Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තනි අශ්වයෙක් දුවන තරගයක් බඳු රුසියාවේ ඩූමා මැතිවරණය

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ අවසාන දිනය අද(19) යි. මැතිවරණය උදෙසා ඡන්දය ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 17 වැනිදා ඇරඹුණු අතර, 19 වැනිදා ඡන්ද විමසීමේ අවසාන දිනය ලෙස සැලකුණා. මැතිවරණය හරහා “ද ස්ටේට් ඩූමා” හි ආසන 450 උදෙසා නියෝජිතයන් 225 ක් සමානුපාතික නියෝජනය යටතේ තෝරා ගැනෙනවා. ඉතිරි නියෝජිතයන් 225 දෙනා අපේක්ෂක මට්ටමින් වැඩිම ඡන්ද දිනාගත් පදනම අනුව තෝරා ගැනෙනවා. වසර පහක ධූර කාලයක් සඳහා ඩූමාවේ නියෝජිතයන් මෙහිදී තෝරා පත්වීමට නියමිත යි.

සිරගතව සිටින ඇලෙක්සි නවාල්නිට සහය දක්වන ආධාරකරුවන්ගේ විරෝධතාවක් – www.rnz.co.nz 

“ද ස්ටේට් ඩූමා” නැතහොත් රාජ්‍ය ඩූමාව යනු රුසියානු පාර්ලිමේන්තුව වන ෆෙඩරල් මන්ත්‍රණ සභාවේ පහළ සාමාජික මණ්ඩලය යි. රුසියාවේ ව්‍යවස්ථාදායක අධිකාරිය ලෙස ක්‍රියාකරන ඩූමාව හරහා වැදගත් කර්තව්‍යන් කිහිපයක් සිදු වෙනවා. ෆෙඩරල් ව්‍යවස්ථාමය හා ෆෙඩරල් නීති සම්මත කර ගැනීම, රුසියානු රජයේ ක්‍රියාකාරකම් පාලනය කිරීම, මහ බැංකුවේ ප්‍රධානීන් පත් කිරීම සහ සේවයෙන් පහ කිරීම, පොදු සමාව ප්‍රකාශ කිරීම සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාවය සම්බන්ධව කටයුතු කිරීම එයින් කිහිපයක්. ඒ අනුව ඩූමාවේ බහුතරය වූ ආසන දෙසිය විසිහයේ අවමය දිනා ගැනීම ඉතා වැදගත්.   

ඩූමාවේ වත්මන් තත්ත්වය

2016 පැවති මැතිවරණයෙන් පසු ඩූමාවේ ආසන 450 අතුරින් 334 ක බහුතරය වෙන්වී තිබෙන්නේ “United Russia” නම් පක්ෂයට යි. එය ව්ලැද්මීර් පුටීන් නායකත්වය දරන “All-Russia People’s Front” නම් සන්ධානයේ ප්‍රධානත ම නැංගුරම ලෙස සැලකෙනවා. මීට අමතර ව, තවත් පක්ෂ කිහිපයක සහයෝගය හරහා ඩූමා ව තුළ පුටීන් සතු බලය තවත් වැඩි කර ගැනීමට හැකි වී තිබෙනවා. ඕනෑම පනත් කෙටුම්පතක්, අයවැයක් සහ දේශපාලන පියවරක් ඉතා ඉක්මනින් ඩූමාව හරහා සම්මත කරවා ගැනීම ව්ලැද්මීර් පුටින්ට ගැටලුවක් නොවෙ යි.

නිල මට්ටමේ නිරීක්ෂකයන් ඡන්දය භාවිතා කරන අයුරු ගැන සැලකිල්ලෙන් – www.bbc.com 

 මෙවර මැතිවරණයෙන් “United Russia” ප්‍රමුඛ පුටීන්ට සහාය දක්වන පාර්ශවය ජයග්‍රහණය කිරීමේ පැහැදිලි හැකියාවක් තිබෙනවා. ප්‍රබල විපක්ෂයක් රුසියාව තුළ නොතිබීම එයට හේතුව යි. පසුගිය වසර කිහිපය තුළ පුටීන් පාලනය තම විරුද්ධ පාර්ශව දැඩි ලෙස මර්දනය කළ නිසා සැබෑ ජනතා ප්‍රතිචාරය මැතිවරණය හරහා පිළිබිඹු වේද යන්න සැක සහිත යි.   

