Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චිලී දේශයට අලුත් අපේක්ෂාවක් ගෙන එන විප්ලවකාරී නීති ශිෂ්‍යයා

ඩැනියෙල් පෙරෙයිරා යනු මෑතක් වන තුරු ම දේශපාලනයට සම්බන්ධ නොවූ චිලී ජාතිකයෙක්. ඔහු එරට අගනුවර වූ සාන්තියාගෝ හි පාසල් ගුරුවරයකු ලෙස සේවය කළා. දේශපාලනික වශයෙන් උදාසීන ව සිටි ඩැනියෙල්ට වැඩි කාලයක් එසේ සිටීමට හැකි වුණේ නැහැ.

සාන්තියාගෝ ආශ්‍රිත ව ක්‍රියාත්මක වන උමං දුම්රිය සේවාවේ ගාස්තු පෙසෝ 30 න් ඉහළ දැමුණු අතර, 2019 ඔක්තෝබර් 18 වැනිදා ඊට එරෙහි ව පාසල් සිසුන් පිරිසක් මෙහෙය වූ විරෝධතාවකට ඔහු සහභාගී වුණා. චිලී රාජ්‍යය තුළ වේගයෙන් වර්ධනය වන මූල්‍ය විෂමතාව ඉදිරියේ තවදුරටත් ඩැනියෙල්ට නිහඬ ව සිටීමට හැකි වුණේ නැහැ. පුරවැසියකු ලෙස ඔහු රටට හිතකර ප්‍රතිපත්ති රාමුවක සිට ගත යුතු ව තිබුණා.

විරෝධතා වෙනුවෙන් සාන්තියාගෝ වීදිවලට ඒකරාශි වූ ජන ගඟ – www.nytimes.com 

එදා ඩැනියෙල් සහභාගී වූ විරෝධතාව, පසු කලෙක චිලී රාජ්‍යය පුරා විහිදී ගිය සමාජ පිබිදීමේ ආරම්භක ගිනි පුපුරුවලින් එකක් බවට පත් වුණා. වර්ධනය වන විරෝධතා හමුවේ උමං දුම්රිය සේවාව ක්‍රමයෙන් අකර්මණ්‍ය වූ අතර, ඩැනියෙල් වටා සිටි මිනිසුන් ටිකෙන් ටික විරෝධතාවලට සහාය දැක්වීමේ පසුබිමක් ඇති වුණා.

 “අන්තිමේ දී මේ රට පුපුරලා ගියා.”

 සමාජ අවදි වීම දුටු ඩැනියෙල් පෙරෙයිරා තමාට ම පවසා ගත්තා.

විරෝධතාවයේ ඇරඹුම සරල ව සිදු වුණත්, එය ව්‍යවස්ථා වෙනසක් දක්වා දුර දිග ගියා – www.vox.com 

විරෝධතා දරුණු අතට

 අධික ජීවන වියදම අරබයා ඇරැඹුණු විරෝධතා මාලාව කාලයත් සමඟ සංකීර්ණ කරුණු වටා කේන්ද්‍රගත වීම ඇරඹුණා. විශේෂයෙන් ම ආඥාදායකයකු ලෙස චිලී දේශය පාලනය කළ ඔගස්ටෝ පිනෝචේ ගේ සමයේ ස්ථාපනය කළ ව්‍යවස්ථාව නැවත ලිවීම ඒ ඉල්ලීම් අතර තිබුණා. දශක කිහිපයක් තිස්සේ නව ලිබරල්වාදය මත ස්ථාපිත ව තිබූ චිලී ව්‍යවස්ථාව වෙනුවෙට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් මතු කිරීමෙන් පෙනී යන්නේ, චිලී ජනතාවට පවතින ක්‍රමයේ විශාල වෙනසක් සිදු කිරීමට අවැසි වූ බව යි.

