ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන දේශීය පළතුරු වර්ග අතර හිඹුටු, පළු, වීර, මසං, කරඹ වැනි පළතුරු බහුල යි. ඒවා ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත්වුණු ජනයා අතර ප්‍රසිද්ධ යි. නමුත් වර්තමානය වන විට වෙළඳපොලේ එවැනි දේශීය පළතුරු වර්ග දක්නට ලැබෙන්නේ නැහැ.
ලාංකිකයන්ගෙන් දේශීය පලතුරු දුරස්ව තිබුණත්, අප්‍රිකානු රටවල ජනතාව, විශේෂයෙන්ම ගෝත්‍රික ජනයා, එවැනි පළතුරු වර්ග තවමත් බහුලව පරිභෝජනය කරනවා. අප්‍රිකානු ගෝත්‍රිකයින් බොහෝ ප්‍රියකරන දේශීය පළතුරක් ලෙස වඳුරු දොඩම් හඳුන්වන්නට පුළුවන්.
වඳුරු දොඩම් ගැන කෙටියෙන්
Strychnos spinosa යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය අප්‍රිකාවේ වියළි, නිවර්තන, උප නිවර්තන, සහ සැවානා වනාන්තරවල වැඩෙන සුවිශේෂී දොඩම් විශේෂයක්. මේවා අඩි 5-25 අතර උසකට වර්ධනය වනවා. මෙම ශාකයට “වඳුරු දොඩම්” යන නම ලැබී ඇත්තේ මෙම පළතුරු වර්ගය බහුලව ආහාරයට ගන්නේ වඳුරන් වන නිසා යි. ඊට අමතරව මේවා නටාල් දොඩම්, ස්පයිනි, ඩොරින්ක්ලැපර්, මොරපා, උම්ක්වාක්වා, නසාලා, මුතම්බා, මබොක් යන නම්වලින් හඳුන්වනු ලබනවා.
සාමාන්‍යයෙන් ඉදෙන්නට පෙර කොළ පැහැයක් ගන්නා මෙම පළතුරු, ඉදුණු පසුව තැඹිලි පැහැයක් ගන්නවා. තද දුඹුරු පැහැ බීජ ඇති මේ වර්ගයේ ඉස්ම ඇඹුලට හුරු පැණි රසකින් යුක්ත යි. සමහර ප්‍රදේශවල මෙම පළතුරු වර්ගය අර්ධ වගාවක් ලෙසින් ද සිදුකරනු ලබනවා. මේවායේ ගෙඩි දක්නට ලැබෙන්නේ සැප්තැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ යි.
දක්නට ලැබෙන ප්‍රදේශ
වඳුරු දොඩම් ශාකය අප්‍රිකානු මහද්වීපයේ ප්‍රදේශ රැසක දක්නට පුළුවන්. දකුණු අප්‍රිකාව මොසැම්බික්, ස්වාසිලන්තය, සිම්බාබ්වේ, සැම්බියාව, නැමීබියාව, බොට්ස්වානා, ඇන්ගෝලා, ගිනි බිසවු, සහ මලාවි යන රටවල්වල මෙම ශාකය හොඳින් වර්ධනය වනවා. එසේම මැඩගස්කරයේ වයඹ සහ ගිණිකොණදිග ප්‍රදේශවලත්, වයඹදිග ඉතියෝපියාවේ සහ නයිජීරියාවේ සමහර ප්‍රදේශවල දීත් වඳුරු දොඩම් ශාකය දකින්නට පුළුවන්.
වර්ධනය සඳහා අවශ්‍ය සාධක
සාමාන්‍යයෙන් මීටර් 400-2000 දක්වා උසකින් යුත් භූමි ප්‍රදේශවල මෙම ශාකය වැඩෙනවා. මෙම දොඩම් ශාක හොඳින්ම වර්ධනය වන්නේ සෙල්සියස් 20-28 අතර උෂ්ණත්ව පරාසයක් පවතින ප්‍රදේශවල යි. නමුත් මේවාට සෙල්සියස් 15-32 දක්වා උෂ්ණත්ව පරාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා.
මෙම දොඩම් පැළ වර්ධනය වීම සඳහා අවශ්‍ය වාර්ෂික වර්ෂාපතන පරාසය මි.මී 700-1000 අතර අගයක් ගත්තත්, මෙම ශාක විශේෂය මි. මී. 600-1500 අතර වාර්ෂික වර්ෂාපතන පරාසයකට ඔරොත්තු දෙනවා. හිරු එළිය ප්‍රිය කරන ශාකයක් වන වඳුරු දොඩම් සරුවට වැඩෙන්නේ හොඳින් ජලය ගලායන පසක් ඇති ප්‍රදේශවල යි. එසේම එම ප්‍රදේශවල පසෙහි PH අගය 5-7 අතර පරාසයක පැවතිය යුතු යි.
මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද ආහාරයක්
වඳුරු දොඩම් ඉදුණු විට මිහිරි සුවඳක් නිකුත් කරනවා. ඉදුණු ගෙඩිවල ඉස්ම ප්‍රණීත රසයකින් යුක්ත යි. එම නිසා මෙම පළතුරු වර්ගයේ ඉස්ම කුඩා දරුවන්ට අමතර ආහාරයක් ලෙස බහුලවම ලබාදෙනවා. මෙම පළතුරු වර්ගය බීම සෑදීම සඳහා භාවිතා කෙරෙන අතර, ගෝත්‍රික ජන කොටස් අතර මෙම දොඩම් බීම ඉතාමත් ජනප්‍රිය යි. නමුත් මෙම පළතුරු වර්ගය කුඩා ළමුන්ට ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු යි. වඳුරු දොඩම්වල ඇට විෂ සහිත වීම ඊට හේතුව යි. යම් ආකාරයකින් කුඩා දරුවෙකු මෙම පළතුරේ ඇටයක් සපා ගිල්ලොත් දරුණු රෝගාබාධවලට ගොදුරු විය හැකියි.
අප්‍රිකාවේ වනාන්තරවල වැවෙන මෙම අපූරු දොඩම් මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද ප්‍රියතම ආහාරයක්. වඳුරන්, බැබූන්, බුෂ්පිග්, න්‍යාලා, ඒලන්ඩ් වැනි සතුන් මේවායේ ඉදුණු ඵල ආහාරයට ගන්නවා. එසේම අප්‍රිකානු අලින්, හා ඇන්ටිලෝප් සහ මුව විශේෂ මෙම ශාකයේ කොළ ආහාරයට ගන්නවා.
සතුන් මෙම පළතුරු වර්ගය ආහාරයට ගන්නා නිසා ගෙඩි ඉදීමට පෙර නෙළාගත යුතු යි. ඉන් අනතුරුව ස්වභාවික ක්‍රම භාවිතා කරමින් ඒවා ඉදවාගැනීමට ගෝත්‍රික ජනයා පුරුදුව සිටිනවා.
ඖෂධයක් ලෙස ද භාවිතා කරනවා
මෙම දොඩම් විශේෂය ආහාරයට ගන්නවාට අමතරව ඖෂධයක් ලෙස ද භාවිතා කරනවා. මේවා මී පැණි හෝ සීනි සමග මිශ්‍රකර කැස්සට ප්‍රතිකාරයක් ලෙස ලබා දෙනවා. තව ද මෙම ශාකයේ මුල් ආමාශ ආබාධ, දද, සමේ ඇතිවන තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නවා. ඊට අමතරව, ගොනෝරියා නම් ලිංගාශ්‍රිත රෝගයට ප්‍රතිකාර කිරීමටත් ගෝත්‍රික ජනයා මෙම මුල් භාවිතා කරනවා. මෙම ශාකයේ පොතු තම්බා බොන්නට දීමෙන් සර්පවිෂ නැසෙන බවට මතයක් පවතිනවා.
උගුරේ අමාරුවෙන් පීඩා විඳින උදවියට මෙම ශාකයේ කොළ තම්බා සෑදූ කසාය බොන්නට දෙනවා. මධ්‍යම අප්‍රිකානු රටවල මෙය වේදනා නාශකයක් ලෙස ද භාවිතා කරනවා.
වෙනත් ප්‍රයෝජන
ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කිරීමට අමතරව මෙම ශාකයෙන් ලබාගන්නා තවත් ප්‍රයෝජන කිහිපයක් තිබෙනවා. ඉන් එක් ප්‍රයෝජනයක් වන්නේ මෙම පළතුර භාවිතා කර සාදාගන්නා තීන්තවලින් තැටි සහ බහාලුම් වර්ණගැන්වීම යි. ගෝත්‍රිකයන් වඳුරු දොඩම් ගැට රෙදි සේදීම සඳහා යොදාගනු ලබන අතර මෙම ශාකයේ දැව ඉන්ධන ලෙස යොදාගන්නවා. එසේම ගොඩනැගිලි සෑදීමේ දී භාවිතා කරන සැටලින් ලෑලි සඳහා පාවිච්චි කරනවා.