Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නසීර් වැව් ඉවුරේ දෙවැනි රැම්සිස් රජුගේ දෙවොල

ඊජිප්තුව සතු වඩාත් ප්‍රකට ඓතිහාසික බිම් කඩක් ලෙස ‘අබු සිම්බල් දෙවොල’ පිහිටා ඇති භූමි ප්‍රදේශය නම් කිරීමේ වරදක් නැහැ. තුන්දහස් වසරක් මුළුල්ලේ එය පිහිටා තිබුණේ නයිල් නදියේ පළමු සහ දෙවැනි දහර දිය ඇලි (cataracts) ද්විත්වයට මැදි ව නයිල් නදියේ බටහිර ගං ඉවුරේ යි. නමුත් 1960 දශකයේ දී අස්වාස් වේල්ල නිර්මාණය කිරීම සඳහා නයිල් ගං ඉවුර ආශ්‍රිත ව පිහිටි බිම් කොටස් ලබා ගැනීමේ අරමුණ මුදුන් පත් කර ගැනීමට ‘අබු සිම්බල් දෙවොල’ කොටස් වශයෙන් ගලවා සහස්‍ර තුනකට අධික කාලයක් තිස්සේ එය පිහිටා තිබුණු ස්ථානයෙන් ඉවත් කර, උසින් වැඩි වෙනත් කඳුවැටියක් මත නැවත ගොඩනංවන ලද්දේ නූතන ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය ද ලොවට ප්‍රකාශ කරමින්.

(© Steve Welling) දෙවැනි රැම්සිස් රජුගේ ප්‍රතිමාවන්ට මැදි වූ ප්‍රධාන ද්වාරය

කඳුවැටිය කපා නිර්මාණය කරන ලද දෙවොල් ද්විත්වයකින් සමන්විත ‘අබු සිම්බල් දෙවොල’ නිර්මාණය කර ඇත්තේ ක්‍රි. පූ. 1244 දී යි. ඒ අතරින් වඩාත් විශාල දෙවොලේ ඇතුළු වීමේ දොරටුව ඉදිරිපිට දී ක්‍රි. පූ. 1303 – 1213 දක්වා ඊජිප්තුවේ සිහසුන දැරූ දෙවැනි රැම්සිස් රජුගේ දැවැන්ත හිඳි පිළිම 4ක් දැක ගැනීමට ලැබෙනවා. එක් පිළිමයක් උසින් අඩි 69 (මීටර් 21)ක් පමණ වන බව යි වාර්තා වන්නේ. දෙවොලේ ඇතුළු වීමේ දොරටුව ගොඩනංවා ඇත්තේ වසරකට දෙදිනක් (පෙබරවාරි 22 සහ ඔක්තෝබර් 22) හිරු එළිය දෙවොල තුළ ඇති ඵලකය මත තැන්පත් කරන ලද ප්‍රතිමා ත්‍රිත්වය මතට වැටෙන අයුරින්. ඉතිහාසඥයින්ගේ මතය වන්නේ එයින් දෙවැනි රැම්සිස් රජුගේ උපන්දිනය සහ ඔහු මියගිය දිනය නිරූපණය වන බව යි.

ප්‍රධාන දෙවොලට අමතර ව දැක ගැනීමට ලැබෙන ප්‍රමාණයෙන් කුඩා දෙවොල නිර්මාණය කර ඇත්තේ නෙෆටරී රැජින වෙනුවෙන්. එහි ඉදිරිපස උසින් අඩි 33 (මීටර් 10)ක් පමණ වන නෙෆටරී රැජිනගේ ප්‍රතිමා ද්විත්වයක් සහ දෙවැනි රැම්සිස් රජු දැක්වෙන පිළිම 4ක් දැක ගැනීමට ලැබෙනවා. ඒ සෑම ප්‍රතිමාවක් ම තැන්පත් කර ඇත්තේ ඊජිප්තු රූපාක්ෂර කැටයම් කරන ලද කුලුනු මධ්‍යයේ යි. වර්තමානයේ දී ‘අබු සිම්බල් දෙවොල’ නූතන ඊජිප්තුවට අයත් වුව ද, අතීතයේ දී එය නූබියාවේ පාලනයට යටත් ව පැවතී තිබෙනවා.

