චීනයේ ෂැංහයි, බීජිං යන නගරවලින් පිටත හෝ තදාසන්න ප්‍රදේශවල පැයක් දෙකක් සංචාරය කරන්නකුට බොහොම අමුතු දෙයක් දකින්නට පුළුවන්. අනිත් නගරවල දක්නට ලැබෙන නවීන පන්නයේ උස් ගොඩනැඟිලි මේ ස්ථාන ආශ්‍රිතවත් දකින්නට ලැබෙනවා. බැලූ බැල්මටම ඒවා ඉතා හොඳ තත්ත්වයෙන් පැවතුණත්, නගරයක් තුළ සාමාන්‍යයෙන් පවතින කාර්යබහුලත්වය හා ජනාකීර්ණ බව මේ ගොඩනැඟිලි ආශ්‍රිත පරිසරයේ දක්නට ලැබෙන්නේ නැහැ. එකිනෙකට ආසන්නයේ පිහිටි සුවිශාල මහල් ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් මිනිසුන්ගෙන් තොර ව පැවතීම එයට හේතුව යි. මේවා හඳුන්වන්නේ “හොල්මන් නගර” නමින්.
එක්සත් ජනපදය, ජපානය වැනි රටවල “හොල්මන් නගර” ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කිසියම් හේතුවක් නිසා අතහැර දමා ඇති ප්‍රදේශ යි. කාලයත් සමඟ ගොඩනැඟිලි දිරාපත් වෙමින් පාළු ගුප්ත ස්වභාවයක් ඉසිලීම නිසා ඒවාට “හොල්මන් නගර” යන නාමය පටබැඳෙනවා. චීනයේ හොල්මන් නගර මීට හාත්පසින් ම වෙනස්. ඒවා අතහැර දමා ගොස් ඇති නගර නොවෙ යි. මිනිසුන් පදිංචියට නොපැමිණීම නිසා ඒවා පාළුවට ගොස් තිබෙනවා.
අසාර්ථක නිවාස ව්‍යාපෘති
චීනයේ ප්‍රධාන නගර සහ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙලෙස ඉදිවූ හොල්මන් නගර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් වඩාත් ප්‍රචලිත ප්‍රදේශය වන්නේ “අභ්‍යන්තර මොංගෝලියාව” නම් චීනයට අයත් ප්‍රදේශයේ පිහිටි ඕර්ඩොස් නව නගරය යි. 2000 වසරෙන් ඇරඹුණු දශකයේ මුල් භාගයේ දී මිනිසුන් මිලියනයක් ඕර්ඩොස් නව නගරයේ පදිංචි කිරීමට සැලසුම් වුණා. නමුත්, එම සංඛ්‍යාව ලක්ෂ තුන දක්වා අඩු වුණා.
2016 වනවිට ඕර්ඩොස් හි පදිංචිව සිටියේ මිනිසුන් ලක්ෂයකට ආසන්න ගණනක් පමණ යි. පසුකලෙක චීනයේ ප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයක් ඕර්ඩොස් ප්‍රදේශයට ගෙනා පසු යම්තාක් දුරකට මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට නිවාස ව්‍යාපෘතිය පිටුපස සිටි සමාගම් සමත් වුණා. එහෙත්, තවමත් චීනයේ මෙලෙස අසාර්ථක වූ නිවාස ව්‍යාපෘති ඕනෑ තරම් තිබෙනවා. චීනයේ දේපළ වෙළඳාම් කර්මාන්තය තුළ සුවිශාල අර්බුදයක් තිබෙන බව එයින් ගම්‍ය වෙනවා.
ආර්ථික විද්‍යාඥයෙකු වන මාර්ක් විලියම්ස් කළ ඇස්තමේන්තුවට අනුව චීනය තුළ තවමත් විකිණී නැති දේපළ මිලියන 30 ක් පමණ තිබෙනවා. මිනිසුන් මිලියන 80 කට පමණ එම නිවාස සෑහෙනවා. ජර්මනියේ මුළු ජනගහනය චීනයේ පාළුවට ගිය නිවාස ව්‍යාපෘතිවල පදිංචි කිරීමේ හැකියාව තිබෙනවා. මිලියන 100 ක් පමණ දේපළ මිලදී ගෙන ඇති නමුත්, ඒවායේ තවමත් මිනිසුන් පදිංචි වී නැති බව පැවසෙනවා. එලෙස මිලදී ගත් පසුත් පදිංචි නොවූ නිවාසවල නවාතැන් ගත හැකි මිනිසුන් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 250 කට වඩා වැඩි යි.
