2016 අගභාගය සහ 2017 මුල් භාගය අතරතුර දකුණු කොරියානුවන් සිය මහජන අරගලය හැර වෙනත් දෙයක් ගැන නොසිතූ තරම්. ඉතිහාසය පුරා ඉතා විශාල කැප කිරීම්වලින් දියුණුවේ හිනි පෙත්තට ම ඔසවා තැබූ තම දේශය, වසර කිහිපයක් වෙනුවෙන් පත් වූ ජනාධිපතිවරයකු අතින් විනාශ වනවා දැකීම කොරියානුවන්ට ඉවසුම් දුන්නේ නැහැ. ජෝසප් කිම් කියන්නේත් රටේ උද්ගත ව ඇති අර්බුදයට මනා සේ සංවේදී වූ දේශ හිතෛෂී පුරවැසියෙක්. එවකට දකුණු කොරියාවේ ජනාධිපති ධූරය හෙබ වූ පාර්ක් ගුන්-හේ ගේ පාලනයට එරෙහි ව සතිපතා පැවැත්වෙන සාමකාමී විරෝධතාවලට සහභාගී වීම ජෝසප් කිම්ගේ ජීවන චර්යාවේ කොටසක් බවට පත් වුණා.
පැරණි මිතුරන් සමඟ විනෝද වීම සහ අන්තර්ජාලයෙන් දකුණු කොරියානු දේශපාලනය ගැන කියවීම වැනි සති අන්ත දින චර්යාවෙන් මිදුණු කිම්, එක දිගට සති හයක් සෝල් නගරයේ පැවති විරෝධතාවලට සහභාගී වුණා. කෙමෙන් කෙමෙන් සෝල් නගරයට ශීත කාලය එළැඹුණත්, කාලගුණික විපර්යාස කෙසේ හෝ දරා ගෙන සාමකාමී පොදු ජන අරගලයේ කොටස්කරුවෙක් වීමට ජෝසප් කිම්ට අවශ්‍ය වුණා. ඔහුගේ කැප කිරීම තවත් එවැනි කැප කිරීම් දහස් ගණනක් අතුරින් එකක් පමණ යි. ඔහු වටා සිටි දහස් සංඛ්‍යාත ජනයා වඩාත් සාධාරණ පාලන තන්ත්‍රයක් වෙනුවෙන් තම පෞද්ගලික වගකීම් මොහොතකට පසෙකින් තබා තිබුණා. අවසානයේ දී ඔවුන් සාර්ථක වුණා. පාර්ක් ගුන්-හේ ගේ දූෂිත පාලනයෙන් දකුණු කොරියානු ජනයා මිදුණු අතර, ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේ නැහැ. අත රැඳි ඉටිපන්දම සහ නොසැලෙන අධිෂ්ඨානය පමණක් ඔවුන්ට ප්‍රමාණවත් වුණා!
පාර්ක් ගේ දේශපාලන පසුබිම
පාර්ක් ගුන්-හේ ට දකුණු කොරියානු දේශපාලනය තුළ සිය පවුලෙන් ම ලැබුණු දේශපාලන පසුබිමක් තිබුණා. ඇය, 1979 දී ඝාතනය වන තෙක් දකුණු කොරියාවේ ජනාධිපති ධූරය හෙබ වූ පාර්ක් චංග්-හී ගේ දියණිය යි. 1974 දී පාර්ක් චංග්-හී ඉලක්ක කරමින් සිදු කෙරූ අසාර්ථක ඝාතන තැත නිසා පාර්ක් ගුන්-හේ ට සිය මව අහිමි වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය දකුණු කොරියාවේ ජනාධිපති ආර්යාව ලෙස සැලකුණා.