බෝරික්ගේ චින්තනය විරෝධතාකරුවන්ගේ චින්තනය සමඟ අතිශයින් සමාන්තර තලයක ගමන් කළා – www.bbc.com 

මීට අමතරව, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම වැටුප් පද්ධතිවල ප්‍රතිසංස්කරණ, අවම වැටුප වැඩි කිරීම සහ වත්මන් ජනපති සෙබස්තියන් පිනේරාගේ ඉල්ලා අස්වීම, විරෝධතා මාලාවේ අරමුණු අතර තිබුණා. වසර දෙකක් මුළුල්ලේ පැවති විරෝධතා මාලාව විටෙක අතිශයින් ප්‍රචණ්ඩ වූ අතර, මේ දක්වා 30 දෙනකුට වඩා විරෝධතා අතරතුර ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 

 ගබ්‍රියල් බොරික් නමැති තරුණ වාමාංශික දේශපාලන චරිතයට ඉමහත් ජනතා ආකර්ෂණයක් ලැබෙන්නේ චිලී දේශය මේ අයුරින් අවුල් ජාලාවක පැටළී තිබෙන පසුබිමක යි. ඔහුගේ දේශපාලන ව්‍යාපාරය, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට අතිශය සමාන්තර අයුරින් ගමන් කරමින් තිබුණා. පවත්නා රැල්ලට අනුගත වෙමින් දේශපාලන ව්‍යාපාරය වෙනස් කර ගත් පුද්ගලයකු ලෙස බොරික් හැඳින්විය නොහැකි යි.

බහුතරයක් අපේක්ෂා කළ වෙනස සිදු කළ හැකි වඩාත් සුදුසු ම විකල්පය ලෙස ජනතාව ම ඉස්මතු කර ගත් චරිතයක් ලෙස ගබ්‍රියල් බොරික් හැඳින්විය හැකි යි. ඒ අනුව වසර දෙකක් පුරා පැවැත්වෙන චිලී විරෝධතාවයේ අරමුණු අතරට ගබ්‍රියල් බෝරික් බලයට ගෙන ඒමත් එකතු වුණා.

ශිෂ්‍ය ක්‍රියාකාරියෙක් ලෙස සිටි සමයේ දී සෙබස්තියන් පිනේරාගේ රජයට එරෙහිව දේශනයක් පවත්වන බොරික් – time.com

විප්ලවකාරී නීති ශිෂ්‍යයා

1986 පෙබරවාරි 11 වන දින චිලී දේශයේ වඩාත් දකුණට වන්නට පිහිටි පුන්ටා අරෙනාස් හි උපත ලබන ගබ්‍රියල් බොරික්, වඩාත් වැඩි දියුණු සහ ලාභාපේක්ෂාවන් අවම අධ්‍යාපන ක්‍රමවේදයක් ඉල්ලා සටන් කළ ප්‍රසිද්ධ ශිෂ්‍ය ක්‍රියාකාරියෙක්. චීලි විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයකු ලෙස උසස් අධ්‍යාපන කටයුතු ඇරඹුවත්, බොරික් සිය අධ්‍යාපන කටයුතු අවසාන කළේ නැහැ. ඒ වෙනුවට දේශපාලනය කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහු තීරණය කළා. 2013 දී බොරික් ස්වාධීන අපේක්ෂකයකු ලෙස කොන්ග්‍රසයට තේරී පත් වීමත් සමඟ ම ඔහුගේ දේශපාලන පසුබිම වඩාත් ශක්තිමත් වීම ඇරඹුණා.

ඝන රැවුලක් සහ සිරුරේ පච්ච සහිත බොරික්ගේ ඇවතුම් පැවතුම් සාම්ප්‍රදායික ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිරූපයෙන් හාත්පසින් ම වෙනස් ස්වභාවයක් ගෙන තිබුණා. ඔහු ටයි පටියක් පැළඳුවේ ද කලාතුරකින්. ශිෂ්‍ය ක්‍රියාකාරියකු ලෙස විශ්ව විද්‍යාලයේ සිටි සමයේ දී තිබූ දිගු කොණ්ඩය අතහැර දැමූ බොරික්, තම බාහුවල තිබෙන පච්ච වැසෙන පරිදි දිගු ජැකට්ටුවක් පැළඳීමට පුරුදු වී සිටිනවා.