චීන ආර්ථිකයේ කාල බෝම්බය
1978 දී චීන ජනගහනයෙන් 18% ක් නගරවල ජීවත් වුණා. වේගවත් ආර්ථික වර්ධනය හමුවේ නගරාශ්‍රිත ජනගහනයත් වේගයෙන් වර්ධනය වූ අතර, පසුගිය වසරේදී චීනයේ නාගරික ජනගහනය 64% ට ළඟා වුණා. මේ අතිවිශාල ගලා ඒමට ඉඩ සැලසීම සඳහා චීනය විශාල ගොඩනැඟිලි සැලැස්මක් කල් තියාම ක්‍රියාත්මක කළා. අධික ලෙස මහල් නිවාස සංකීර්ණ ගොඩනැඟීම සිදු කළේ ඒ අනුවයි. සංවර්ධකයන්ට ඉඩම් විකිණීම මඟින් බදු ගෙවන නව ව්‍යාපාර ගොඩ නඟා පළාත් පාලන ආයතන වල මූල්‍යකරණය ඉහළ දැමීමටත් එහිදී සැලසුම් වුණා. ජනතාව නගරවලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාව දිගින් දිගට ම පවත්වා ගැනීමට රජයට අවශ්‍ය වූ අතර, ඉහළ ආදායම් සහ ඉහළ ගෘහස්ථ පරිභෝජනයක් ඇති නාගරික ප්‍රජාවක් චීන නගර තුළ බිහි වුණා.
මේ සියලු කටයුතු සාර්ථක ව සිදුවූ අතර, කාලයත් සමඟ ෂැංහයි, බීජිං වැනි චීනයේ ප්‍රධාන නගරවලට අලුතෙන් සංක්‍රමණය වන ප්‍රමාණය පාලනය කිරීමටත් චීන රජයට සිදු වුණා. එයට විසඳුමක් ලෙස නව ජනගහන මධ්‍යස්ථාන හෙවත්, අලුත් නගර ගොඩනැඟීම චීනය තුළ ඇරඹුණා. සියලු ම රැකියා ප්‍රධාන නගර ආශ්‍රිත ව කේන්ද්‍රගත වීම වැලැක්වීම උදෙසා අලුතෙන් සාදන නගර ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමටත් චීන රජය කටයුතු කළා.
වේගවත් ආර්ථික වර්ධනයත් සමඟ පැන නැඟුණු අවශ්‍යතා හමුවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත ව ගොඩනැඟුණු අනෙකුත් අංශ චීන ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නා. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආක්‍රමණශීලි ස්වභාවය චීන ආර්ථිකය තුළ ගොඩනැඟෙමින් පවතින කාල බෝම්බයක් ලෙස ඇතැම් විද්වතුන් සැලකුවා. බොහෝ සංවර්ධකයන් තම නිවාස ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගෙන තිබීම එයට හේතුව යි.
ඉල්ලුම අඩු යි : සැපයුම වැඩි යි.
සංවර්ධකයන්ට ඉඩම් බදු දීමෙන් රජය විශාල ආදායමක් ලැබූ හෙයින්, අලුත් නිවාස ව්‍යාපෘති ඉදි කිරීම සඳහා දේපළ වෙළඳාමේ යෙදෙන සමාගම් දිරිමත් කිරීමට රජය පියවර ගත්තා. ගොඩනැඟූ මහල් ව්‍යාපෘතිවලට ආයෝජකයන් සහ ගැනුම්කරුවන් සිටියත්, අපේක්ෂිත මට්ටමෙන් ඒවා හිමි කර ගැනීම හෝ කුලියට ගැනීමට මිනිසුන් උනන්දු වුණේ නැහැ. ප්‍රධාන නගරවලට තදාසන්න ප්‍රදේශවල මෙම තත්ත්වය යම්තාක් දුරකට අවම වුණත්, ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කළ අලුත් නගරවලට මිනිසුන් පැමිණීමේ ප්‍රවණතාව දැඩි ලෙස අභියෝගයට ලක් වුණා. ඊට බලපෑ එක් හේතුවක් වන්නේ චීනය, ගම්බද ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශවලට මිනිසුන් සංක්‍රමණය වීමේ කැමැත්ත අධිතක්සේරු කිරීම යි. ග්‍රාමීය ප්‍රදේශ තුළ සියලු පහසුකම් සහිත නාගරික කලාප බිහි කළත්, චීනයේ සාම්ප්‍රදායික නගරවලට සිදුවන සංක්‍රමණය මේවාට සිදු වුණේ නැහැ.