පියාගේ අභාවයෙන් පසු පොදු ජීවිතයේ ක්‍රියාශීලි ජීවිතයක් ඇරඹූ පාර්ක් ගුන්-හේ, අධ්‍යාපනික සහ සංස්කෘතික පදනම් කිහිපයක සභාපතිවරිය වශයෙන් කටයුතු කළා. 1998 දී කොන්සර්වේටිව් සංකල්ප මත පිහිටා ඇති “ග්‍රෑන්ඩ් නැෂනල්” පක්ෂයේ අපේක්ෂිකාවක් ලෙස ජාතික සභාවට තේරීපත් වීම සඳහා මැතිවරණයට ඉදිරිපත් වූ ඇය, තීරණාත්මක පරතරයකින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉන්පසු 1998 සිට 2012 දක්වා තවත් වාර හතරක් ජාතික සභාවට තේරී පත් වීමට ඇය සමත් වුණා. 2004 වර්ෂය පාර්ක්ගේ දේශපාලන දිවිය වැදගත් සංධිස්ථානයකට එළඹුණා. සිය පක්ෂයේ සභාපති ධූරය දරමින් 2004 මහ මැතිවරණයේ දී සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දීමට ඇය සමත් වූ අතර, කොරියානු මාධ්‍ය “මැතිවරණ රැජන” යන අන්වර්ථ නාමයෙන් ඇය හැඳින්වූවා.
2007 දී පාර්ක්ගේ දේශපාලන දිවිය යම් පසුබෑමකට ලක් වුණා. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇය ග්‍රෑන්ඩ් නැෂනල් පක්ෂයෙන් නාම යෝජනා බලාපොරොත්තු වුණත්, ඒ අවස්ථාව ලී මියුන්-බක්ට හිමි වීමෙන් ඇයට යම් බලපෑමක් එල්ල වුණා. කෙසේ නමුත්, 2011 දී ග්‍රෑන්ඩ් නැෂනල් පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමත් සමඟ තාවකාලික ව පිහිට වූ හදිසි කමිටුවේ ප්‍රධානියා වීමට පාර්ක් ගුන්-හේට හැකි වුණා. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පසු “ග්‍රෑන්ඩ් නැෂනල්” නාමය වෙනුවට “සේනුරි” යනුවෙන් පක්ෂය හැඳින්වූ අතර, අභිනව සේනුරි පක්ෂයේ සභාපතිවරිය ලෙස ඇය දේශපාලනය තුළ නැවත වතාවක් බලවත් වුණා. එතැන් පටන් දේශපාලන දිවියේ හිනි පෙත්තට ම ළඟා වනතුරු ඇයව නැවැත්වීමට කිසිවකුට හැකි වුණේ නැහැ
අපකීර්තිය ඇරඹුණු හැටි
ජනාධිපති අපේක්ෂකයකු ලෙස පාර්ක්, සිය පියා භාවිත කළ “අපි හොඳින් ජීවත් වෙමු.” යන සටන් පාඨය නැවතත් කරළියට ගෙන ආවා. ඔහුගේ නායකත්වය යටතේ දකුණු කොරියාව අත් විඳි ඉහළ ආර්ථික වර්ධන වේගය නැවත ගෙන එන බව ඇය පුරවැසියන්ට පොරොන්දු වුණා. කෙසේ නමුත්, පාර්ක් චංග්-හී ගේ පාලනය යටතේ පීඩාවට පත් වූ මිනිසුන් ද සිටියා. එහි දී වඩාත් ප්‍රවේශම් වෙමින් සිය පියාගේ වැරදිවලට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමටත් ඇය උනන්දු වුණා.
2013 පෙබරවාරි 25 වැනිදා ඇය ජනාධිපති ධූරයට පත් වන විට දකුණු කොරියාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියා. ඉහළ යන ගෘහස්ථ ණය, ආදායම් විෂමතා සහ උතුරු කොරියාවෙන් එල්ල වන යුදමය ආතති, දකුණු කොරියාව වෙළා ගෙන තිබුණා. මුල දී ඇයගේ පාලනය ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වුණත්, මැතිවරණ පොරොන්දු යට සැඟවී තිබූ පාර්ක්ගේ සැබෑ දූෂිත ස්වභාවය බලය ලැබීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් ඉස්මතු වුණා. ඇය ගේ අපකීර්තිමත් පාලනයේ මුල් ම සහ දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක් වූ සිදුවීම වන්නේ “සෙවෝල් ෆෙරි විනාශය” නොහොත් සෙවොල් යාත්‍රා අනතුර යි.
අව පාලනයේ මිනිස් වන්දිය!
