Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ඉතිහාසය

ලොව ඉහළතම යුධ ශක්තියක් හිමි රටක් ලෙස අප අසල්වැසි ඉන්දියාව සැලකිය හැකියි. ඔවුන් න්‍යෂ්ටික අවි ආයුධ, පරමාණුක සබ්මැරීන නිපදවීම සඳහා මෙන්ම තමන්ගේ බලශක්ති ප්‍රභවයක් ලෙසත් න්‍යෂ්ටික බලය භාවිතා කරනු ලබනවා. අද අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ ඒ ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ඉතිහාසය ගැනයි.

නිදහසට පෙරම ඇරඹූ ගමනක්

ඉන්දියාව නිදහස ලබන්නේ 1947 අගෝස්තු 15 වෙනිදා යි. නමුත් ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ආරම්භ වන්නේ ඊටත් වසර 3කට පෙරයි. මෙයට මූලික වන්නේ ආචාර්ය හෝමි ජෙහන්ගිර් භාභායි. ඔහු විසින් මෙයට අදාල පළමු යෝජනාව 1944 මාර්තු මාසයේ Sir Dorab Tata Trust වෙත ඉදිරිපත් කරනු ලබනවා. මෙම අරමුදල ආරම්භ කරනු ලැබුවේ භාභාගේ මාමා වූ හා ටාටා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ ජමෙස්ටි ටාටාගේ, වැඩිමහල් පුතා විසිනුයි. ඔහු විසින් 1932  ඔහුගේ බිරිඳගේ මරණයෙන් පසු සිය වත්කම් මෙම අරමුදලට බැර කළ අතර ඊට මාස තුනකට පසුව ඔහු ද මියගියා. මෙම අරමුදල පිහිටවනු ලැබුවේ ඉන්දියාවේ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු වැඩි දියුණු කිරීම වෙනුවෙනුයි.

ඉන්පසුව ඔහුගේ නායකත්වය හා අධීක්ෂණය යටතේ 1945 දෙසැම්බර් 19 වෙනිදා මෙම වැඩපිළිවෙල වෙනුවෙන්  Tata Institute of Fundamental Research (TIFR) ආයතනය නිර්මාණය වෙනවා. එය අද වන විට ඉන්දියාවේ ප්‍රධාන පෙලේ විද්‍යා හා තාක්ෂණ ආයතනයක්. ඉන්පසුව ඉන්දියානු රජය විසින් 1948 අප්‍රේල් 15 වෙනිදා පරමාණුක ශක්තිය පිළිබඳව පණත සම්මත කර ගන්නවා. එම පණත හරහා ඉන්දියානු පරමාණුක ශක්ති කොමිසම (Indian Atomic Energy Commission (IAEC)) ආරම්භ වෙනවා. එවකට අගමැතිව සිටියේ පණ්ඩිත් ජවහර්ලාල් නේරු යි. ඔහු ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව න්‍යෂ්ටික ශක්තිය යුධමය චේතනා වලින් බැහැරව, සාමකාමී අරමුණු සංවර්ධනයට යොදාගත යුතු බවයි.

Tata Institute of Fundamental Research (TIFR) (www.math.tifr.res.in

කව්ද මේ ආචාර්ය හෝමි භාභා?

ආචාර්ය භාභා සැලකෙන්නේ ඉන්දීය න්‍යෂ්ටික වැඩපිළිවෙලේ පියා ලෙසයි. මොහු න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයකු වෙනවා. 1909 ඉන්දියාවේ මොම්බායේ උපත ලැබූ, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධිධාරියෙකු වන ඔහු වර්ෂ 1954දී පද්ම භූෂණ සම්මානය දිනාගනු ලැබුවේ ඉන්දීය විද්‍යාවට හා තාක්ෂණයට කරන ලද සේවය වෙනුවෙනුයි. අදියර තුනක න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් මගින් බලශක්තිය නිපදවීමට යුරේනියම් වෙනුවට තෝරියම් යොදාගැනීම ද ඔහුගේ බලාපොරොත්තුවක් වුණා. සිතුවම් ශිල්පියෙකු, සම්භාව්‍ය සංගීත හා ඔපෙරා සංගීතලෝලියෙකු ද වූ ඔහු 1966 ජනවාරි 24දා ගුවන් අනතුරකින් මියයන විට 56 වන වියේ පසු වුණා.

