Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකානු මිථ්‍යා සාහිත්‍යයේ එන මායාවී චරිත

සැබෑ නොවුණත් මිථ්‍යා සාහිත්‍යයේ එන කථාන්තර අතිශය රසවත් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ශ්‍රී ලාංකික මිථ්‍යා ප්‍රවාදයන් හි එන කළු කුමාරයා සහ මෝහිනී මෙන් ම චීන මිථ්‍යා සාහිත්‍යය ඔපමට්ටම් කරන ගිනි පිඹින මකරුන්, රුසියානුවන් භීතියෙන් මුසපත් කරමින් වංගෙඩියෙන් ගමන් බිමන් යන බාබ යාගා යකින්න සහ නිල්වන් සයුරේ නිදහසේ පිහිනන දිය කිඳුරියන් ඔබට ආගන්තුක නැහැ. එකිනෙකට වෙනස් සිරිත් විරිත් සහ සාම්ප්‍රදායන් මත පදනම් වූ සංස්කෘතීන් රාශියක් මත ගොඩ නැගුණු අප්‍රිකානු මිථ්‍යා සාහිත්‍යයේ ද මෙවැනි ම අපූරු මායාවී චරිත රැසක් සිටිනවා. සියවස් ගණනාවක් මුළුල්ලේ ස්වදේශිකයන්ගේ චිත්තාකර්ෂණීය පරිකල්පනා පෝෂණය කළ අප්‍රිකානු මායාවී චරිත කිහිපයක් ගැන තොරතුරු යි මේ.

මැවීමට අධිපති ‘ඇඩ්‍රෝආ’ නම් උත්තරීතර දෙවිඳුන්

(© Peter Andresile) ලුග්බාරා ගෝත්‍රිකයින්

බටහිර නයිල් නදී නිම්නය ආශ්‍රිත ව උගන්ඩා-කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජ​ දේශ සීමාවේ වාසය කරන ලුග්බාරා ගෝත්‍රිකයින්ගේ විශ්වාසය අනුව ලෝකය මවා ඇත්තේ ඇඩ්‍රෝආ නම් උත්තරීතර දෙවිඳුන් විසින්. මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන්නේ ඔහු ද්විත්ව පෞරුෂත්වයක් ඇති අයෙක් ලෙස යි. ගුවනට අධිපති දෙවියන් ලෙස කටයුතු කරන ඔහුගේ එක් පෞරුෂයක් මනුෂ්‍යයන්ගෙන් දුරස් ව වාසය කරන අතර ‘ඔන්යුරු’ හෙවත් ස්වභාවයෙන් යහපත් වෙනවා. නමුත් මනුෂ්‍යයන්ට සමීප පෘථිවියට අධිපති අනෙක් පෞරුෂය, ‘ඔන්සි’ හෙවත් ස්වභාවයෙන් දුෂ්ට යි. මිහිමත ඇති සියලු ම බලයන්ගේ මූල ප්‍රභවය ලෙස සැලකෙන ඇඩ්‍රෝආ දෙවිඳුන්, ගෝත්‍රික මිතුන්මිත්තන් හරහා විධිමත් සමාජ පාලන ක්‍රමවේදයක් ඇති කළ බව විශ්වාස කරන ලුග්බාරා ගෝත්‍රිකයින්, ඔවුන්ගේ සාම්ප්‍රදායික නීති පද්ධතිය ලෙස භාවිතා කරන්නේ ඇඩ්‍රෝආගේ දේව වදන් බව සඳහන්.

ප්‍රයෝගකාර ‘අනන්සි’ මකුළුවා

(© Gerald McDermott / Seven Ponds Blog)

ඔහු සතු තීක්ෂණ බුද්ධිය, උගත්කම සහ ඥානය හේතුවෙන් බටහිර අප්‍රිකානු වැසියන් අතර ජනප්‍රිය අනන්සි, සාමාන්‍යයෙන් පෙනී සිටින්නේ මකුළුවෙකුගේ ස්වරූපයෙන්. ඇතැම් විටෙක මනුෂ්‍යයෙකු ලෙස ද පෙනී සිටින අනන්සි ප්‍රයෝගකාරයෙකු බව යි අසන්ටේ ගෝත්‍රිකයින්ගේ විශ්වාසය වන්නේ. ඔහු බොහෝ අවස්ථාවල දී නිදසුන් සහ ප්‍රහේලිකා උපයෝගී කර ගනිමින් සදාචාරය, ආචාර ධර්ම, දේශපාලනය සහ සමාජ වටිනාකම් පිළිබඳ ව ඔහු දරණ මතය මිනිසුන්ට උගන්වා ඔවුන්ගේ දෛවය සම්පූර්ණයෙන් ම වෙනස් මගකට යොමු කරන බව සඳහන් වෙනවා.

විශ්වය වැමෑරූ ‘බුම්බා’

© History Collection

වත්මන් කොන්ගෝ රාජ්‍යය පිහිටා ඇති ප්‍රදේශයේ වාසය කරන කුබා ගෝත්‍රිකයින් විශ්වාස කරන්නේ ලෝකය නිර්මාණය වීම බුම්බා නම් සුදෝසුදු පැහැ යෝධයාගේ ක්‍රියාවක් බව යි. අඳුර සහ ජලය පමණක් පැවතුණු මුල් කාලයේ දී තනි ව වාසය කර ඇති බුම්බා, අලෝකය ලබා දීම සඳහා ඔහුගේ මුඛයෙන් සූර්යයා වමාරා ඇති බව සඳහන්. හිරු කිරණ හේතුවෙන් ජලය වියළී ගොස් ක්‍රමයෙන් භූමිය මතු වීම ඇරඹී ඇති අතර පසු ව බුම්බා විසින් චන්ද්‍රයා සහ තාරකාවන් වමාරා තිබෙනවා. පසු ව පිළිවෙළින් දිවියෙක්, රාජාලියෙක්, කිඹුලෙක්, මත්ස්‍යයෙක්, ඉබ්බෙක්, අකුණු සැරයක්, කොකෙක්, කුරුමිණියෙක් සහ එළුවෙක් ව වමාරා ඇති බුම්බා මිනිසා ව වමාරා ඇත්තේ අවසානයේ දී යි.