2014 අප්‍රියෙල් 16 වැනිදා ඉන්චියොන් සිට ජේජු දක්වා යාත්‍රා කරමින් තිබූ සෙවෝල් නෞකාව ගිලී ගිය අතර, පාසල් ළමයින් සහ රැකියාව බලා පිටත් වන මිනිසුන් රාශියක් නෞකාවේ සිටි බව පැවසෙනවා. මෙම ප්‍රවෘත්තිය කණ වැකුණු විගස ජාතියක් වශයෙන් මුළු මහත් දකුණු කොරියාව ම කම්පනයට පත් වුවත්, සියලු ම මගීන් බේරා ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කළ නිසා යම් අස්වැසිල්ලක් දකුණු කොරියානුවන්ට ලැබුණා. කෙසේ නමුත්, එම වාර්තා අසත්‍ය බව ඉක්මනින් පැහැදිලි වුණා. පාසල් සිසුන් බහුතරයක් සමඟින් පුද්ගලයන් 304 ක් මෙම අනතුර නිසා ජීවිතක්ෂයට පත් වූ අතර, දකුණු කොරියාවේ විනාශකාරී ම දවසක් ලෙස යාත්‍රා අනතුර ඉතිහාසයට එක් වුණා.
මෙතරම් විනාශයක් පිටුපස තිබූ රජයේ දුර්වල කළමනාකාරීත්වය කරළියට පැමිණියේ ඉන් පසුව යි. ව්‍යසනයට තුඩු දුන් සාධක ලිහිල් ලෙස නියාමනය කිරීම, දුර්වල අන්දමින් ක්‍රියාත්මක වූ විමර්ශන, වෙරළාරක්ෂකයන්ගේ දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් රජය මහජන අප්‍රසාදයට පත් වූ අතර, ව්‍යසනයෙන් දින දහයකට පසු අගමැතිවරයා ඉල්ලා අස්වීමේ සිදුවීම නිසා අනතුර සම්බන්ධයෙන් පාර්ක්ගේ රජය වගකීම් පැහැර හැර ඇති අන්දම වඩාත් ඉස්මතු වුණා. ඉන්පසු පාර්ක් ගුන්-හේ ගේ ඉහළ ම ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ඔත්තු සේවයේ අධ්‍යක්ෂ යන දෙදෙනා ම සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණා. යාත්‍රා අනතුරෙන් පසු පාර්ක් ගුන්-හේ පාලනය තුළ සැඟව පැවතුණු අනෙකුත් දූෂණ කරළියට පැමිණියේ දකුණු කොරියාවේ ආර්ථිකයේ අනාගතයට පැහැදිලි රතු එළි දල්වමින්.
වංචනික හිත මිතුරිය
පාර්ක් ගුන්-හේ ඇය වටා සිටි ව්‍යාපාරික ප්‍රජාවට හිතකර වන පරිදි සිය බලය අව භාවිත කළ නායිකාවක්. එයින් දකුණු කොරියාවේ කම්කරු ප්‍රජාවට විශාල අසාධාරණයක් ඇති වීමේ පසුබිමක් සැකසෙමින් තිබුණා. සෘජු ලෙස පාර්ක් පාලනයට බලනොපෑ විරෝධතා සහ ජනතා අප්‍රසාද මුල සිට ම පැවතුණත්, සියල්ල ම කනපිට හැරවූ සිදුවීමක් 2016 ග්‍රීෂ්ම සෘතුවේ දී සිදු වුණා. දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වූ “චොසුන් ඉල්බෝ”, පාර්ක් පරිපාලනයේ සාමාජිකයෙක් විශාල සමාගම් කිහිපයකට එල්ල කළ තර්ජනයක් වාර්තා කර තිබුණා.
පාර්ක් හිතවාදී සාමාජිකයා පුණ්‍යායතන දෙකක් හඳුන්වා දෙමින් ඒවාට මුදල් පරිත්‍යාග කරන ලෙස අදාළ සමාගම්වලට දන්වා තිබූ අතර, එසේ නොකළහොත් විගණනයකට යටත් කරන බව අනතුරු හඟවා තිබුණා. ඒ අනුව තර්ජනයට ලක් වූ සමාගම්වලට ඩොලර් මිලියන 70 ක කප්පමක් “පරිත්‍යාගය” යන දවටනයේ ඔතා ලබා දීමට එම සමාගම්වලට සිදු වුණා.
