කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පසුගිය අගෝස්තුවේ දී හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. කැනඩාව සිවු වන කොවිඩ් වසංගත රැල්ල සමඟ සටන් කරමින් සිටින අතරතුර හදිසි මැතිවරණයක් කැඳවීම විශේෂත්වයක්. කැනඩාවේ අග්‍රාණ්ඩුකාර ධූරය සහ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ නියෝජිතවරිය ලෙස කටයුතු කරන මේරි සයිමන් වෙත පසුගිය අගෝස්තු 15 වැනිදා ගොස් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස අගමැති ටෲඩෝ ඉල්ලා සිටීමෙන් පසු හදිසි මැතිවරණය ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව කැනේඩියානුවන් සැප්තැම්බර් 20 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනවා. නියමිත කාල රාමුව අනුව කැනඩාවේ ඊළඟ ෆෙඩරල් මැතිවරණයට තවත් වසර දෙකක් පමණ කල් තිබෙනවා.
“කොවිඩ්-19 ට එරෙහි සටන අවසන් කරන්නේ කෙසේද යන්න වග කැනේඩියානුවන් තෝරාගත යුතු යි”
හදිසි මැතිවරණයේ අරමුණ 49 හැවිරිදි ජස්ටින් ටෲඩෝ ඉස්මතු කළේ ඒ අයුරින්. එහෙත්, කොවිඩ් පාලනයේ දී ඉටු කළ සාධනීය කාර්යභාරය මූලික කර ගනිමින් අගමැති ටෲඩෝ දේශපාලන බලය තුළ වඩාත් ස්ථාවරත්වයක් අපේක්ෂා කරන බව පෙනෙන්න තිබෙනවා.
ඡන්දයක් හදිසියේ ම අවශ්‍ය වුණේ ඇයි?
කොවිඩ් වැනි අසීරු අවස්ථාවක පවා කැනේඩියානු ජාතිකයන් පවතින රජය ගැන යහපත් ආකල්පයකින් සිටින නිසා හදිසි මැතිවරණය අවශ්‍යතාවය ඇතමුන්ට ගැටලුවක් වුණා. මෑතක දී කළ සමීක්ෂණයකට අනුව කැනේඩියානුවන්ගෙන් 46% ක් රට නිවැරදි දිශාවකට ගමන් කරන බව විශ්වාස කරනවා. අගමැති ජස්ටින් ටෲඩෝට මෙහි දී පැහැදිලි ව ම බහුතර බලයක අවශ්‍යතාවක් මතු වී තිබෙන බව පෙනී යන කරුණක්.
2015 වසරේ පැවැත්වුණු මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ලිබරල් පක්ෂය ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවේ “හවුස් ඔෆ් කොමන්” යනුවෙන් හඳුන්වන පහළ මණ්ඩලයේ බහුතර බලය දිනා ගත් නමුත්, 2019 වසරේ පැවති මැතිවරණයේ දී ආසන 338 ක් අතරෙන් ලිබරල් පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 157 ක් පමණ යි. 2019 පටන් අගමැති ටෲඩෝට සුළුතර ආණ්ඩුවක් ලෙස කැනඩාවේ අගමැති ධූරයේ වගකීම දරන්නට සිදු වුණා. හදිසි මැතිවරණය හරහා ලිබරල් පක්ෂයට ආසන 170 ක ඉලක්කයකින් යුතු බහුතර බලය දිනා දීම ටෲඩෝගේ අපේක්ෂාව යි.
මැතිවරණයේ ප්‍රධාන සාධකය
මැතිවරණ ව්‍යාපාරයේ දී ගෝලීය කොවිඩ්-19 වසංගතය ප්‍රධානත ම සාධකය වීම වැලැක්විය නොහැකි යි. මේ වනවිට කොවිඩ් රෝගයෙන් කැනේඩියානුවන් 25,000 කට වැඩි ගණනක් මරණයට පත් වී තිබෙනවා. කොවිඩ් පාලනය අතින් කැනඩාව සාපේක්ෂ ව යහපත් මට්ටමකින් තත්ත්වය කළමනාකරණය කිරීමට සමත් වූ අතර, ලොව ඉහළ ම එන්නත්කරණ අගයක් පවත්වා ගන්නා රටක් ලෙසත් සැලකෙනවා. පසුගිය කාල පරාසය තුළ ප්‍රාන්ත එකින් එක විවෘත වෙමින් කැනේඩියානු ආර්ථිකය ස්ථාවර වීමත් ඇරඹුණා.
