Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මානසික සුවය රැගෙන එන වංකගිරි

සාමාන්‍ය ව්‍යවහාරයේ දී වංකගිරියක් ලෙස හැඳින්වෙන්නේ එක් පැත්තකින් කෙළවර වන මංපෙත් රැසකින් සුසැදි පැටලිලි සහිත අවුල් ජාලයක් වැනි මාර්ගයක්. ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ දැක්වෙන අන්දමට යුරෝපයේ පැරණිම නගරය ලෙස සැලකෙන නොසොස් නුවර වාසය කරමින් නැගෙනහිර මධ්‍යධරණී මුහුද මධ්‍යයේ පිහිටි ක්‍රීට් දූපතේ පාලන කටයුතු මෙහෙයවූ, සියුස් දෙවිඳුන්ගේ සහ යුරෝපා නම් ෆිනීෂියානු ජාතික කාන්තාවගේ පුතු වූ මයිනස් රජු වෙනුවෙන් ඩීඩලස් නම් කල්පිත කර්මාන්තකරුවා අතිශය සංකීර්ණ වංකගිරියක් නිර්මාණය කර තිබෙනවා. එවැන්නක් ගොඩ නැංවීමේ අරමුණ වී ඇත්තේ පසුකාලීනව වීර තීසියස් අතින් මරණයට පත් වූ මිනෙටෝර් නම් සත්ත්වයා (ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ එන මනුෂ්‍ය මාංශ අනුභව කරන අඩක් වෘෂභ සහ අඩක් මනුෂ්‍ය අපරූපී සත්ත්වයෙක්) සිර කර තැබීම යි. ඩීඩලස් විසින් නිර්මාණය කරන ලද වංකගිරිය කොතරම් සංකීර්ණ වූවා ද කිවහොත් ඔහු පවා එයින් පිටතට පැමිණ ඇත්තේ යන්තමින්.

(© Edward Burne-Jones) තීසියස් සහ මයිනටෝ, ඩීඩලස්ගේ වංකගිරියේ දී

ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ දැක්වෙන වංකගිරි මෙන් නොව සැබෑ ලෝකයේ වංකගිරි සතුව එක් පැත්තකින් කෙළවර වන මංපෙත් හෝ වැරදි හැරවුම් නොමැති අතර පවතින්නේ එක් නිවැරදි මාර්ගයක් පමණ යි. සිත ව්‍යාකූල කරන ප්‍රහේලිකා නොවන එවැනි වංකගිරි, මානසික සුවය ළඟා කර ගැනීමේ අරමුණෙන් භාවනාවන්හි නිරත වීම සඳහා යොදා ගන්නවා. පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසය කරන්නේ එක්මන් වක්‍ර (unicursal curve) සහිත වංකගිරි භාවිතා කිරීමේ ඉතිහාසය ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට දිව යන බව යි.

මුල් හැරවුම් දිශාව අනුව එහි මාර්ගය වමත් හෝ දකුණත් විය හැකි අතර ලෝකයේ ස්ථාන රැසකින් ඓතිහාසික වංකගිරි පිළිබඳ සිතුවම් ඇතුළත් ශෛලමය කැටයම් සහ ශිලා ලේඛන හමු වී තිබෙනවා.

පුරාණ ලෝකය සතු ප්‍රකටම වංකගිරියක් ලෙස 12 වැනි රාජ වංශයේ දී (ක්‍රිස්තු පූර්ව 1844 – 1797) 3 වැනි අමෙනෙම්හෙට් රජු විසින් හවාරාහි පිරමීඩ සංකීර්ණයක් තුළ ගොඩ නංවන ලද වංකගිරිය සැලකිය හැකි යි. එයට අමතරව ක්‍රිස්තු පූර්ව 1200ට පමණ අයත් මැටි පුවරුවක් මත කැටයම් කරන ලද වංකගිරියක රුවක්, පසුකාලීන ලෝකඩ යුගයට අයත් ග්‍රීක මාලිගයකින් සොයාගෙන තිබෙනවා. රෝම අධිරාජ්‍යයේ නැගී සිටීම සමග සාම්ප්‍රදායික වක්‍රකාර වංකගිරි, චතුරස්‍රයක හැඩයෙන් යුතුව නිර්මාණය කිරීම අරඹා ඇති අතර සොහොන් කුටි, පොදු නාන කාමර සහ නිවෙස් හැඩ ගැන්වීමට යොදා ගන්නා ලද උළු කැට මත පවා වංකගිරි දැක්වීමට රෝම වැසියන් කටයුතු කර ඇති බව යි වාර්තා වන්නේ. මධ්‍යතන යුගයට අයත් ප්‍රකටම වංකගිරිය දැක ගැනීමට ලැබෙන්නේ ප්‍රංශයේ ශාත ආසන දෙව්මැදුරේ දී යි.

(© Mark David) 3 වැනි අමෙනෙම්හෙට් රජු විසින් හවාරා හි පිරමීඩ සංකීර්ණයක් තුළ ගොඩ නංවන ලද වංකගිරියේ කල්පිත සිතුවමක්

ඓතිහාසිකව, වංකගිරියක ඇවිදීම ආගමික සහ මායාවී අත්දැකීම් සමග සබැඳී පැවති බව පැවසීම වැරදි නැහැ. ආගම සඳහා වන භක්තිය විදහා දැක්වීම සඳහා හෝ පාපයන් සමා කිරීමට හෝ සරල වන්දනා ගමනක් ලෙස වංකගිරියක ඇවිදීමට පුරාණ වැසියන් පෙලඹී සිටි බව යි සඳහන් වන්නේ. නෝඩික සහ ස්කැන්ඩිනේවියානු බහුදේවවාදීන්ගේ විශ්වාසය වුණේ වංකගිරියක ඇවිදීම මඟින් දුෂ්කරතා ජය ගැනීම, ආරක්ෂාව තහවුරු වීම සහ වාසනාව ළඟා වන බව යි. දැනට ලෝකයේ රාජ්‍යයන් 80කින් විවිධ අරමුණු උදෙසා ගොඩ නංවන ලද වංකගිරි 4,977ක් පමණ සොයාගෙන තිබෙනවා.