බොරික්ගේ අන්ත දක්ෂිණාංශික ප්‍රතිවාදියා, හොසේ ඇන්ටෝනියෝ කාස්ට් – www.theguardian.com 

ගබ්‍රියල් බෝරික්  OCD හෙවත් ග්‍රස්ථිය නමැති මානසික ව්‍යාකූලත්වයෙන් පීඩා විඳින තැනැත්තෙක්. සිය මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළ අතරතුර තමාගේ  OCD තත්ත්වය හෙළි කිරීමට තරම් ඔහු නිහතමානී වුණා. චිලී දේශය තුළ ‍යහපත් මට්ටමකින් මානසික සෞඛ්‍යය සාකච්ඡාවට බඳුන් වන නිසා තමා ම උදාහරණයට ගනිමින් මානසික සෞඛ්‍යයේ වැදගත්කම මැතිවරණය අතරතුර ඉස්මතු කිරීමට බොරික් අපේක්ෂා කළා විය හැකි යි. ඔහු ඉතිහාසයට සහ කාව්‍ය ශාස්ත්‍රයට ඇල්මක් දක්වන පුද්ගලයෙක්. මධ්‍යස්ථ සමාජවාදියකු ලෙස තමා හඳුන්වා දීමටත් ඔහු කැමති යි. 

අපහසු මාර්ගයක්

බොරික් ජනාධිපතිවරණය  සඳහා වාමාංශික කණ්ඩායමෙන් අපේක්ෂකත්වය දිනා ගත් විට චිලී ජනතාව අමතා යම් ප්‍රතිඥාවක් ලබා දුන්නා. චිලී දේශය නව ලිබරල්වාදයේ තොටිල්ල ලෙස පෙනී සිටියා නම් එහි සොහොනත් චිලී දේශය ම වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු හිටපු ඒකාධිපති පිනෝචේ ගෙන් ඇරඹුණු නිදහස් වෙළඳපළ ආර්ථික ක්‍රමයට විප්ලවකාරී ප්‍රතිසංස්කරණ  ලබා දෙන බවට පොරොන්දු වෙමින් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියා. 2019 න් ඇරඹුණු විරෝධතා රැල්ලේ මූලික ම ඉල්ලීම වූ නව ව්‍යවස්ථාවේ සිහිනය සැබෑ කිරීමට ක්‍රියා කරන බවත් බොරික් පොරොන්දු වුණා.

විරෝධතා අතරතුර දහස් ගණන් ජනයා අත් අඩංගුවට ගැනුණා – www.bbc.com 

“තරුණයෝ මේ රට වෙනස් කරනවාට බය වෙන්න එපා”

දේශපාලන ප්‍රවාහයේ සිදු වීම්ට නියමිත වෙනස ගැන සැක සංකා උපදවා ගත් වැඩිහිටි පරපුරට ගබ්‍රියල් බොරික් ලබා දුන්නේ එවැනි පණිවිඩයක්.

බොරික්ගේ ජයග්‍රහණය පහසු එකක් වුණේ නැහැ. අන්ත දක්ෂිණාංශිකය නියෝජනය කළ ඔහුගේ ප්‍රබලත ම ප්‍රතිවාදියා වූ හොසේ ඇන්ටෝනියෝ කාස්ට්, පළමු වටයේ දී බොරික් පරාජය කිරීමට සමත් වුණා. එදින චිලී දේශයේ ක්‍රියාත්මක වන බොහෝ බස් රථ සේවා අද්භූත ලෙස රථගාල්වල නැවතී ඇති අන්දම බොහෝ දෙනකුට සැක උපදවන සිදුවීමක් වුණා. එය ඡන්දය ප්‍රකාශ කිරීම මැඬ පැවැත්වීම සඳහා බස් සමාගම් හිතාමතා ම සිදු කළ ක්‍රියාවක් බව ඇතැමුන් විශ්වාස කළා. වහා ම ක්‍රියාත්මක වූ ක්‍රියාකාරීන්, ප්‍රවාහන ගැටලුව මැතිවරණ කොමිසමට යොමු කිරීමට යුහුසුළු වුණා. කෙසේ නමුත්, දෙවැනි වටයේ දී ජයග්‍රාහී මාවතට පිවිසෙන්නට ගබ්‍රියල් බොරික් සමත් වුණා.

