“ශ්‍රම බළකාය”: චීනය පරදවන ඉන්දියාවේ බලවත් ම ආයුධය

ඉන්දියාවේ ජනගහන අගය මාස තුනකින් පමණ චීනය අභිබවා යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කර තිබෙනවා. එළඹෙන අප්‍රියෙල් 14 වැනිදා වනවිට මෙම වැදගත් සංධිස්ථානය වෙත පැමිණීමේ හැකියාව ඉන්දියාවට පවතින බවත්, ඇතැම් වාර්තා සඳහන් කර සිටිනවා.

ලෝකයේ ඉහළ ම ජනගහනයක් ඇති රට වශයෙන් කිරුළ දරා සිටින්නේ චීනය යි. ඔවුන් එය 1950 දශකයේ සිට රැක ගැනීමට සමත් වුණා. චීනයේ වර්තමාන ජනගහනය සංඛ්‍යාත්මකව බිලියන 1.45 ක් ලෙස දැක්වෙන අතර, ඉන්දියාවේ වර්තමාන ජනගහනය බිලියන 1.41 ක් පමණ වෙනවා.

ලෝකයේ ජනගහන පැතිරීම අතිශයින් විසම යි – www.populationpyramid.netpopulation

අනාවැකි සත්‍ය විය හැකි කාලයේ යම් වෙනසක් සිදුවීමේ හැකියාවක් පවතින බවත් මෙහිදී සඳහන් කළ යුතු යි. එහෙත්, ජනගහන වර්ධනය සඳහා බලපාන සාධක සැලකීමේ දී ඉන්දියාව චීනයට වඩා ඉදිරියෙන් සිටිනවා. එබැවින්, 2023 වර්ෂය ඇතුළත ලෝකයේ ඉහළම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පත්වනු ඇති.

ඉන්දියාවේ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවතුණත්, චීනයේ ජනගහනය ක්‍රමයෙන් අඩුවන ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙනවා. මෙම තත්ත්වය 21 වැනි සියවසේ ඉතිරි කාලය පුරාම පවතිනු ඇති බව යි සඳහන් වන්නේ.

තරුණ වන ඉන්දියාව

ඉන්දියාවේ වත්මන් ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රතිශතයක් වයස අවුරුදු 25ට අඩු අය වන අතර, සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වයස අවුරුදු 15ට වඩා අඩු පිරිස නියෝජනය කරනවා. චීනයේ වයස අවුරුදු 25ට අඩු මිනිසුන් නියෝජනය කරන්නේ රටේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් පමණ යි. පොදුවේ ගත් කල ඉන්දියාවේ ජනගහනය, චීනයට සාපේක්ෂ ව ඉතා තරුණ බව මින් පෙනී යනවා.

චීනය සහ ඉන්දියාවේ ජනගහන විචලනය – ourworldindata.org

ඉන්දියාව දැනටමත් ලෝක ආර්ථිකයේ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන කලාපීය බලවතෙක්. ඔවුන් ගේ සැබෑ ශක්තිය ශ්‍රම බළකාය බව පැහැදිලි ව පෙනෙන කරුණක්. තවමත් ඉන්දියාවේ රැකියා වෙළෙඳපොළට හෝ ශ්‍රම බළකායට එකතු නොවූ විශාල පිරිසක් සිටින බැවින්, ඔවුන් වර්තමානයේ පෙන්වන ආර්ථික බලවත්කම කුඩා කොටසක් පමණක් විය හැකි යි. ඉන්දියාවේ සැබෑ ආර්ථික බලවත්කම තවමත් අනාගතය තුළ පවතින්නක් බව ඇතැම් විද්වතුන් පවසන්නේ ඒ නිසා යි.

චීනයේ ගැටලුව

චීනය යනු අධික ජනගහන වර්ධන වේගය් හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන් රටක්. 1980 සිට චීනයේ කොමියුනිස්ට් පක්ෂය ජනගහන වර්ධන වේගය අඩාල කිරීම සඳහා උපත් සීමා බලාත්මක කිරීමටත් පෙලඹුණා. 2011 දී ශ්‍රම බළකාය තුළ සිටිය හැකි මිනිසුන් සංඛ්‍යාව මිලියන 925 දක්වා ඉහළ ගිය ද ඉන්පසු අනපේක්ෂිත ලෙස ශ්‍රම බළකාය තුළට පැමිණිය හැකි ජනගහනය අවම වීම ඇරඹුණා.