පාර්ක් ගේ බලයට මුවා වී සිටි මේ අබිරහස් සාමාජිකයා චෝයි සූන්-සිල් බව පසුව අනාවරණය වුණා. ඇය පාර්ක් ගුන්-හේ ගේ සමීප මිතුරියක් වන අතර, “The Church of Eternal Life” යන ආගමික නිකායේ නායිකාව ද වෙනවා. ඒ සමඟ ම මෙතෙක් කඩතුරාවකින් වැසී තිබූ පාර්ක් ජනපතිවරියගේ අඳුරුත ම පැතිකඩ එළිදරව් වුණා.
ජනාධිපතිවරියගේ ජනතා ඇමතීම් සංස්කරණය කිරීම සහ ජනාධිපතිනියට ලැබෙන සංක්ෂිප්ත තොරතුරු කියවීම පවා චෝයි සිදුකර ඇති බව කොරියානු මාධ්‍ය අනාවරණය කර ගත් අතර, ජනපති කෙරෙහි චෝයිගේ බලපෑම කොතරම් ද යන්න වග ජනතාව දැනුම්වත් වුණා. චෝයි සහ ඇයගේ සහචරයන් රජයේ අනුග්‍රහය ඇති ව ධනවතුන් වූ අන්දම ගැන ජනතාව සිටියේ බලවත් අප්‍රසාදයකින්. රාජ්‍ය ලේඛනවලට අනවසරයෙන් ප්‍රවේශය ලබා දුන් බවටත් ඇයට චෝදනා එල්ල වී තිබුණා.
පාර්ක්-චෝයි සබඳතාව
චෝයි සූන්-සිල් ගේ පියාණන් වන චෝයි ටේ-මින්, ආගමික නායකයකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙක්. ඔහුට ‘දකුණු කොරියාවේ රස්පුටින්’ යන නාමය ද පටබැඳී තිබුණා. පාර්ක් ගුන්-හේ ගේ පියා රට පාලනය කරන සමයේ දී මේ කොරියානු රස්පුටින් ඔහුගේ උපදේශකයා මෙන්ම සමීපත ම මිතුරා ද වුණා. එම සබඳතාවල අනුග්‍රහයෙන් චෝයි ටේ-මින්, විශාල ධනයක් සහ බලයක් තමා වටා රැස් කර ගත්තා. පාර්ක් චංග්-හී 1979 දී ඝාතනය වීමත් සමඟ කොරියානු රස්පුටින්ගේ දියණිය පාර්ක් ගුන්-හේ ට සමීප වී දැඩි මිත්‍රත්වයක් ගොඩ නඟා ගත්තා. පාර්ක් ගුන්-හේ ජනාධිපති ධූරයට පත් වූ විට තම පියාගේ භූමිකාව නැවත කරළියට ගෙන එමින් පාර්ක්ගේ උපදේශිකාව බවට පත් වීමට චෝයි සූන්-සිල්ට අවස්ථාව උදා වුණේ මේ ශක්තිමත් සබඳතාව නිසා යි.
දකුණු කොරියානුවන් යනු ඉමහත් පරිශ්‍රමයක් දරා මුල සිට ම ගොඩ නැඟුණු ජාතියක්. ඉතිහාසය තුළ ඔවුන් අනේක විධ අභියෝගවලට මුහුණ දෙමින් ලෝකයේ විශාලත ම ආර්ථිකයක් කරා තම දේශය රැගෙන යාමට ඇප කැප වුණා. එලෙස ගොඩනැඟුණු රාජ්‍යයක් දණ ගැස්විය හැකි විශාලත ම සතුරා වන්නේ දූෂණය යි. පාර්ක් රජය ඒ සතුරාට දකුණු කොරියාව තුළ බලවත් වීමට ඕනෑ තරම් අවකාශ සලසා දී තිබුණා. එසේ නම්, පුරවැසියන් ලෙස පවතින රජයට එරෙහි වීම හැර වෙන කුමක් කරන්න ද?
අරගලය ඇරඹෙ යි!
