පිරිමින්ට තහනම් ගම්මානය – උමෝජා

ගැහැණියක් පිරිමියෙකු හා එකතුවෙන් පවුලක් හැදෙනවා. පවුල් කිහිපයක් එකතුවීමෙන් ගමක් ගොඩනැගෙනවා. මේ තමයි ගමක් හැදෙන විදිහ ගැන අපි අහලා තියෙන සුපතළ වැකිය. හැබැයි ඒ අතරේ පිරිමින් නොමැති ගමක් ගැන කතා කළොත්?

ඇත්තෙන්ම පිරිමින් නොමැති ගැහැණුන් විතරක් වාසය කරන ගමක් ගැනයි මේ කතාව දිග හැරෙන්නේ.

theguardian.com – (68 වියැති සෙටීනා ලගිනා නම් උමෝජා කාන්තාව)

උමෝජා ගම්මානය

ගැහැණුන් විතරක් වාසය කරන උමෝජා ගම්මානය පිහිටලා තියෙන්නේ උතුරුදිග කෙන්යාවෙ ලඳු කැලෑවලින් වලින් යුත් භූමි භාගයක යි. උමෝජාවේ ජීවත්වීමට අවසර ඇත්තේ කාන්තාවන්ට විතරයි. ලිංගික හිංසනයන්ට මෙන්ම විවිධ තාඩන පීඩනවලට ලක් වූ කාන්තාවන්ට සහ දරුවන්ට මෙම ගම්මානය රැකවරණය ලබාදෙන සෙවනක් බවට පත්වෙලා. අද වන විට එය තනිකරම ස්ත්‍රීභාවය මත ගොඩනැගුණු ජනාවාසයක් ලෙස වර්ධනය වෙමින් පවතිනවා.

1990 දී මේ ගම මුලින්ම බිහිවෙන්නේ වධ හිංසාවන්ට ලක් වූ එක්තරා දිරිය කාන්තාවකගේ මූලිකත්වයෙනුයි. පසුව බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින් අතින් ලිංගික අතවරයට බඳුන්වූ කාන්තාවන් ද ඇතුළුව තවත් කාන්තාවන් 15 දෙනෙකු එක්වයි උමෝජා ගම්මානය හැදෙන්නේ. ස්වාහිලි භාෂාවෙන් “උමෝජා” යන්නෙහි තේරුම ‘එක්සත්කම’ යන්න යි. මේ වන විට උමෝජාවේ කාන්තාවන් 47 දෙනෙකු සහ දරුවන් 200 දෙනෙකු වාසය කරනවා. උතුරු කෙන්යාවේ වෙසෙන්නේ සම්බුරු නමැති ගෝත්‍රයට අයත් මිනිසුන්. උමෝජා ගමේ සාමාජිකයින් ද අයත් වන්නේ සම්බුරු ගෝත්‍රයට යි. මෙම ජන කොටස දකුණු අප්‍රිකාවේ ‘මාසයි’ නමැති ජන වර්ගයාටත් නෑකම් කියන අතර ඔවුන්ගේ භාෂාවත් එකිනෙක සමාන යි.

theguardian.com (උමෝජා කාන්තාවක් තමන්ගේ පබළු ආභරණ විකුණමින්)

එක්සත්කමේ ගම්මානය, උමෝජා

ගෘහස්ථ හිංසනය යනු සාමාන්‍යයෙන් කෙන්යාවේ සැඟවී තිබෙන අඳුරු සත්‍යයක්. නමුත් ලැජ්ජාව හා බිය නිසා කාන්තාවන් මේ ගැන කතාකරන්නේ නැහැ.

ධෛර්යවන්ත එක්තරා සම්බුරු කාන්තාවක් තවදුරටත් මෙය සඟවාගෙන නොසිටීමට තීරණය කරනවා. ඇය රෙබෙකා ලෝලොසෝලි යි. රෙබෙකා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ හඬනැඟූ විට දී එම ගම්මානයේ සියලු පිරිමින් එක්ව ඇයට පහර දුන්නේ අමානුෂික අන්දමිනුයි. ඇයගේ ස්වාමි පුරුෂයා ඇයව එළදෙනුන් රෑනක් අසලට ගෙන ගොස් සිටුවා තබන්නට තරම් කෘරතර වෙද්දී, ශරීරයේ තුවාලවලට වඩා ඇගේ හිතේ තුවාලය දළුලා වැඩෙන්නට වුණා. තුවාල සුව වෙන තෙක් රෝහලේ ඇඳේ වැතිරී සිටිය දී මේ විඳවීම තවදුරටත් ඇති යනුවෙන් ඇය දැඩිව තීරණය කරනවා.