කොයිසාන් ගෝත්‍රිකයින්ගේ නිර්මාතෘ ‘කාන්’

(© ANC) කොයිසාන් ගෝත්‍රිකයින්

අප්‍රිකානු මහද්වීපයේ දකුණුදිග​ වාසය කරන කොයිසාන් ගෝත්‍රිකයින්ගේ ඉතිහාසය වසර 20,000 ක් පමණ ඈතට දිව යන බව යි පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන්නේ ස්වභාව ධර්මයට අධිපති කාන් නම් දෙවිඳුන් විසින් කොයිසාන් ගෝත්‍රිකයින් ව මවන ලද බව යි. අතිශය ආධ්‍යාත්මික ජන කොට්ඨාසයක් වන ඔවුන් බොහෝ විට ආධ්‍යාත්මක සහ භෞතික ලෝකයන් අතර පවතින බාධක බිඳ දැමීම සඳහා චාරිත්‍රමය නැටුම් ඉදිරිපත් කිරීම සිදු කරනවා. එසේ ම ඔවුන් විශ්වාස කරන්නේ කාන් දෙවිඳුන් විසින් සෑම ජීවියෙකුට ම ආත්මයක් ලබා දුන් බව යි.

ලෝකුරු කර්මාන්තයට අධිපති ‘ගූ’

© Pinterest

මවු-ලීසා නම් හිරුට සහ සඳුට අධිපති දෙවිඳුන්ගේ පුත්‍රයා වන ගූ දෙවිඳුන්, ලෝකුරු කර්මාන්තයට පමණක් නොව මෙවලම්, ආයුධ සහ යුද්ධයට ද අධිපති ලෙස සැලකෙනවා. ඇතැම් විටෙක ‘ඕගුන්’ ලෙස ද හැඳින්වෙන ඔහු ව පෘථිවිය එවා ඇත්තේ බදාම හැන්දක් අතැති ව යි. ඔහුට පැවරී තිබුණේ මිහිමත ඇති අවලස්සණ ආවාට පිරවීම සහ මහ සයුරේ ඇති  සිදුරු ප්‍රතිසංස්කරණය කිරීම වැනි කටයුතු බව යි මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන්නේ.

‘මාමි වාටා’ නම් දිය දෙවිඳුන්

© Swali Africa Magazine

බොහෝ විට දිය කිඳුරියකගේ ස්වරූපයෙන් යුතු වන මාමි වාටා සර්පයින් ව තම වසඟයට ගැනීමට සමත් දේවතාවියක් බව සඳහන්. එසේ ම ඇය සතුව මවක්, ආරක්ෂකයෙක්, ආදරවන්තියක්, සුව කරන්නියක්, ප්‍රතිපාදකයෙක් සහ මුනිවරයෙක් සතු වන චරිත ලක්ෂණ පවතින බව යි අප්‍රිකානු වැසියන්ගේ විශ්වාසය වන්නේ. ගංගාවන් හි පිහිනීමට පැමිණෙන පුද්ගලයින් ව පැහැරගෙන තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නා ඇය පසු ව ඔවුන් ව ඇගේ රාජධානියට රැගෙන ගොස් නිදහස් කරන බව පැවසෙනවා. එසේ මාමි වාටාගේ අනුගාමිකයන් වන අයට පෙර නොතිබූ ආධ්‍යාත්මික අවබෝධයක් හිමි වන බව ද මිථ්‍යා සාහිත්‍යයේ දැක්වෙනවා.

විශ්වය දෙකඩ කළ ‘නායි’

© Ailsa Johnson / Culture Trip

කෙන්යානු කඳුකරයේ වාසය කිරීම ප්‍රිය කරන නායි දෙවිඳුන් සැලකෙන්නේ විශ්වයේ බෙදුම්කරු ලෙස යි. එසේ ම ඔහු කෙන්යාව ආශ්‍රිත ප්‍රදේශයේ වාසය කරන ගිකියු ගෝත්‍රිකයින්ගේ නිර්මාතෘවරයා ද වෙනවා. බොහෝ කාලයකට පෙර ගිකියු නම් මනුෂ්‍යයෙක් කඳුකරයේ වාසය කරන නායි දෙවිඳුන් මුණ ගැසීමට පැමිණ තිබෙනවා. දූවරුන් නව දෙනෙකුගේ පියා වූ ගිකියු, තමන්ගේ නම ඉදිරියට රැගෙන යාම සඳහා පුත්‍රයෙකු නොමැති වීම ගැන කනගාටුවෙන් පසු වූ අයෙක්. ඔහුගේ ඉල්ලීම මත ගිකියු ගෝත්‍රිකයින් ව නිර්මාණය කළ නායි දෙවිඳුන් ප්‍රකාශ කර ඇත්තේ මනුෂ්‍යයින් ඔහුගේ නමින් යාච්ඤා කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ඕනෑම දෙයක් ලබා දීමට ඔහු සූදනම් බව යි.

කවරයේ පින්තූරය : © Pai Sergio De Iemanja

Related Articles