පුටීන්ගේ මර්දනකාරී ප්‍රතිපත්තිය

සීමිත මාධ්‍ය නිදහස හරහා රුසියාවේ පවතින පාලන තන්ත්‍රයට එරෙහි විරෝධය මැඩපැවැත්වීම පූර්ව මැතිවරණ සමයේදී වැඩි වශයෙන් සිදු වුණා. විරුද්ධ පාර්ශවයේ හඬට යන්තමින් හෝ ඉඩක් ලබා දීම හරහා පුටීන් පාලනය මැතිවරණයක ප්‍රමිතිය අවම මට්ටමෙන් හෝ රකීවියැ යි මැතිවරණ විශ්ලේෂකයන් අපේක්ෂා කළා. රුසියාව තුළ පුටීන්ගේ පාලනයට එරෙහි සැබෑ විරුද්ධ පාර්ශවය ලෙස ඇලෙක්සි නවාල්නි ප්‍රමුඛ ඔහුගේ ආධාරකරුවන්ට යම් පිළිගැනීම තිබෙනවා. එහෙත්, ඇලෙක්සි නවාල්නි මේ වනවිට සිටින්නේ සිරගතව යි.

රුසියානු පාලක පාර්ශවය නවාල්නි හමුවේ කොතරම් සසල වුණා ද කියනවා නම්, නවාල්නි සිරගත කිරීමෙන් පසුව පවා ඔහුගේ දේශපාලන ව්‍යාපාරය සහ ආධාරක කඳවුර විසුරුවා හැරීමට රුසියානු බලධාරීන් ක්‍රියා කළා. මෙවර මැතිවරණයෙන් පුටීන් ප්‍රමුඛ පාලක පාර්ශවය ජය ගත්තත්, එය සැබෑ ජනතා පිළිබිඹුව නොවන බව විශ්ලේෂකයන් පවසන්නේ ඒ නිසා යි.  

පුටීන් ප්‍රමුඛ පාලනයට දැනෙන විරෝධයක් එල්ල කළ ඇලෙක්සි නවාල්නි – theconversation.com 

පුටීන්ගේ නවාල්නි බිය

 පසුගිය ජුනි මාසයේදී නවාල්නිට සම්බන්ධ දේශපාලන සංගම් තුනක් තහනම් කර “අන්තවාදීන්” යන ලේබලය ඇලවීමට පාලක පාර්ශවය ක්‍රියා කළා. එයින් අදහස් වන්නේ නවාල්නිට සම්බන්ධ ඕනෑම සංවිධානයක සාමාජිකයකුට හෝ ආධාරකරුවකුට සිර දඬුවම් විඳීමට සිදුවන බව යි.

2020 වසරේ අගෝස්තු 20 වැනිදා නවාල්නි ගුවන් ගමනක් අතරතුර හදිසියේ ම අසනීප වූ නිසා සයිබීරියාවේ ඕම්ස්ක් නගරයේ රෝහලකට ඇතුළත් කෙරුණා. ඔහුගේ නියෝජිතවරිය මාධ්‍ය හමුවේ පවසා සිටියේ නවාල්නිගේ ශරීරයට විස ශරීරගත වී ඇති බව යි. ගුවන් තොටුපළෙන් ගුවන් ගත වීමට පෙර පානය කළ තේ කෝප්පයක් හරහා විස ශරීර ගතවූ බව ඔවුන්ගේ ආධාරකරුවන් විශ්වාස කරනවා. එහෙත්, ඔහුගේ ලේ හෝ මුත්‍රවල විසක් ශරීරගත වූ බවට කිසිදු හෝඩුවාවක් නොමැති බව රුසියානු වෛද්‍යවරුන් පැවසුවා. වඩාත් විශ්වාසනීය කණ්ඩායමකින් ප්‍රතිකාර ලැබීම පිණිස නවාල්නි පසුව ජර්මනිය බලා පිටත් වුණා. ජර්මානු වෛද්‍යවරුන්ගේ පර්යේෂණවලින් ඇලෙක්සි නවාල්නිගේ සිරුරට විස ඇතුළු වී ඇති බව අනාවරණය වුණා.  