2015 දී චීන බලධාරීන් උපත් සීමා ලිහිල් කිරීමට පියවර ගත්තේ ඊට පිළියමක් වශයෙන්. ඒ වනවිට චීනය තුළ ඇති අධික තරඟකාරී ජීවන රටාව බොහෝ මිනිසුන් ගේ පෞද්ගලික අභිලාෂයන් හැඩ ගන්වා තිබුණා. අධික ජීවන වියදම, මව්වරුන් සම්බන්ධයෙන් රැකියා ස්ථාන තුළ පවතින වෙනස්කොට සැලකීම්, අඩු ඉඩකඩක් ඇති නිවාස, ඊට බලපෑ ප්‍රධාන සාධක ලෙස දැක්විය හැකි යි.

අඩු සාඵල්‍යතා අනුපාතයක්

2050 වනවිට චීනයේ වැඩ කරන වයසේ සිටින ජනගහනය අඩකින් පමණ අඩුවිය හැකි බව පුරෝකථනය කර තිබෙනවා. චීනයේ වත්මන් සාඵල්‍යතා අනුපාතය 1.2 ක් වන අතර, එය තිරසර ජනගහනයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ. ශුද්ධ සංක්‍රමණයක් සහ නොවෙනස් මරණ අනුපාතිකයක් ඇතැයි උපකල්පනය කළහොත්, ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන සාඵල්‍යතා අනුපාතය 2.1 ක් බව දැක්වෙනවා. ඉන්දියාවේ එම අගය 2.05 ක් හෝ 2.1 ලෙස ප්‍රකාශ වන බැවින්, ඉදිරි කාලයේ දී ශ්‍රම බළකායට අවශ්‍ය මිනිසුන් ගණන සම්බන්ධයෙන් ඉන්දියාවට දැනෙන මට්ටමේ ගැටලුවක් ඇති වන්නේ නැහැ.

චීන බලධාරීන් උපත් සීමා ලිහිල් කිරීමට 2015 දී පියවර ගත්ත ද උපත් අනුපාතය දිගින් දිගට ම පහත වැටුණා – www.nature.com

ජනගහන වර්ධනය මන්දගාමී වීමෙන් වියපත් වන ජනගහනය වර්ධනය වන අතර, ඔවුන් රැක බලා ගැනීම සඳහා පුද්ගලික මට්ටමෙන් සහ සමාජීය මට්ටමෙන් කාලය, මුදල් වෙන් කිරීමට සිදු වෙනවා. 2050 වනවිට චීනයේ වයස අවුරුදු 65 ට වැඩි පුරවැසියන් සංඛ්‍යාව දෙගුණ වනු ඇති. සංඛ්‍යාත්මකව එය මිලියන 150 සිට මිලියන 330 දක්වා වර්ධනය වීමක්. ඒ අනුව චීනයට වඩාත් අභියෝගාත්මක කාලය තවත් දශක දෙකකින් පමණ උදා විය හැකි යි.

ඉන්දියාවේ බලවත් ම ආයුධය

පුරෝකථනවලට අනුව 2050 වසරට පා තබන විට ලෝක ශ්‍රම බළකායෙන් හයෙන් එකකට වඩා වැඩි කොටසක් නියෝජනය කරන්නේ ඉන්දියාව යි. වර්තමානය වනවිටත් විදෙස්ගත පුහුණු ශ්‍රමිකයන් සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.

ඉන්දියාවට විදෙස් ප්‍රේෂණ කලාපීය වශයෙන් ලැබෙන අන්දම පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම පිණිස යි – www.xpressmoney.com

විදෙස් රටවලට ශ්‍රමිකයන් සැපයීම ඔවුන් සිදු කරන්නේත් යම් උපාය මාර්ගික සැලැස්මක් අනුව යි. ඊට හොඳ ම උදාහරණය වන්නේ 2021 දී ඉන්දියාවට ලැබුණු දැවැන්ත විදෙස් ප්‍රේෂණ අගය යි. අමෙරිකානු ඩොලර් බිලියන 87 ක් පමණ වන මෙම ප්‍රේෂණ, ලෝකයේ විශාලත ම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකුණා. ලෝක බැංකුවට අනුව මෙම ප්‍රවාහය, අඩු සහ මධ්‍යම ආදායම් ලබන සියලු ම රටවල සිදුවන ගෝලීය හුවමාරුවලින් 15% කට ආසන්න යි.

