ටොන් හතරක් බර “කාසි” භාවිතා කරන දූපත​

මුදල් නෝට්ටු සහ කාසි භාවිතා වීමට පෙර මිනිසුන් භාණ්ඩ හුවමාරුව ඔස්සේ ගනුදෙනු කළා. මුදල් භාවිතයට මිනිසුන් හුරු වූයේ ඉන් පසුවයි. යම් නිශ්චිත වටිනාකමක් සහ සමාජයේ පිළිගැනීමක් ඇති නෝට්ටු සහ කාසි මුදල් ලෙස භාවිතා වුවද​, ඇතැම් ජනසමාජයන් හි තවමත් වෙනත් දේ ද මුදල් ලෙස භාවිතා වන අවස්ථා තිබෙනවා.

පැසිෆික් සාගරයේ යැප් දූපතේ රායි ගල්, හෙවත් ගලින් නිමවූ “කාසි” මේ අතර සුවිශේෂී වනවා. එක්තරා අතකට මෙම ගල් ලෝකයේ විශාලම කාසි ලෙස ද සලකන්නට පුළුවනි.

රායි ගල් සියල්ලක් ම අති විශාල ඒවා නොවෙයි. සෙන්ටි මීටර කිහිපයක විශ්කම්භයකින් යුතු රායි ද තිබෙනවා. කෙසේ වෙතත් දැනට ඇති විශාලම රායි ගල අඩි දොළහක විශ්කම්භයෙන් යුත්තක්. එහි ඝනකම අඩි එකහමාරක් වන අතර බර ටොන් 4 ක් වනවා.

වර්තමානයේදී මෙම ගල් සාම්ප්‍රදායික අවස්ථා සඳහා යොදා ගැනෙන අතර එදිනෙදා කටයුතු සඳහා යැප් වැසියන් භාවිතා කරන්නේ ඇමරිකානු ඩොලරයයි.

යැප් දූපත

යැප් දූපත පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියානු ෆෙඩරේෂනයේ පිහිටි කැරොලින් දූපත්වලට අයත් දූපතකි. යැප් දූපත් නමින් හැඳින්වෙන ප්‍රධාන දූපත් හතරකින් යුක්ත දූපත් එකතුවෙහි ප්‍රධානම දූපත වන්නේ ද යැප් දූපතයි. යැප් යනු මයික්‍රොනීසියාවේ ප්‍රාන්තයක් වන අතර එම ප්‍රාන්තයේ ජනගහනය 12,000 කට ආසන්නයි.

යැප් දූපත 17 වන සියවසේ සිට 1899 දක්වා ස්පාඤ්ඤය විසින් පාලනය කළ අතර ඉන්පසු එය ජර්මනියට විකුණනු ලැබුවා. ජර්මන් ජාතිකයන් එය 1914 තෙක් පාලනය කළා. පළමු ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ ජපන් හමුදා මෙම දූපත් අල්ලා ගත් අතර යුද්ධය නිම වූ පසු 1945 දක්වා ජපානය එම දූපත් පාලනය කළා. පසුව​, 1986 තෙක් එම දූපත් ඇමරිකා එක්සත් ජනපදය විසින් පාලනය කෙරුණ අතර පසුව මයික්‍රොනීසියාවේ කොටසක් ලෙස නිදහස් රාජ්‍යයක කොටසක් බවට පත් වුණා.

රායි මුදල්

රායි ගල් යනු හුණුගලින් නිර්මිත ගල් තැටි ය​. මේවා ප්‍රධාන වශයෙන් ම කණිනු ලැබ ඇත්තේ පලාවු ඇතුළු මයික්‍රොනීසියානු දූපත් කිහිපයකයි. ඓතිහාසික සාධකවලට අනුව මෙම ගල් කැණීම මීට වසර 1500 ක් තරම් ඈත කාලයේදී ද සිදු වී තිබෙන බව විශ්වාස කෙරෙනවා.

මෙම ගල් යැප් දූපත් වැසියන් පාරු හෝ ඔරු මාර්ගයෙන් පලාවු සහ අනෙකුත් දූපත්වලින් සිය දිවයින වෙත ගෙන අවුත් තිබෙන්නේ කිලෝමීටර සිය ගණන් දුර සමුදුර හරහා තරණය කරමින්. උදාහරණයක් වශයෙන් ගතහොත් යැප් සහ පලාවු දූපත් අතර දුර කිලෝමීටර 450 ක් පමණ වනවා.

රායි ගල් පුවරුවක් (Eric Guinther / Wikimedia Commons)

මෙසේ තම දූපතෙන් ගල් කැණීම සඳහා අවසර දීම වෙනුවෙන් පලාවු දූපත් වැසියන්ට කොප්පරා සහ වෙනත් ද්‍රව්‍යවලින් ගෙවීමට යැප් වැසියන්ට සිදු වුණා.