ප්‍රංශයේ ශාත නුවර ආසන දෙව්මැදුර

© Sylvain Sonnet / Corbis

1200 දී පමණ නිර්මාණය කරන ලද ශාතහි ආසන දෙව්මැදුර සතු වංකගිරිය, පූජකවරුන් භාවිතා කර ඇත්තේ නිදහසේ කල්පනා කිරීම සඳහා යි. එයින් දෙවියන්ගේ සර්වබලධාරීත්වය සතු සදාකාලික බව සහ අනන්ත බව දැක්වෙනවා. එහි සමස්ත විෂ්කම්භය මීටර් 13කට ආසන්න වන අතර දීප්තිමත් පාෂාණ යොදාගෙන නිර්මාණය කර ඇති එහි මංපෙතේ සමස්ත දුර මීටර් 261.5ක්. වංකගිරිය වඩා කළු පැහැ පාෂාණ යොදා ගනිමින් නිමවන ලද නව සඳක හැඩයෙන් යුතු මෝස්තර 114ක් දැක ගත හැකි යි. එසේම කන්‍යා මරියතුමිය නිරූපණය කිරීම යොදා ගන්නා ලද පෙති 6ක් සහිත රෝස මලක් ද වංකගිරිය මැද දැක ගැනීමට ලැබෙනවා.

චීනයේ බීජිං නුවර පැරණි වසන්ත මාලිගය

© Benjamin Mockett

1644 – 1912 අතර කාලයේ දී චීනයේ පාලන කටයුතු මෙහෙයවූ චින්ග් රාජ වංශයට අයත් රාජකීයයන් විසින් වසන්ත මාලිගය සහ එය සතුව ඇති වංකගිරිය නිර්මාණය කර ඇත්තේ 1709 දී යි. ඇතැම් විටෙක ‘ආලෝකයේ සහ පරිපූර්ණත්වයේ උයන’ යන අරුතින් ‘යුවන්මින්ග් යුවන්’ලෙස හැඳින්වෙන එය අක්කර 864ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබුණ ද 1860 දශකයේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදාවන් විසින් කඩා බිඳ දමන බව යි සඳහන් වන්නේ. චීන සාම්ප්‍රදායික දර්ශන සමග බටහිර ගෘහ නිර්මාණ ශිල්පය මුසු වූ අවස්ථාවක් ලෙස වසන්ත මාලිගය සතු වංකගිරිය සැලකෙනවා.

ස්කොට්ලන්තයේ දකුණු දිග ඈෂර් හි ඩන්‍යුර් මාලිගය

© Lesley Wilson

සියවස් කිහිපයක් තිස්සේ නිරිත දිග ස්කොට්ලන්තයේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් පාලනය කළ කැරික් හි කෙනඩි පවුල විසින් ගොඩ නංවන ලද ඩන්‍යුර් මාලිගය සහ උද්‍යානය වර්තමානයේ දී නටඹුන් බවට පත් ව තිබුණ ද ගම් වැසියන් එක් ව 2008 දී එහි වෙරළ අසබඩ උද්‍යානයේ ශෛලමය වංකගිරියක් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා පවුම් 3,990ක් වැය වී ඇති අතර ඩන්‍යුර් මාලිගයේ නටඹුන් වඩාත් හොඳින් දර්ශනය වන්නේ වංකගිරියේ මැද සිට ගත් විට බව යි ගම් වැසියන්ගේ විශ්වාස කරන්නේ.

කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ලෑන්ඩ්ස් එන්ඩ්

© Gary Fua

එඩ්වාඩෝ ඇගුලේරා නම් කලා ශිල්පියා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ලෑන්ඩ්ස් එන්ඩ් හි වෙරළේ වංකගිරියක් නිර්මාණය කර ඇත්තේ සාමය, ආදරය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්. 2004 දී මුල් වරට ගොඩ නගන ලද එය දෙවරක් ම නාඳුනන පිරිස් විසින් විනාශ කර තිබෙනවා. මණ්ඩල 11 කින් සමන්විත වන එය නිර්මාණය කිරීම සඳහා පෙලඹවීම සපයා ඇත්තේ ප්‍රංශයේ ශාත නුවර ආසන දෙව්මැදුරේ වංකගිරිය යි.

දකුණු අප්‍රිකාවේ හොග්ස්බැක් හි ‘The Edge’

© Pinterest

ප්‍රංශයේ ශාත නුවර ආසන දෙව්මැදුරේ වංකගිරිය ඇසුරු කර ගනිමින් නිර්මාණය කරන ලද තවත් වංකගිරියක් ලෙස දකුණු අප්‍රිකාවේ හොග්ස්බැක් හි ‘The Edge’ කඳුකර නිවාඩු නිකේතනය සතු වංකගිරිය හැඳින්විය හැකි යි. 2002 දී නිම කරන ලද එහි විෂ්කම්භය මීටර් 29ක් සහ පරිධිය මීටර් 91ක් වන අතර සමස්ත ඇවිදීම කිලෝමීටර් 1.4ක් බව යි වාර්තා වන්නේ. ලෝකය සතු දැවැන්තම වංකගිරියක් ලෙස සැලකිය හැකි එය ද මණ්ඩල 11කින් සමන්විත යි.

කවරයේ පින්තූරය : © Mimi Ditchie Photography / Getty Images

Related Articles