Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාව කැළඹූ පළමු ස්වයං විවාහය: ක්ෂමා බිංදු

ලෝකයේ කාලයක් සමලිංගික විවාහ රැල්ලක් ගලා ගියා. ඒ ගැන කවුරුත් කුතුහලයෙන් කතාබහ කළා. මෑතක සිට බටහිර දියුණු රටවල දක්නට ලැබෙන තවත් ලිංගික රැල්ලක් තමයි ස්වයං විවාහ කියන්නේ. එහිදී සිදුවන්නේ තමන්, තමන් ම විවාහ කරගත් බව (Sologamy) සමාජයට දැනුම් දීමේ උත්සවයක් පැවැත්වීම යි. 

එය ආසියාවේ අපට එතරම් බලනොපෑවත් ඉන්දියාවේ දී ප්‍රථම වරට තරුණියක් ස්වයං විවාහයකට පසුගිය දාඑළඹ විශාල උත්සවයක්  පැවැත්වීම සිදුවුණා. ඒ සමඟ ඉන්දියාවේ මෙන් ම දකුණු ආසියාවේ මාධ්‍යවලට ද එය ප්‍රධන මාතෘකාවක් බවට පත් වුණා.

 කැනඩාවේ ස්වයං විවාහයක මනාලිය හා දෙවැනි මනාලියන් – bbc.com

මොකක් ද මේ ස්වයං විවාහය?

මෙහිදී සිදුවන්නේ එක් පුද්ගලයකු සඳහා විවාහ චාරිත්‍ර ඉටුකිරීමක්. විවාහයට සිටින්නේ මනාලිය හෝ මනාලයා යන දෙදෙනාගෙන් එක් අයකු පමණ යි. පසුගිය කාලයේ නම් මේ  මංගල විලාසිතාව පැතිර ගොස් තිබුණේ කාන්තාවන් අතර පමණ යි. එහි නිත්‍යනුකූල භාවයක් නම් නැහැ. මනාලියට තනිව ම වුවත් විවාහ චාරිත්‍ර පැවැත්වීමට පුළුවන්. නැත්නම් යහJ යෙහෙළියන්, ඥාතීන්ට ආරාධනා කර ආගමික සහ සමාජීය විවාහ චාරිත්‍ර සියල්ල පවත්වන්නත් පුළුවන්.  

මංගල මුදුව, මංගල ඇඳුම, මනාලියගේ යෙහෙළියන් සහ පළමු හාදුව දීම පවා උත්සවයට ඇතුළත්. විවාහයේ දී මනාලිය විවාහ පොරොන්දුව කියවන අතර තමත්  තමන් ව ආදරයෙන් රැක බලා ගන්නා බවට පොරොන්දු වෙනවා. විවාහ උත්සවයේ ප්‍රමාණය නම් එකිනෙකාගේ රුචිකත්වය සහ මිල මුදල් මත වෙනස් වෙනවා.  අවසානයේ මනාලිය තනිව ම මධු සමය ගත කිරීමටත් පිටත් වෙනවා.

2 ක්ෂමා මංගල ඇරයුම් පත සමඟ – womansera.com

 

මෙය තවමත් සමාජයේ අපට දැක ගැනීමට ලැබෙන්නේ ස්ත්‍රීවාදී උත්සවයක් ලෙස යි. නමුත් පිරිමින්ට ද අවශ්‍ය නම් උත්සවයක් පවත්වා කේවල විවාහයකට ඇතුළත්වීමට ඉඩ තිබෙනවා. බටහිර සමාජයේ පවසන ආකාරයට පිරිමින් තම සිතැඟි සමාජයට විවෘත ව හෙළි කරන්නට එතරම් කැමැත්තක් නැති පිරිසක්. නමුත් අද සමාජයේ වැඩි දෙනෙක් පෙළෙන මානසික පීඩනයට මින් සහනයක් ලැබෙන බව පැවසෙනවා.