ඉන්දියාවේ ජනගහනය ඉන්දියාවට පමණක් නොව, මුළු ලෝකයට ම බලපෑම් කරන අයුරු ඔබට වැටහුණා ද?

චීනය පසුබසීවි ද?

චීනය යනු ලෝකයේ විශාලත ම ආර්ථික බලවතෙක්. ඔවුන්ට අභියෝග කළ හැකි ආර්ථිකයක් බොහෝ දුරට පවතින්නේ අමෙරිකා එක්සත් ජනපදයට පමණ යි. ශ්‍රමය දායක කළ හැකි ජනගහනය හැකිළෙමින් පැවතුණ ද ආයෝජන සහ දේශපාලන ස්ථාවරත්වය චීන ආර්ථිකයේ බලවත්කම සඳහා පිටුවහලක් වනු ඇති.

කෙසේ නමුත්, 21 වැනි සියවසේ ආරම්භයේ සිට චීනය පෙන්වූ අසාමාන්‍ය වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමේ විභවය අවම විය හැකි යි. ඉන්දියාව, ඔවුන් ගේ සීමාකාරී සාධකය ලෙස නැඟී සිටීමේ ප්‍රවණතාව දැනටමත් විදහා දක්වමින් සිටිනවා. චීනයේ හැකිළෙමින් පවතින සහ ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින ශ්‍රම ශක්තිය එහි එක් පිළිඹිබුවක්.

පුළුල් ශ්‍රම බලකාය ඉන්දියාවේ විශාලතම ශක්තිය යි – littleindia.com

ජනගහන සංකෝචනයකට මුහුණ පාමින් සිටින ජපානය සහ දකුණු කොරියාවටත් වඩා චීනයේ තත්ත්වය බරපතල වීමේ හැකියාවක් පවතිනවා. චීන ජාතිකයන් ගෙන් බහුතරයක් තවමත් සිටින්නේ මැදි ආදායම් ලබන තත්ත්වයක යි. සිතනවාට වඩා ජනගහන සංකෝචනය ඔවුන්ට බැරෑරුම් වන්නේත් ඒ නිසා යි. ලාභදායි ලෙස ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව අඛණ්ඩව පවත්වා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඉන්දියාව ඊට වඩා වෙනස් මඟක් ගනිමින් ලාභදායී ශ්‍රම ශක්තිය හරහා විදෙස් රැකියා අවස්ථා පවා විස්මයජනක ලෙස අත්පත් කර ගන්නා තත්ත්වයක සිටිනවා.

ආක්‍රමණශීලි ආර්ථික ප්‍රතිපත්ති

වැඩ කරන ජනතාවගේ ඵපලදායීතාව වැඩි කිරීම හරහා චීන නායකත්වය සිය රටේ ආර්ථික වර්ධනය රැකගැනීමට ක්‍රියා කළ හැකි නමුත්, ඒ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වනු ඇති. 2050 වර්ෂයට මත්තෙන් ආක්‍රමණශීලි ලෙස ධනය උපදවා ගැනීමේ වෑයමක චීනය නිරත වීමත් මීට එක හේතුවක්.

උදාහරණයක් ලෙස සම්පත් සහ භූ දේශපාලනික වැදගත්කමක් ඇති දූෂිත රාජ්‍ය වෙත ණය ලබා දෙමින් මූල්‍ය උගුලක හසු කර ගැනීමට චීනය ක්‍රියා කරමින් සිටින අතර, ඊට සමාන්තර ව තම යුද වියදම් වැඩි කරමින් භූ දේශපාලනික උණුසුමක් පවත්වා ගෙන යෑමටත් ක්‍රියා කරනවා. මේ ක්‍රියාකාරකම් අසාර්ථක වුවහොත්, දරන වියදම් කිරීම මත චීනය මැදි ආදායම් උගුලක සිරවිය හැකි යි.