යැප් දිවයිනෙහි හුණුගල් දකින්නට ලැබෙන්නේ නැහැ. එම නිසා යැප් වැසියන් විසින් හුණුගල් ඉතා වටිනා සම්පතක් ලෙස සලකනු ලබනවා. මෙම ගල් රවුම් හැඩයට සකසන ලද්දේ ප්‍රවාහනයේ පහසුව සැලකීමෙන් බව සිතනු ලබනවා. ඒවායේ වටිනාකම තීරණය වන්නේ විශාලත්වය සහ එහි ඇති කලාත්මකභාවය මත පමණක් නොවේ. ඒවායේ ඉතිහාසය මත ද වටිනාකම තීරණය වනවා. ඒවා පැරණි නම් ද ඒවා ලබාගැනීම අපහසු වී නම් ද වටිනාකම ඉහළ නගිනවා.

කපිතාන් ඕ කීෆ්

අයිරිෂ්-ඇමරිකානු කපිතාන්වරයකු වූ ඩේවිඩ් ඕ කීෆ් 1871 දී යැප් දූපතට පැමිණියා. ඔහු යැප් දූපත්වාසීන්ට නවීන ආම්පන්න හඳුන්වා දුන්නා. ඉන්පසු රායි ගල් පිළියෙල කිරීම පහසු වුණා. මේ අනුව යැප් දූපතේ රායි ගල් සුලබ වන්නට පටන් ගත්තා. මෙම ගල් වෙනුවට දූපත් වාසීන් ගෙන් කොප්පරා සහ මුහුදු පිපිඤ්ඤා මිලට ගත් ඕ කීෆ් ඒවා පිටරටවල විකුණා ධනය උපයා ගත්තා.

අලුතින් ලබාගත් ගල් පහසුවෙන් ලබාගත් හෙයින් කළින් වූ ගල් තරම් වටිනාකමක් මේ අලුත් ගල්වලට ලැබුණේ නැහැ. මේ අතර රායි ගල් සුලබ වීම හේතුවෙන් ඒවායේ වටිනාකම අඩු වන්නට පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලය වූයේ 20 වන සියවස ආරම්භයේදී පමණ රායි ගල් මුදල් ඒකකයක් ලෙස භාවිතය නැවතුණා.

ඩීන් ඕ කීෆ්ගේ කතා පුවත පාදක කරගනිමින් 1954 දී His Majesty O’Keefe නමින් හොලිවුඩ් චිත්‍රපටයක් ද නිර්මාණය වුණා.

යැප් හි අංක තහඩුවක් (David Weekly / Flickr)

වර්තමානයේදී මෙම මුදල්වල අමතර සැපයුමක් සිදු වන්නේ නැහැ. එහෙයින් ප්‍රධාන ලෙස ම මෙම රායි ගල් “කාසි” සඳහා නිශ්චිත අයිතිකරුවන් සිටිනවා. නමුත් සාමාන්‍යයෙන් ඒවායේ අයිතිකරුවන් මිය ගොස් ඊළඟ පරම්පරාවේ අයකුට අයත් වීම හැරුණු විට මේවායේ අයිතිය හුවමාරු වන්නේ අඩු වශයෙන්. ඇතැම් අවස්ථාවලදී විවාහයන් හෝ වෙනත් හේතූන් මත එම අයිතිකරුවන් වෙනස් විය හැකියි. මේ අතර මෙයින් සමහරක් පිටරටවල ද ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

අද වනවිට මෙම ගල් භාවිතා වන්නේ සාම්ප්‍රදායික අවස්ථා සඳහා පමණයි. කෙසේ වෙතත් යැප් වාසීන් සිය ඓතිහාසික මුදල් ඒකකය පිළිබඳ ඉතාම ආඩම්බර වනවා. යැප් දූපතේ වාහන අංක තහඩුවේ ද රායි ගලක් දකින්නට පිළිවන්.

ලෝකයේ භාවිතා වූ විවිධාකාර අමුතු ආකාරයේ මුදල් පිළිබඳව තවදුරටත් විස්තර ඉදිරියේදී ගෙන එන්නට අප බලාපොරොත්තු වනවා.

මූලාශ්‍ර​

  1. David Kestenbaum, The Island Of Stone Money, NPR
  2. http://news.bbc.co.uk/hi/english/static/road_to_riches/prog2/tharngan.stm

Cover Image: යැප් හි රායි මුදල් (tropical.pete / Flickr)

Related Articles

Exit mobile version