දස දහසකට වැඩි පිරිසක් ඉටි පහන් දල්වා ගනිමින් ජනාධිපති නිල නිවස වන බ්ලූ හවුස් වෙත 2016 ඔක්තෝබර් 29 වැනිදා පා ගමනින් පැමිණීමත් සමඟ තීරණාත්මක “කැන්ඩ්ල් ලයිට් විජිල්” විරෝධතාව ආරම්භ වුණා. දකුණු කොරියාව ඉටි පහන් සහ පුවරු අත දරා ගනිමින් සිදු කරන දීර්ඝකාලීන විරෝධතාවලට යම් ප්‍රසිද්ධියක් උසුලනවා. එම විරෝධතාවල ප්‍රචණ්ඩත්වයක් නොමැති තරම්. විරෝධතාවයේ ආරම්භයට දින හතරකට පමණ පෙර චෝයි සූන්-සිල් ගේ මැදිහත් වීම් පාර්ක් ජනපතිනිය ප්‍රසිද්ධියේ පිළි ගෙන තිබුණා. එය දකුණු කොරියානු දේශපාලනයේ අපකීර්තිමත් ම සිදුවීමක් ලෙස අදටත් සැලකෙනවා. ඉන්පසු බලය අයුතු ලෙස පරිහරණය කිරීම, ඥාති සංග්‍රහය, කප්පම් ගැනීම්, අත්ලස් චෝදනාවලින් පාර්ක් ගේ රජය විශාල පීඩනයකට යටත් වුණා.
රජයේ නිල භූමිකාවක් නොමැති චෝයි වැන්නකුට එතරම් බලයක් හිමි වී තිබුණා නම්, ඉන් ලැබෙන අයහපත් ආදර්ශයෙන් අනාගත දේශපාලනට සිදු වන බලපෑම ගැන දකුණු කොරියානුවන් සංවේදී වීම අරුමයක් නොවෙ යි. පාර්ක් ගුන්-හේ වහාම ධූරයෙන් ඉල්ලා අස්විය විය යුතු බව පුරවැසියන් තීරණය කළේ ඒ නිසා යි.
නොවැම්බර් වනවිට සෝල් නගරයට ලක්ෂ දෙකක පමණ ජනකායක් විරෝධතා ව්‍යාපාරය වෙනුවෙන් රැස් වූ අතර, පසුව එය මිලියනයක් දක්වා ඉහළ ගියා. දෙසැම්බරයේ මුල් භාගය වන විට සෝල් නගරයේ ඉටි පහන් විරෝධතාව සංගීත උළෙලක ස්වභාවයක් ගෙන තිබුණා. රටේ ප්‍රසිද්ධ සංගීතඥයන් කිහිප දෙනකු විරෝධතා භූමියේ ප්‍රසංග පැවැත් වූ අතර, එමඟින් විරෝධතාකරුවන්ගේ ආතතිය සහ ඒකාකාරීත්වය බිඳ වැටුණා. එහෙත්, ඔවුන් තම ඒකායන අරමුණෙන් බිඳකින්වත් දුරස් වුණේ නැහැ.
පාර්ක්ගේ ඉල්ලා අස්වීම, දෝෂාභියෝගය සහ අත් අඩංගුවට ගැනීම යන ඉල්ලීම් දිගින් දිගට ම විරෝධය තුළින් තහවුරු වුණා. මෙවැනි සුවිශාල විරෝධතාවයක් හමුවේ රජය මර්දනකාරී ක්‍රියාපිළිවෙතක් ඇරඹීමේ මං සොයන බව දකුණු කොරියානුවන් දැන සිටියා. පාර්ක් රජයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ මේ මිනිසුන් ඒ සඳහා කිසිදු ඉඩක් තැබුවේ නැහැ. ඔවුන් තම මහජන බලය කෙරෙහි විශ්වාසය තබමින් ප්‍රචණ්ඩත්වය බැහැර කළා.
මහජන බලයේ ජයග්‍රහණය
2016 දෙසැම්බර් 9 වැනිදා ජාතික සභාවට යොමු වූ දෝෂාභියෝගයේ දී විශාල පරතරයකින් පාර්ක්ට එරෙහි ව ඡන්දය ලබා දීමට ජාතික සභාවේ සාමාජිකයන් ක්‍රියා කළා. ඉන්පසු දෝෂාභියෝගය ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන්න වග තීරණය කිරීම ව්‍යවස්ථාපිත අධිකරණයට භාර වූ අතර, එහි ක්‍රියාවලියට දින 180 ක් පමණ ගත වුණා.