පූර්ව මැතිවරණ කාලය තුළ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දක්වන අදහස් ගැනත් කැනේඩියානු ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වන වාතාවරණයක් ඇති වී තිබෙනවා. පසුගිය කාලය තුළ තාප තරංග හරහා කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රදේශයට බලපෑ උණුසුම් කාලගුණය සහ ලැව් ගිනි එම අවධානය තීව්‍ර කිරීමට හේතු වී තිබෙනවා.
වසංගතය මැද සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් අනෙකුත් ගැටලු සමඟ කටයුතු කිරීමේ දී ලිබරල් රජය ගැන යම්කිසි ධනාත්මක ආකල්පයක් ජනතාව තුළ ඇති කිරීමට අගමැති ටෲඩෝ සමත් වුණා. 2019 දී අඩු ජනප්‍රියත්වයකින් බලයට පත් ලිබරල් පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය සඳහා මෙම කරුණු වාසි සහගත වුණත්, නැවත බහුතර බලයක් කරා යෑමට තරම් රජය ශක්තිමත් ද යන්න වග සැක මතු වී තිබෙනවා. ප්‍රධාන විරුද්ධ පාර්ශවය වූ කන්සර්වේටිව් පක්ෂයේ ජනප්‍රියත්වය වැඩි වෙමින් පැවතීම මෙයට හේතුව යි.
විරුද්ධ පාර්ශවකරුවෝ
ටෲඩෝ ප්‍රමුඛ ලිබරල් රජයට මැතිවරණයේ දී විරුද්ධ පාර්ශවයෙන් විශාල ම අභියෝගය එල්ල කරන්නේ කැනඩාවේ දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂය යි. එය කැනඩාවේ නිල විපක්ෂය ලෙසත් සැලකෙනවා. කොන්සර්වේටිව් පක්ෂයේ වත්මන් නායකයා වන 48 හැවිරිදි එරින් ඕ’ ටූල්, එම ධූරයට පත් වුණේ ඉතාම මෑතකදී යි. ටෲඩෝට සාපේක්ෂ ව ඡන්ද දායකයන් ඔහු හඳුනන්නේ තරමක් අඩුවෙන්.
පසුගිය මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය සමාජීය සහ පාරිසරික ගැටලු සමඟ මූලික ව ම අරගල කළා. පක්ෂය ස්පර්ශ කරන පරිචය තවත් පුළුල් කරමින් එරින් ඕ’ ටූල්, LGBT අයිතීන් කෙරෙහි ඔවුන් දක්වන සහයෝගය සහ කාබන් මිලකරණ සැලැස්මක් ගැන කතිකාවතක් පසුගිය කාලයේදී ඇති කළා. කොවිඩ් වසංගතය හමුවේ පසුබෑ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සම්බන්ධයෙන් තම පක්ෂයට කළ හැකි කාර්යභාරය ගැන ඡන්ද දායකයන් තුළ යම් හැඟීමක් ඇති කිරීමට ද ඔහු පසුගිය කාලයේදී ක්‍රියා කළා.
මීට අමතර ව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක 42 හැවිරිදි ජග්මීත් සිං, මෙවර තම දෙවැනි මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දෙන අතර, ඔහුගේ ජනප්‍රියතාව 2019 වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව පැවසෙනවා. ක්විබෙක් ප්‍රාන්තයේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටින සහ ෆෙඩරල් මැතිවරණයක දී ක්විබෙක් ප්‍රාන්තය තුළ මැතිවරණ ව්‍යාපාරය ගෙනයන “Bloc Québécois (බ්ලොක් ක්විබෙක්වා)” නම් පක්ෂයට ආසන 32 ක් 2019 මැතිවරණයෙන් හිමි වුණා.
