Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘථිවියේ පරිණාමීය ඉතිහාසය හෙළි කරන ගොන්ඩ්වානා වැසි වනාන්තර

ඕස්ට්‍රේලියාවේ ගොන්ඩ්වානා වැසි වනාන්තර, ඉතිහාසයේ සජීවි සේයාරුවක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. එහි තවමත් සහස්‍ර දහස් ගණනකට ඉහත දී ඓතිහාසික ගොන්ඩ්වානා සුපිරි මහද්වීපය ආවරණය කළ වැසි වනාන්තරයන්ගේ සේයාවන් ඉතුරු වී පවතිනවා. එසේ ම ගොන්ඩ්වානා වැසි වනාන්තරයන්ගේ සීමාවන් ලකුණු කරන හරිත පැහැ රූස්ස ගස් වළල්ල මධ්‍යයේ දී දැක ගැනීමට ලැබෙන පෞරාණික යමහල් විවරයන් සහ කඩිනමින් ගලා බසින ගංගාවන්ගේ අවසානය සනිටුහන් කරමින් කඩා හැලෙන සොඳුරු දිය ඇලි, වනයට පැමිණෙන අමුත්තන්ට ලබා දෙන්නේ පෘථිවි ඉතිහාසයේ ඈත ම යුගයකට කාලතරණය කළ අයෙක්ට දැනෙනවා වැනි හැඟීමක්.

© Michael Schwab

1994 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගොන්ඩ්වානා වැසි වනාන්තර, ලොව විශාලත ම අර්ධ නිවර්තන වැසි වනාන්තරය ලෙස ද සැලකෙනවා. මේ පෘථිවියේ පරිණාමීය ඉතිහාසය හෙළි කරන ගොන්ඩ්වානා වැසි වනාන්තර ගැන තොරතුරු බිඳක්.

දුලබ සතුන්ට සෙවණ දෙන සොඳුරු නවාතැන

සංරක්ෂිත ප්‍රදේශ කිහිපයකින් සමන්විත ගොන්ඩ්වානා වැසි වනාන්තර මූලික වශයෙන් පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර දිග වෙරළ තීරයේ යි. නිව්කාසල් සිට බ්‍රිස්බේන් දක්වා හෙක්ටයාර 366,500 ක (අක්කර 906,000) පමණ බිම්කඩක් පුරා විහිදී ඇති වෙන් වූ රක්ෂිත ප්‍රදේශ 40 ක් පමණ ආවරණය කරන ගොන්ඩ්වානා වැසි වනාන්තර, 2007 වර්ෂයේ දී නම වෙනස් කිරීමට පෙර හඳුන්වා ඇත්තේ ‘මධ්‍යම නැගෙනහිර වැසි වනාන්තර රක්ෂිතය’ යන නමින්. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ දී දැක ගැනීමට ලැබෙන නිවාරක යමහල් විවරයන් (සම්පූර්ණයෙන් ම ලාවා ගලා යාම හේතුවෙන් නිර්මාණය වූ යමහල් විවර) වැනි කැපී පෙනෙන භූ විද්‍යාත්මක ලක්ෂණ සහ වැසි වනාන්තරය සතු සංඛ්‍යාත්මක ව ඉහළ අගයක් ගන්නා දුර්ලභ සහ තර්ජනයට ලක් වූ සත්ත්ව සහ ශාක විශේෂ හේතුවෙන් එය විද්‍යාත්මක ව අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන බව යි.

© Tim Hill

ලොව විශාලත ම අර්ධ නිවර්තන වැසි වනාන්තරය වන ගොන්ඩ්වානා වැසි වනාන්තරය සතු ව උණුසුම්-සෞම්‍ය වැසි වනාන්තරයක ස්වභාවය ගන්නා ප්‍රදේශයන් මෙන් ම Lophozonia moorei හෙවත් දක්ෂිණ ධ්‍රැව බීච් ගසින් සැදි සිසිල්-සෞම්‍ය වැසි වනාන්තර ප්‍රදේශයන් ද පවතිනවා. එසේ ම ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ දී දැක ගත හැකි ශාක සහ සත්ත්ව විශේෂ, ඔවුන්ගේ මුල් කාලීන පූර්වජයින්ගෙන් වෙනස් වන්නේ මද වශයෙන්. මේ නිසා ෆොසිල සාක්ෂි මගින් හෙළි දරව් කරන ගන්නා ලද පෘථිවියේ පරිණාමීය ඉතිහාසය සහ එහි වත්මන් භූගෝලීය සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය අධ්‍යයනය කළ හැකි කදිම ස්ථානයක් ලෙස ගොන්ඩ්වානා වැසි වනාන්තර සැලකිය හැකි යි.

