තායිලන්තය පුරාණයේ හැඳින්වූයේ සියම යන නමිනි. සියම් රට සහ ලංකාව අතර ශාසන ඉතිහාසයේ එකතුවිම් රැසකි. එයින් සියම අශෝක රජතුමාගේ කාලයේ දී තුන්වන ධර්ම සංඝායනාවෙන් අනතුරුව ධර්ම ප්‍රචාරය වූ දේශයක් ලෙස එහි වැසියෝ සලකති. සිය පුත්‍රයෙකු වූ මහින්ද හිමි ලංකාවට එවා ලංකාවට බුදු දහම ප්‍රචාරය කරන්නට මුල් පියවරක් තැබුවේ ද ඒ ධර්මාශෝක රජතුමා මය.
කලෙක ලොවෙන් රටවල් රැසක් බෞද්ධම විය
ඉන් අනතුරුව කාලයත් සමග වෙනත් දේශ දේශාන්තර වලට බුදුදහම පැතිරුන අතර චීන සේද මාවත ඔස්සේ පැතිර ගිය බුදුදහම මධ්‍යම ආසියාව ඔස්සේ ග්‍රීසිය තෙක් ව්‍යාප්ත විය. අනෙක් අන්තයෙන් ජපානය තරම් ඈත පෙරදිග දක්වා බුදුදහම පැතිර ගියේ ය. ඉන් පහළ අන්තයේ ජාවා දූපතේ බාලි දිවයින දක්වා ද බුදුදහම ජාත්‍යන්තර ආගමක් ලෙස පැතිර ගියේ ය. එයින් බුදුන්වහන්සේගේ පැරණිතම නොවෙනස් වූ දහම් කොටස් ලෙස සැලකෙන හීනයාන ධර්මය දිගින් දිගටම ආරක්ෂා වුණු දේශයන් හතරකි. මියන්මාරය, තායිලන්තය, ලාඕසය, සහ ශ්‍රී ලංකාව ඒ හීනයාන දහම අදහන රටවල් 4 වේ.
තායි බෞද්ධ සම්බන්ධතා
දෙවන පරාක්‍රමබාහු (ක්‍රි. ව 1200) රජ දවස සියමෙන් පැමිණි භික්ෂූහු මෙහි බණ භාවනා සහ දහම් කොටස් ඉගෙන ගත්හ. බුදුදහම ලියැවී ඇත්තේ පාලි බසින් වන හෙයින් අධ්‍යයන කටයුතු වලදී භාෂා බලපෑම් අඩුවන්නට ඇත. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් තායි දේශයට ගොස් කළ පුරාවිද්‍යා අධ්‍යයන වලින් ක්‍රි.ව. 1200 ආසන්නයේ සිංහල බසින් පරිවර්ථනය කළා යැයි සැලකෙන ධර්ම පාඨ සොයාගෙන තිබේ. තායි ඉතිහාසයේ ද ලංකාවෙන් දහම ඉගෙනගත් බවක් දැක්වේ.
1741-1782 කාලයේ ලංකාවේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ දවස උපසම්පදා කර්මය පිහිටුවිමට සියම් දේශයෙන් උපාලි භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කළෝ ය. එවකට ලංකාවේ බුදුදහම උපසපන් භික්ෂූන් සොයාගත නොහැකි තරමට පිරිහී ගොස් තිබූ අතර ඉන් අනතුරුව පසුකලෙක නැවත අමරපුර නිකාය පිහිටුවන්නට කියා වෙරළබඩ දකුනු පළාතේ භික්ෂූන් පිටත් වන්නේ ද සියමට යෑමට ය. කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වඩුග රජෙකු වූ රාජසිංහ රජු එලවා සිහසුන සියම් කුමරෙකුව පත් කිරීමේ කුමන්ත්‍රනයක් ද ක්‍රියාත්මක වී තිබේ. පසුකලෙක 1800 ගණන්වල අගභාගයේ බෞද්ධ ආගම ප්‍රචලිත කරන්නට සිංහල බෞද්ධයන්ට මුද්‍රණ යන්ත්‍රයක් අවශ්‍ය වූ කල සියම් මහරජතුමා මැදිහත් වී මුද්‍රණ යන්ත්‍රයකට දායකත්වය දැක්වූ බව කළුකොඳයාවේ පංඥාසේකර හිමිපානන්ගේ පුරාණ පුවත්පත් ඉතිහාසය නැමැති ග්‍රන්ථයේ සදහන් වි තිබේ.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපානන් ගේ කාලයෙන් පසු 1900 මුල් භාගයේ දී කොටහේන දීපදුත්තාරාමයේ සියම් රටේ ඔටුන්න හිමි කුමරෙකු පැවදි වී ධර්ම ශාසන කටයුතු වල නිරත වි තිබේ. ඒ කාලයේ බෞද්ධ පාසැල් ඇරඹීමට ඒ සියම් කුමාරයාගේ ද දායකත්වය ලැබී තිබේ. බොහෝ කලක් සිහසුන දරා මෑතදී නැසීගිය භූමිපාල් අතුලතේජ් මහරජතුමා ද ලංකාව හා සහසම්බන්ධව ශාසන කටයුතු වලට දායක වූ රජතුමෙක් බව වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සඳහන් කොට තිබේ.