සමාජය ඉදිරියේ පොරොන්දුවක් දීම

බ්‍රිතාන්‍යයේ ගැහැනුන්, පිරිමින්ට වඩා තුන් ගුණයකින් සිය දිවි නසා ගන්නේ ඔවුන්ගේ මානසික පීඩනය නිසා යි. ඒ අතර ම වයස අවුරුදු 20-49 අතර ලිංගික ව සක්‍රිය වයසේ පිරිමින් අනෙක් වයස් කාණ්ඩයේ පිරිමින්ට වඩා සිය දිවි නසා ගැනීමට පෙලැඹෙන බව හෙළි වී තිබෙනවා. එය වැලැක්වීමට තමන් තමන්ව ම ආරක්ෂා කරගන්නා බවට සමාජය ඉදිරියේ පොරොන්දුවක් දීම එක්තරා සහයෝගයක් වෙනවා.

බ්‍රිතාන්‍යයේ IMarriedMe වෙබ් අඩවිට ස්වයං විවාහ උත්සව සංවිධානය කරන අතර ඒ වෙනුවෙන් උපදෙස් ද සපයනවා. ඔවුන් පවසන පරිදි එංගලන්තයේ ස්වයං විවාහයක් සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල පවුම් 200කට පමණ ඉටුකරගත හැකි යි. ඔවුන් විවාහ සංගීත කණ්ඩායම්, විවාහ පොරොන්දු ඉටුකිරීම්, සහ තවත් අංග රැසක් ද ඇතුළත් ව විවාහය සංවිධානය කරනවා. ජපානයේ ක්‍ය තෝ සංචාරක සමාගමක් කාන්තා ස්වයං විවාහ පැකේජයක් ඉදිරිපත් කළේ 2014දි යි. කාන්තා ස්වයං විවාහයක් පවුම් 2500කින් සංවිධානය කිරීමට එම සමාගම ඉදිරිපත් ව සිටියා.

 ඉන්දියාව කැළඹූ තරුණිය- bbc.com

ඉන්දියාවේ ක්ෂමා බිංදු

පසුගිය ජූනි 8 දා 24 හැවිරිදි ක්ෂමා බිංදුගේ ස්වයං විවාහය උත්සවාකාරයෙන් සිදුවුණා. විවාහ ඇරියුම්පත් යවා ආරාධිතයන්ට ආරාධනා කළ අතර හින්දු චාරිත්‍ර අකුරට ම ඉටු කළ  එම මංගල්‍යයේ දී විවාහ ඡායාරූප මෙන් ම විවාහය වීඩියෝගත කිරීම ද සිදු වුණා. මේ දිනවල ඉන්දිය මාධ්‍ය කළඹන්නේ එම ඡායාරූප සහ වීඩියෝ යි.  මෙම උත්සවයත් සමඟ ඉන්දියාවේ පළමු ස්වයං විවාහ උලෙළක් පැවැත්වූ කාන්තාව බවට බිංදු පත්වුණා.

ඇය ජීවත් වන්නේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරා නම් පළාතේ යි. ජනසන්නිවේදන සහ සමාජ විද්‍යා උපාධිධාරිණියක වන ක්ෂමා පුද්ගලික ආයතනයක බඳවා ගැනීමේ අංශයේ රැකියාව කරනවා. ඊට අමතර ව අය නර්තන ශිල්පිනියක ද වෙනවා. ඇය පසුගිය දා තනිව ම විවාහ වුණේ පිරිමියෙක් සමඟ විවාහය ප්‍රිය නොකරන නිසා බව යි පැවසෙන්නේ.

ඇය විවාහ මංගල්‍යය මුලින් ම පැවැත්වීමට තීරණය කර තිබුණේ හසාරි නගරයේ හරිහරේෂ්වර් මහාදේව කෝවිලේ යි. නමුත් භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයන් එයට විරුද්ධ වුණා. වදෝදරාහි භාරතීය ජනතා පක්ෂ උප සභාපති සුනිතා සුක්ලා ඒ ගැන මෙසේ අදහස් දක්වා තිබුණා:

‘‘අපට මේ වගේ වැඩවලට කෝවිල පාවිච්චි කරන්න දෙන්න බැහැ. මේක හින්දු ආගමට විරුද්ධ චාරිත්‍රයක්. මෙවැනි විවාහ නිසා හින්දු ජනගහනය අඩුවීමක් සිදුවන්නේ. මේක අපේ සංස්කෘතියට එරෙහිවීමක්‘‘

ඒ අතර ම ඉන්දියාවේ වැඩි දෙනෙක් මෙවැනි දේවල් විකාර මෝස්තර ලෙස ගර්හාවට ලක් කිරීමත් දැකගත හැකි යි. දේශපාලන විරෝධතා නිසා ක්ෂමාට තමා සමඟ විවාහ වීමට සිදුවුණේ තම නිවසේදි ම යි.

