වර්ග කිලෝමීටර් 44,579,000 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන ආසියාව සැලකෙන්නේ මිහිමත ඇති විශාලතම මෙන් ම වැඩි ම ජනගහනයක් සහිත මහද්වීපය ලෙස යි. එකිනෙකට වෙනස් සංස්කෘතින් සහ රාජ්‍යයන් රැසකට සෙවණ දෙන ආසියාව සතු ව ඉහළ සංචාරක ආරක්ෂණයක් හිමි ස්ථාන බොහෝමයක් පවතිනවා. ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ආසියානු මහද්වීපයේ කඳු නගින්නන් ප්‍රිය කරන කුඩා කඳුවැටි, අලංකාර වර්ණයන්ගෙන් යුතු හිරිගල් භූ දසුන්, සීතල දිය පිරි දිදුලන විල් මෙන් ම රූස්ස ගසින් සැදි ඝන වනාන්තරයන් වැනි නානාප්‍රකාර භූ දර්ශන සැඟ වී පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මේ ලිපිය ආසියානු මහද්වීපයේ සංචාරය කරන්නෙක් මග නොහැරිය යුතු සිතුවම් පරදන මනරම් ස්වභාවික පුදුමයන් කිහිපයක් පිළිබඳව යි.
ගෝක්යෝ විල් (නේපාලය)
එවරස්ට් කඳුවැටිය තරණය කිරීම නොහැකි වූ අයෙක්ට ඒ වෙනුවට තරණය කළ හැකි විකල්ප කඳුවැටියක් ලෙස ගෝක්යෝ ශිඛරය හඳුන්වා දිය හැකි යි. මුහුදු මට්ටමේ සිට මීටර් 5,357 (අඩි 17,5756) ක් උසින් පිහිටා ඇති ගෝක්යෝ ශිඛරය කරා ළඟා වීමට ඇති මංපෙත වැටී ඇත්තේ නිල්වන් ජලය පිරි ගෝක්යෝ විල් සමූහය අතරින්. හිමාල කඳුවැටිය සතු දිගින් වැඩි ම ගැල්සියරය වන ගෝසම්පා ග්ලැසියරයෙන් පෝෂණය වන ගෝක්යෝ විල් සමූහය සතු ව විල් සයක් පවතිනවා. මාර්තු සිට ජූනි දක්වා සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා අතර කාලයේ තරණය සඳහා වඩාත් සුදුසු ගෝක්යෝ විල් සමූහය, මුහුදු මට්ටමේ සිට ඉහළින් ම පිහිටා ඇති මිරිදිය විල් සමූහය ලෙස ද සැලකෙනවා.
චොකලට් කඳු (පිලිපීනය)
පිලිපීනයේ බොහොල් ප්‍රාන්තයේ පිහිටා ඇති චොකලට් කඳු පන්තිය සතු ව උස මීටර් 30 – 120 අතර වන කේතු හැඩැති කඳු 1,268 ක් පමණ පවතින බව යි සඳහන් වන්නේ. වැසි සමයේ දී හරිත පැහැයෙන් දිස් වන චොකලට් කඳු පන්තිය වැසි සමය අවසන් වීමෙන් පසු ව දිස් වන්නේ දුඹුරු පැහැයෙන්. පිලිපීනය සතු ජාතික භූ විද්‍යා ස්මාරකයක් වන චොකලට් කඳු පන්තිය පාංශු ඛාදනය හේතුවෙන් නිර්මාණය වන්නට ඇති බව භූ විද්‍යාඥයින් විශ්වාස කරනවා. නමුත් ජනශ්‍රැතියේ සඳහන් වන්නේ යෝධයන් දෙදෙනෙකු අතර ඇති වූ සටනක දී ඔවුන් විසින් එකිනෙකා වෙත දමා ගසන ලද ගල් කැබලි සහ වැලි එක් වීමෙන් චොකලට් කඳු පන්තිය නිර්මාණය වූ බව යි.
කෙලිමූටූ ගිනි කන්ද (ඉන්දුනීසියාව)
කාලයෙන් කාලයට තම පැහැය වෙනස් කරන විල් ත්‍රිත්වයක් සහිත කෙලිමූටූ ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාව සතු ෆ්ලෝරස් දූපතේ යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1,639 (අඩි 5,377) ක් උසින් පිහිටා ඇති කෙලිමූටූ ගිනි කන්ද අවසන් වරට පුපුරා ගොස් ඇත්තේ 1968 ජූනි මාසයේ දී වන අතර කඳු මුදුනේ දැක ගැනීමට ලැබෙන විල් ත්‍රිත්වය නිර්මාණය වී ඇත්තේ ද ගිනි කඳු පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස යි. කෙලිමූටූ විල් ත්‍රිත්වය එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුතු ජලයෙන් පිරී ඇත්තේ ජලයේ ඇති ඛනිජ වර්ග, යමහල් වායු සමග ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන්. ස්වදේශිකයින් විශ්වාස කරන්නේ මිය ගිය පුද්ගලයින්ගේ ආත්මයන් කෙලිමූටූ විල් හි සමාදානයේ සැතපෙන බව යි.