(© Gaston Batistini) ‘අබු සිම්බල් දෙවොල’ ඇතුළත

නයිල් ගං තෙරෙන් නසීර් වැව් ඉවුරට

සියවස් ගණනාවක් තිස්සේ නොසැලී වැජඹුණු ‘අබු සිම්බල් දෙවොල’ නූතන සංවර්ධනයට බාධාවක් වුණේ ඊජිප්තු රජය විසින් අස්වාන් වේල්ල ගොඩනැංවීමට තීරණය කිරීමෙන් පසු ව යි. දෙවොල පිහිටි භූමි ප්‍රදේශය නිරන්තරයෙන් ම ගංවතුර තත්ත්වයන්ට මුහුණ දුන් අතර, එය වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඊජිප්තු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මුල් ‘අබු සිම්බල් දෙවොල’ පිහිටි ස්ථානයේ සිට අඩි 200 (මීටර් 64)ක් ඉහළින් සහ අඩි 600 (මීටර් 180)ක් බටහිර දෙසින් පිහිටි කන්තාර සානුවක එය නැවත ගොඩනංවා ඇත්තේ 1968 දී යි.

(© Per-Olow Anderson) ‘අබු සිම්බල් දෙවොල’ වෙනත් ස්ථානයකට රැගෙන යාම

මෙසේ ‘අබු සිම්බල් දෙවොල’ වෙනත් ස්ථානයකට රැගෙන යාම භාරදූර කාර්යයක් වුණේ ටොන් 3 – 20 පමණ බරින් යුතු වූ කොටස් ප්‍රවේශමෙන් ගලවා නැවත පෙර පැවති ආකාරයට ම එකලස් කිරීමට සිදුවීම හේතුවෙන් බවට සැකයක් නැහැ. කම්කරුවන් 3,000කට ඒ සඳහා වසර 5කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, 1960 දශකයේ දී ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42ක් වැය වී තිබෙනවා.

ශ්‍රේෂ්ඨ රජු වෙනුවෙන් සොඳුරු දෙවොලක්

ඊජිප්තු ඉතිහාසයේ හමුවන ශ්‍රේෂ්ඨ පාලකයෙකු වන දෙවැනි රැම්සිස් රජු, සටන්කාමී නරපතියෙකු ලෙස ප්‍රකට යි. ඊජිප්තු අධිරාජ්‍යය වඩාත් පුළුල් කර ගැනීමේ අරමුණෙන් ඔහු අසල්වැසි හිටයිට්ස් අධිරාජ්‍යයට එරෙහි ව ‘කිඩෑෂ් හි සටන’ මෙහෙයවා තිබෙනවා. ‘අබු සිම්බල් දෙවොල’ අලංකාර කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා කර ඇත්තේ ‘කිඩෑෂ් හි සටන’ දැක්වෙන සිතුවම් වන අතර, දේවත්වය ළඟා කර ගැනීමේ ආශාවෙන් පසු වූ ඔහු ඊජිප්තුව පුරා සොඳුරු දෙවොල් ගොඩනැංවීම සඳහා කටයුතු කරන ලද බව යි සඳහන් වන්නේ.

(© Aidan McRae Thomson) රජුගේ ප්‍රතිමා පාමුල තැන්පත් කර ඇති ඔහුගේ ඥාතීන්ගේ ප්‍රතිමා

