මායා බන්ධන කියන්නේ අපි කවුරුත් ගොඩක් ආසාවෙන් නරඹපු රූපවාහිනි කතා මාලාවක්. එම කතා මාලාවේ දෙවනි කොටසෙ දී මෙක් සහ කැතී අපූරු සමාන්තර ලෝකයකට ගමන් කරනවා. එම සමාන්තර ලෝකයේ එක් ගම්මානයක ජීවත් වුණු මිනිසුන් මොලොක්ස් නම් යුද ටැංකියකට බියෙන් දිගු කලක් තිස්සේ පොළව යට ජීවත් වුණු බව කතා මාලාවේ නිරූපණය කෙරුණා. එසේම Lord of the Rings කතා මාලාවේත් පොළොව යට පිහිටි නගර ගැන සඳහන් වෙනවා.
එසේ රූපවාහිනි ප්‍රබන්ධ මාලාවක් හරහා ඔබට දැකගන්නට ලැබුණු ආකාරයේ පොළව යට පිහිටි නගර, ලෝක ඉතිහාසය තුළිනුත් අපට හමුවනවා. වර්තමානය වන විට එම සැඟවුණු නගර අතහැර දමා තිබුණත්, ඒවායේ නටබුන් තවමත් ඉතිරිව පවතිනවා.
1) ඩෙරින්කුයු (තුර්කිය)
තුර්කියේ නෙව්සෙහර් දිස්ත්‍රික්කය තුළ පිහිටි ඩෙරින්කුයු නම් භූගත ගම්මානයේ ඉතිහාසය ක්‍රි. පූ. 8 වන සියවස දක්වා දිව යනවා. ප්‍රිජියන්වරුන් මෙවැනි භූගත ගම්මානයක් නිර්මාණය කළේ යුද්ධ සහ ආක්‍රමණ කාලවල දී ආරක්ෂිතව වාසය කිරීම සඳහා යි. එම ගම්මානය තුළ නිවාස, පාසල් කාමර, නාන කාමර, වයින් කර්මාන්ත ශාලාවක්, ළිං ආදි දේ ඉදිකර තිබුණා. එසේම බයිසැන්තියානු යුගයේ දී මෙම ගම්මානය කිතුනුවන් අත්පත් කරගැනීමෙන් පසුව ඔවුන් මෙහි පල්ලියක් ද ඉදිකරනු ලැබුවා. එපමණක් නොව, ඔවුන් සෑහෙන පිරිසකට වාසය කළ හැකි වන පරිදි නගරය තවත් ව්‍යාප්ත කළා.
මෙම ගම්මානය සකස්ව තිබෙන්නේ තට්ටු කීපයක් වශයෙන්. තවමත් කැණීම් නොකළ තට්ටු තුනක්වත් ඇති බව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා. මේ සෑම තට්ටුවකටම ඇතුල්වීම සඳහා ගල් දොරවල් ඉදිකර තිබුණා. මේ ගල් දොරවල් සතුරන් පැමිණි විට පෙරළිය හැකි ආකාරයට සකස් කර තිබීම සුවිශේෂී ලක්ෂණයක්. එසේම ආරක්ෂාව සඳහා, ගම්මානයේ සෑම තට්ටුවක්ම වෙන වෙනම වැසීමට හැකි ආකාරයට සකස් කර තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට ගත් මෙම අපූරු භූගත ගම්මානය පසු කලෙක දී අත්හැර දැමුනා. අවසන් වරට මෙම ගම්මානයේ මිනිසුන් වාසය කළේ කුමන කාලයකදැ යි තවම තහවුරු කරගෙන නැහැ.
දිගු කාලයක් අත්හැර දමා තිබුණු මෙම ගම්මානය අහම්බයකින් සොයාගනු ලැබුවේ 1963 වසරේ දී යි. ප්‍රදේශවාසියෙකු සිය නිවසේ අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටිය දී අහඹු ලෙස මෙම ගම්මානය සොයාගත්තා. ගම්මානයේ කැණීම් කටයුතු ඇරඹුණේ ඉන් පසුව යි. නමුත් තවමත් එහි කැණීම් කටයුතු සිදුකර කුඩා කොටසක පමණ යි.
පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ පොළව යටට හාරන ලද කුඩා තට්ටු 18කින් පමණ සමන්විත මෙම ගම්මානය 20 000කට ආසන්න පිරිසකට වාසය කළ හැකි ආකාරයට සකසා තිබුණු බව යි. 1969 වසරේ සිට මහ ජනතාව සඳහා විවෘත වුණු මෙම භූගත ගම්මානය අද වන විට ජනප්‍රියතම සංචාරක ඉසව්වක් බවට පත්ව තිබෙනවා.
