කිසිදු ලෙසකින් විද්‍යාත්මකව තහවුරු කර නොතිබුණ ද ශාපයන්, ගුරුකම් වැනි දේ පිළිබඳව ලොව බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතිනවා. රීජිප්තු රජවරුන්ගේ මමි තැන්පත් කර ඇති පිරමීඩ විවෘත කරන්නවුන්ට මරණීය ශාපයන් වදින බවට ලොව පුරා විශ්වාසයක් ඇති අතර, ශාපයන් පවතින්නේයැ යි විශ්වාස කෙරෙන භාණ්ඩ රාශියක් පිළිබඳව ද ඉතිහාසය පිරීක්සා බැලීමේ දී සටහන් වී තිබෙනු දැකිය හැකියි.
සංගීතය හා සබැඳි ශාප කිහිපයක් ද වරින් වර ලොව තැනින් තැන වාර්තා වී තිබෙනවා. ගීතයක්, සංගීත ඛණ්ඩයක් හෝ සංගීත කණ්ඩායමක් සබැඳිව මේ ශාපයන් ක්‍රියාත්මක වීයැ යි සැලකෙන අතර මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වෙතත් ඒ හේතුව නිසාම ලොව පුරා පරසිදු වී තිබෙනවා.
‘ග්ලූමි සන්ඩේ’ ශාපය
ගීතයක අතිශය දුක්බරභාවය නිසාම එය අසන්නන් සියදිවි නසාගන්නට පෙළැඹුණු ගීතයක් ගැන ඔබ අසා තිබෙනවා ද? හංගේරියානු ජාතිකයින් වන රෙස් සෙරෙස් හා ලැඩිස්ලස් ජැවොර් විසින් රචිත ‘ග්ලූමි සන්ඩේ’ ගීතය නිසා කිහිපදෙනෙකුගේ දිවි අහිමි වූ බැව් වාර්තා වෙනවා.
‘ග්ලූමි සන්ඩේ’ ගීතයට පාදක වී ඇත්තේ රෙස් සෙරෙස් ගේ පෙම්වතිය සියදිවි නසාගැනීමේ කතාව යි. මෙය 1933 වසරේ දී නිකුත් වූ පසු හංගේරියාවේ සියදිවි නසාගැනීම්වල ඉහළ යාමක් සිදු වූ බවට සමහර මාධ්‍යයන් වාර්තා කළා. මේ නිසා එය හංගේරියාව පුරා තහනමකට ලක් වූ නමුත්, නැවත 1941 වසරේ දී පෝල් රොබින්සන් හා බිලී හොලිඩේ යන දෙදෙනා මෙය ගායනා කරනවා. මේ අවස්ථා ද්විත්වයේ දීම ලොව සියදිවි නසාගැනීම් ඉහළ ගිය බැව් වාර්තා වුණා. මේ නිසා බී.බී.සී සේවය එය විකාශය කිරීම නවත්වා දැමුවා. විශේෂත්වය වන්නේ මෙහි රචක රෙස් සෙරෙස් ද පසුකාලීනව සියදිවි නසාගැනීම යි.
‘බඩී හොලී’ ශාපය
ඇමෙරිකානුවන් 1959 වසරේ පෙබරවාරි මස 3 වන දා සලකන්නේ ‘සංගීතය මියගිය දා’ ලෙස යි. ඒ, බඩී හොලී, රිචී වැලන්ස්, හා බිග් බොපර් යන තරුණ, දක්ෂ සංගීතඥයින් තිදෙනා ගුවන් අනතුරක් හේතුවෙන් අයෝවාහී දී මියයාම නිසා යි. වින්ටර් ඩාන්ස් පාටි සංගීත සංදර්ශන මාලාව අතරතුර ඔවුන් මේ අවාසනාවන්ත අනතුරට ගොදුරු වුණා.
උක්ත අනතුරෙන් පසුව ‘බඩී හොලීගේ ශාපය’ නම් ශාපයක් ඇමෙරිකානු සංගීත ක්ෂේත්‍රය වෙලාගත් බවට සමහරු විශ්වාස කරනවා. ඒ, බඩී හොලී හා ඔහුගේ සංගීතය ඇසුරු කළ බොහෝ දෙනා පසුකාලීනව අකාලයේ මියයාම නිසා යි. මේ අතර හොලීගේ මරණයෙන් පසු එම සංගීත සංදර්ශන මාලාවේ ප්‍රධාන ගායකයා ලෙස බඳවාගත් රොනී ස්මිත් මානසික ආබාධයකට ලක්ව අවසන එල්ලී මියයාම මෙන්ම, හොලීගේ ‘ක්‍රිකට්ස්’ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඩේවිඩ් බොක්ස් ද 22 වියැතිව සිටිය දී ගුවන් අනතුරකින් මියයාමේ සිද්ධියත් ප්‍රමුඛවම කියැවෙනවා. බඩී හොලීත් මියයන විට 22 වියෙහි පසුවුණා. මීට අමතරව ‘හොලී ගේ ශාපයට’ ලක් වූවායැ යි සැලකෙන තවත් සංගීතඥයින් කිහිපදෙනෙකුම සිටිනවා.
ජෙලි රෝල් මෝටන් මුහුණදුන් ශාපය
නිව් ඔලියන්ස් හි ජෑස් සංගීතඥයෙකු වූ ජෙලි රෝල් මෝටන් ඔහුගේ කැපකරු මවගේ ශාපයකට ගොදුරු වී සිටි බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඇය ඔහුගේ ආත්මය සාතන්ට පුදා ඇති බවට කටකතා පැතිරී තිබුණා.
