මළවුන් සමග ජීවත් වීම හෙවත් ටොරාජාවරුන්ගේ කතාව

ලෝකය පුරා පැතිරුණු බොහෝ අපූර්ව නමුත් වෙනස් සම්ප්‍රදායන් සහ පිළිවෙත් පවතී. මෙවැනි බොහෝ පිළිවෙත් පරම්පරාවෙන් පැවතවිත්, වෙනස්කම්වලට භාජනය වෙමින්, වර්තමානය දක්වා පැමිණ තිබේ. ඒ අනුව ගත්කළ ටොරාජාවරුන්ගේ ඉතිහාසය මෙවන් අපූර්ව පිළිවෙතක් සමග බද්ධව පැවත ආවක් බව කරුණු සොයා බැලීමේ දී මනාවට වැටහී යන්නකි. 

සමස්ථ ලෝකවාසීන්, කිසියම් හෝ අයුරකින් මරණය හා මළවුන් සමග ඍජුව සම්බන්ධ වූ පිළිවෙත් සහ සම්ප්‍රදායන් අනුගමනය කරයි. මළවුන් හා බැඳුණු ලොව සියළු පිළිවෙත් අතික්‍රමණය කරමින් ටොරාජාවරුන් හා මළවුන් අතර ඇති බැඳීම ඉතා විශේෂ ස්වරූපයක් උසුලයි. ටොරාජාවරුන්, ජීවිතය මරණයෙන් කෙළවර වන බවට විශ්වාස කරන්නේ නැත. ඒ අදහස පෙරදැරිව, ටොරාජාවරයෙකුගේ මරණය සිදුවූ විට ඔවුන් නිශ්චිත කාල වකවානුවක දී එම මළ තැනැත්තාගේ ශරීරය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට පෙර සිදු කරනු ලබන චාරිත්‍රයන් රැසක් පවතියි. 

මළවුන් සමග දිවි ගෙවන ටොරාජා ජනතාව (Claudio Sieber)

කවුද මේ ටොරාජා? 

ටොරාජාවරුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දුනීසියාවේ සුලවෙසි ප්‍රදේශය යි. වර්තමානය වන විට බොහෝ ටොරාජාවරුන් ක්‍රිස්තියානි සම්භයවය සහිත වන අතර, මුස්ලිම් සහ බෞද්ධ සම්භවය සහිත පිරිස් ද ඔවුන් අතර වේ. ඔවුන් විශ්වාස කරන පරිදි ඔවුන්ගේ මුතුන්මිත්තන් දිව්‍යමය ප්‍රසාදය ලබා පෘථිවිය වෙත පැමිණි පුද්ගලයන් ය. මෙම ජන වර්ගය විශ්වාස කරන පරිදි මරණය යනු හුදෙක් තවත් එක් පාරිශුද්ධ චාරිකාවක ආරම්භය මිස ජීවිතයේ අවසානය නොවේ. එනිසා, ටොරෝජාවරයෙකුගේ මරණය සිදුවූ විට ඔවුන් එම සිරුර පිරිසිදු කොට මමිකරණයට ලක් කිරීමෙන්, බොහෝ කාලයක් පවතින ලෙස සං‍රක්ෂණය කරනු ලබයි. මෙලෙස සං‍රක්ෂණය කරනු ලබන ශරීරය කිසිඳු විටක නොසලකා හැරීමට ලක් නොකරන අතර, සෑම විටම ශරීරය සහිත නිවස සහ කුටිය සඳුන් සුවඳින් සුවඳවත් කොට තැබීමට ඔවුන් වගබලා ගනී. 

