Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන ණය තුළ ගිලී යන සැම්බියාව

ගෝලීය COVID-19 වසංගතය සමග මුළු ලෝකයම සටන් කරන අතරවාරයේ, බොහෝමයක් රටවලට ආර්ථික අර්බුදයන් සමගත් පෙරට වඩා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. ඇතැම් රටවලට ජාත්‍යන්තර ණය අද​ බරපතළ ගැටළුවක්. එහි උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින්, ගෝලීය වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ණය ගෙවීම් පැහැරහැරීමේ වැඩිම අවදානමක් සහිත පළමු අප්‍රිකානු රාජ්‍යය ලෙස සැම්බියාව මෑතක දී ලෝකයේ අවධානයට පාත්‍ර වුණා. මේ වනවිට සැම්බියාව චීනය හමුවේ පමණක්, ව්‍යාපෘති මුදල් සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 23ට වඩා  වැඩි මුදලක් ණය ගැති වී අවසාන යි.

සැම්බියාව ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 11.7න් අවම වශයෙන් ඩොලර් බිලියන තුනක්වත් චීනයට ගෙවිය යුතු බව විශ්වාස කරනවා. 2019 දී සැම්බියාවේ තොරතුරු සහ ගුවන් විදුලි පිළිබඳ අමාත්‍යවරයා වන චිෂිම්බා කම්බ්විලිට අනුව සියළු ව්‍යාපෘති මුදල් සහ ඇපකරයන් ගණන් ගන්නේ නම්, සැම්බියාව චීනයට ඩොලර් බිලියන 23ක් ඉක්මවා ගිය ණයක් තිබිය යුතුයැ යි සඳහන් කළා. චීනයේ වාණිජ ණය දෙන්නන් හට ආපසු ගෙවීමේ හැකියාවක් සැම්බියාව සතුව නොමැති නම්, සෘජු මුදල් හුවමාරුව හෝ වරණීය ව්‍යාපෘති කොටස් වැනි විවිධ ක්‍රියාමාර්ග මඟින් චීන රජය ඔවුන්ගේ ණය දෙන්නන් හට වන්දි ගෙවීමට ඉඩ තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ සැම්බියාව සතුව ඇති තඹ සම්පත් සහ කෙනත් කවුන්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැනි පොදු වත්කම් සඳහා, එරට රජය චීනයට ප්‍රවේශ අවස්ථාව ලබාදීමේ අවදානමක් පවතිනවා.

සැම්බියාවේ පිහිටීම/victoriafalls-guide.net/

සැම්බියාවේ මුදල් අමාත්‍යාංශය පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා සිදු කළ ප්‍රකාශයත් සමග සැම්බියාවේ ණය අර්බුදයේ තරම ලෝකයට මැනවින් ප්‍රත්‍යක්ෂ වුණා. ඒ අනුව සැම්බියානු රජය විසින්, එකම සේවා කොන්දේසිය මත ඇති ණය සේවා අත්හිටුවීමට එකඟ වන ලෙස සියලු බාහිර ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබුණා. බහුපාර්ශවික ආයතනවලට සහ තවත් ප්‍රමුඛ ව්‍යාපෘති කිහිපයක් සඳහා සැම්බියාව දිගින් දිගටම ගෙවිය යුතු විදේශ මුදල් ණය වාරික තිබුණු අතර, මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව සැම්බියානු රජයට සිය වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණහොත්, සීමිත මූල්‍ය ඉඩ ප්‍රමාණයන් හමුවේ රජයටණය පියවීමට අපොහොසත් වී හිඟ මුදල් එකතු වීම වැළැක්විය නොහැකි වන බව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙම ණය අර්බුදයත් සමග බැඳුණු චීන-සැම්බියානු ද්විපාර්ශවික සබඳතාවය ගැන විග්‍රහයක්  ඔබ හමුවට ගෙන ඒමට යි මේ සූදානම් වන්නේ.