චීනය සහ ඉන්දියාව අතර ඇති භූ දේශපාලනික උණුසුම ප්‍රබල ව පවතින ස්ථානයක් ලෙස ඉන්දියන් සාගර කලාපය හැඳින්විය හැකි යි – www.gisreportsonline.com

කලකට පෙර තිබූ චීනය මෙන් ඉන්දියාවත් වැඩිවන ජනගහනය හේතුවෙන් ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. චීනයට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ සෙයින් අගයන රටක් ලෙස දරුවන් සීමා කිරීම වැනි අතිශයින් පෞද්ගලික කාරණාවලට පවා රජය මැදිහත් වීමේ ලක්ෂණ ඉන්දියාවෙන් දක්නට නොලැබේවි. එලෙස මැදිහත් වීමක් සිදු කළත්, ජන අරගල සිදු කිරීමේ විශාල නිදහසක් ඉන්දියාව තුළ තිබෙනවා. ඉන්පසු දැන් චීනය මුහුණ දෙමින් සිටින වයෝවෘද්ධ ජනගහනයේ වර්ධනයට ඉන්දියාවත් අනාගතයේ දී මුහුණ දිය හැකි යි.

එවිට ශ්‍රම බළකායට වැඩි අරමුදල් ප්‍රමාණයක් වයෝවෘද්ධ ජනගහනයේ සුබසාධනය සඳහා වෙන් කිරීමට සිදු වෙනවා. ජන විකාශනයේ ලාභාංශ නෙළා ගැනීම සඳහා ඉන්දීය නායකයන් මීට වඩා කඩිසර විය යුතු බව සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඒ නිසා යි. අවසාන ප්‍රතිපලය ලෙස අනාගතයේ යම් දවසක අද චීනය සිදු කරනවාක් මෙන් ආක්‍රමණශීලි ආර්ථික ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කළහොත්, එය පුදුමයට කාරණාවක් නොවෙ යි.

කලාපීය සීමාව අතික්‍රමණය කරන බලවතා

ලෝක ජනගහනය බිලියන 8 සීමාවට දැන් පැමිණ අවසන්. වැඩි ම ජනගහනය ලෙස ඉන්දියාව චීනය පැරදවීම, ලෝක ජනගහනයේ ඊළඟ වැදගත් සන්ධිස්ථානය ලෙස සැලකිය හැකි යි. කෙසේ නමුත්, සමස්තයක් ලෙස ගත් කල ගෝලීය ප්‍රජාවේ සාඵල්‍යතා අනුපාතය පහත වැටෙමින් තිබෙනවා. ජනගහනය ප්‍රසාරණය වෙමින් පවතින රටවල පවා එය නීරික්ෂණය කළ හැකි යි.

ගෝලීය මට්ටමෙන් සාඵල්‍යතා අනුපාතය විචලනය වන අන්දම – www.weforum.org

ලෝකයේ වඩාත් ම සංවර්ධිත ආර්ථික සැලකීමේ දී ජනගහන වර්ධනයේ පහත වැටීම කැපී පෙනෙන මට්ටමින් පෙන්නුම් කරන අතර, 2050 වනවිට එවැනි රටවල් 61 ක ජනගහන වර්ධන වේගය 1% න් පමණ අඩුවනු ඇති බව අනුමානිත යි. එවිට, සාපේක්ෂව වැඩි ශ්‍රමයක් ලබා දිය හැකි ඉන්දියාව වැනි රටකට විවෘත වන අවස්ථා ගණනත් විශාල යි.

දැනටමත් ලෝකයේ විශාල ආදායමක් උපයන දැවැන්ත ඩයස්පෝරාවක් ඉන්දියාව සතු යි. නිජභූමියෙන් ඈත් ව සිටියත් ඔවුන් ගේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ විවිධ මාර්ග, පහසුකම් සහ ප්‍රතිලාභ ඉන්දීය රජය දැනටමත් සාධනීය මට්ටමකින් පවත්වා ගෙන යනවා.

ඉතින්, “කලාපීය බලවතා” යන සීමාකාරී ආමන්ත්‍රණය ඉන්දියාවට භාවිත කිරීමේ හැකියාව කොතෙක් දුරට වලංගු ද?

කවරයේ ඡායාරූපය: ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට ලෙස කිරුළු පැළඳ සිටි චීනයට සිය කිරුළ නුදුරේදී ම අතහැරීමට සිදු වෙනවා - 6abc.com
මූලාශ්‍ර:
www.unfpa.org
www.theguardian.com
www.bbc.com
www.dailymail.co.uk
Data.oecd.org

Related Articles

Exit mobile version