උතුරු කොරියාව යනු ආන්දෝලනාත්මක රටක් බවට අමුතුවෙන් කිව යුතු නැහැ. පසුගිය සමයේ ඔවුන් විසින් සිදු කරන ලද න්‍යෂ්ඨික සහ මිසයිල අත් හදා බැලීම් හේතුවෙන් උතුරු කොරියාව නිතරම මාධ්‍යයන් හි කතා බහට ලක් වන රාජ්‍යයක් බවට පත්ව අවසන්.
කෙසේ වෙතත් ඔවුනගේ මේ අති ධාවනකාරී ප්‍රතිපත්ති හේතුවෙන් ඇතැම් රටවල් නිතර උතුරු කොරියාව සමඟ ගැටෙනවා. ඇමරිකා එක්සත් ජනපදය ඉන් ප්‍රධානයි.
විශේෂයෙන්ම පසුගිය සතිවල උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම එකිනෙකාට අවලාද එල්ල කළා.
කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ඇතැම් වාමාංශික කොටස් උතුරු කොරියාවට සිය සහය පළ කරනවා.
මේ අතරින් ප්‍රධානම පක්ෂයක් වන්නේ වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය (Workers World Party) හෙවත් කම්කරුවන්ගේ ලෝකය පක්ෂයයි. මෙම පක්ෂයේ විශේෂත්වය වන්නේ මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී මූලයකින් බිහි වූ පක්ෂයක් වීමයි.
ට්‍රොට්ස්කිවාදී කඳවුර
සෝවියට් දේශයේ මුල් නායක ව්ලැඩිමීර් ලෙනින් මියගිය පසු බලයට පත් වූ ජෝශප් ස්ටාලින් සහ ලියොන් ට්‍රොට්ස්කි අතර වූ බල අරගලය අවසන ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කරනු ලැබුණා. 1920 දශකයේ අග භාගයේ සිට 1940 දී ඝාතනය වනතුරු විදෙස්වල සිට ට්‍රොට්ස්කි ස්ටාලින් විවේචනය කළා මෙන්ම, සෝවියට් දේශයේ නායකත්වය යටතේ වූ ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂ එකමුතුව වූ තුන්වන ජාත්‍යන්තරයට එරෙහි විකල්පයක් ලෙස 1938 දී හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගුවා. ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවූ සමාජවාදී කම්කරු පක්ෂය (Socialist Workers’ Party – SWP) මෙහි සාමාජික පක්ෂයක් වුණා.
1959 දී මෙම පක්ෂයෙන් බිඳී ගිය සෑම් මාර්සිගේ නායකත්වයෙන් යුතු වූ කුඩා කණ්ඩායමක් විසින් වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය පිහිටුවා ගත්තා. ඔවුන් සහ SWP පක්ෂයේ අනෙක් කොටස් අතර කාලයක් තිස්සේ කරුණු කිහිපයක් පිළිබඳ වූ මතභේදයන් මෙම බිඳී යාමට හේතු වුණා.
මේ හේතුන් අතර 1949 චීනයේ කොමියුනිස්ට්වාදීන්ගේ ජයග්‍රහණය පිළිබඳ කරුණ ප්‍රධානයි. මෙහිදී SWP පක්ෂය චීනයේ විප්ලවයට සහය නොදුන්නද මාර්සිගේ අනුගාමිකයන් එයට සහය දුන්නා.
මාර්සිගේ පිළ 1956 දී සෝවියට් දේශය විසින් හන්ගේරියාව ආක්‍රමණය කිරීම අනුමත කළ අතර ඒ සමඟම SWPය සහ ඔවුන් අතර භේදය වර්ධනය වුණා. මේ ආකාරයෙන් ඇතිවූ භේදයන් සමඟ 1959 දී නව පක්ෂය බිහි වුණා.
පීඩාවට පත් ජනතාව වෙනුවෙන්
වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය මුල පටන්ම කියා සිටියේ තමන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි. එහෙයින් ඔවුන් විවිධ රටවල වාමාංශික ව්‍යාපාරවලට සිය සහය පළ කළා. එමෙන්ම 1960 සහ 1970 දශකවල වියට්නාම් යුධ විරෝධී සංවිධාන සමඟ ක්‍රියාකාරීව කටයුතු කළ ඔවුන්, වෙදර්මෑන් සංවිධානය (Weatherman Underground) සහ බ්ලැක් පැන්තර් සංවිධානය වැනි රැඩිකල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීමට ද කටයුතු කළා.