ක්විබෙක් ප්‍රාන්තය තුළ ඔවුන්ගේ ජනප්‍රියත්වයත් තව ම අඩු වී නැහැ. සමස්තයක් ලෙස ගත් කල 2019 දී සුළු පක්ෂ දිනාගත් ඡන්ද දායකයන්ගේ ලොකු වෙනසක් 2021 දී සිදු ව නැහැ. ඒ අතර ප්‍රධාන විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යන පසුබිම තුළ අගමැති ටෲඩෝගේ බහුතර බලයේ සිහිනය සැබෑ කර ගැනීම අභියෝගයක් වේවි.
සමීක්ෂණ දත්ත පවසන්නේ කුමක්ද?
සැප්තැම්බර් 20 හදිසි මැතිවරණය සඳහා සති දෙකක ජාතික මැතිවරණ ව්‍යාපාරයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සමඟ ම ප්‍රධාන පක්ෂ දෙකේ ජනප්‍රියත්වය රඳා පවතින ආකාරය වටහා ගැනීම සඳහා සමීක්ෂණ කිහිපයක් ම පැවැත්වුණා. එක් සමීක්ෂණයකට අනුව කොන්සර්වේටිව් පක්ෂය 32.5% ක් වූ ඡන්ද දායක සහායක් ඇතිව, අගමැති ටෲඩෝගේ ලිබරල් පක්ෂයට වඩා යන්තමින් ඉදිරියෙන් සිටිනවා. ඡන්ද දායකයන් වෙතින් ලිබරල් පක්ෂය සඳහා ලැබී ඇති සහාය 32.2% ක් ලෙස සඳහන් වෙනවා. ඒ අනුව මෙවර කැනඩා ෆෙඩරල් මැතිවරණයේ දී විශාල ආසන පරතරයකින් පක්ෂයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව අවම වීමේ ඉඩකඩක් තිබෙනවා. තවත් සමීක්ෂණයකට අනුව කොන්සර්වේටිව් පක්ෂයට ලැබී ඇති සහාය 33.3% ක් වන අතර, ලිබරල් පක්ෂයට ලැබී ඇත්තේ 30.8% ක සහායක් පමණ යි.
2019 දී ලිබරල් පක්ෂය ජයග්‍රහණය කළත්, ඔවුන්ට සැලකිය යුතු ආසන ප්‍රමාණයක් අහිමි වුණා. කොන්සර්වේටිව් පක්ෂය 2015 ට වඩා වැඩි ආසන ප්‍රමාණයක් 2019 දී දිනා ගන්නට සමත් වුණා. 2019 පටන් කොන්සර්වේටිව් පාර්ශවයේ වර්ධනය වෙමින් පවතින ජනප්‍රියත්වයට ලොකු හානියක් ගතවූ අවුරුදු දෙක තුළ සිදු වී නැහැ. එහෙත්, ලිබරල් පක්ෂයට ඇති ජනතා කැමැත්තේ ලොකු වර්ධනයක් එම කාලය තුළ සිදු වී නැති බවක් ද පෙනෙන්න තිබෙනවා. සමීක්ෂණ දත්ත විශ්ලේෂණයට අනුව ප්‍රතිශතාත්මක කැමැත්තෙන් පාලක ලිබරල් පක්ෂයට දිනා ගත හැක්කේ ආසන 141 ක් පමණ යි. ඔවුන් නැවත ජයග්‍රහණය කිරීමේ හැකියාව පැවතුණත්, 2019 ටත් වඩා අඩු ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් බහුතර ආණ්ඩුවක් ගොඩනැඟීමේ හැකියාව තියුණු ලෙස පහත වැටීමේ අවදානමක් තිබෙනවා.