බැංකොක් හි මහා මාලිගාව
බැංකොක් නගරයේ පිහිටි මෙම මාලිගාව තුල බලගතු යැයි බැතිමතුන් විසින් සැලකෙන ධාතූන් රැසක් වැඩවාසය කරනු ලැබේ. පෞරාණික මනරම් ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට නිමවා ඇති මෙම බැංකොක් ග්‍රෑන්ඩ් පැලස් විදෙස් සංචාරකයින්ගේ ද අවධානය දිනාගත්තකි. බැංකොක් හි Wat Po සහ Wat Arun යන මහා විහාර දෙකක්ද පිහිටා තිබේ. මාලිගාව නැරඹීමට ඉඩ ඇත්තේ උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා පමනි. තායි බාත් 500ක පමණ ඇතුලත්වීමේ ගාස්තුවක්ද මාලිගාවට පිවිසීමේදී ගෙවිය යුතුය. අවැසි නම් ඉංග්‍රීසි බසින් ගයිඩ් පහසුකම ද ලබාගත හැකිය. එම මාලිගයේ වැදගත් පූජනීය ස්ථාන ගණනාවක් පිහිටා ඇත.
කේමර් නටඹුන්
Prasat Hin Phimai නමැති ස්ථානයේ පිහිටා ඇති නටඹුන් බුරුමයේ බෞද්ධ නටඹුන් වලට සමානය. මෙහි මහායාන බෞද්ධ ආභාෂයට අනුව ගොඩනැගිලි නිමවා ඇති අතර ඇතැම් ස්ථානයකදී ඉදිකිරිම් හින්දු ස්වරූපයක් ද ගනී.
සුකෝතායි පෞරාණික උද්‍යානය
උතුරු දිග තායිලන්තයේ සුකෝතායි නටඹුන් වලින් බොහොමයක් තවමත් සුරක්ෂිතව පවතී. එහි පන්සල් 26කට අයත් විහාරාරාංග 200කට අධික ප්‍රමාණයක් හමු වි තිබේ. පැරණි 13-14 සියවස් වලට අයත් අලංකාර මාලිගයක් ද සුකෝතායි වලින් සොයාගන තිබේ. පුරාණ දේ පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් එහි ඇති කෞතුගාරයෙන් ද විස්තර ආදිය ලබාගත හැකිය.
අයුත්‍යා පෞරාණික නටඹුන්
1700 කාලයේ දී සුවිසාල ජනගහනයක් විසූ අයුත්‍යාව එවකට ලෝකයේ විශාල නගරයක් විය. 1767 දී බුරුම හමුදාවෝ අතින් අයුත්‍යාවේ සැහෙන කොටසක් විනාශයට පත් විය. ක්‍රි . 1350 සිට ඇරඹී ඉතිහාසයක් සහිත අයුත්‍යාව යනු ඇල මාර්ග මාර්ග ඇතුලත් ක්‍රමානුකූලව නිම වූ පෞරාණික නගරයකි. එහි බෞද්ධ නටඹුන් 1960 සිට නැවත සංවර්ධනය කොට සංචාරකයින්ට දැකබලාගත හැකිලෙස නිමවා තිබේ.
ච්‍යාන් රායි
Chiang Rai ස්ථානය තායිලන්තයේ මියන්මාරය ලාඕසය යන දේශසීමා අතර පිහිටා තිබේ. එය බෞද්ධයින් අතර ප්‍රසිද්ධ ස්ථානයකි. තායිලන්තයේ උතුරු දිග පිහිටි මේ කුඩා නගරය ආසන්නයේ නැරඹීමට ඇති සිද්ධස්ථාන සහ පෞරාණික ස්ථාන කිහිපයකි. එයින් මෑතකදී ඉදි වූ කුප්‍රකට සුදු පැහැති පන්සල (White Temple) ජනප්‍රිය සංචාරක ස්ථානයකි.
ච්‍යාන් මායි
නූතනයේ බැක්පැකර්ස්ලා අතර ප්‍රචලිත ච්‍යාන් මායි උතුරු දිග තායිලන්තයේ හදවත බඳු නගරයකි. එහි ආසන්නයේ Wat Umong, Wat Phan Tao, Wat Phra Singh ආදී පෞරාණික අගයකින් යුතු සිද්ධස්ථාන රැසක්ම පිහිටා තිබේ. ඒවා එකිනෙකට වෙනස් වූ ගෘහනිර්මාණ ශිල්පයන්ගෙන් නිමවූ, වර්ථමානයේ ද බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරන ස්ථාන වේ
එකම පාලි භාෂාවකින් ධර්මය උගත් ලංකා සහ සියම් වැසියෝ එදා පටන්ම බෞද්ධ හර පද්ධතිය අනුව සිය ජීවිතය සකස්කර ගත්තෝය. බුදුන්වහන්සේ ඉපදී සම්බුද්ධත්වයට පත් වුව ද ඉන්දියාවේ සහ නේපාලයේ සිද්ධස්ථාන ආසන්නයේ වර්ථමානයේ විශාල බෞද්ධ ජනතාවක් නොමැත. තායිලන්තය පසුකලෙක බෞද්ධ දහම ප්‍රචලිත වූ රටක් වුවද එහි භික්ෂූන් වහන්සේලා සහ වඳින පුදන ජනයා තවමත් ඒ බෞද්ධ සංස්කෘතික දායාද වන්දනාමාන කරති. තායි පන්සල් වෙහෙර විහාර මෙන්ම තායි ජනයාගේ පෙර සිට පැවත එන බෞද්ධ සිරිත් විරිත් ආදියද දැකගැනීමේ අවස්ථාව තායි රටේ සවාරියක දී අපට උදා වේ. කිසිදා බටහිර ජාතීන්ගේ යටත්විජිතයක් නොවූ තායිලන්තයේ බෞද්ධ දහම මෙන්ම අනෙක් ආහාරපාන, සංස්කෘතික උත්සව, ජීවන රටාව ආදිය නොවෙනස්ව තවමත් යම් පමණකින් ආරක්ෂා වි තිබේ.
Cover Photo: The Telegraph