නවාල්නිගේ ශරීරයට විස ඇතුළු වීම

රුසියාවට 2021 ජනවාරි 17 වැනිදා නවාල්නි නැවත ළඟා වූ අතර, මොස්කව් හි ෂෙරෙමෙට්යෙවෝ ගුවන් තොටුපළේ දී ඔහු අත්අඩංගුවට ගැනුණා. එහිදී යුරෝපය සහ අනෙකුත් ලෝක බලවතුන් රැසක් නවාල්නි අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් ඔහු වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. එනමුදු ඔහු තව ම රුසියා අත්අඩංගුව තුළ පසුවනවා. ඇලෙක්සි නවාල්නිගේ ශරීරයට විස ඇතුළු වීම පිටුපස සෘජුව ම චෝදනා එල්ල වුණේ පුටීන් ප්‍රමුඛ රුසියාවේ පාලන තන්ත්‍රයට යි. එහෙත්, ක්‍රෙම්ලිනය එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා. මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඇලෙක්සි නවාල්නි සහ ඔහුගේ දේශපාලන මතවාදය මර්දනය කිරීම සඳහා පුටීන් පාලනය මේ දක්වා පියවර රැසක් ගෙන තිබෙනවා.

ඇලෙක්සි නවාල්නි, 2013 දී මොස්කව් හි නගරාධිපති පදවියට පවා තරග කළ අතර, රටපුරා පිහිටි ඔහුගේ දේශපාලන සංවිධාන සහ විමර්ශන ඒකකවල සහයෝගයෙන් ව්ලැද්මීර් පුටීන් සහ හිටපු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව්ගේ දූෂණ ක්‍රියා ගැන ප්‍රබල කතිකාවතක් ඇති කිරීමට සමත් වුණා.

පුටීන්ට පැහැදිලි අභියෝගයක්

ඒ අනුව නිල නොවන මට්ටමෙන් පුටීන්ට පැහැදිලි අභියෝගයක් එල්ල කළ හැකි විරුද්ධ පක්ෂය වන්නේ නවාල්නි නායකත්වය දරන “Russia of the Future” නම් පක්ෂය යි. නමුත්, එය දිගටම නිල නොවන මට්ටමෙන් ම තබා ගැනීමට පුටීන්ගේ මර්දනකාරී ප්‍රතිපත්තියට හැකි වුණා. අත්අඩංගුවට ගැනීමෙන් වැලකීම පිණිස නවාල්නිගේ ආධාරකරුවන් බොහෝමයක් මේ වනවිට පලා ගොස් තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මැතිවරණය දින තුනක කාලයක් සඳහා දීර්ඝ කෙරුණා – www.bbc.com

විරුද්ධවාදී කඳවුර තුළ සිටි තවත් ආකර්ෂණීය නායකයකු වූ දිමිති ගඩ්කොව්ටත් අන්තවාදී ලේබලය වැදුණු නිසා මෙවර මැතිවරණයට තරග කරන්නට ඔහුට හැකි වුණේ නැහැ. ගඩ්කොව්, කලක් රාජ්‍ය ඩූමාවේ සාමාජිකත්වය පවා දැරූ අතර, පසුගිය ජුනි මාසයේදී ව්‍යාජ අපරාධ චෝදනා වලට ලක්විය හැකි පසුබිම මත රටින් පිටව ගියා. 

“සියල්ලන්ම නෙරපා හැරලයි තියෙන්නේ”

 විපක්ෂ අපේක්ෂිකාවක් ලෙස උතුරු මොස්කව් දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ඇනස්ටේෂියා බ්‍රයුඛනෝවා පවසා සිටිනවා. උතුරු මොස්කව් ප්‍රදේශයෙන් පුටීන් විරෝධී ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ඇයට සහ තවත් ලිබරල් අපේක්ෂකයන් කිහිප දෙනකුට ලැබේවියැ යි ඇනස්ටේෂියා විශ්වාස කරනවා. තරග වදින ඇතැම් විපක්ෂ නායකයන්ට වඩා පුටීන් පාර්ශවයෙන් ඇයට ලැබී ඇත්තේ අඩු අවධානයක් වුවත්, ඡන්දය සඳහා අරමුදල් ශක්තිමත් ලෙස ඇයට ලැබී තිබෙනවා. මේ නිසා ඇයට යම් බලාපොරොත්තුවක් මෙවර ඡන්දය ගැන තබාගත හැකි යි.

පසුගිය කාලයේ රුසියා මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කළ අපේක්ෂකයන් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ ගැන තොරතුරු මෙතනින් දැනගත හැකි යි.

මැතිවරණ දැන්වීම් – www.euronews.com 

ඊනියා විපක්ෂය

මැතිවරණය බැලූ බැල්මට ම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක වුණත්, පවතින රජය හරහා මැතිවරණයට වක්‍රාකාරයෙන් ඇති වූ බලපෑම බරපතළ බව රුසියානු විශ්ලේෂකයන් පවසනවා. මැතිවරණය සඳහා තරග කරන සියලු විරුද්ධ පක්ෂ ක්‍රෙම්ලිනයේ දී අනුමත වූ විරුද්ධ පක්ෂ වීම එයට හේතුව යි.

