් සාධකයකින් නිදහස් චින්තනය යටපත් කර තිබෙන ඕනෑම රටකට සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොගැළපෙන්නේ, සුළු ජාතීන් ගේ අයිතිවාසිකම් යටපත් වීමේ ඉහළ හැකියාවක් පවතින නිසා යි.

ස්විට්සර්ලන්තයේ පවා සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පෙනෙන තරම් “සෘජු” නොවන බව ලිපිය කියවන ඔබටත් වැටහෙනවා ඇති. කෙසේ වෙතත්, එහි දේශපාලන ක්‍රමය සෘජු මැතිවරණයකට සහ ජනමත විචාරණයකට පිවිසීමේ පහසුව සාපේක්ෂ ව වැඩි කර තිබෙනවා. යම්තාක් දුරකට වක්‍ර කළ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්විට්සර්ලන්තය තුළ ඇති බව පැවසීම වඩාත් නිවැරදි වන්නේ ඒ නිසා යි. දශක ගණනාවක සිට මෙම ක්‍රමයට ස්විස් ජනයා හුරු වී ඇති බැවින්, ඉතිහාසයේ පාඩම් තුළින් සබුද්ධික ව ඡන්දය ප්‍රකාශ කිරීමේ පසුබිමක් ස්විස්ටර්ලන්තය තුළ ගොඩනැඟී තිබෙනවා. ඉදිරිපත් වන සෑම යෝජනාවක් ම පහසුවෙන් ස්විස් ජනයා අනුමත කිරීමට නොපෙලඹීමෙන් එය තවදුරටත් පැහැදිලි වෙනවා.

කවරයේ ඡායාරූපය- ස්විස්ටර්ලන්තය රැක ගන්නේ ඔවුන් ගේ පරිසරය පමණක් නොවෙයි. ජන මතයත් ඔවුන් දැඩි ව ආරක්ෂා කරනවා - unsplash.com

මූලාශ්‍ර:

 www.weforum.org

www.eda.admin.ch 

 oidp.net

examples.yourdictionary.com

www.swissinfo.ch

www.thoughtco.com

www.swissinfo.ch 

 

Related Articles

Exit mobile version