2) ලලිබෙලා (ඉතියෝපියාව)
1187 වසරේ දී මුස්ලිම්වරුන් ජෙරුසලම අල්ලාගැනීම නිසා කිතුණුවන්ට ශුද්ධ භූමිය වන්දනා කිරීමට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා ලලිබෙලා නම් රජතුමා ජෙරුසෙලමට සමාන අයුරින් ඉතියෝපියාවේ ජෝර්දාන් නදිය අසබඩ “ලලිබෙලා” නම් භූගත නගරය ඉදිකළා. එය ලස්ටා කඳුකරයේ මීටර් 2600ක පමණ උසකින් පිහිටා තිබෙනවා. ලලිබෙලා නගරය සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කිරීම සඳහා වසර 24ක් පමණ ගතවුණු බව පැවසෙනවා. ඒ අනුව 13 වන සියවසේ දී මෙම නගරයේ වැඩ නිමා කරන්නට ඇති බව අනුමාන කරනවා.
අඩි 100ක් පමණ ගැඹුරින් ඉදිකර තිබෙන නගරය තුළ පල්ලි කිහිපයක් දක්නට ලැබෙනවා. එම අලංකාර පල්ලි සෑදීම සඳහා ගිනිකඳු පාෂාණ භාවිතා කොට තිබෙනවා. එසේම නගරය තුළ භූගත මාර්ග පද්ධතියක් සහ සැඟවුණු ගුහා දක්නට ලැබෙනවා. එම යුගයේ පූජකවරුන් සහ පල්ලිවල සේවය කළ උදවිය දිගටම භූගත පල්ලිවල ජීවත් වුණා. එකල සැලකිය යුතු බැතිමතුන් ප්‍රමාණයක් ආගමික කටයුතු සඳහා දිනපතාම පල්ලිවලට පැමිණියා. එනිසා එම යුගයේ දී ලලිබෙලා නගරය බැතිමතුන්ගෙන් පිරී පවතින්නට ඇති බව අනුමාන කරනවා.
ඒ අයුරින් බොහෝ කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වුණු ලලිබෙලා නගරයේ ගල් පල්ලි පසුව ජනශූන්‍ය වුණා. නමුත් ලලිබෙලා නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව වටහාගත් ඉතියෝපියානු රජය එය සංරක්ෂණය කිරීමට කටයුතු කළා. එනිසා අද වන විට ලලිබෙලා නගරය සංචාරක පුරවරයක් බවට පත්ව තිබෙනවා. එසේම යුනෙස්කෝ සංවිධානය 1978 වසරේ දී මුල්ම වරට නම් කරන ලද ලෝක උරුමයන් 12 අතරට ලලිබෙලා භූගත නගරය ද ඇතුළත් කළා.
3) බීජිං භූගත නගරය (චීනය)
1960 දශකය වන විට ලෝකයේ බලවත් රටවල් කීපයක්ම න්‍යෂ්ටික අත්හදාබැලීම්වල නිරත වුණා. එනිසා න්‍යෂ්ටික යුධ බියක් ලොව පුරා පැතිර ගියා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් එයට මුහුණදීම සඳහා චීන රජය පෙර සිටම සූදානම් වුණා. ඔවුන්ගේ අගනුවර වන බීජිං නුවරට වැඩි බලපෑමක් එල්ල වනු ඇති බව චීන රජයේ අනුමානය වුණා. එනිසා ඔවුන් බීජිං නගරයට යටින් ඩික්සියා චෙන් නමින් විශාල නගරයක් නිර්මාණය කළා. එම නගරය මිලියනයක පමණ ජනගහනයකට ජීවත් විය හැකි ආකාරයෙන් ඉදිකරනු ලැබුවා.
ඒ අයුරින් ඉදිවුණු නගරය තුළ විශාල උමං මාර්ග පද්ධතියක් දක්නට ලැබුණා. සමහර මාර්ග විශාල යුද ටැංකි පවා පැදවිය හැකි තරම් විශාල වුණා. එසේම පාසල්, රෝහල්, ධාන්‍යාගාර, අවන්හල්, ක්‍රීඩාගාර ඇතුළු පහසුකම් රැසක් එහි දක්නට ලැබුණා. ඊට අමතරව මිනිසුන් 1000කට එකවර අසුන්ගත හැකි සිනමා ශාලාවක් ද එහි ඉදිකර තිබුණා. බලාපොරොත්තු වුණු ආකාරයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති නොවුණු නිසා බීජිං නගරය යට ඉදිවුණු භූගත නගරය කිසිදු දිනක භාවිතයට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතුවුණේ නැහැ. එනිසා බීජිං භූගත නගරය ක්‍රමයෙන් විනාශවෙමින් බීජිං පොළව යට වැළලී පවතිනවා.
