මේ වනවිට ලෝකයේ අනාරක්ෂිත ම අගනුවර සුඩානයේ “කාර්ටූම්” යැයි පැවසුවහොත්, එය අතිශයෝක්තියක් නොවෙ යි. අළුවලින් වැසී ගිය ගිනි පුපුරු මත ගොඩනැඟුණු රාජ්‍යයක් වුවත්, ඇසිල්ලකින් මුළු අගනුවර ම ඇවිලී යෑම නම් අසාමාන්‍ය සිදුවීමක්. කෙසේ හෝ වේවා ඛේදවාචකය තවමත් සිදුවෙමින් පවතිනවා. ඒ හමුදා කණ්ඩායම් දෙකක් අතර ඇවිලුණු ගැටුම් නිසා යි.
“ජනාධිපති මන්දිරය සහ හමුදාවේ සාමාන්‍ය අණ දෙන ප්‍රදේශයෙන් අපට තවමත් ෂෙල් වෙඩි ප්‍රහාර ඇසෙනවා. සටන් විරාමය කොන්දේසි විරහිත එකක් නොවෙ යි. අනෙක් පාර්ශවයෙන් වෙඩි නොතැබුවහොත් පමණක් අවනත වන බව යි දෙපාර්ශවය ම ප්‍රකාශ කරන්නේ.”
සුඩානයේ “කාර්ටූම්” අගනුවර රැඳී සිටින වාර්තාකරුවෙක් පවසනවා.
එක් තත්පරයක්වත් රැඳී සිටීමට ආරක්ෂිත නොවූ අගනුවරින් පලා යන සුඩාන වැසියන් උග්‍ර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකටත් මුහුණ පාමින් සිටිනවා. සැපයුම් කොල්ලකෑමට ලක් වී ඇති අතර, සටන් හේතුවෙන් මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ බරපතල බාධා මතු වී තිබෙනවා.
ගැටුම් හේතුවෙන් රට පුරා සාමාන්‍ය මිනිසුන් ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ තබා ගැනීමට හමුදා පාලනය ක්‍රියා කරමින් සිටියත්, එය ඉතා භයානක තත්ත්වයක් බව යි පැවසෙන්නේ. උපවාස මාසය නිසාත්, මේ දිනවල සුඩානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් තරම් ඉහළ අගයක පවතින නිසාත්, මිනිසුන් ට ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ ජීවත් වීම අතිශයින් පීඩාකාරී වනු ඇති.
ගැටුම් පවතින්නේ කා අතර ද?
වත්මන් ගැටුම් ඇති වී තිබෙන්නේ රාජ්‍ය හමුදාව සහ නීත්‍යානුකූල නොවන හමුදා කණ්ඩායමක් ලෙස හඳුන්වන “රැපීඩ් සපෝ(ර්)ට් ෆෝසස් (RSF)” අතර යි. ඔවුන් අතර පවතින මතභේදය තේරුම් ගැනීමට නම් අපට 2018-2019 අතර කාලයේ දී සුඩානය සසල කළ මහජන අරගලයෙන් පසු කාලය මඳක් විමසා බැලීමට සිදු වෙනවා.
සුඩානය යනු දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ එරට ජනපති ධූරය දැරූ ඕමාර් අල්-බෂීර් ගේ අත්තනෝමතික පාලනය යටතේ සිටි රාජ්‍යයක්. 2019 අප්‍රේල් මාසය වනවිට මහජන නැඟිටීම් මධ්‍යයේ හමුදා ජනරාල්වරුන් විසින් ඕමාර් අල්-බෂීර් ගේ දූෂිත පාලනය අවසාන කිරීමට සමත් වූ අතර, ඉන්පසු සුඩානය ප්‍රජාතන්ත්‍රවාදය කරා සංක්‍රමණය කරවීමේ වැඩපිළිවෙල ඉතිරි වී තිබුණා.