රෙබෙකා තම ස්වාමි පුරුෂයා අතහැර දමනවා පමණක් නොවෙයි පිරිමින්ව පිළිනොගන්නා ග්‍රාමයක් ගොඩනගන්නට පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම පිරිමින්ට එම ගමට ඇතුළු වීම සපුරා තහනම්. නමුත් මේ නීතිය අදාළ වෙන්නේ වැඩිහිටි පිරිමින්ට පමණක් වන අතර උමෝජා කාන්තාවන්ගේ පිරිමි දරුවන් මෙහි සිය මව්වරුන් සමඟ වාසය කරනවා. අනෙකුත් කාන්තාවන් ද ඇයව අනුගමනය කරමින් නව ග්‍රාමය බිහි කරන්නට වෙර දරනවා. ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් දරුණු ලෙස බැටකෑ ගැහැණුන්ට ආරක්ෂාව සපයන හොද නවාතැන්පළක් බවට උමෝජා ටික කලකින්ම පත්වුණා. අනාථ දරුවන් මෙන්ම ඒඩ්ස් රෝගී දරුවන්ට ද මේ ගමේ රැකවරණය සැපයෙනවා. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ එය ස්වාමි පුරුෂයන් විසින් එළවා දැමූ කාන්තාවන්, ලිංග ඡේදනයට ලක්කිරීමට උත්සාහ දරණ, හා කසාද බඳින්නට බල කෙරුණු අසරණ තරුණ යුවතියන්ට අභයදානය දුන් භූමියක් බවට පත්ව තිබෙනවා කිව්වොත් හරි.

theguardian.com (සතුටින් සිටින උමෝජා දරුවන්)

උමෝජා ගමේ පාලනය

සම්බුරු සංස්කෘතිය යනු පිරිමින්ට පූර්ණ බලතල සහිත තදබල පීතෘ මූලික සමාජයක් වුණත්, උමෝජා ගමේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

“කාන්තාව කොච්චර වෙහෙස මහන්සි වෙලා වැඩ කරනව ද කියන එක මම ඇස් දෙකෙන්ම දැක්කා. තමන්ගේ කුඩා නිවාස වල බිත්ති ඉදිකිරීම, ආහාර පිසීම, දරුවන් රැකබලා ගැනීම, ජලය ලබාගැනීම, දර සොයා ගැනීම ආදි සියල්ලම සිද්ධ වෙන්නේ කාන්තාවන්ගේ අතින්. නමුත් කාන්තාවන්ට තමන්ගේම ඉඩමක අයිතිය මෙන්ම පශු සම්පත් සඳහා ඇති අයිතිවාසිකම් තහනම් කර තිබුණා. පාසලෙන් ඉවත්වන විටම විවාහයට මුහුණ දෙන්නට ඔවුනට සිදු වුණා.’’

රෙබෙකා පවසනවා. සම්බුරුවල ජීවිතය ඒ වගෙයි. කාන්තාවන් පිරිමින්ගේ දේපලක් ලෙස සැලකූ අතර, පිරිමින්ට භාර්යාවන් කිහිපදෙනෙකු සිටියා. කවදාවත් කාන්තාවකගෙ අදහසට මේ ගමේ ඉඩක් ලැබුණේ  නැහැ.

theguardian.com (දර එකතු කරන උමෝජා කාන්තාවක්)

ගම්මානය ඇතිවීමෙන් පසු වසර ගණනාවක් පුරා පිරිමින් නිතරම උමෝජාවට පහරදුන්නා. එක් අවස්ථාවක දී රෙබෙකාගේ හිටපු සැමියා ගම්මානයට පැමිණ ඇගේ ජීවිතයට තර්ජන එල්ල කළත් ඇය ඒ කිසිවකින් සැළුණේ නැහැ.

‘’අපි ඔවුන්ට එන්න ඉඩ දීලා නැවත අපිව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි අපේ ගම පාලනය කරනවා.’’

රෙබෙකා පවසන්නේ තිර අධිෂ්ඨානයකින්.

පබළු ව්‍යාපාරය සහ අනාගතය සුන්දර කිරීම

සම්බුරු යනු එළුවන් සහ හරකුන් මත රැඳුණු දුෂ්කර භූමි ප්‍රදේශයක් වුනත් උමෝජා ගමේ සෑම ගැහැනියකටම ජීවිතය විඳින්නට මිස විඳවන්නට ඉඩක් නැහැ. සැමියන්ගේ බැල මෙහෙවරකම් කරමින් අපමණ දුක් ගැහැට විඳි කාන්තාවන් මේ ගමේ වර්තමානයේ ජීවත් වෙන්නේ මහත් වූ සැනසිමකින්. ඉරිඟු ආහාර, කිරි, මස් ආදී කෑම වර්ගවලින් කාන්තාවන් හොඳින් පෝෂණය වෙනවා. ඒ වගේම තමයි ගීත ගායනය, නර්තනය වගේ සෞන්දර්යාත්මක දේවල් වින්දනය කරන්නට කාන්තාවන්ට නිදහස තියෙනවා.

theguardian.com (වතුර සොයා යන තරුණියක්)