(කියවන්න; චීනයේ ණය උගුලට හසු වූ රටවල්)

චීනයට සැම්බියාව අවශ්‍ය ඇයි?

මුලින්ම අපි සැම්බියාවේ භූ ගෝලීය තොරතුරු ස්වල්පයකට අවධානය යොමු කරමු. සැම්බියාව කියන්නේ දක්ෂිණ අප්‍රිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රාජ්‍යයක්. ඒ වගේම සැම්බියාව සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ රාජ්‍යයක් ද වෙනවා. රටේ විශාල ප්‍රදේශයක් අඩු ජන ඝනත්වයකින් යුතු වන අතර ජනගහානයෙන් වැඩි කොටසක් කේන්ද්‍රගත වී ඇත්තේ “ලයින් ඔෆ් රේල්” නමින් හඳුන්වන දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිත සංවර්ධිත ප්‍රදේශය වටා යි. මෙම දුම්රිය මාර්ගය තඹ නිධි බහුල, “කොපර්බෙල්ට්” නමින් හඳුන්වන ප්‍රදේශයේ සිට, අගනුවර වන ලුසාකා හරහා දකුණු දිග ප්‍රදේශයක් වන ලිවින්ස්ටෝන් දක්වා විහිදෙනවා.  

සැම්බියාව චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” ව්‍යාපෘතියේ සක්‍රීය සහභාගීකරුවෙක් වෙනවා. මෙම “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” ව්‍යාපෘතිය නව සේද මාවත ලෙස ද හඳුන්වන අතර, එමඟින් සංවර්ධන කටයුතු සහ ආයෝජන මුලපිරීම් හරහා චීනයට ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් නැගෙනහිර ආසියාවේ සිට යුරෝපාකරය දක්වා තම බලය විහිදුවීමට හැකි වෙනවා. එම ගමනේ දී චීනයට ලෝකය තුළ තිබෙන ආර්ථික මර්මස්ථාන ඉතා වැදගත් වන අතර සැම්බියාවේ පවතින තඹ නිධිත්, එවැනි ආර්ථික මර්මස්ථානයක් ලෙස දැකීමට චීනය උත්සුක වුණා.

ලෝකයේ විශාලතම තඹ පාරිභෝගිකයා චීනය වන අතර ලොව ප්‍රමුඛතම තඹ නිෂ්පාදකයන් අතර සැම්බියාව ඉදිරියෙන්ම සිටිනවා. මෙම සහස්‍රයේ ආරම්භයේ සිටම සැම්බියාව තුළ චීනයේ ආයෝජනයන් ඝාතීය වශයෙන් වර්ධනය වුණා. 2003 සිට 2009 දක්වා කාලය තුළ දෙරට අතර වෙළඳාම විසිපස් ගුණයකින් වර්ධනය වූ අතර එම කාලය තුළ සැම්බියාවේ චීන ආයෝජනවලින් 98%ම යෙදවුණේ පතල් සහ නිෂ්පාදන අංශය ඉලක්ක කරගෙන යි. වර්තමානය වනවිට චීන ව්‍යවසායන් 600ට අධික ප්‍රමාණයක් සැම්බියාවේ ක්‍රියාත්මක වෙනවා. ඉන් වැඩි ව්‍යවසායන් ප්‍රමාණයක් කේන්ද්‍රගත වී ඇත්තේ තඹ නිධිවලින් පොහොසත් “කොපර්බෙල්ට්” නම් කලාපය තුළ යි.

