විශාලතම කතෝලික දේවස්ථාන ත්‍රිත්වය ගැන දැනගනිමු

ලොව පුරා කිතුනු භක්තිකයන්ට උඳුවප් මාසය සුවිශේෂී යි. ඒ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් උත්සවය එමසට යෙදී තිබෙන නිසා යි. දැනට ලෝකයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින ආගම ලෙසින් සැලකෙන ක්‍රිස්තියානි ආගම තුළ නිකායයන් රැසක් දක්නට ලැබෙනවා. ඒවා අතුරින් වැඩිම පිරිසක් අයත් වන්නේ රෝමානු කතෝලික නම් නිකායට යි. එම නිසා කිතු දහම වැඩි වශයෙන් විසිරී පවතින රටවල සුවිසල් රෝමානු කතෝලික දේවස්ථාන වරදින්නේ නැහැ. එවැනි දේවාස්ථාන දැකබලා ගැනීමට කතෝලික ජනතාව නිතරම පැමිණෙනවා. 

කතෝලික ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන විශාලතම කතෝලික දේවස්ථාන කිහිපයක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න යි මේ සූදානම. 

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව 

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව ලොව විශාලතම ආසන දෙව් මැඳුර යි. මීටර් 186ක දිගකින් යුක්ත මෙම දෙව් මැඳුර වර්ග මීටර 15160ක විශාලත්වයකින් යුත් භූමි භාගයක ඉදිකර තිබෙනවා. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිමවුණු මෙහි මධ්‍යයේ මීටර් 136ක් පමණ ඉහළට නැගුනු ශිඛර ගෝලාර්ධයක් දක්නට ලැබෙනවා. රෝමානු කතෝලික ජනතාව නිතරම පැමිණෙන පූජනීය ස්ථානයක් වන මෙහි එකවර 60000ක පමණ පිරිසකට යාඥා කළ හැකියි. 

දේවස්ථානයේ බාහිර ස්වරූපය (Youtube)

ශාන්ත පීතර බැසිලිකාවට දිගු ඉතිහාසයක් තිබෙනවා. මෙම භූමිය තුළ පිහිටා තිබුණු මුල්ම දෙව් මැඳුර ක්‍රි.ව 320 දී කොන්ස්ටන්ටයින් නම් අධිරාජයා විසින් ඉදිකරවනු ලැබුවා. එලෙස ඉදිවුණු දේවස්ථානය 15 වන සියවස දක්වාම නොනැසී පැවතුණා. 1447 වසරේ දී පාප් පදවියට පත්වුණු පස්වන නිකොලස් පාප්වහන්සේ විසින් කොන්ස්ටන්ටයින් දේවස්ථානය මත ශාන්ත පීතර බැසිලිකාව ඉදිකිරීම ආරම්භ කළා. ඉන් පසුව එම පදවියට පත්වුණු සියළුම පාප්වහන්සේලා මෙහි ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරනු ලැබුවා.

ඉතාලියේ “පුනරුද යුගය” ලෙස හැඳින්වුණු එකල එරටින් දක්ෂ කලාකරුවන් බිහිව සිටියා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්වුණු මයිකලාන්ජලෝ නම් කලාකරුවා ශාන්ත පීතර බැසිලිකාවේ ඉදිකිරීම් සඳහා සම්බන්ධ වුණා. අද දේවස්ථාන ගොඩනැගිල්ල මධ්‍යයේ දක්නට ලැබෙන ගෝලාර්ධය නිර්මාණය කරන ලද්දේ එම ශිල්පියා යි. එසේම දේවාස්ථානය තුළ දක්නට ලැබෙන බොහෝ මූර්ති සහ සිතුවම් ඔහු අතින් නිමවුණා. මෙම දේවස්ථානයේ ඉහළ කොටසේ දක්නට ලැබෙන සාන්තුවරයන්ගේ පිළිම නිර්මාණය කිරීම ආරම්භ වුණේ 1662 වසරේ දී යි. එදා විවිධ මූර්ති ශිල්පීන් අතින් පිළිම 140ක් පමණ එහි ඉදිකරනු ලැබුවා.

දේවස්ථානය ඇතුළත දර්ශනයක් (Steerwise.world)

ගොතික් සම්ප්‍රදායට අනුව ඉදිවුණු මෙම දෙව්මැඳුරේ විශාල අල්තාරයක් දක්නට ලැබෙනවා. පූජකවරුන් දේව මෙහෙයන් සිදුකරන්නේ ඉතාමත් අලංකාර අයුරින් නිමවා ඇති එම සුවිසල් අල්තාරයේ යි. වර්තමානය වන විට කතෝලිකයන් අතර වඩාත්ම ජනප්‍රිය දේවස්ථානය බවට පත්ව තිබෙන්නේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව යි. 

