පසුගිය සමයේ ශ්‍රී ලාංකික අපට නිතරම කන වැටුණු වචනයක් වුණු “බිම් බෝම්බ” ලංකාවට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම විශාල තර්ජනයක්. මේ නිසා බිම් බෝම්බ නිපදවීම හා, රටවල් සතුව පවතින බිම් බෝම්බ විනාශ කිරීම සඳහා රටවල් එකමුතු කර ගැනීම වෙනුවෙන්, “බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම” හෙවත් “ඔටාවා සම්මුතිය”, 1997 සැප්තැම්බර් මස 18 වෙනි දා අත්සන් කෙරුණා. එය 1999 මාර්තු 01 වෙනි දා බලාත්මක වුණා.
බිම් බෝම්බයක් කියන්නේ මොකක් ද?
බිම් බෝම්බයක් කියන්නේ, “පුද්ගල නාශක බෝම්බ” කියන නමින් ද හැඳින්වෙන, බොහෝවිට මිනිස් ජීවිත විනාශ කරන්නට හෝ, යුධ හමුදාවක ඉදිරි ගමන වලක්වන්න භාවිත කරන බෝම්බයක්. ඒක වෙන්නේ මෙහෙම යි.
බොහෝවිට යුධ හමුදා සාමාජිකයන් ඉලක්කගත කරලා අටවන බිම් බෝම්බ වලින් භටයන් මිය නොගොස්, දරුණුවට තුවාල ලබනවා. එවැනි සිදුවිමක දී අනෙක් භටයන්ට ඔවුන් වෙනුවෙන් එසැනින් සෞඛ්‍ය පහසුකම් සපයන්න වෙනවා. ඒ වගේම ඔවුන් දුක්විඳිනු බලා සිටින්න වෙනවා. මේ හේතූන් නිසා එවැනි පිපිරීමකින් පස්සේ ඔවුන් ඉදිරියට යන්නේ හොඳ මානසිකත්වයකින් නම් නෙමෙයි. මේ නිසා සතුරාට එය වාසියක් වෙනවා.
බිම් බෝම්බයක් ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි පීඩනයකින් හෝ tripwire එකක් මගින්. එය විශාල පිපිරුමක් සමඟම ක්‍රියාත්මක වෙනවා. මේවා පොළොවේ වළලනු ලබනවා.
බිම් බෝම්බ වර්ග 350ක් පමණ තිබෙන අතර මේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. ඉන් එකක් පුද්ගල නාශක වන අතර අනෙක යුධ ටැංකි නාශක වෙයි. මේවා බොහෝ දුරට එක සමාන වන නමුත් යුධ ටැංකි නාශක බිම් බෝම්බ ප්‍රමාණයෙන් හා විශාලත්වයෙන් පුද්ගල නාශක බෝම්බ වලට වඩා වැඩි යි.
තහනම් කිරීමට හේතූ මොනවා ද?
1990 වර්ෂය වන තෙක්ම යුධ හමුදාවන් විසින් බිම් බෝම්බ භාවිතා කරනු ලැබුවා. ඒවා නිසා දස දහස් ගණනින් මිනිස් ජිවිත විනාශ වීම පමණක් නොව, ජන ජීවිත අඩාල වීමට ද විශාල ලෙස බලපෑවා. බිම් බෝම්බ භාවිතා වූ ප්‍රදේශ වල නැවත පදිංචි කිරීම් වලින් පසුව භූමියට, සහ ගොඩනැගිලි වලට ජනතාව නැවත යෑමට ඇති බිය වැඩි වුණා. මේ හේතූන් නිසා මූලිකවම බිම් බෝම්බ තහනම් කළ යුතු වුණා.
බිම් බෝම්බ වැලැක්වීම සඳහා වූ අන්තර්ජාතික ව්‍යාපාරය
මෙම ගැටළු වලට පිළියම් සෙවීම හා බිම් බෝම්බ ලොවින් තුරන් කර දැමීම වෙනුවෙන්, 1991 වසරේ දී බිම් බෝම්බ වැලැක්වීම සඳහා වූ අන්තර්ජාතික ව්‍යාපාරය නිර්මාණය වුණා. ඒ එක්සත් ජනපදයේ දී යි. ඔටාවා ගිවිසුම එම සංවිධානයේ විශාලතම ජයග්‍රහණයක්. මෙම සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ජෝඩි විලියම්ස් විසින්. ඔවුන්ගේ මූලිකම අරමුණ වී තිබුණේ බිම් බෝම්බ වලට එරෙහිව අන්තර්ජාතික තහනමක් නිර්මාණය කිරීමයි. 1997 වසරේ දී ජෝඩි විලියම්ස් මේ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයත් ලබා ගත්තා.
ඔවුන් සඳහන් කරන අන්දමට ලෝකය පුරාම එසේ නිෂ්ක්‍රිය නොකර ලද බිම් බෝම්බ රටවල් 60ක, මිලියන 100ක් පමණ තවමත් ඉතිරිව තිබෙනවා. තව ද මේ නිසා සිවිල් වැසියන් 25000ක් පමණ තවමත් වාර්ෂිකව අනතුරට පත් වෙනවා.