අවමංගල්‍ය සිරිත්

ටොරාජාවරුන්ට අනුව ඔවුන් මළ තැනැත්තා “මකූලා” නමින් හඳුන්වනු ලබයි. එහි අර්ථය වන්නේ “අසනීප වූ (රෝගී වූ) තැනැත්තා” යන්න යි. යමෙක් මරණය පත් වූ විට මෙම ජනයා ඔහු/ඇය ජීවත් වූ කාලයේ සිටි අකාරයටම අලංකාර ඇඳුම් සහ ආභරණවලින් සරසනු ලබයි. එලෙස සරසන ලද මෘතදේහයට ඔවුන් දිනකට සිව්වරක්; උදෑසන, දිවා, රාත්‍රී, සහ සන්ධ්‍යා තේ පානය සඳහා ආහාර-පාන සැපයීමත්, මළ තැනැත්තා අසලට වී කතාබස් කරමින් කාලය ගත කිරීමත් සිදු කරයි. මරණය හුදෙක් අසනීපවීමක් බැවින් මළ තැනැත්තාගේ ආත්මය කිසි විටෙක කණගාටුවට පත් කිරීමට ඔවුන් මැලි වේ. 

මළ තැනැත්තාගේ ශරීරය පිරිසිදු කර වස්ත්‍රාභරණයෙන් සරසා ජීවත් වන පුද්ගලයෙකු සේ සලකා ගරුසරු කිරීම (Claudio Sieber)

මෙලෙස මරණයට පත්වන තැනැත්තෙකුගේ දේහය බොහෝවිට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගතවන තෙක් සත්කාර කරමින් රැකබලා ගනු ලබයි. ඊට හේතුව වන්නේ ටොරාජා සංස්කෘතියට අනුව අවමංගල්‍ය උත්සවය එම තැනැත්තාගේ ජීවිතයේ ලබාදිය හැකි ඉහළම උත්සවය ලෙස සැලකීම යි. ඒ අනුව අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නම් ඔවුන් සතුව ඉතා ඉහළ මට්ටමේ ධනයක් රැස්කොට තබාගෙන තිබිය යුතු අතර, බොහෝ දුර ඈත ප්‍රදේශවලින් පවා සිය ගණනින් නෑයන් එක්රැස් වන තෙක් බලා සිටිය යුතු වේ. එමෙන්ම එදිනට හැකි උපරිම මට්ටමෙන් හරකුන් සහ ඌරන් ඝාතනය කිරීම මඟින් අවමංගල්‍යට ලබා දිය හැකි උපරිම අගය ලබා දීමට ඔවුන් වගබලා ගනී. බිලිදීම සඳහා යොදාගනු ලබන්නේ නිල් පැහැති ඇස් ඇති විශේෂිත මී හරක් විශේෂයකි. සාමාන්‍යයෙන් මෙම එක් මී හරකෙකුගේ වටිනාකම ඩොලර් 10,000 සිට 40,000 දක්වා අගයක් ගනු ලබයි. 

අවමංගල්‍යය පැවැත්වීමට පෙර දින දේහය විශේෂීත සොහොන් කුටීරයක්  වෙත රැගෙන යනු ලබයි. මෙම කුටීර සාමාන්‍ය භූමියෙන් ඉහළින් පිහිටා ඇති අතර මේවා මළවුන්ගේ විවේකස්ථාන ලෙස සලකයි. ළදරුවෙකුගේ මරණයක් සිදුවූ අවස්ථාවක දී මෙම පිළිවෙතෙහි විශාල වෙනස්කමක් සිදුවේ. ළදරුවෙකුගේ දත් මෝදු වීමට පෙර මරණය සිදුවුවහොත්, එවැනි අවස්ථාවක දී  ඔවුන් තෝරාගත් ගසක කඳක් හාරා සකස් කර ගන්නා ගුහාවක මළ දරුවාගේ සිරුර එම කඳෙහි තැන්පත් කරනු ලබයි. ඒ හරහා ඔවුන් විශ්වාස කරනු ලබන්නේ මළ දරුවා සහ ගස එක්ව වැඩෙන බවයි. කෙසේ වෙතත් ටොරාජාවරුන් ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගී අවස්ථාවක දී ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප නොකරයි. ඊට හේතුව කෙනෙකුගේ මරණයෙන් පසු වෙන් වීමේ ශෝකය ඔවුන්ට පවා දරා ගැනීමට අපහසු වීම යි. තත්ත්වය මෙසේ තිබිය දී පවා මරණය ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් බව ඔවුන් වටහාගෙන තිබේ. 