ජනපති වූ තරුණ හාදයා

උදෑසනින් ම 2021 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ඩැනියෙල් පෙරෙයිරා, අනෙක් ඕනෑම පුරවැසියකු මෙන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කාලය ගත කළා. අවසානයේ දී ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වූ අතර, 35 හැවිරිදි තරුණ බොරික්, චිලී දේශයේ ජනපති ධූරයට පත් ළාබාලත ම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වුණා. තීරණාත්මක දිනයේ දී, එනම්, දෙසැම්බර් 19 වැනිදා දහස් ගණනක චිලී ජනයා නැවතත් ප්‍රසිද්ධ ස්ථානවලට ඒකරාශී වුණා. ඒ බොරික්ගේ ජයග්‍රහණය සැමරීම උදෙසා යි.

“විරෝධතා අතරතුර පොලිසිය මරා දැමූ මිනිසුන් සහ පිනෝචේගේ පාලන සමයේ දී අතුරුදහන්කරවූ පුද්ගලයන් ගැන සිතීම මට නතර කළ නොහැකි වුණා. ප්‍රතිඵල එනවිට වාහනවල නළා නාද වීමට පටන් ගත්තා. අපි දිනුවා, අපේ ජනතාව ඒක කළා. මගේ පෙම්වතිය ශබ්ද විකාශන යන්ත්‍රයක් සමඟ පැමිණියා. ඉතින් අපි හැකි තරම් ශබ්ද නඟා සාම්ප්‍රදායික චිලීයානු විරෝධතා ගීතයක් වාදනය කළා!”

 ජයග්‍රහණය ගැන ඩැනියෙල් උදම් ඇනුවේ එලෙසින්. සුවහසක් චිලී ජනතාවගේ සිතුම් පැතුම් දැන් පැට වී ඇත්තේ ගබ්‍රියල් බොරික්ගේ උර මත යි. දේශපාලනය තුළ අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය අතර ඇත්තේ ඉතා සුළු පරතරයක් හෙයින්, සැබෑ අභියෝගය තවමත් මේ තරුණ වාමාංශික නායකයා හමුවට පැමිණ නැහැ.

“පොදු ජන ජීවිතයෙන් ම ඉස්මතු වූ පරම්පරාවක් ලෙස අපගේ අයිතිවාසිකම්වලට ගරු කරන පසුබිමක් අපි අපේක්ෂා කරනවා. ඒවා පාරිභෝගික භාණ්ඩ හෝ ව්‍යාපාර ලෙස සැලකීම සුදුසු නැහැ. දුප්පතුන්ට මෙන් ම, ධනවතුන්ටත් යුක්තිය දිගට ම බල පවත්වන බව අපි දන්නවා. ඒත්, චිලී දේශයේ විෂමතාවයේ මිල දිගට ම දුප්පතුන්ට පමණක් ගෙවන්න අපි ඉඩ තියන්නේ නැහැ”

සිය ජයග්‍රහණය හමුවේ දහස් ගණනක ආධාරකරුවන් බොරික් ආමන්ත්‍රණය ඒ අයුරින්. 

බොරික් ගේ අනාගත සැලසුම්

ගබ්‍රියල් බොරික් ජනපති ධූරයට නිල වශයෙන්  2022 මාර්තු 11 වැනිදා පත් වීමට නියමිත යි. තේරී පත් වූ පුරවැසි නියෝජිතයන්ගේ සම්මේලනයක් මඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනටමත් සැකසෙමින් පවතින අතර, ඔවුන්ගෙන් බහුතරයක් කාන්තාවන් වීම කැපී පෙනෙනවා. ජනපති ධූරයේ පළමු මාස හය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය පැවැත්වෙනු ඇති.  ඒ අනුව 2019 පටන් පැවති ජනතා විරෝධයේ ප්‍රධානත ම ඉල්ලීම බොරික්ගේ පළමු ජනපති කාර්යය බවට පත් වීමේ වැඩි හැකියාවක් තිබෙනවා.