ආචාර්ය හෝමි භාභා (wikipedia.org)

නේරූ කිව්වේ ඇත්ත ද?

එකල අගමැති නේරූ ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව න්‍යෂ්ටික ශක්තිය යුධමය කටයුතු වලින් බැහැරව සාමකාමී සංවර්ධන අරමුණු සඳහා යොදාගත යුතු බවයි. නමුත් එම ප්‍රකාශය තුලම යටි අරමුණක් හා ඉන්දියාවේ ඊළඟ දශකයේ න්‍යෂ්ටික පර්යේෂණ ගැන සේයාවක් පෙන්නුම් කරනු ලැබුවා. මේ ප්‍රකාශයත් ඔහුව ලෝක දේශපාලනයේ ප්‍රමුඛ තැනකට ගෙනගියා කිව්වොත් වැරදි නැහැ.. කිසිදු කඳවුරකට නොබැඳුනු ව්‍යාපාරයක් සහ න්‍යෂ්ටික අවි රහිත ලොවක් ගැන නේරු ප්‍රසිද්ධියේ කතා කළත්, ලෝකයේ අනිත් රටවල් තමන් විසින් න්‍යෂ්ටික අවි කම්හල් පවත්වාගෙන යද්දී ඉන්දියාවේ න්‍යෂ්ටික කටයුතු නැවත්වීම ඔහු ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ඉන්දීය න්‍යෂ්ටික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයත් ඔහු විසින් ලබාදුන්නා.

හෝමි භාභා හා නේරූ ( thefrustratedlawyer)

1954න් පසුව

ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වැදගත්ම වසරක් ලෙස 1954 හඳුන්වාදෙන්න පුළුවන්. ඒ, 1954 දී ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල අවි ආයුධ නිපදවීමට යොමු වීමත් සමඟයි. 1954 ජනවාරි 3 වෙනිදා ඉන්දියානු පරමාණුක ශක්ති කොමිසම විසින් පරමාණුක ශක්ති ආයතනය – ට්‍රොම්බේ හිදී ආරම්භ කළා. පසුව එය ඉන්දියාවේ ලොස් ඇලමොස් වුණා (ලොස් ඇලමොස් යනු දෙවන ලෝක යුධ සමයේ එක්සත් ජනපදය පරමාණු බෝම්බ නිර්මාණය කරන ලද ස්ථානයයි). 1954 අගෝස්තු 3 වෙනිදා පරමාණුක ශක්ති දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර එහි ලේකම් ලෙස ආචාර්ය භාභා පත්වුණා. මෙම දෙපාර්තමේන්තුව සෘජුවම අගමැතිවරයා හා කටයුතු කරන අතර එය අද දක්වාම එසේ පවතිනවා. 1954 සිට 1956 දක්වා කාලය තුල ඉන්දියානු පරමාණුක ශක්ති පිළිබඳ අයවැය 12ගුණයකින් ඉහළ ගියා. 1958 වන විට ඉන්දීය පර්යේෂණ වියදම් වලින් 1/3 ඒ වෙනුවෙන් වෙන් වී තිබුණා. 1959 වන විට ට්‍රොම්බේ පරමාණුක ශක්ති ආයතනයේ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් 1000ක් පමණ සේවය කළා.

භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය – ට්‍රොම්බේ (www.hbni.ac.in)

ව්‍යාපෘති වල ආරම්භය

1955 දී ඉන්දියාවේ ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියකයේ ඉදිකිරීම් ආරම්භ වෙනවා. එය බ්‍රිතාන්‍ය අධීක්ෂණය යටතේ ඉදිවූ මෙගාවොට් 1ක අප්සරා පර්යේෂණ ප්‍රතික්‍රියකයයි. වසරක පමණ කතිකාවකින් පසුව කැනඩාව විසින් ඉන්දියාවට මෙගාවොට් 40ක අධිබල පර්යේෂණ ප්‍රතික්‍රියකයක් ද ලබා දෙනවා. ඒ කැනඩා – ඉන්දියා ප්‍රතික්‍රියකයයි (CIR). ඉන්පසුව අයිසෙන්හවර්ගේ පරිපාලනය යටතේ වූ “Atoms for Peace” (සාමය වෙනුවෙන් පරමාණුව) වැඩසටහන මගින් එක්සත් ජනපදය මෙම ප්‍රතික්‍රියකය සඳහා ඉන්දියාවට ටොන් 21ක බැර ජලය (ඩියුටීරියම් ඔක්සයිඩ්) ලබා දෙනවා. ඒ, 1956 පෙබරවාරි මාසයේදී යි. ඉන්පසුව එම ප්‍රතික්‍රියකය CIRUS හෙවත් Canada-India Reactor, U.S.ලෙස නම් කෙරුණා.

1958 දී නේරූ අග්‍රාමාත්‍යවරයා Phoenix ව්‍යාපෘතියට අවසර දුන්නා. මෙය එක්සත් ජනපදය විසින් සංවර්ධනය කරන ලද, න්‍යෂ්ටික ප්‍රතික්‍රියක වලට හෝ න්‍යෂ්ටික අවි ආයුධ වෙනුවෙන්, භාවිතා කළ න්‍යෂ්ටික ඉන්ධන පවිත්‍ර කරන ක්‍රියාවලියක්. ප්ලූටෝනියම් භාවිත කෙරෙන CIRUS බලාගාරයේ නිෂ්පාදන ධාරිතාවයට සරිලන ලෙස මේ ඉන්ධන පවිත්‍රාගාරය ඇරඹුනා. මෙහි කටයුතු ට්‍රොම්බේ හිදී ආරම්භ වුණේ 1961 මාර්තු මස 27 වෙනිදායි. එය 1964 මාර්තු මැදභාගය වන විට අවසන් වුණා. Vitro ජාත්‍යන්තර සමාගම මෙහි සැලසුම් සකස් කළා. ඉන්දියානු සිවිල් න්‍යෂ්ටික වැඩපිළිවෙලත් මේ කාලයේ ආරම්භ වුණා. ඉන්දියානු ප්‍රථම න්‍යෂ්ටික බලශක්ති බලාගාරය පිළිබඳ සාකච්ඡාත් මේ කාලයේ ආරම්භ වූ අතර එය ටාරාපුර් හී ඉදි වුණා.

CIRUS (wikimedia.org)

ඉන්දියාව කිසිදු න්‍යෂ්ටික මූලද්‍රව්‍යයක් ආනයනය කරනු නොලබන අතර සිය රට තුල වූ නිධි වලින්ම ඒවා නිස්සාරණය කරනු ලබනවා. ට්‍රොම්බේ පරමාණුක ශක්ති ආයතනය නිල වශයෙන් 1957 ජනවාරි 20 වෙනිදා අග්‍රාමාත්‍ය නේරූගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණත්, එය අද හැඳින්වෙන්නේ භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය ලෙසයි. එය එසේ නම් කරන ලද්දේ ඉන්දිරා ගාන්ධි අගමැතිවරිය විසින් වන අතර ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ආචාර්ය භාභා සිහිකිරීමට එය එසේ නම් කෙරුණා.

ඉන්දියානු න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ වැඩසටහන පිළිබඳව අප ඊළඟ ලිපියෙන් කියවමු.

Source – nuclearweaponarchive.org/India/IndiaOrigin

              wikipedia .com

කවරය – wikimedia.org

Related Articles