නාගරික ප්‍රදේශ ආශ්‍රිත ව ඉදිවූ මහල් නිවාස ව්‍යාපෘති අසාර්ථක වීම කෙරෙහි කරුණු කිහිපයක් බලපා තිබෙනවා. එයින් එකක් වන්නේ පසුගිය දශක දෙක තුළ බොහෝ ස්ථානවල නිවාස මිල ගණන් කිහිප ගුණයකින් ඉහළ යාම යි. අනෙක් කාරණය වන්නේ ධනය සුරැකීමට සහ උත්පාදනය කිරීමට ඇති හොඳ ම ක්‍රමය නිශ්චල දේපළ එක්රැස් කිරීම යන විශ්වාසය යි. එවිට මිනිසුන් අතිරේක නිවාස මිලදී ගැනීම සිදු කරන අතර, ඒවායේ පදිංචි වීමට පෙලඹෙන්නේ නැහැ.
චීනයේ නිවාස හිමියන්ගේ අනුපාතය 90% ක් තරම් ඉහළ අගයක් ගන්නවා. එක් නිවසකට වඩා හිමිකාරීත්වය ඇති නිවාස හිමියන්ගේ ගණනත් 20% ඉක්මවා යනවා. නගරාශ්‍රිත ජනගහන වර්ධන වේගයට අනුව චීනය නිවාස ව්‍යාපෘති අධිකව ගොඩනැඟුවත්, මේ පසුබිම් කරුණු නිසා ඉල්ලුමට අනුව සැපයුම ගළපා ගැනීමට දේපළ වෙළඳාම් සමාගම්වලට නොහැකි වුණා. අවසානයේදී මිනිසුන් නොමැති විශාල මහල් ගොඩනැඟිලි බුරුතු පිටින් තැන තැන ඉතුරු වුණා.
ගැටලුව උග්‍ර කළ එවර්ග්‍රෑන්ඩ් අර්බුදය
දේපළ වෙළඳාම් කර්මාන්තය චීන ආර්ථිකය තුළ වැදගත් මෙහෙයක් ඉටු කරමින් සිටි බව කලින් සඳහන් වුණා. මේ හේතුවෙන් සංවර්ධකයන් තම ව්‍යාපෘතිවලට යෙදවීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගෙන තිබුණා. දැන් එය ණය අර්බුදයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ සඳහා හොඳ ම උදාහරණය වන්නේ චීනයේ එවර්ග්‍රෑන්ඩ් සමූහය යි. එවර්ග්‍රෑන්ඩ්, චීනයේ විශාලත ම දේපල වෙළඳාම් සංවර්ධකයෙක්.
චීනය පුරා නගර 280 ක පමණ ව්‍යාපෘති 1300 කට වැඩි සංඛ්‍යාවක් ඔවුන් සතු ව පවතිනවා. කාලයත් සමඟ පුළුල් වූ එවග්‍රෑන්ඩ් සමූහය, දේපළ වෙළඳාමෙන් ඔබ්බට ගොස් විදුලියෙන් ක්‍රියා කරන වාහන, ක්‍රීඩා කටයුතු සඳහාත් මුදල් ආයෝජනය කිරීම ඇරඹුවා. බෝතල් කළ ජලය, ආහාර පාන නිෂ්පාදනය දක්වාත් තම ව්‍යාපාර පුළුල් කරමින් ඔවුන් බොහොම ආක්‍රමණශීලි ලෙස වර්ධනය වුණා.
එවර්ග්‍රෑන්ඩ් සමූහය තුළ ලක්ෂ දෙකකට ආසන්න මිනිසුන් ගණනක් සේවය කරන අතර, සෑම වසරක ම රැකියා මිලියන 3.8 ක් වක්‍රාකාරයෙන් නිපදවීමට එවර්ග්‍රෑන්ඩ් සමූහය හේතු වෙනවා. මෑත වසරවලදී නොයෙකුත් ව්‍යාපාරික උත්සාහයන් සඳහා එවර්ග්‍රෑන්ඩ් සමූහය ණය ලබා ගත් බව සඳහන්. අද එවර්ග්‍රෑන්ඩ් යනු ඩොලර් බිලියන 300 කට වඩා ණය වී සිටින චීනයේ වඩාත් ම ණයගැති සංවර්ධකයා යි. ව්‍යාපාරය නොනැසී පවත්වා ගැනීම සහ මුදල් එන බව සහතික කිරීම සඳහා එවර්ග්‍රැන්ඩ් සමූහය සිය දේපළ විශාල වට්ටම් සහිතව ලබා දීමට පියවර ගත්තා. නමුත්, ලබාගත් ණය සඳහා පොලී මුදල් ගෙවීමටත් ඔවුන් විශාල අරගලයක් කරමින් සිටිනවා.