ඡන්දය ගැන විරුද්ධ පක්ෂ නොසතුටින්
ජස්ටින් ටෲඩෝ යනු කැනඩාව තුළ මෙන් ම, ලෝකය පුරා ජනප්‍රිය ව සිටි නායකයෙක්. ඔහු තුළ තිබෙන ආකර්ෂණීය ජීව ගුණය එයට මූලික ව ම හේතු වුණා. එහෙත්, තවදුරටත් කැනේඩියානුවන් ටෲඩෝගේ පාලනය සම්බන්ධයෙන් එතරම් ප්‍රබෝධමත් නැහැ. කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ටෲඩෝ පරිපාලනය සාධනීය මෙහෙවරක් කර ඇති නමුත්, ටෲඩෝගේ මැතිවරණ හදිසිය ඔහුගේ ජනප්‍රියත්වය අඩු කිරීමට හේතු වුණා. පැතිර යාමේ ඉහළ හැකියාවක් සහිත කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ බැඳුණු සිවු වන රැල්ල හමුවේ හදිසි මැතිවරණයක් පැවැත්වීම ගැන එරීන් ඕ’ ටූල්, ජගමීත් සිං ඇතුළු විරුද්ධ පාර්ශවය ටෲඩෝ විවේචනය කර තිබෙනවා.
සංක්‍රමණ නීතිවල වෙනසක් වේවි ද?
ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ සංක්‍රමණික ඉලක්කයක් බවට දැන් කැනඩාව පත් ව තිබෙනවා. මේ නිසා කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය යම්තාක් දුරකට ශ්‍රී ලාංකිකයන්ටත් වැදගත් වෙනවා. ඉදිරි මැතිවරණයෙන් ලිබරල් හෝ කොන්සර්වේටිව් පක්ෂ අතුරින් කුමක් ජයග්‍රහණය කළත්, කැනඩාවට සංක්‍රමණය වීමේදී ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තිවල විශාල වෙනසක් සිදු නොවීමේ ඉඩක් තිබෙනවා. ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ලිබරල්වාදීන් ජයග්‍රහණය කළහොත්, 2015 දී බලයට පත්වූ දා පටන් ඔවුන් ගෙනගිය සංක්‍රමණික වැඩසටහන් දිගට ම පවත්වා ගෙන යෑම අපේක්ෂා කළ හැකි යි. කොවිඩ්-19 වසංගතය හිස ඔසවමින් සිටි කාලයේ පවා ඔවුන් සංක්‍රමණික ඉලක්ක පුළුල් කිරීමට ක්‍රියා කළා. 2020 ඔක්තෝබර් මාසයේදී අගමැති ටෲඩෝගේ රජය 2023 වනවිට ස්ථිර පදිංචිය සඳහා වන සංක්‍රමණික කෝටාව තවත් ඉහළ දැමීමට උනන්දු වුණා. “Express Entry system” වැඩපිළිවෙළ තවදුරටත් පහසු කිරීම මඟින් පුහුණු සේවකයන් රැසක් ගෙන්වා ගැනීමට ඔවුන් සමත් වුණා.
කොන්සර්වේටිව් පක්ෂයේ නායක එරින් ඕ’ ටූල් සංක්‍රමණික කෝටාව වැඩි කරනවාද අඩු කරනවාද යන්න ගැන පැහැදිලි සඳහනක් කර නැහැ. එහෙත්, ඔහු සාධාරණ, දයානුකම්පිත සහ නීති පදනම් කරගත් සංක්‍රමණික පිළිවෙතක් ගැන අදහස් පළ කොට තිබෙන අතර, ශ්‍රම හිඟතාව පිරවීම සඳහා ආර්ථික සංක්‍රමණවල ඇති වැදගත්කමත් අවධාරණය කර තිබෙනවා. ජස්ටින් ටෲඩෝ මෙන්ම එරින් ඕ’ ටූල්, “nominee programmes” හරහා කුසලතා හිඟය පිරවීම සහ ගම්බද ප්‍රදේශවලට සංක්‍රමණිකයන් පැතිරවීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුවලට වැඩි බලයක් යෝජනා කොට තිබුණා. කෙසේ වෙතත්, COVID-19 හේතුවෙන් රැකියා විරහිතයන් ඉහළ මට්ටමකට පැමිණියහොත්, කුසලතා සහිත සංක්‍රමණිකයන් තාවකාලිකව සීමා කිරීම වඩාත් උචිත බව ඔහුගේ අදහස යි. පක්ෂ වෙනස් වූ පමණින් කැනඩාව වැනි රටවල්වල විශාල පෙරළීන් සිදු නොවන තරම්. ඒ නිසා සංක්‍රමණික ප්‍රතිපත්තිවලටත් විශාල බලපෑමක් එල්ල නොවනු ඇති බව සිතන්නට පුළුවන්.