 විවාහයෙන් පසු පළමු හාදුව තමන්ටම ලබාදෙමින් – Shethepeople.tv  

විවාහ උත්සවය

ජුනි 8 දා නිවසේ දී සම්ප්‍රදායික හින්දු විවාහ චාරිත්‍ර පැවැත්වීම සිදුවුණා. එම උත්සවයට ක්ෂමාගේ සමීප මිතුරියන් දස දෙනෙක් ද රැකියා ආයතනයේ කිහිප දෙනෙක් ද සහභාගි වී සිටියා. රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර් ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමඟ ම විවාහ වුණා. තම මඟුල් මුදුව තමන් ම ඇඟිල්ලේ පැළඳ ගත්තා. වාදන යන්ත්‍රයකින් ස්තොත්‍ර ගායනා පසුබිමින් වාදනය වුණා.  

හල්දි උත්සවය (මනාලියගේ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීම) සහ සංගීත් උත්සවය වැනි  විවාහ චාරිත්‍රත් එදින ම නිවසේ ඉටු කර තිබෙනවා. විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත් ව යන බවයි ඇය උත්සව අවස්ථාවේ දී  ප්‍රකාශ කළේ.

 විවාහය දා යෙහෙළියන් සමඟ – newsbricks.com

 

ඇය ප්‍රකාශ කරන්නේ තම යහළුවන් පවසා ඇත්තේ තමා සමඟ විවාහ වන කෙනා වාසනාවන්තයෙක් වන බව යි. නමුත් ඇය ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ ඒ වාසනාවන්තිය තමා ම බව යි.

තමන් තමා ව ම විවාහ කර ගැනීමෙන් තම ජීවිතය “ස්වයං ආදරය” වෙනුවෙන් කැප කරන බව  බිංදු පවසනවා. මේ ඇය දැක්වූ අදහස්:

‘‘ස්වයං-විවාහය කියන්නේ ඔබ වෙනුවෙන් ම කරන කැපවීමක්. තමන්ට කැමති වෘත්තියක් වගේ ම ජීවන රටාවක් තෝරාගෙන අලංකාර විදිහට තෘප්තිමත් ජීවිතයක් නිදහසේ ගත කිරීමට ඉන් ඉඩ ලැබෙනවා.

 ඉන් අදහස් වන්නේ මං ම‍ගේ විවිධ හැකියා පිළිගත්ත බව. විශේෂයෙන් දුර්වලතා. ඒ කිව්වේ මානසික ව හෝ ශාරීරික ව හෝ හැඟීම් අනුව මං දුර්වලතා ලෙස දකින දේවල්. මං හිතන විදියට මේ විවාහය තමන් තමන් ව ම පිළිගත්ත බව පෙන්වන්න හොඳ ක්‍රමයක් වෙනවා. මං මේ සමාජයට පෙන්වන්න හදන්නේ මං මාවම හොඳ ම කෙනා විදිහට පිළිගත්තු බවයි. ඒකට මගේ හොඳ වගේ ම නරකත් ඇතුළත්.‘‘

ක්ෂමාගේ පවුලේ සාමාජිකයන් ද ඇගේ මේ අමුතු වැඩේට ආශිර්වාදය ලබා දී තිබෙනවා. ඇගේ මව පවසා ඇත්තේ තම දියණීය නිතර ම අලුත් දේවල් ගැන සිතන බව යි. එමෙන් ම ඇගේ කැමැත්තට තමන්ට ප්‍රශ්නයක් නොවන බව ද ඇගේ මාපියන් පවසා තිබෙනවා.

