ලොව අලුත් ම රට- දකුණු සුඩානය

වසර සිය ගණනක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සහ සුඩානයට අයත් ව තිබූ දකුණු සුඩානයට 2011 වසරේ දී නිදහස ලැබුණු අතර, එය එතැන් පටන් දකුණු සුඩාන ජනරජය බවට පත් විය. මේ වන විට දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද දකුණු සුඩානය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළි ගනී. එක්සත් ජාතීන්ගේ සංවිධානය, අප්‍රිකානු සංගමය, සහ නැඟෙනහිර අප්‍රිකානු සමාජය වැනි ජාත්‍යන්තර සංවිධාන ගණනාවක ද සාමාජිකත්වය දරන, ලොව බිහි වූ අලුත් ම රට වන, දකුණු සුඩානය පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක ම පාහේ ඇති වෙමින් පවතින ශීඝ්‍ර දියුණුවත් සමඟ ලොවට අලුත් දෑ බිහි වන බව රහසක් නොවේ. එවැනි දෑ අතර අලුත් “රටක්” වශයෙන් පිළිගන්නා ස්වෛරී රාජ්‍යයක් බිහි වන්නේ කලාතුරකිනි. යම්කිසි ප්‍රදේශයක ජීවත් වන ජනතාව එම ප්‍රදේශය “රටක්” ලෙස ප්‍රකාශයට පත් කළත් එය ජාත්‍යන්තර වශයෙන් ස්වෛරී රාජ්‍යයක් බවට පිළිගැනීම ද ඉතා වැදගත් ය.

දකුණු සුඩානයේ පිහිටීම දැක්වෙන සිතියමක් – www.britannica.com

ඉතිහාසය

දකුණු සුඩානයේ මේ වන විට ජීවත් වන ඩින්කා, නුවර්, ෂිලුක්, අන්යුවාක්, මුර්ලේ, බරි, මුන්දරි, බකා, බලන්ද බ්විරි, බෝයා, ඩිඩිංග, ජියේ, කලිගි, කුකු, ලෝටුකා, නිලෝටික්, ටොපෝසා සහ සැන්ඩේ වැනි ගෝත්‍රවලට අයත් ජනකොටස් මුලින් ම දකුණු සුඩානයේ පදිංචි වූයේ 10 වැනි සියවසට පෙර බව කියැවේ. ඉපැරැණි අප්‍රිකානු ශිෂ්ටාචාරයක් වන මධ්‍යතන න්‍යුබියාවේ බිඳ වැටීමත් සමඟ එහි ජීවත් වූ ආදිවාසී ජනකොටස් දකුණු සුඩානයට සංක්‍රමණය වී තිබේ.

එසේ සංක්‍රමණය වූ ජනකොටස් 15 සහ 19 වැනි සියවස අතර කාලය තුළ දකුණු සුඩානයේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගෙන සිය ජනාවාස පිහිටුවා ගත්හ. මෙම කාලය තුළ අන්යුවාක්, ඩින්කා, නුවර් සහ ශිලුක් වැනි ජනකොටස් දකුණු සුඩානයේ බහර් එල් ගසාල් ප්‍රදේශයේ පදිංචි වූ අතර, සැන්ඩේ, මුන්දරි සහ බකා වැනි ජනකොටස් දකුණු සුඩානයේ විශාලත ම පළාත ලෙස සැලකෙන ඉක්වටෝරියාවේ පදිංචි වූහ.

බෙර වැනි වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන දකුණු සුඩාන ළමයින් පිරිසක් – www.britannica.com

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති කාලය

වසර 50කට වැඩි කාලයක්, එනම් 1899 සිට 1956 දක්වා සුඩානය මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවතිණි. උතුරු සුඩානයේ යටිතල පහසුකම් සහ මහජන සුබසාධනය සඳහා අවධානය යොමු කළත්, දකුණු සුඩානයේ යටිතල පහසුකම් සංවර්ධනය හෝ එහි ජීවත් වූ ජනකොටස්වල සුබසාධනය සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍ය සැලකිය යුතු අවධානයක් යොමු කර නැත. එහි ප්‍රතිපලයක් ලෙස යටත් විජිතයක් ව පැවැති කාලය තුළ දකුණු සුඩානයේ පාසල්, රෝහල්, මහාමාර්ග, පාලම් සහ වෙනත් මූලික යටිතල පහසුකම්වල විශාල හිඟයක් තිබිණි.