2019 අගෝස්තු වනවිට ගිවිසුමක් යටතේ මැතිවරණයට පෙරාතුව සිවිල් වැසියන් සමඟ බලය බෙදා ගැනීමට සුඩාන හමුදා එකඟ වුණා. ඒ අනුව 2023 දී පැවැත්වීමට නියමිත ව තිබූ මැතිවරණය සමඟ වසර තුනක සංක්‍රාන්තික බලය සිවිල් සහ හමුදා කණ්ඩායම් අතර බෙදී ගියේ, සුඩානයේ දේශපාලන අනාගතය ඕනෑම මොහොතක අනතුරට පත්වීමේ අවදානමත් සමඟ යි. කෙසේ නමුත්, අගමැති අබ්දල්ලා හැම්ඩොක් යටතේ ඇමති මණ්ඩලයක් පිහිටුවීමටත්, සංක්‍රාන්ති රජය සමත් වුණා.
සිහිනයක් ම වූ සිවිල් පාලනය
හැම්ඩොක්, සුඩානය පාලනය කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ යි. අන්ත දුගී රාජ්‍යයක් ලෙස වරින් වර ඉස්මතු වන මහජන කෝපයට මුහුණ දීමටත් සංක්‍රාන්ති රජයට සිදු වුණා. ඒකාධිපති පාලනය අවසන් වී තිබුණ ද සුඩානය පුරා මුල් බැසගත් කැරළිකාර කණ්ඩායම් වල බලපෑම බිඳකින්වත් අවම වුණේ නැහැ.
හැම්ඩොක ගේ දුර්වල රජය, 2021 සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා දිව ගිය හමුදා කුමන්ත්‍රණය හමුවේ බිඳ වැටුණු අතර, ඉන්පසු උත්සන්න වූ මහජන විරෝධතා සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර අත්හිටුවීම් හේතුවෙන් හමුදා නායකයින් යළි හැම්ඩොක් බලයේ පිහිටුවීමට එකඟ වුණා. හැම්ඩොක් යළි පැමිණිය ද මාස දෙකකටත් වඩා අඩු කාලයකින් ධූරයෙන් අස් වුණේ සුඩානය බරපතල අර්බුදයකට ඇද දමමින්.
අභ්‍යන්තර ගැටුම ඇරඹුණ හැටි
මෙතැන් පටන් සුඩානයේ පාලනය හමුදා ජනරාල්වරුන් ගේ කවුන්සිලයක් හරහා සිදු වුණා. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස ජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් පිළිගැනෙන අතර, ඔහු සුඩානයේ ජනාධිපති ආකාරයෙනුත් ක්‍රියා කරනවා. ඔහු ගේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා වන්නේ ජනරල් මොහොමඩ් හම්දාන් දගලෝ යි.
දගලෝ යනු “රැපීඩ් සපෝ(ර්)ට් ෆෝසස්” ලෙස හඳුන්වන පැරාමිලිටරි කණ්ඩායමේ නායකයා යි. දෙදෙනාට ම සැළකිය යුතු මට්ටමේ පක්ෂපාතී පිරිස් සිටින අතර, එක සමාන යුද ශක්තියෙන් යුතු පාර්ශව දෙකක් අතර පවතින ගැටුමක් ලෙසින් වත්මන් සුඩාන අර්බුදය හැඳින්විය හැකි යි.
දෙදෙනා ම එකම කවුන්සිලයක් යටතේ රට පාලනය කළත්, යෝජිත සිවිල් පාලනය සහ හමුදා නායකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කලක පටන් මත ගැටුම් පැවතුණා. එහි උච්චතම අවස්ථාවට යි සුඩානය දැන් මුහුණ දෙමින් සිටින්නේ. ගැටුමේ ආරම්භකයා සම්බන්ධයෙන් අපහැදිලිතා පැවතුණත්, RSF හි සාමාජිකයන් රට පුරා යෙදවීමත් සමඟ රාජ්‍ය හමුදාව එය තර්ජනාත්මක පියවරක් වශයන් හඳුනාගත්තා. පසුගිය සෙනසුරාදා පළමු ප්‍රහාරය එල්ල වූ පසු හමුදා කාණ්ඩ දෙකක ගැටුමක් මැද අසරණ වීමට සුඩාන සිවිල් ජනතාවට සිදු වුණේ ඒ අයුරින්.