 විවාහයෙන් පසු තමන්වම දික්කසාද කළ බ්‍රසීල තරුණිය මෙසී –  indiatvnews.com

ස්වයං විවාහ තේමාව

මේ තේමාව ගැන ලොකු ප්‍රසිද්ධීයක් ලැබුණේ 2003 දී විකාශය වුණු ‘සෙක්ස් ඇන්ඩ් ද සිටි’ රූපවාහිනී නාට්‍ය මාලාව නිස යි. එක් චරිතයක් වන කැරී බ්‍රැඩ්ෂෝ රංගනයේ යෙදුණේ ස්වයං විවාහයක් කරගත් කාන්තාවක් ලෙස යි. මෙය අතිශය ජනප්‍රිය අමෙරිකානු රූපවාහිනී කතා මාලාවක් වුණා.  

ලොවපුරා තනිකඩ කාන්තාවන් එවැනි “විවාහ” සියගණනක් සිදුකර ගෙන ඇතැ යි අසන්නට ලැබෙනවා.  ඇතැම් මනාලියන් අලංකාර මංගල ඇඳුමින් සැරසී, මල් කළඹක් රැගෙන, සමහර විට පවුලේ අය සහ මිතුරන් සමඟ  ඔල්වරසන් මධ්‍යයේ විවාහ දිවියට පිවිසෙන අවස්ථා ගැන අන්තර්ජාලයේ විස්තර හමුවෙනවා.   

33 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකාවක් ඇගේ ස්වයං “විවාහයෙන්” මාස තුනකට පසුව ඇය ම “දික්කසාද” වූ බවටත් විස්තර මාධ්‍යවල පළ ව තිබෙනවා. ලෝකයේ බොහෝ ප්‍රදේශවල මේ සිරිත වටා ව්‍යාපාර ද ප්‍රචලිත වී හමාර යි. ඒ සඳහා අවශ්‍ය මංගල මුදු, ඇරියුම් පත් ආදිය ද ඇතුළත් මංගල පැකේජ පවා බිහි ව තිබෙනවා.

 එංගලන්තයේ ස්වයං විවාහයක්- imarriedme.co.uk

තමා විවාහ කරගත් තවත් අය

අමෙරිකාවේ පළමු ස්වයං විහාහය ලෙස සැලකෙන්නේ 1993 දී ලින්ඩා බේකර් සිදු කර ගත් විවාහය යි. ඇය තමා සමඟ විවාහ වුණේ සිය 40 වැනි උපන්දිනය දවසෙ යි. මාධ්‍යවලින් ලොකු ප්‍රසිද්ධීයක් ලැබුණු එම උත්සවයට ආරාධිතයක් 75 දෙනෙක් සහ දෙවැනි මනමාලියන් හත් දෙනෙක් සහභාගි වී සිටියා.  නෙදර්ලන්තයේ  තිස් හැවිරිදි චිත්‍ර ශිල්පිනියක වන  ජෙනිෆර් හෝස් 2003 දී ප්‍රකාශ කළේ තමන් ද තමන් ම  විවාහ කරගෙන සිටින බව යි. ඉන් පසු ක්‍රමයෙන් මෙම විවාහ ක්‍රමය එක්සත් රාජධානිය, ඕස්ට්‍රෙලියාව, කැඩනාව, නෙදර්ලන්තය,ජපානය, ඉතාලිය, තායිවානය සහ අමෙරිකාව වැනි රටවලින් අසන්නට ලැබුණු අතර දැන් එයට ඉන්දියාවත් එක් වෙලා. ඉදිරියේදී ශ්‍රී ලංකාවෙනුත් සමහර විට තමන් සමඟ විවාහ වෙන කාන්තාවන් ගැනත් වාර්තා වේවි.

කවරයේ ඡායාරූපය- ක්ෂමා සහ ඇය තමන් හා විවාහ වීම - indianexpress.com 

මූලාශ්‍ර :

Bbc.com

distractify.com

imarriedme.co.uk

newsbricks.com

thesun.co.uk 

Related Articles