බ්‍රසීලයේ අපාරෙසීදා බැසිලිකාව 

කිතුණු බැතිමතුන් වැඩිම ප්‍රමාණයක් සිටින රටවල් කිහිපය අතරට අයත් වන බ්‍රසීලයේ විශාල දෙව්මැඳුරු කිහිපයක් දක්නට ලැබෙනවා. ඒවා අතරින් විශාලතම දෙව්මැඳුර වන්නේ ගිණිකොණදිග බ්‍රසීලයේ අපාරෙසීදා නම් ප්‍රදේශයේ පිහිටි, වර්ග මීටර 12000කින් පමණ සමන්විත බැසිලිකාව යි. එකවර බැතිමතුන් 45000කට පමණ සිටිය හැකි මෙම දේවස්ථානය 20 වැනි සියවසේ දී ඉදිවුණු එකක්.

මෙම පල්ලිය ආරම්භ වුණු ආකාරය පිළිබඳව පුරාවෘත්තයක් තිබෙනවා. එහි සඳහන් වන ආකාරයට 18 වන සියවසේ මුල් භාගයේ දී පරයිබා නම් නදියේ මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකට මරිය තුමියගේ හිස නැති පිළිරුවක් හමුවී තිබෙනවා. ඉන්පසුව ඔවුන් වෙහෙස මහන්සි වී එහි හිස කොටස ද සොයාගනු ලැබුවා. එලෙස සොයාගත් ප්‍රතිමාව තැන්පත් කරමින් පසුකලෙක දේවස්ථානයක් ආරම්භ කිරීමට මුල් වුණේ ප්‍රී ඇගස්ටිනෝ ද ජේසු නම් පූජකවරයා යි. 

වර්තමානයේ දී මෙහි දක්නට ලැබෙන නව බැසිලිකාවේ ඉදිකිරීම් ආරම්භ වුණේ 1955 වසරේ දී යි. බෙනඩිටෝ කැලික්ස්ටෝ නම් ගෘහ නිර්මාණ ශිල්පියා අතින් ඉදිවුණු දේවස්ථානයේ වැඩ කටයුතු 1980 වසර වන විට අවසන් වුණා. එලෙස ඉදිකරන ලද නව දෙව්මැඳුරේ ගෝලාකාර කොටස මීටර් 70ක පමණ උසකින් යුක්ත යි. එසේම එහි කුළුණ මීටර් 102ක පමණ උසකින් පිහිටා තිබෙන ආකාරය දැකිය හැකියි. ලොව පුරා සිටින කිතුනු බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති මෙම කතෝලික දේවස්ථානය විශාලත්වයෙන් දෙවනි වන්නේ වතිකානුවේ ශාන්ත පීතර දෙව්මැඳුරට පමණ යි.

අපාරෙසීදා බැසිලිකාව (gregtur)

ඉතාලියේ මිලාන් දෙව්මැඳුර 

ඉතාලියේ මිලාන් නගරයේ ඉදිකර තිබෙන මිලාන් ආසන දෙව්මැඳුරට ද දිගු ඉතිහාසයක් තිබෙනවා. ගොතික් සම්ප්‍රදායට අනුව නිර්මාණය වුණු මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණේ 1386 වසරේ දී යි. ඒ, අන්තෝනියෝ නම් අගරදගුරුතුමාගේ මඟපෙන්වීම යටතේ යි. නමුත් මෙහි ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යාමට හැකිවුණේ නැහැ. විවිධ හේතූන් නිසා වරින් වර නවත්වමින් මෙම පල්ලිය ඉදිවුණු නිසා මෙය වර්තමානයේ දී දිස්වන තත්ත්වයය පත්වුණේ 1965 වසරේ දී යි.

වර්ග මීටර 11700ක් පුරා විහිදී පවතින මෙම දේවස්ථානය තුළ බැතිමතුන් 40000කට රැඳී සිටිය හැකියි. දේවස්ථානයේ ඉහළ කොටසේ දක්නට ලැබෙන උල් වුණු කොත් 135 නිසා එහි සුන්දරත්වය වැඩි වී තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. මෙම දෙව් මැඳුරේ උස මීටර් 108ක් ලෙසින් සටහන් වන විට එහි දිග මීටර් 157ක් පමණ වනවා. කතෝලික බැතිමතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන මිලාන් දේවස්ථානය තුළ අලංකාර පිළිම 3000කට අධික ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඊට අමතරව දෙව්මැඳුර තුළ නිර්මාණය කර ඇති සිතුවම් සහ මූර්ති නැරඹීමට ද බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වනවා. තව ද මෙහි පැමිණෙන අයට දෙව්මැඳුරේ වහලය මතට නැගීමේ විශේෂ අවස්ථාව ද හිමිවනවා. 

මිලාන් දෙව්මැඳුර (Wikimedia)

කවරයේ ඡායාරූපය- වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව (Encircle Photos)

මූලාශ්‍රයයන්- largest.org

Related Articles

Exit mobile version