අර්බුදය චීනයට බලපාන හැටි
එවර්ග්‍රෑන්ඩ් කඩා වැටීම චීනයට බලපාන ආකාර කිහිපයක් තිබෙනවා. බොහෝ අය එවර්ග්‍රෑන්ඩ් වෙතින් දේපළ මිලදී ගත්තේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමටත් පෙර සිට යි. සමූහය බංකොලොත්භාවයට පත් වුණහොත්, ඔවුන්ගේ තැන්පතු මුදල් අහිමි වීමේ අවදානමක් තිබෙනවා. එවර්ග්‍රෑන්ඩ් සමූහය සමඟ ව්‍යාපාර කටයුතුවල යෙදෙන තවත් සමාගම් ජාලයක් තිබෙනවා.
ඉදිකිරීම් සහ සැලසුම් සමාගම් සහ ද්‍රව්‍ය සැපයුම්කරුවන් වැනි ජාලයේ විශාල කොටසක් එවර්ග්‍රෑන්ඩ් කඩා වැටීමත් සමඟ බංකොලොත්භාවයට පත් විය හැකි යි. අනෙක් ප්‍රධානත ම කාරණය වන්නේ චීනයේ මූල්‍ය පද්ධතියට ඇතිවන බලපෑම යි. එවර්ග්‍රැන්ඩ්, දේශීය බැංකු 171 කට සහ අනෙකුත් මුල්‍ය සමාගම් 121 කට පමණ ණය වී ඇති බව වාර්තා වෙනවා. සමූහය ණය ගෙවීම පැහැර හැරියොත්, චීන මූල්‍ය පද්ධතියට සැලකිය යුතු බලපෑමකට ලක් වෙනවා.
ලෝකයේ දෙවන විශාලත ම ආර්ථිකය ලෙස දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඇති වී ඇති දරුණු ණය අර්බුදය චීනයට කිසිසේත් සුබදායක වන්නේ නැහැ. ඉදිරියේ දී ණය ලබාගැනීමට දුෂ්කර වුවහොත්, බොහෝ දේපළ වෙළඳාම් සමාගම්වලට තම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි වේවි.
එවර්ග්‍රෑන්ඩ් අර්බුදය හරහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් චීනය අඩු ආකර්ෂණීය ස්ථානයක් ලෙස විදෙස් ආයෝජකයන් සැලකීමේ අවදානමකුත් තිබෙන බව පැවසෙනවා.
කලක පටන් දැල්වුණු රතු එළි
දේපළ වෙළදාම් ක්ෂේත්‍රය තුළ අර්බුදයට ලක් ව ඇත්තේ එවර්ග්‍රෑන්ඩ් පමණක් නොවේ. සමාගම් ගණනාවක් තම මුදල් ප්‍රවාහයේ ගැටලු පිළිබඳ කරුණු මේ වනවිට හෙළි කරමින් සිටිනවා. ඔවුන් ණය ගෙවීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙසත්, අදාළ මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇති බව සඳහන්. ප්‍රමුඛ පෙළේ චීන දේපළ වෙළඳාම් සමාගම් දොළහක් ගෙවීම් පැහැර හැර ඇති බවත් වාර්තා වෙනවා. ඒවායේ මුළු වටිනාකම ඩොලර් බිලියන තුනකට ආසන්න යි.
අධික වේගයෙන් වර්ධනය වූ දේපළ වෙළඳාම් අංශය චීන ආර්ථිකයට බලපෑම් එල්ල කළ හැකි බවට වූ අනාවැකිය දැන් සත්‍ය වෙමින් පවතිනවා. චීනයේ තැන තැන ඉදි වූ “හොල්මන් නගර” හරහා එම අර්බුදය භෞතික අනතුරු හැඟවීමක් ලෙස කලක පටන් පැවතුණා. චීනයේ මහා පරිමාණ නිවාස ව්‍යාපෘතිවලට ඇති ඉල්ලුම තව තවත් පහළ වැටෙමින් තිබෙන බව පර්යේෂකයන් පවසනවා. එවර්ග්‍රෑන්ඩ් වැනි සමාගම් දැනටමත් සිදු කරමින් පවතින ව්‍යාපෘතිවල අනාගතය දැන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක යි. ඒ අනුව එවර්ග්‍රෑන්ඩ් අර්බුදය චීනය තුළ තවත් හොල්මන් නගර බිහි කිරීමට හේතු වෙන්න පුළුවන්.