යුදමය තත්ත්ව

දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවැති සුඩානයට 1956 වසරේ දී නිදහස ලැබිණි. නිදහස ලැබීමෙන් පසු එරට පළමු මැතිවරණය 1958 වසරේ දී පැවැත්විණි. එම මැතිවරණයෙන් ජය ලැබූ “Khartoum” රජය දිගින් දිගට ම දකුණු සුඩානය නොසලකා හරිමින් පාලන කටයුතු ගෙන ගියේ ය.

ඊට විරුද්ධ ව දකුණු සුඩානයේ ජීවත් වන ජනකොටස් නැඟී සිටීමත් සමඟ උතුරු සුඩානයේ සහ දකුණු සුඩානයේ ජනතාව අතර කලහකාරී තත්ත්ව ඇති වීම ආරම්භ විය. එවැනි කලහකාරී සිදුවීම් දිර්ඝකාලීන යුදමය තත්ත්වයක් බවට පත් වීම හේතුවෙන් දකුණු සුඩානයට මෙන් ම උතුරු සුඩානයට සෘණාත්මක ප්‍රතිපල ගණනාවකට මුහුණ දීමට සිදු විය.

යුදමය තත්ත්වයන් නිසා මිය ගිය සුඩාන වැසියන් සංඛ්‍යාව මිලියන 2.5කට අධිකය – www.newsweek.com

1950 දශකය අගභාගයේ සිට 1972 දක්වා පැවැති එරට පළමු සිවිල් යුද්ධයට “අන්‍යන්යා” නම් සංවිධානයක් නායකත්වය දුන්නේ ය. එරට ඇති වූ දෙවැනි සිවිල් යුද්ධය සුඩාන ජනතා විමුක්ති හමුදාව/ ව්‍යාපාරය නම් සංවිධානය යටතේ ක්‍රියාත්මක විය. වසර 40කට වැඩි කාලයක් තිස්සේ පැවැති මෙම යුදමය තත්ත්වයන් නිසා උතුරු සහ දකුණු සුඩාන වැසියන් මිලියන 2.5කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී, තවත් විශාල පිරිසක් සරණාගතයන් බවට පත් වූහ.

පුද්ගලයන් විශාල පිරිසක් මිය යාමට සහ අවතැන් වීමට අමතර ව එරට යටිතල පහසුකම් සහ වෙනත් ක්ෂේත්‍රයන්හි සංවර්ධනය මෙම යුදමය තත්ත්වයන් නිසා විශාල පසුබෑමකට ලක් විය.

දකුණු සුඩානයේ ළමයින් දෙදෙනෙක් – www.icrc.org

නිදහස ලබාගැනීම

දකුණු සුඩානය, සුඩානයෙන් වෙන් වූ ස්වාධීන රටක් බවට පත් විය යුතු ද නැද්ද යන්න පිළිබඳ ව ජනතා අදහස් ලබා ගැනීමේ අරමුණින් 2011 වසරේ ජනවාරි 9 සිට 15 දක්වා විශේෂ ජනමත විචාරණයක් පැවැත්විණි. දකුණු සුඩානයේ ජීවත් වන ජනතාවගෙන් 98.83%කගේ මතය වී තිබුනේ එය සුඩානයෙන් වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු බව යි. දකුණු සුඩානයට නිදහස ලැබීමෙන් පසු එහි පාලන කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්  විය.

එම කමිටුවේ සාමාජිකයන්  2011 ජනවාරි 23 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ නිදහස ලැබීමෙන් පසු දකුණු සුඩානය, දකුණු සුඩාන ජනරජය නමින් හැඳින්වෙනු ඇති බව යි. ඊට අමතර ව ඇසානියා, නයිල් ජනරජය සහ කුෂ් ජනරජය, යන නම් ද යෝජනා වී තිබිණි. 2011 වසරේ ජූලි 9 දින එය නිල වශයෙන් ජනරජයක් බවට පත් විය. නිදහස ලැබීමත් සමඟ දකුණු සුඩානය ලොව අලුත් ම රට බවට පත් විය.