“RSF” යනු කුමක් ද?
“RSF” යනු පැරාමිලිටරි කණ්ඩායමක් බව අප පෙර සඳහන් කළා. පැරාමිලිටරියක් යනු ව්‍යුහයෙන්, උපක්‍රමයෙන්, පුහුණුවෙන්, උප සංස්කෘතියෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් වෘත්තීය හමුදාවකට සමාන වන සන්නද්ධ කණ්ඩායමක්. ඔවුන් රටක නිල හෝ නීත්‍යානුකූල හමුදාවේ කොටසක් වශයෙන් සළකන්නේ නැහැ.
“RSF” පිහිටුවනු ලැබුවේ 2013 වසරේදී යි. එහි මූලාරම්භය, ඩාර්ෆූර් හි කැරලිකරුවන් හමුවේ ඉතා අමානුෂික ලෙස සටන් කළ “ජාන්ජාවීඩ්” හමුදා කණ්ඩායමෙන් ඇති වූ බව සඳහන්. එතැන් පටන් “RSF” කණ්ඩායම ඉතා ප්‍රබල සන්නද්ධ කණ්ඩායමක් ලෙස දියුණු වූ අතර, යේමනයේ සහ ලිබියාවේ ගැටුම් වලට පවා මැදිහත් වූ බව පැවසෙනවා. සුඩානයේ ඇතැම් රත්‍රන් ආකර පාලනය කිරීමට පවා ප්‍රබල ව ගොඩනැඟූ පිරිස් බලයක් ඔවුන් සතු යි.
“RSF”, රාජ්‍ය හමුදාවේ පක්ෂපාතීත්වය දිනාගත් ජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් සමඟ සම්බන්ධ වූයේ කෙසේ ද?
2019 දී එතෙක් ජනපති ධූරය දැරූ ඕමාර් අල්-බෂීර් ව නෙරපා හැරීම සඳහා දෙපාර්ශවය සහයෝගයෙන් කටයුතු කිරීම ඊට හේතුව යි. ඉන්පසු සංක්‍රාන්ති රජය සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවත් “RSF” හට උදා වුණා. 2021 දී නැවත හමුදා කුමන්ත්‍රණය දියත් වූ පසු එතෙක් සිවිල් පාලනයක් ගොඩනැඟීමේ ජනතා අභිලාෂය නිර්දය ලෙස ඉවත් කළ අතර, පාලන ව්‍යුහය සමඟ බද්ධ වී සිටි අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් සහ ජනරල් මොහොමඩ් හම්දාන් දගලෝ අතර එදිරිවාදිකම් වර්ධනය වුණා. දැන් එය ලේ වැගිරෙන බල අරගලයක් පමණ යි.
සුඩානයේ අනාගතය කොයිබට ද?
1956 දී නිදහස ලැබූ දා සිට හමුදාව ප්‍රමුඛ බලවේග හමුවේ අන්ත දූෂිත වූ රාජ්‍යයක් ලෙස සුඩානය හැඳින්විය හැකි යි. අප්‍රිකානු ජාතීන් පොදුවේ අසාධාරණයට ලක්වන ප්‍රජාවක් වුව ද අනෙකුත් අප්‍රිකානු රටවල ට සාපේක්ෂ ව කිහිප ගුණයක ජීවිත වන්දියක් සුඩාන ජනතාව ගෙවමින් සිටිනවා. එරට ජීවන තත්ත්වය විස්තර කළ නොහැකි තරමේ ශෝකාන්තයක් වන අතර, දරුණු සාගත වලින් නිරන්තර පීඩා විඳින රාජ්‍යයක් ලෙසත් සුඩානය කූප්‍රකට යි. ඔවුන් ට අඩුම තරමේ තම ස්වෛරීත්වයවත් රැක ගැනීමට හැකි වුණේ නැහැ. 2011 දී සුඩාන භූමිය, දකුණු සුඩාන ජනරජය සහ සුඩාන ජනරජය ලෙසින් දෙකඩ වීම ඊට හේතුව යි.