‘අබු සිම්බල් දෙවොල’ සතු වන වඩාත් විශාල දෙවොල හෙවත් ‘ප්‍රධාන දෙවොල’ අතීතයේ දී හඳුන්වා ඇත්තේ ‘අමුන් දෙවිඳුන් විසින් ප්‍රිය කළ රැම්සිස්ගේ දෙවොල’ ලෙස යි. ‘ප්‍රධාන දෙවොල’ ඉදිරිපිට ඇති විශාල ප්‍රතිමා මඟින් දෙවැනි රැම්සිස් රජුගේ විවිධ ස්වරූපයන් නිරූපණය වෙනවා. එක් එක් ප්‍රතිමාව මඟින් ඔහු කෙටි සායකින්, නීම්ස් (ඉරි සහිත) හිස් ආවරණයකින්, නාගයෙක් සහිත ද්විත්ව ඔටුන්නකින්, සහ බොරු රැවුලකින් සැරසී සිටින ආකාරය දැක්වෙනවා. එසේ ම රජුගේ ප්‍රතිමා පාමුල තැන්පත් කර ඇති කුඩා ප්‍රතිමා මඟින් පෙන්නුම් කරන්නේ නෙෆටරී රැජින, මුට්-ටුයි මව් රැජින, පුතුන් සහ දියණියන් වැනි රජුගේ ඥාතීන්. එයට අමතර ව දෙවොලේ වහලය ආසන්නයේ උක්කුටියෙන් සිටින බැබූන් වඳුරු ප්‍රතිමා 22ක් තැන්පත් කර ඇති අතර, ඉතිහාසඥයින් ප්‍රකාශ කරන්නේ බැබූන් වඳුරන්ගේ කෑ ගැසීම නැඟෙන හිරුට සිදුකරන ආචාරයක් බව පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කළ බව යි.   

(© René) ඵලකය මත ඇති ප්‍රතිමා මතට හිරු එළියට වැටෙන අයුරු

‘ප්‍රධාන දෙවොල’ තුළ ඇති ප්‍රථම මැදිරිය, කුලුනු 8ක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද ආලින්දයක් වන අතර, එහි දෙපස ඇති සිතුවම් සහ රූපාක්ෂර මඟින් ‘කිඩෑෂ් හි සටන’ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. තවදුරටත් දෙවොල තුළට පිය නැඟීමේ දී කැටයම් කරන ලද කුලුනු 4ක් සහිත තවත් ආලින්දයක් දැක ගැනීමට ලැබෙන අතර, දෙවැනි රැම්සිස් රජුගේ සහ දෙවිවරුන් තිදෙනෙකුගේ ප්‍රතිමා තැන්පත් කර ඇත්තේ එහි අවසන් කෙළවරේ පිහිටා ඇති ඵලකය මත යි. වසරකට දෙදිනක් පාතාලයට අධිපති පෙටා දෙවිඳුන්ගේ ප්‍රතිමාව හැරුණු විට අනෙක් ප්‍රතිමා ත්‍රිත්වය ම හිරු එළියෙන් ඒකාලෝක වන බව යි වාර්තා වන්නේ.

රජුගේ මනාලිය උදෙසා ඉදිකළ කුඩා දෙවොල

(© René) නෙෆටරී රැජින වෙනුවෙන් ඉදිකළ දෙවොල

‘අබු සිම්බල් දෙවොල’ සතු ප්‍රමාණයෙන් කුඩා දෙවොල කැප කර ඇත්තේ නෙෆටරී රැජින වෙනුවෙන්. එහි ඉදිරිපස දැක ගැනීමට ලැබෙන විශාල ප්‍රතිමා පාමුල ඇති කුඩා ප්‍රතිමා මඟින් රජුගේ සහ රැජිනගේ දරුවන් නිරූපණය කරනවා. එහි ඇති විශේෂත්වය වන්නේ රජ කුමරියන්ගේ ප්‍රතිමා, රජු කුමාරවරුන්ගේ ප්‍රතිමාවන්ට වඩා උසින් වැඩි වීම යි. ඒ මඟින් දෙවැනි රැම්සෙස් රජුගේ මාළිගය තුළ රැජිනට සහ කාන්තාවන්ට පැවති ගෞරවය පෙන්නුම් කරන බව ඉතිහාසඥයින් විශ්වාස කරනවා.

 

කවරයේ පින්තූරය: © Zuhal Schubbe

Related Articles