පසුගිය කාලයේ දී මධ්‍යම සහ දකුණු අමෙරිකානු රටවල් බොහෝමයක් වාමාංශික නායකයන් තෝරා පත් කර ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා – novaramedia.com 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් චිලී දේශය බහු ජාතික රාජ්‍යයක් ලෙස පිළිගැනීම ඇතුළු විශාල වෙනස්කම් රැසක් හරහා ගමන් කිරීමට නියමිත යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මුතියේ සාමාජිකයන් 155 න් 20 ක් ස්වදේශිකයන් වන අතර, ඔවුන්ගෙන් 17 දෙනකු චිලී දේශයේ ආදිවාසී ජන කොට්ඨාශ දහය නියෝජනය කරනවා. බහු ජාතික රාජ්‍යයක් ලෙස පිළිගැනීමට යන ගමනේ දී මෙම සංයුතිය ඉතා යහපත් බව පෙනී යනවා.

 පසුගිය දශක කිහිපය තුළ චිලී රාජ්‍යයේ දුප්පතුන්ට බර වී ඇති ආර්ථික ආකෘතිය ඉවත් කිරීමටත් ඔහු සැලසුම් කරගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය රක්ෂණය ඇතුළු සමාජ සේවා පුළුල් කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමය සහ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම, විශාල සමාගම් සහ ධනවතුන්ගේ බදු ඉහළ දැමීම, හරිත ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය කිරීම, එයින් කිහිපයක් පමණ යි. සමාජීය වශයෙන් ගන්නා වැදගත් තීරණ අතර සමලිංගික විවාහයන්ට සහ ගබ්සා කිරීමේ අයිතියට සහාය දැක්වීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීමට බොරික් අපේක්ෂා කරනවා. ගබ්‍රියල් බොරික් යනු ස්වභාවයෙන් ම LGBT හිතවාදී සහ ස්ත්‍රීවාදී අදහස් දරණ පුද්ගලයෙක්.

අභ්‍යන්තර සහ ජාත්‍යන්තර බාධක

චිලී ආර්ථිකයේ විශාල කාර්යභාරයක් සිදු කරන පතල් කැණීම සම්බන්ධයෙනුත් ඔහු අවධානය යොමු කර තිබෙනවා. තඹ සහ ලිතියම් අඩංගු ඛනිජ කැණීමෙන් විශාල ආදායමක් චිලී දේශය ලැබුවත්, කර්මාන්තය ආශ්‍රිත ව පවත්නා පාරිසරික හානිය සහ මහජන සෞඛ්‍ය පිරිවැය සුළුපටු නැහැ. ඒ අනුව අලුතෙන් ආරම්භ කිරීමට නියමිත පතල් කිහිපයක් අවහිර කිරීමට ඔහු ප්‍රතිඥා දී තිබෙනවා.

 ඔහුගේ ප්‍රගතිශීලි සැලසුම් වලට එරෙහි ව පවත්නා අභ්‍යන්තර සහ ජාත්‍යන්තර බාධක ශක්තිමත් බවත් මෙහිදී සඳහන් කළ යුතු යි. 2019 පටන් ජනතාව අතර පැවති සාමුහික ප්‍රයත්නය ඉදිරියේදීත් බොරික්ට අවශ්‍ය වන්නේ ඒ නිසා යි. දැනට චිලී දේශයේ අනාගත නායකත්වය ගැන පැවසිය හැක්කේ මෙපමණ යි. ඉදිරියේ දී බොරික්ගේ ක්‍රියාකලාපය සහ ප්‍රතිපත්ති මත කොතෙක් දුරට ශක්තිමත්ව සිට ගන්නවා ද යන සාධක මත ඔහුගේ ප්‍රතිරූපය තීරණය වේවි.

කවරයේ ඡායාරූපය: සිය ආධාරකරුවන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින ගබ්‍රියල් බොරික් - www.theguardian.com

මූලාශ්‍ර:

www.bbc.com

novaramedia.com

www.aljazeera.com

www.aljazeera.com

www.france24.com

Related Articles