ඔටාවා සම්මුතිය
1997 නිර්මාණය වුණ මෙය හරහා බිම් බෝම්බ භාවිතය තහනම් කිරීම, නිෂ්පාදනය නතර කිරීම, හා තොග රැස් කිරීම වැලැක්වීම යන සම්මුතීන් වලට එයට සහයෝගය දෙන රටවල් එකඟ වෙනවා. එමෙන්ම බිම් බෝම්බ සහිත ප්‍රදේශ වලින් ඒවා ඉවත් කිරීම, බිම් බෝම්බ වලින් පීඩාවට පත් වූ අයට උදව් කිරීම, හා තමන් සතුව පවතින තොග විනාශ කිරීමත් මෙයට අයිතියි.
මෙය ලොව වැඩිම පිරිසක් එකඟතාවයට පත් වූ සම්මුතීන්ගෙන් එකක් ලෙස සැලකෙනවා. ලොව රටවල් වලින් 80%ක් පමණම මෙයට සහය දක්වා තිබෙනවා. රටවල් 164ක් මෙයට සහය දක්වා ඇති අතර රටවල් 32ක් මෙයට සහය දක්වා නෑ. නමුත් එම සහය නොදැක්වූ රටවල් වලින් බොහොමයක් බිම් බෝම්බ භාවිතය හෝ නිපදවීම සිදු කරනු ලබන්නේත් නෑ.
ගිවිසුම ඇත්තටම සාර්ථක ද?
මෙම ගිවිසුම හා බිම් බෝම්බ වැලැක්වීම සඳහා වූ අන්තර්ජාතික ව්‍යාපාරය මගින් මේ වනවිට ලොවපුරා බිම් බෝම්බ ඉවත් කිරීම හා නිෂ්පාදනය නතර කිරීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ඒවා අතර ඔවුන් ලබාගත් විශාලතම ජයග්‍රහණය ලෙස සැළකෙන්නේ ලොව රටවල් වලින් 80%ක් ඒ සඳහා කැමති කරවා ගැනීම යි. එය නිරායුධාකරණයේ හා මානුෂීයත්වය වෙනුවෙන් ලද විශාල ජයග්‍රාහණයක් ලෙස ඔවුන් අර්ථ දක්වනවා.
එමෙන්ම ඔවුන්ගේ මෙම ව්‍යාපෘතිය නිසා මේ වනවිට විශාල භූමි ප්‍රමාණයක් නැවත ජනතාවට ලැබී තිබෙන අතර, ඒ හේතුවෙන් ඒවා නැවත ගොවිබිම් හා පුද්ගල ජනාවාස වෙනුවෙන් භාවිතයට ගෙන තිබෙනවා. බිම් බෝම්බ අනතුරු නිසා පීඩාවට පත්වන පුද්ගලයන් ප්‍රමාණය ද විශාල වශයෙන් අවම වී තිබෙනවා මෙන්ම බිම් බෝම්බ නිෂ්පාදනය ද පැහැදිලිවම අවම වී තිබෙනවා. ඔවුන්ගේ මෙහෙයුම් වලින් මේ වනවිට ඉවත් කර ඇති බිම් බෝම්බ ගණන මිලියන 51කට ආසන්න යි.
මෙම ගිවිසුමට සහය දක්වන රටවල් විසින් කිසිදු දිනක නැවත බිම් බෝම්බ හා සම්බන්ධ පර්යේෂණ නොකීරීමට බැදී සිටිනවා. එමෙන්ම තමන් සතු බිම් බෝම්බ වසර හතරක් තුල නිෂ්ක්‍රිය කළ යුතු අතර ගිවිසුමට අනුව බිම් බෝම්බ වළලා ඇති ප්‍රදේශ වසර 10ක් තුල නැවත පදිංචියට සුදානම් කළ යුතුයි. මහ ජනතාව බිම් බෝම්බ ගැන දැනුවත් කිරීම මෙන්ම වාර්ෂිකව තමන්ගේ රටේ ප්‍රගතිය ද එම රටවල් විසින් වාර්තා කළ යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් මෙම ක්‍රියාවලිය සාමාජික රටවල නිවැරදිව සිදුවන්නේ ද යන්න සොයා බලනවා.
ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය තවමත් නිමාවෙන දිනයක් නම් පෙනෙන්නට නෑ. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බිම් බෝම්බ ඉවත් කරන තාක්ෂනයන් ඉතා සීමිත වීම යි. තව ද සමහරක් අධි තාක්ෂණ ක්‍රම ඉතාම මිළ අධික වන අතර බොහෝ විට මේවා තවමත් ක්‍රියාත්මක වන්නේ පුද්ගලයන් යොදාගෙන යි.
ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට 2017 දෙසැම්බර් 13 එකඟ වූ අතර, 2018 ජනවාරි 01 වෙනි දා සිට අදාළ ගිවිසුම හා සම්බන්ධ වුණා. කෙසේ නමුත් ලොව ප්‍රබල රටවල් වන ඉන්දියාව හා චීනය මේ වනවිටත් මෙම ගිවිසුමට සහය දක්වා නෑ.
කවරය – tirtzaeven
science.howstuffworks.com
adaderana.lk
www.nobelprize.org
www.icbl.org