2017 මාර්තු 10 වැනිදා ජාතික සභාවේ තීරණය තහවුරු කිරීමට අධිකරණය ඒකමතික ව තීන්දු කළා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ ජනාධිපතිවරයකුට සිය ධූරය අහිමි වූ ප්‍රථම අවස්ථාව ලෙස පාර්ක් ගුන්-හේ දකුණු කොරියානු දේශපාලන ඉතිහාසයට එක් වුණා. බලය අහිමි වීම නිසා එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ක්ට එරෙහි ව නඩු පැවරීමටත් හැකියාව ලැබුණා. 2017 මාර්තු 31 වැනිදා පාර්ක් අත් අඩංගුවට ගැනුණු අතර, චෝදනා 18 ක් යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පාර්ක්ගේ අනුප්‍රාප්තිකයා තීරණය කිරීම සඳහා වූ මැතිවරණය 2017 මැයි 9 වන දින පැවැත්වුණා. එහි දී පාර්ක් නියෝජනය කළ පක්ෂය දැඩි පසුබෑමකට ලක් වුණා. ඔවුන් ගේ ප්‍රතිවාදියා වූ මූන් ජේ-ඉන්, මැතිවරණය ජයග්‍රහණය කළා. ඉන් සති දෙකකට පසු පාර්ක්ගේ දූෂණ වංචා සම්බන්ධ නඩු විභාගය සෝල් හි දී ආරම්භ වුණා.
පාර්ක්ට ජනපති සමාව
2018 අප්‍රියෙල් 6 වැනිදා මහජනතාව ගේ අපේක්ෂාවේ තීන්දුව අධිකරණය ලබා දුන්නා. පාර්ක් ගුන්-හේට වසර 24 ක සිර දඬුවමක් සහ වොන් බිලියන 18 ක දඩයක් නියම වුණා. 2018 ජූලි මාසයේ දී තවත් නඩු විභාගයකින් රජයේ මුදල් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ක් වරදකාරිය බවට පත් වූ අතර, සිර දඬුවම තවත් වසර 8 න් දීර්ඝ වුණා. පසුව පැවැත්වුණු නඩු විභාගයක දී ඇයගේ සිර දඬුවම වසර 20 ක් දක්වා අඩු කෙරුණා. එම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කළත්, දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන තීන්දුව අනුමත කළා.
2021 දෙසැම්බර් මාසයේ දී ජනාධිපති ධූරය හොබවමින් සිටි මූන් ජේ-ඉන්, පාර්ක් ගුන්-හේට ජනපති සමාව ලබා දුන්නා. අතීතයේ වේදනා ජය ගනිමින් නව යුගයක් කරා යා යුතු බව එහි දී මූන් ජේ-ඉන් පවසා සිටියා.
“අප මුහුණ දෙන බොහෝ අභියෝග සලකා බැලීමේ දී ජාතික සමගිය සහ නිහතමානීත්වය ඇතුළත් කර ගැනීම අන් සියලු දේට වඩා හදිසි දෙයක්.”
ජනපති සමාව තුළ තිබූ හරය තව දුරටත් මූන් ජේ-ඉන් පැහැදිලි කළේ ඒ අයුරින්.
මීට අමතර ව ක්‍රම ක්‍රමයෙන් පිරිහෙන පාර්ක් ගේ සෞඛ්‍ය තත්ත්වයත් සමාව ලබා දීමේ දී සැලකිල්ලට ගෙන තිබුණා. අවසානයේ දී පාර්ක් ගුන්-හේ සිරභාරයට පත් ගැනුණෙත්, ජනපති සමාවට පිළිගැනීමක් හෝ ප්‍රසාදයක් ලැබුණෙත්, මහජන බලය නිසාම යි. සිය බලයේ තරම දකුණු කොරියානුවන් ප්‍රජාතන්ත්‍රවාදී ව පෙන්වූයේ ඒ අයුරින්.