සටන් දිගට ම පැවතුණහොත්, සුඩාන ජනරජය තවදුරටත් බෙදීයෑමේ අවධානමක් තිබෙනවා. සිවිල් පාලනයක් යටතේ දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සුඩාන ජනයා ගේ සිහිනයත් බොඳ වී යනු ඇති. 2019 පටන් ඔවුන් සිවිල් පාලනයක් ඉල්ලා සිදුකළ අරගලය ලෝකය පුරා ප්‍රසිද්ධ වූ අතර, අප්‍රිකානු ජාතියක් එලෙස නැඟී සිටීම පවා ධනාත්මක කාරණයක් ලෙස පෙනෙන්න තිබුණා.
දැනට වාර්තා වන අන්දමට මිනිසුන් 400 කට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් මිය ගොස් සිටිනවා. මෙම තත්ත්වය අනපේක්ෂිත සිවිල් යුද්ධයකට පසුබිම සකසා අවසාන යි.
සුඩාන හමුදා පාලකයන් සහ හමුදා පාලනයට අභියෝග කරන අතිරේක සන්නද්ධ බලඇණියේ සාමාජිකයන් අතර ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවයි විදෙස් පුවත් වාර්තා පවසන්නේ.
සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මේ වනවිට ලක්ෂ 8 කට වැඩි පිරිසක් සුඩානය හැර පලා යමින් සිටින බව යි. එම ගණන 815,000 ක්.
අභ්‍යන්තර ගැටුම් විතර ද?
සුඩානය යනු මූලෝපායික පිහිටීමෙන් සහ කෘෂිකර්මයෙන් වැදගත්කමක් උසුලන භූමියක්. ධනය උත්පාදනය කළ හැකි කලාපයක යි සුඩානය පිහිටා තිබෙන්නේ. කෙසේ නමුත්, අභ්‍යන්තර අර්බුද වලට අමතර ව අසල්වැසි රටවල් සමඟ ගැටුම් ඇතිකර ගන්නා රටක් ලෙස සුඩානය කූප්‍රකට යි. චැඩ්, දකුණු සුඩානය සහ ඉතියෝපියාව යන අසල්වැසි රාජ්‍ය සමඟ සුඩානය විශේෂයෙන් ගැටුම් ඇති කර ගන්නා අතර, දේශසීමා ආසන්නයේ ඇති ගොවිබිම් සම්බන්ධයෙන් ඉතියෝපියාව සමඟ ඇතිකර ගත් ගැටලු නිසා එරට ජනයා විශාල පීඩාවක ට පත් වී සිටිනවා.
මීට අමතර ව, භූ දේශපාලනික බලපෑම් හමුවේ අසරණ වූ රාජ්‍යයක් ලෙස සුඩානය හැඳින්විය හැකි යි. රුසියාව, එක්සත් ජනපදය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෙලෙස බලපෑම් එල්ල කරන බලවතුන් අතර සිටිනවා. සුඩානය, රතු මුහුද ආසන්නයේ පිහිටි රුසියානු කඳවුරක් බවට පත් වීමේ විභවයක් ඇති බැවින්, ඊට එරෙහි ව නැඟී සිටීමේ කඳවුරක් සුඩානය තුළ නිර්මාණය කිරීමට අනෙකුත් බලවතුන් උත්සාහ කරමින් සිටිනවා. මේ සියළු ගැටලු මැද සුඩානය අතිශය දුෂ්කර අභ්‍යන්තර ගැටුමක ට මැදි වී අවසාන යි.