පරිණාමීය ඉතිහාසයෙන් බිඳක්

© Eustaquio Santimano

සහස්‍ර ගණනකට පෙර පුරාතන දක්ෂිණ ගොන්ඩ්වානා සුපිරි මහද්වීපයේ විශාල ප්‍රදේශයක් ආවරණය කළ වත්මන් ගොන්ඩ්වානා වැසි වනාන්තර, අදටත් ඕස්ට්‍රේලියාවේ දැක ගැනීමට ලැබෙන පෞරාණික වෘක්ෂලතා රැසකින් සමන්විත වෙනවා. ලොව පැරණි ම පර්ණාංග ශාක හෙවත් මීවන වර්ග සහ කේතුධර ශාක විශේෂ රැසක් ද ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ දී දැක ගැනීමට ලැබෙනවා. එසේ ම වසර මිලියන 100 ක පමණ පෙර සිදු වූ මල් හට ගන්නා ශාකවල බිහිවීම සහ පැතිරීම සමග ඍජු සම්බන්ධතාවයක් දක්වන ප්‍රාථමික ශාක වර්ග රාශියක් ද ගොන්ඩ්වානා වැසි වනාන්තරය සතු යි.

ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ දී සිදු වන භූගෝලීය හා පාරිසරික බලපෑම් මගින් ලොව වනාන්තර ප්‍රජාව වර්ධනය වන ස්ථානයන් තීරණය කරන අතර වසර මිලියන දහස් ගණනක් තිස්සේ සිදු වී ඇති මෙම ක්‍රියාවලිය මගින් වැසි වනාන්තරයන් හි අනාගතය තීරණය වන බව යි විද්‍යාඥයින්ගේ මතය වන්නේ.

(© Jesse Herford)
ට්වීඩ් නිම්නය

මෙවැනි සංකීර්ණ ස්වභාවික ක්‍රියාවලියකට උදාහරණයක් ලෙස දැඩි බෑවුමක් සහිත කුරුබිලියකට ඇද වැටෙන උස දිය ඇල්ලක් හේතුවෙන් සිදු වන ඛාදනය හඳුන්වා දිය හැකි යි. වෙරළබඩ ගංගාවන් හි සිදු වූ මෙවැනි ඛාදනයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සුවිසල් කඳු බෑවුම (the Great Escarpment) සහ වෝනිං කඳු වැටිය වටා පවතින ට්වීඩ් නිම්නයේ දක්නට ලැබෙන දැඩි බෑවුමක් සහිත කල්දේරාව (සුපිරි ගිනි කන්ද) බිහි වන්නට ඇති බව සැලකෙනවා. මෙවැනි ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් අලුත් ජීව විශේෂයන්ගේ පරිණාමය සිදු වන බව විද්‍යාඥයින්ගේ විශ්වාසය වන අතර ඒ හේතුවෙන් ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ බොහෝමයක් ප්‍රදේශ සාමාන්‍ය සංචාරකයින්ට තහනම් කර තිබෙනවා.

හරිත පැහැ රුක්ලතා තෝතැන්න

© Andrea Schaffer

ගොන්ඩ්වානා වැසි වනාන්තර ආවරණය කරන්නේ ඕස්ට්‍රේලියාවේ මුළු භූමි ප්‍රදේශයෙන් 0.3% ක් වැනි කොටසක් වුවත් ඕස්ට්‍රේලියා මහද්වීපය සතු ශාක කුලයන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් එහිදී දැක ගැනීමට ලැබෙනවා. එසේ ම ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායීන් සහ පක්ෂි විශේෂ තුනෙන් එකකට පමණ සෙවණ සපයන්නේ ද ගොන්ඩ්වානා වැසි වනාන්තර යි. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන මෙම සත්ත්ව සහ ශාක විශේෂ අතරින් 200 කට වැඩි ප්‍රමාණයක් අතිශය ඉහළ සංරක්ෂණ වටිනාකමකින් යුතු දුර්ලභ හෝ දැඩි ලෙස තර්ජනයට ලක් වූ සත්ත්ව සහ ශාක විශේෂයන් බව යි.

(© Igomak)
යෝධ මීවන සහ පාසිවලින් වැසුණු පෞරාණික දක්ෂිණ ධ්‍රැව බීච් ගස්

වැසි වනාන්තරයේ මායිම සනිටුහන් කරන්නේ යෝධ මීවන සහ පාසිවලින් වැසුණු පෞරාණික දක්ෂිණ ධ්‍රැව බීච් ගසින් සැදි හරිත පැහැ ශාක වළල්ලක් මගින්. මෙහි දී දැක ගැනීමට ලැබෙන ඇතැම් ගස්, වසර 3,000 කට වඩා පැරණි බව පැවසෙනවා. එසේ ම ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ පිහිටි ස්ප්‍රින්ග්බෘෘක් ජාතික වනෝද්‍යානයේ දී සොඳුරු ස්වභාවික පාලම් රාශියක් සහ රෑබදුල්ලන්ගේ නිල්-කොළ අලෝකයෙන් ඒකාලෝක වූ පැරණි ගුහා දැක ගැනීමට හැකි යි.

කවරයේ පින්තූරය : (© Taylor Glenn/National Geographic) ගොන්ඩ්වානා වැසි වනාන්තරයේ හිරු උදාව

Related Articles