ෂැංයේ ඩැංසියා භූ රූප (චීනය)
දේදුන්නක් මෙන් වර්ණවත් ෂැංයේ ඩැංසියා භූ රූප නිර්මාණය වී ඇත්තේ අදින් වසර මිලියන ගණනාවකට පෙර සිදු වූ භූ තැටි චලනයක් හේතුවෙන්. වයඹ දිග චීනයේ ෂැංයේ නගරය ආසන්නයේ පිහිටා ඇති ෂැංයේ ඩැංසියා භූ රූප 2010 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. වැඩි වශයෙන් රතු පැහැ හිරිගල් දක්නට ලැබෙන ෂැංයේ ඩැංසියා භූ රූප වර්ග කිලෝමීටර් 322 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරනවා.
හැන්ග් සොන්ග් ඩූන් ගුහාව (වියට්නාමය)
වියට්නාමයේ පොන්ග් නා-කේ බන්ග් ජාතික උද්‍යානය මධ්‍යයේ පිහිටා ඇති ප්‍රමාණයෙන් විශාල ගුවන් යානයක් හා සමාන වන හැන්ග් සොන්ග් ඩූන් ගුහාව, ලෝකයේ දැනට පවතින විශාලතම ගුහා කිහිපයෙන් එකක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. කිලෝමීටර් 5 ක් පමණ දිගින් යුතු ගුහාව මීටර් 200 ක් පමණ උසකින් යුතු වන අතර පළලින් මීටර් 150 ක් පමණ වෙනවා. 1990 වර්ෂයේ දී පමණ මුල් ම වරට හැන්ග් සොන්ග් ඩූන් ගුහාව සොයාගෙන ඇත්තේ කුණාටුවකින් බේරීම සඳහා සෙවණක් සොයමින් සිටි හෝ කාන් නම් දඩයම්කරුවෙක් විසින්. වසර මිලියන 2 – 5 ක් පමණ පැරණි ගුහාව, 2009 වර්ෂයේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතිනවා.
බෑන් ජීයොක්-ඩීෂන් දිය ඇල්ල (වියට්නාම්-චීන දේශ සීමාව)
නයගරා ඇල්ල විසින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර ස්වභාවික දේශ සීමාවක් ලකුණු කරන අයුරින් ම වියට්නාමය සහ චීනය අතර දේශ සීමාව ලකුණු කරන්නේ බෑන් ජීයොක්-ඩීෂන් දිය ඇල්ල යි. හරිත පැහැ වනාන්තරය මැද සැඟ වී ඇති නිවුන් දිය ඇල්ලක් වන එය මීටර් 30 (අඩි 98) ක් පහළින් පිහිටා ඇති ක්වේ සොන්ග් ගංගාවට කඩා වැටෙනවා. අන්තර්ජාතික දේශ සීමා ලකුණු කරන දිය ඇලි ලැයිස්තුවේ සිව්වැනියට විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ ද බෑන් ජීයොක්-ඩීෂන් දිය ඇල්ල යි. එය පිහිටා ඇත්තේ වියට්නාමයේ අගනුවර වන හැනෝයි නගරයේ සිට කිලෝමීටර් 272 ක් පමණ උතුරු දෙසින්.
ජිගෝකු නිම්නය (ජපානය)
ජපානයේ හොකයිඩෝ දූපතේ පිහිටා ඇති ජිගෝකු නිම්නය අයත් වන්නේ ෂිකොත්සු-ටෝයා ජාතික උද්‍යානයට යි. අක්කර 24 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති එය අදින් වසර 20,000 කට පමණ පෙර කුත්තාරා ගිනි කන්ද පිපිරී යාම හේතුවෙන් නිර්මාණය වී තිබෙනවා. වර්තමානයේ දී උණුදිය උල්පත් රැසකට ජීවය දෙන ජිගෝකු නිම්නය ආශ්‍රිත ප්‍රදේශයේ ස්වභාවික උණුදිය ස්නානාගාර බොහෝමයක් දැක ගැනීමට හැකි යි. හේමන්තයේ දී රතු, තැඹිලි සහ කහ පැහැයෙන් වැසී යන ජිගෝකු නිම්නය සිරි නැරඹීම සඳහා වඩාත් සුදුසු වන්නේ ඔක්තෝබර් මාසය යි.
Cover Image : කෙලිමූටූ ගිනි කන්දේ හිරු උදාව (© Donisius Agung)