මේ අතර යුධ හමුදා සාමාජිකයන් අතර ද සංවිධානය වීමේ අදහසින් සංගමයක් මෙම පක්ෂයේ සාමාජිකයකු වූ ඇන්ඩි ස්ටැප් විසින් ආරම්භ කළා. ස්ටැප් යුධ හමුදාවේ සොල්දාදුවන් අතර ජනප්‍රිය අයකු බවට පත් වුණා.
වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය 1980 සිට ඇමරිකාවේ ජනාධිපතිවරණ කිහිපයකට තරඟ කොට තිබෙනවා. එරට පවතින නීතිය අනුව එක් එක් ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවට සිය අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීමට දේශපාලන පක්ෂ විසින් වෙනමම සුදුසුකම් ලබාගත යුතුයි. සාමාන්‍යයෙන් වර්කර්ස් වර්ල්ඩ් වැනි කුඩා පක්ෂවලට සියලු ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවට සිය නම ඇතුලත් කරගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. 2016 ජනාධිපතිවරණයට ද මෙම පක්ෂයෙන් මොනිකා මුවර්හෙඩ් නම් අපේක්ෂිකාවක තරඟ කළ අතර ඇගේ නම ප්‍රාන්ත කිහිපයක ඡන්ද පත්‍රිකාවල ඇතුලත් වුණා. ඇයට ලබාගත හැකි වූයේ ඡන්ද 4000 කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණයි.
උතුරු කොරියාවට සහයෝගය දැක්වීම
වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය මුල පටන්ම උතුරු කොරියාව කෙරෙහි සහයෝගීතාවය දැක්වූ පක්ෂයක් වුණා. වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය සඳහන් කරන්නේ කොරියාව වෙත ඇමරිකාව විසින් බලපෑම් කිරීමට පටන් ගෙන සියවසකට වඩා වැඩි බවයි. තවද කොරියානු යුධ සමයේදී උතුරු කොරියාව සම්පූර්ණයෙන් පාහේ බෝම්බ දමා විනාශ කිරීමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කටයුතු කළ බවත්, එකළ දකුණු කොරියාවේ ඇමරිකන් හිතවාදී පාලකයා වූ සිග්මන් රී විසින් දේශපාලන විරුද්ධවාදීන් 100,000 – 200,000 අතර ප්‍රමාණයක් ඝාතනය කළ බවත්.වර්තමාන තත්ත්වය යටතේ ද උතුරු කොරියාව ගෙනයන මිසයිල සහ න්‍යෂ්ඨික වැඩපිළිවෙලවල් සාධාරණීකරණය කරන වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය කියා සිටින්නේ උතුරු කොරියානුවන්ට ස්වකීය ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය ඇති බවයි.
වර්කර්ස් වර්ල්ඩ් පක්ෂය විවිධ අවස්ථාවල සිය සහයෝගය පිළිබඳ කෙලින්ම උතුරු කොරියානු රජය දැනුවත් කර තිබෙනවා. විශේෂයෙන්ම 1994 දී උතුරු කොරියාවේ පළමු නායකයා වූ කිම් ඉල්-සුංග් මිය ගිය අවස්ථාවේ එම පක්ෂය උතුරු කොරියානු රජයට සිය ශෝකය පළ කරමින් පණිවිඩයක් යැවීමට කටයුතු කළා.
කෙසේ නමුත් මෙම දේශපාලන පක්ෂය ඇමරිකාවේ කුඩා දේශපාලන පක්ෂයක් වන අතර ඇමරිකාවේ අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂ සහ සංවිධාන උතුරු කොරියාවට සහය දෙන ස්ථාවරයක පිහිටා කටයුතු කරනු දක්නට ලැබෙන්නේ නැහැ.
Cover Image: මන්සු කන්දේ ශ්‍රේෂ්ඨ ස්මාරකයෙහි (Mansu Hill Grand Monument) කිම් ඉල්-සුංග් සහ කිම් ජොංග්-ඉල් ප්‍රතිමා (Bjørn Christian Tørrissen/Wikimedia Commons)