ජීවනෝපාය විදිහටත්, විනෝදාංශයක් විදිහටත් මේ ගමේ කාන්තාවන් කරන්නේ පබළු වලින් විසිතුරු ආභරණ සහ භාණ්ඩ සැකසීම යි. පබළු භාණ්ඩ විකිණීමෙන් නිතිපතා ලැබෙන ආදායම ඔවුන් කෑම, ඇඳුම්, සහ නිවාස සඳහා යොදවනවා. තව ද ගමේ ප්‍රධාන කාන්තාවන් කිලෝමීටරයක් පමණ දුරින් ඇති ගංගාවක් ආසන්නයේ, සංචාරක පිරිස් සඳහා සෆාරි කඳවුරක් පවත්වාගෙන යනවා. මෙම සංචාරකයන් ස්වභාවික රක්ෂිතයන් හරහා ගමන් කරන අතර උමෝජා වෙත ද  පැමිණෙනවා. කාන්තාවන් විසින් ඇතුල්වීමේ ගාස්තුවක් අය කරන අතර, සංචාරකයන් විසින් උමෝජා කාන්තාවන් නිමැවූ විසිතුරු දෑ මිල දී ගනු ලබනවා.

පබළු නිර්මාණ පරම්පරා ගණනාවක් පුරා සම්බුරු සම්ප්‍රදායේ කොටසක් වී තිබෙනවා. උමෝජාවේ කාන්තාවන් සිය වර්ණවත් ආභරණ සහ අලංකාර භාණ්ඩ සංචාරකයින්ට විකුණමින් හොඳ ආදායමක් උපයා ගන්නවා.

“අපි අපේ ආභරණ විකුණන කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න තීරණය කළා. අපි ඔවුන්ව ආදරයෙන් පිළිගන්නා අතරම අපේ භාණ්ඩත් ඔවුන් මිල දී ගන්නවා.’’

theguardian.com (විසිතුරු පබළු ආභරණ)

අසල්වැසි ගමක පිරිමින් එකතුව සංචාරකයින් උමෝජාවේ බඩු ගැනීම නවතාදැමීමට ආරම්භයේ දී උපක්‍රම යෙදුවත් එය සාර්ථක වුණේ නැහැ. කාන්තාවන් සෑම දිනකම සුන්දර ලෙස ආභරණ සකස් කළා. සෑම දවසකම ඇති තරම් සංචාරකයො ඇදී ආවා.

සම්බුරු කාන්තාවන් පබළු වලින් නිමවන ලද අලංකාර ස්වර්ණාභරණ මෙන්ම ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිනවා. ඔවුනගේ හැකියාව සහ විචිත්‍රවත් නිර්මාණශීලීභාවය ඒවායින් මනාව පිළිබිඹු වෙනවා.

ව්‍යාපාරයෙන් ලාභ ලබද්දී කාන්තාවෝ තමන්ගෙන්ම අසාගත්තේ මේ මුදල්වලින් අපට කුමක් කළ හැකි ද කියායි. ඉතින් ඔවුන් එම මුදල් යොදවා ඉස්කෝලයක් පටන්ගත්තා. ඉස්කෝලේ දරුවන්ට කෑම ලබා දෙනවා විතරක් නෙවෙයි අධ්‍යාපනය සහ නවාතැන් සැපයීමත් කරනවා. එපමණක් නොවෙයි, ඔවුන් මහන්සියෙන් උපයා ගත් දෑ ස්වාමිපුරුෂයන් සහ පවුල් අතරෙහි හුවමාරු කරගන්නත් මේ ස්ථානය යොදා ගන්නවා.

සම්බුරු ජාතික වනෝද්‍යානයේ මායිමේ පිහිටි සම්බුරු සංස්කෘතික මධ්‍යස්ථානය සහ කඳවුර පවත්වාගෙන යන්නෙ සංචාරකයින් සඳහා යි.

theguardian.com

ශක්තිමත් සහෝදරත්වයක්

තවත් කාන්තාවන් එකතුවෙන්න වෙන්න උමෝජා ගම තවත් විශාල වෙනවා. සංචාරකයින්ට පබළු විකිණීමත් සරුවට සිදු වෙනවා. පාසල ළමයින් ගෙන් පිරී ඉතිරී යනවා. මෙය මුළුමනින්ම සහෝදරත්වය මත පදනම් වූ ගමක් කිව්වොත් හරි. එකිනෙකාගේ සහයෝගය, නිදහස සහ සම්බන්ධතාවය මෙන්ම අනෙකා ඔසවා තැබීම සහ ප්‍රචණ්ඩත්වය හෝ භීතියකින් තොරවීම මෙම ගමේ අගය කියාපානවා.

පිරිමින්ට හදිසි වුවමනාවක දී  ගමට පැමිණිය හැකි නමුත් රාත්‍රිය ගතකිරීම තහනම්.

“ඔවුන් අපිට කාන්තාවන් කියලා කියද්දී එය අපිරිසිදු නමක් වගේ දැනෙන්නෙ. අපි ඇවිදිනවා, අපි කතා කරනවා, අපි හිනා වෙනවා, අපි සතුටින් ඉන්න බව ඔවුන්ට පෙන්නනවා. ඇත්තෙන්ම අපි කාන්තාවන් විදිහට ආඩම්බර වෙනවා.’’

Cover – theguardian.com

මූලාශ්‍රයයන්:

www.theguardian.com

upliftconnect.com

Related Articles

Exit mobile version