පුටීන්ගේ රජය එම පක්ෂ ලැයිස්තුව සමීප ව සිට පාලනය කොට තිබෙනවා. ඒ අනුව මෙවර මැතිවරණය සඳහා ඊනියා විරුද්ධ පක්ෂ පද්ධතියක් පුටීන් පාලනයට එරෙහි ව මැතිවරණ සටනට එළඹෙනවා. රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂය, රුසියාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සාධාරණ රුසියාවක් සඳහා වූ සත්‍යය වැනි පක්ෂ, මෙලෙස ඊනියා විරුද්ධ පාර්ශවය ලෙස ක්‍රියා කරන බව විශ්ලේෂකයන්ගේ අදහස යි.

 පුටීන් ප්‍රමුඛ පාලක පක්ෂ ගෙන ගිය මර්දනකාරී ක්‍රියා පිළිවෙත හමුවේ සැබෑ විරුද්ධවාදීන් දැනටමත් නිහඬ කොට අවසන්. එයින් බලාපොරොත්තු සුන්කර ගත් නාගරික ඡන්දදායකයන් ගෙන් “පුටීන් පාලනයෙන් අවසර ගත්” විරුද්ධ පාර්ශවය ඡන්දය බලාපොරොත්තු වනු ඇති. නමුත්, ඔවුන් අව්‍යාජ විරුද්ධත්වය නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා පුටීන් ප්‍රමුඛ එක්සත් රුසියා පාලක පක්ෂයට ඡන්ද කිහිපයක් අහිමි වුණත් බලපෑමක් නැහැ.  

ඇලෙක්සි නවාල්නිගේ රුවක් මකා දමන අයුරු – www.theguardian.com 

පුටීන්ගේ මැතිවරණ අරමුණු

  මැතිවරණ විශ්ලේෂකයන්ට අනුව මෙවර මැතිවරණය සහ පෙර පැවති මර්දනකාරී කටයුතු හරහා පුටීන් පාලනය අරමුණු තුනක් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරනවා.

  1. 1.  2024 ජනාධිපතිවරණයට පෙර ප්‍රායෝගික හා සංකේතාත්මක වැදගත්කමක් ඇති ව්‍යවස්ථාමය බහුතරයක් පවත්වා ගැනීමෙන් පුටීන් ප්‍රමුඛ එක්සත් රුසියා පක්ෂයට රාජ්‍ය ඩුමාවෙහි ඇති සුවිශාල බලය නැවත තහවුරු කිරීම.
  2. 2.  හොඳ ඡන්ද ප්‍රතිශතයක් ලැබීමෙන් තම රජය ගැන ජනතාව තුළ තිබෙන විශ්වාසය නැවත තහවුරු කිරීම සහ මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ සීමිත වාර්තාවක් ලබාදීමෙන් දේශපාලන ප්‍රභූ පැලැන්තිය ඇතුළු සියළු පුරවැසියන් ඉදිරියේ තම නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම.
  3. 3. පුළුල් විරෝධතා සහිත පසුබිමක් ඉදිරියේදී රුසියාව තුළ ඇති වීම වැළැක්වීම.

දේශපාලන පක්ෂ කිහිපයක් මෙවර රුසියාවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වුණත්, තනි අශ්වයෙක් දුවන තරගයක් බඳු මැතිවරණ ප්‍රතිඵලයක් ලැබීමේ ඉඩකඩ ඉතා වැඩි යි.

“රුසියානු මැතිවරණය ගිම්හාන කඳවුරක සිටින තරුණ පුරෝගාමීන් සඳහා සකසන ලද විකල්පයක් නැති නීරස උදෑසන ආහාරයක් බඳු යි.”

 යුක්‍රේනයේ කියෙව් නගරය පදනම් කරගත් විශ්ලේෂකයෙක් වූ ඇලෙක්සි කුෂ්ච්, රුසියානු මැතිවරණයේ තරගකාරීත්වය එලෙසින් උපමා කොට තිබුණා.

කවරයේ ඡායාරූපය: ව්ලැදිමීර් පුටීන් - cutewallpaper.org

මූලාශ්‍ර:

duma.gov.ru

www.theguardian.com

www.cnbc.com

www.aljazeera.com

Related Articles