ශාක කඳක තැන්පත් කරන ලද ළදරුවන්ගේ සොහොන් (Tommy Trenchard and Aurélie Marrier d’Unienville)

ටොරාජාවරයෙකුගේ අවමංගල්‍යය ඉතා උත්සවාකාරයෙන් සිදු කරනු ලබයි. එය “රම්බු සෝලෝ” යන විශේෂ නාමයෙන් ඔවුන් හඳුන්වන්නේ “අනුස්මරණීය උත්සවය” යන අර්ථය පෙරදැරි කරගෙන යි. සාමාන්‍ය මට්ටමේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා ඔවුන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 18,000ක අධික මුදලක් වැය කරනු ලබයි. එය සාමාන්‍ය අගයක් ලෙස ගත් කළ ඉන්දුනීසියානුවකුගේ වාර්ෂික ආදායම මෙන් පස් ගුණයක අගයක් වේ. ධනය හිමි පවුලක අවමංගල්‍ය උත්සවයක් නම් ඒ සඳහා ඩොලර් 500,000කට අධික මුදලක් වැය කිරීමට ඔවුන් මැලි නොවේ. මෙසේ ඉතා අධික මුදල් සම්භාරයක් වැය කරන ඔවුන් එම මුදල වැය වීම සම්බන්ධව කිසිදු ආකාරයක පසුතැවීමක් ඇති කර නොගනී. ඔවුන්ගේ මතය වන්නේ, “අපි ඔවුන් ආත්ම රාජධානිය වෙත පිටත් කර හැරිය යුතු වෙනවා. එය ටොරාජානු සංස්කෘතිය යි. එය අපි සිදුකළ යුතුම දෙයක්” බව යි. එමෙන්ම ඔවුන් ඉතා විශාල පිරිසක් එම අවමංගල්‍යය නැරඹීමට පැමිණීම අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වන්නේ නම්, එය මරණයට පත් වූ තැනැත්තා හට ලැබෙන ඉහළ ගෞරවයක් බව ඔවුන් විශ්වාස කරනු ලබයි. සතියක් වැනි කාලයක් පුරාවට පවත්වනු ලබන මෙම අවමංගල්‍ය උත්සවය ආහාර-පාන, හමුවීම්, විනෝදවීම්, වැලපීම්, බිලි පූජා, යාඥා කිරීම්, සහ පූජාවිධි මෙන්ම ඇතැම්විට කුකුල්පොර වැනි දෑවලින් සමන්විත වේ. 

මළ තැනැත්තාට ගෞරව කිරීම පිණිස හරකුන් සහ ඌරන් ඝාතනයට සූදානම් කිරීම (Tommy Trenchard and Aurélie Marrier d’Unienville)

අවසාන වශයෙන් ටොරාජා සංස්කෘතිය තුළින් උකහාගත හැකි විශේෂිතම කාරණාව වන්නේ, ස්වභාවිකත්වය සහ මරණය සමග බැඳී පවතින බැඳියාව එක්ව මනුෂ්‍යත්වය එකට කැටි වී ඇති ආකාරයේ අපූර්වත්වය යි.

කවරයේ ඡායාරූපය (Claudio Sieber)

මූලාශ්‍රයයන්;

https://www.smh.com.au/interactive/2017/toraja-death-ritual/

https://www.theguardian.com/world/gallery/2017/oct/13/cleaning-the-dead-the-afterlife-rituals-of-the-torajan-people

https://www.npr.org/sections/goatsandsoda/2019/09/29/764638760/photos-the-dead-live-with-their-loved-ones-on-this-indonesian-island

https://allthatsinteresting.com/toraja-death-ritual

Related Articles

Exit mobile version