මෝටන් 1920 දශකයේ දී ජෑස් තරුවක් ලෙස නැගී ආ අතර ඔහු මුල් කාලීන ජෑස් සංගීතයේ පියා ලෙස ද සැලකුණා. කෙසේ නමුත් 1930 දශකයේ දී ඔහුට සිය ප්‍රවර්ධන කාර්යයාලය පුරා විසිරුවා තිබූ අමුතුම වර්ණයකින් යුතු කුඩක් හමුවුණා. එතැන් පටන් ඔහුට අවාසනාව උරුම වුණා. ඔහුගේ ජනප්‍රියභාවය වියැකී ගිය අතර ඔහු සතු දියමන්ති රාශියකුත් සොරාගැනුණා. ජනතාව අතර ඔහු ලැජ්ජාවට පත්වුණා.
යම් කාන්තාවක් ඔහුට තමන් ශාපයකට ලක් වී ඇති බවත්, ඉන් මිදීමට නම් ඔහු සතු සියළු ඇඳුම් ආයිත්තම් ගිණිතබා විනාශ කළ යුතු බවත් පැවසූ බවත්, ඔහු එලෙස සිදුකිරීමෙන් අනතුරුව නැවතත් ‘වාසනාව’ ඔහු කරා පැමිණි බවත් ප්‍රසිද්ධ කතාවක්.
නව වැනි සංධ්වනියේ ශාපය
ශාස්ත්‍රීය සංගීත ලෝකයේ නිතරම කියැවෙන ශාපයක් වන්නේ ‘නවවන සංධ්වනියේ ශාපය’ යි. සිය නවවන සංධ්වනිය නිර්මාණය කළ දක්ෂ නිර්මාණකරුවන් කිහිප දෙකෙන්ම ඒ තදාසන්නවම මියගොස් තිබෙනවා. මේ ශාපයට ගොදුරු වූ ප්‍රසිද්ධම චරිතය ලෙස සැලකෙන්නේ මහා සංගීතඥ ලුඩ්විග් ෆොන් බිතෝවනුයි. ඔහු සිය නවවන සන්ධ්වනිය නිර්මාණය කොට කෙටි කලෙකින් මියගියා. තවත් සුප්‍රසිද්ධ සංගීතඥයෙකු වන ගුස්ටාව් මාලර් නවවන සංධ්වනිය නිම කිරීමෙන් අනතුරු වහාම දසවන සංධ්වනිය ආරම්භ කළා. ඔහු උක්ත ශාපයෙන් ගැළවුණු සෙයක් දිස් වූව ද දසවන සංධ්වනිය නිම කිරීමට පෙර මියගියේ සංධ්වනි නවයක් පමණක් ඔහුගේ නාමය ඉදිරියේ ඉතිරි කරමිනුයි.
27 කල්ලිය
සංගීත ලෝකයේ තවත් ජනප්‍රියම ශාපයක් වන්නේ ’27’ ශාපය යි.
එදාමෙදා තුර ලොව පුරා අතිදක්ෂ සංගීතඥයින් රාශියක්ම 27 වන වියේ දී මෙලොව හැර ගොස් තිබෙනවා. විවිධ හේතූන් නිසා මරණයට පත් වූ මොවුන් අති බහුතරය සිය වයසට වඩා ජනප්‍රිය වූ හා ධනවත් වූ අය යි. ජැනිස් ජොප්ලින්, ජිමී හෙන්ඩ්‍රික්ස්, රෝලින්ග් ස්ටෝන්ස් හි බ්‍රයන් ජෝන්ස්, කර්ට් කෝබේන්, ඒමි වයින්හවුස් හා රොබට් ජොන්සන් මේ ඉරණමට ගොදුරු වූ අය වෙනවා.
‘මයි වේ’ කැරෝකේ ගීතය
කැනේඩියානු ජාතික පෝල් ඇන්කා ඇමෙරිකානු ජාතික ෆ්‍රෑන්ක් සිනාට්‍රාට රචනා කර දුන් ‘මයි වේ’ නම් ගීතය කැරෝකේ ලෝකයේ ඉක්මණින්ම ජනප්‍රිය වුණා. විශේෂයෙන් පිලිපීනයේ කැරෝකේ සමාජශාලාවල විවිධ පුද්ගලයින් මෙය ගායනා කරන්නට වුණා. ගැටළු පැණනැගුණේ ඉන් අනතුරුව යි.
මේ ගීතය ගායනා කළ බොහෝ පිලිපීන ජාතිකයින් ගැටුම්වලට මැදි වී සමාජශාලාවල දීම මියගොස් තිබුණා. එය ‘ශාපයට’ ලක් වී ඇතැයි මත පිලිපීනය පුරා පැතිරී ගිය අතර, බොහෝ දෙනා එය ගායනා කිරීමෙන් වැලකුණා. සමහර සමාජශාලාවල එය ගායනා කිරීම තහනම් වුණා. කෙසේ නමුත් මිත්‍යා මතයන් විශ්වාස නොකරන බොහෝ දෙනා පැවසන්නේ පිලිපීන සමාජශාලාවල ගැටුම්වලින් පුද්ගලයින් මියයාම සාමාන්‍ය දෙයක් බව යි.