4) වීලිස්කා ලුණු පතල (පෝලන්තය)
13 වන සියවසේ දී ආරම්භ වුණු මෙම ලුණු පතල පෝලන්තයේ ක්‍රකෝව් නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙම පතල හෑරීම ආරම්භ කර ටික කලක් යන විට පතල ඇතුළත භූගත නගරයක් නිර්මාණය කෙරුණා. ඒ සඳහා රාජකීය අනුග්‍රහය ලැබුණා. එනිසා මෙයට “වීලිස්කා රාජකීය ලුණු පතල” යන නම පටබැඳුණා. පතලේ ඉදිවුණු භූගත නගරය තුළ ලුණුවලින් කැටයම් කළ ආසන දෙව්මැඳුරක්, තවත් දේවස්ථාන 3ක්, උමං මාර්ග පද්ධතියක්, කාමර පෙළක්, ලුණුවලින් සාදන ලද පිළිම ආදී දේ දක්නට ලැබෙනවා.
13 වන සියවසේ සිට 1996 වසර දක්වාම වාණිජ ලුණු කැණීම සඳහා මෙම පතල යොදාගත්තා. පහත වැටෙන ලුණු මිලත්, පතලට පැමිණෙන ගංවතුරත් නිසා 1996 වසරේ සිට මෙහි වාණිජ ලුණු කැණීම් කටයුතු නවතා දැමුවා. නමුත් පතල 2007 වසර දක්වාම ක්‍රියාත්මක වුණා. අද වන විට මෙම අපූරු ලුණු පතල පෝලන්ත ඓතිහාසික ස්මාරකයක් බවට පත්ව තිබෙනවා. ඈත අතීතයේ දී ලුණු කැණීමට භාවිතා කළ තාක්ෂණය මෙහි දී දැකගන්නට පුළුවන්.
5) පෙට්‍රා (ජෝර්දානය)
ක්‍රි. පූ. 4 වැනි සියවසේ දී පමණ උතුරු අරාබියට සංක්‍රමණය වී ඒ ආශ්‍රිතව වාසස්ථාන ගොඩනැගූ ග්‍රෝතිකයන් නැබටියන්වරු ලෙස හඳුන්වනවා. ඔවුන් එකල රාක්මූ නමින් නගරයක් ජෝර්දානයේ දකුණු දෙසට වන්නට ගොඩනැගුවා. වර්තමානයේ දී පෙට්‍රා යනුවෙන් හඳුන්වන්නේ එම නගරය යි. එහි දක්නට ලැබෙන පාෂාණයන් කැපීමෙන් නිර්මාණය කරන ලද ගෘහ නිර්මාණයන් සහ දිය අගල් පද්ධතිය නිසා එය ලෝක ප්‍රකට වී ඇති අතර, එම පාෂාණයන්හි වර්ණය හේතුවෙන් ඇතැම් විටෙක දී එය ‘රෝස නුවර’ ලෙස ද හඳුන්වනු ලබනවා.
ජෝර්දානයේ ඇති වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙසින් සැලකෙන මෙම අපූරු නගරය නැබටියන්වරුන් විසින් ක්‍රිස්තු පූර්ව 312 දී පමණ ගොඩනගන්නට ඇතැ යි විශ්වාස කරනවා. නැබටියන්වරුන් වඩාත් ප්‍රසිද්ධව සිටියේ කාන්තාරවල ඉතාමත් සාර්ථකව ජලය රැස් කිරීම සඳහා දිය අගල් පද්ධති නිර්මාණය කිරීමටත්, ගල් පර්වත ඔප මට්ටම් කර ඒවා කැටයම් කිරීමටත් අපූරු හැකියාවක් තිබුණු පිරිසක් ලෙස යි. එනිසා එම ලක්ෂණ සියල්ලම මෙම භූගත නගරය තුළ දී හොඳින්ම දැකගන්නට පුළුවන්. මෙම නගරය තුළ ඇති අලංකාරම ගොඩනැගිල්ල වන්නේ “අල් කස්නේ” යන ගොඩනැගිල්ල යි. එය මියගිය රජෙකු හෝ රැජිණකගේ සොහොනක් බවට විශ්වාසයක් පවතිනවා.
ක්‍රි. ව. 8 වන සියවසේ දී පමණ අතහැර දමා තිබුණු මෙම නගරය පිළිබඳව 19 වන සියවසේ දී යළි ලෝකයට අනාවරණය කළේ ජොහාන් බර්ක්හාඩ් නම් ස්විට්සර්ලන්ත ගවේශකයා යි. ඉන් පසුව මෙම නගරයේ කැණීම් කටයුතු ඇරඹුනත් එය තවමත් සම්පූර්ණයෙන්ම අවසනකර නැහැ. පෙට්‍රා නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව සැලකූ යුනෙස්කෝ සංවිධානය 1985 වසරේ දී එය ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා. 2007 වසරේ දී ප්‍රකාශයට පත්කරන ලද නව ලෝක පුදුම 7 අතරට ද ජෝර්දානයේ පෙට්‍රා නගරය ඇතුළත් වුණා.