දකුණු සුඩාන නිදහස් දිනයක් – www.thewire.in

සම්පූර්ණ වශයෙන් නිදහස ලැබුණත් ඛණිජතෙල් ආදායම බෙදා ගැනීම සම්බන්ධයෙන් තවමත් සුඩානය සහ දකුණු සුඩානය අතර අර්බුදකාරී තත්ත්වයන් පවතී. සුඩානය සතු ව තිබූ ඛණිජතෙල් නිධිවලින් 75%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දකුණු සුඩානයට අයත් වී තිබීම ඊට හේතුව යි. සුඩානයට අයත් අබෙයි ප්‍රදේශය සුඩානයට හෝ දකුණු සුඩානයට අයත් නොවන විශේෂ පරිපාලන ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වේ. එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට පාලනය වීමට අවශ්‍ය සුඩානය යටතේ ද, එසේත් නැත්නම් දකුණු සුඩානය යටතේ ද යන්න විමසීම සඳහා ඉදිරියේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ජනරජයක් බවට පත් වීම

නිල වශයෙන් ජනරජයක් බවට පත් වීමත් සමඟ දකුණු සුඩානය අප්‍රිකාවේ බිහි වූ 54 වැනි නිදහස් රාජ්‍යය බවට පත් විය. සෑම වසරක ම ජූලි 9 වැනි දින දකුණු සුඩාන ජනතාව සිය නිදහස් දිනය සමරති. නිදහස ලැබීමත් සමඟ දකුණු සුඩානයේ දේශපාලන පක්ෂ ගණනාවක් එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටවූ අතර එහි පාලන තන්ත්‍රයේ ප්‍රධාන තනතුරු වන්නේ ජනාධිපති, උප ජනාධිපති, පාර්ලිමේන්තුවේ කතානායක සහ අගවිනිසුරු යන ඒවා යි.

2011 වසරේ නිදහස ලබා ගත් දින පටන් Salva Kiir Mayardit එරට ජනාධිපති ලෙසත්, Riek Machar උප ජනාධිපති ලෙසත්, Jemma Nunu Kumba කතානායකවරිය ලෙසත්, Chan Reec Madut අගවිනිසුරු ලෙසත් කටයුතු කරති.

දකුණු සුඩානයේ වර්තමාන ජනාධිපති- Salva Kiir Mayardit – www.wikipedia.org

වර්තමාන තත්ත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම

දකුණු සුඩානයේ අගනුවර ජුබා නගරය වේ. 2022 වසර වන විට එරට ජනගහනය 11,544,905ක් ලෙස ගණන් බලා ඇත. එහි දල දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 3,000කට ආසන්න අගයක් ගන්නා අතර, දකුණු සුඩාන පවුම් එරට මුදල් ඒකකය වේ. එරට ජීවත් වන ඒ ඒ ජනකොටස්වලට අනන්‍ය වූ භාෂා ද ඇතුළු භාෂා 60කට ආසන්න ප්‍රමාණයක් දකුණු සුඩානයේ භාවිත වේ. ක්‍රිස්තියානි, විවිධ සම්ප්‍රදායික ආගම් සහ ඉස්ලාම් ආගම එරට ආගම් අතර වේ. මෑතකාලීන සමීක්ෂණ අනුව දකුණු සුඩාන ජනතාවගෙන් 60%ක් පමණ ක්‍රිස්තියානි දහමත්, 32%ක් පමණ වෙනත් සම්ප්‍රදායික ආගම්, 6%ක් පමණ ඉස්ලාම් ආගම, සහ 2%ක් පමණ වෙනත් ආගම් අදහති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය

ගත වූ වසර 40 ක පමණ කාලය තුළ රටවල් 34ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. මේ රටවල් අතරින් අවසාන වශයෙන් එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් රට වන්නේ දකුණු සුඩානය යි. 2011 ජූලි 14 වැනි දින දකුණු සුඩානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වැනි සාමාජික රට ලෙස සාමාජිකත්වය ලබා ගත්තේ ය. වඩාත් මෑතකාලීනව අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබාගත් රට ද දකුණු සුඩානය යි.

දකුණු සුඩාන කාන්තාවෝ – www.cnn.com

2011 ජූලි 27 දින අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබා ගත් දකුණු සුඩානය එහි 54 වැනි සාමාජික රට වේ. 2011 සැප්තැම්බර් මස ගූගල් සිතියම්වල දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් ලෙස සටහන් විය. දකුණු සුඩානය මේ වන විට කොංගෝ ජනරජය, ටැන්සානියා ජනරජය, කෙන්යානු ජනරජය, බුරුන්දි, රුවන්ඩාව සහ උගන්ඩාව යන රටවලින් සමන්විත වන නැගෙනහිර අප්‍රිකානු සමාජයේ ද සාමාජිකත්වය ලබා ගෙන ඇත.

කවරයේ ඡායාරූපය: නිදහස සමරන දකුණු සුඩාන වැසියෝ - opiniojuris.org
මූලාශ්‍ර:
www.britannica.com
www.icrc.org
www.cnn.com
www.newsweek.com

Related Articles

Exit mobile version