බෙල්ට් ඇන්ඩ් රෝඩ් ක්‍රියාදාමය හරහා ලෝකය තුළ චීනයේ බලපෑම සිතියමකින්/doingbusinessinturkey.com/

සුදු අලි ව්‍යාපෘති රැසක්

සැම්බියාවෙ මෙලෙස ණය අර්බුදයක ගිලීමේ ආනිශංසය පිටුපස තිබෙන්නේ, දූෂිත රජයන් හමුවේ කලක සිට පවත්වා ගෙන ආ අක්‍රමවත් මූල්‍ය කළමණාකරණය බව සඳහන් වෙනවා. ඒ අතර සැම්බියානු රජයන් විසින් මෙතෙක් පවත්වා ගෙන ගිය ආක්‍රමණශීලි ඉදිකිරීම් ප්‍රතිපත්තිය ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්නවා. 2011 දී සැම්බියානු රජය ඩොලර් බිලියන 20ක ඇස්තමේන්තුගත අයවැයක් සහිතව රටේ යටිතල පහසුකම් නංවාලීම සඳහා නව සැලැස්මක් හෙළි කළා. මෙම අක්‍රමවත් සහ ඉක්මන් ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් 83%ක් ආරම්භයේ සිටම ක්‍රියාත්මක කර ඇත්තේ චීනයේ බීජිං නගරය කේන්ද්‍ර කොටගත් සමාගම් විසිනු යි. 2014 වර්ෂයේ සිට සැම්බියාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති 19ක් ඉදිකර ඇති අතර, ඒ වෙනුවෙන් චීනයෙන් ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9 ඉක්මවනවා. මෙම ව්‍යාකූල ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ‘සුදු අලි ව්‍යාපෘති’ ලෙස නම් කර ඇත්තේ, ඒවායේ තිබෙන අසාමාන්‍ය පිරිවැය සහ ප්‍රායෝගික නොවන කාරණා හේතුකොට ගෙන යි. උදාහරණයක් ලෙස මූලිකව පාපන්දු ක්‍රීඩාව ඉලක්ක කර ගනිමින් න්ඩෝලා නම් ප්‍රදේශයේ තැනූ “ලෙවී ම්වනවසා”  ක්‍රීඩාංගණනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 65ක් වියදම් කොට ඇති බව කියැවෙන අතර එහි උපරිම ප්‍රේක්ෂක ධාරිතාවය මිනිසුන් හතළිස්දහසක් පමණ වෙනවා. නමුත් පන්දහසකට ඉක්මවූ ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ ඉතා කලාතුරකින් බව සඳහන්. 

සුදු අලි ව්‍යාපෘතියක් වූ “ලෙවී ම්වනවසා” ක්‍රීඩාංගණනය/youtube.com/watch?v=1TMXFTUWfbs

විවිධාංගීකරණයක් නැති ආර්ථිකයක්

සැම්බියාව සිය මූලික ආදායම් මාර්ගය වන තඹ නිෂ්පාදනය මත  දිගු කලෙක සිට යැපෙන නිසා රටේ ආර්ථිකය දිගින් දිගටම දුර්වල වෙමින් තිබෙනවා. සැම්බියාවේ ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම පැත්තෙන් එරට රජය අසමත් වී තිබෙන නිසා සැම්බියාවේ අපනයන ඉපැයීම්වලින් 65%ම තඹ නිෂ්පාදනය තුළින් සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට සිදුවෙනවා. ඒ අනුව ලොව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන “ෆිච් රේටින්ස්” විසින් සැම්බියාවේ ණය ගෙවීමේ තිරසාරත්වය අභියෝගයකට ලක්ව තිබෙන බව අනාවරණය කළා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස සැම්බියාව වෙනුවෙන් දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙන් (IDR) සැම්බියාව “CCC” මට්ටමේ සිට “B-” මට්ටම දක්වා පහත හෙළුවා.

මෙයට හේතුව ලෙස ෆිච් රේටින්ස් ආයතනය ගෙනහැර දක්වෙන්නේ, තඹ නිෂ්පාදනය මත පමණට වඩා යැපීම නිසා සැම්බියාවට මෙම ඉරණම අත්වුනු බව යි. 2018 දී තඹ නිෂ්පාදනයේ 8.6%ක වර්ධනයක් තිබියදීත්, සැම්බියාවට තම IDR මට්ටම රැක ගැනීමට හැකි වුණේ නැහැ. මීට අමතරව, සැම්බියාවේ කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීම, නව පතල් බදු සහ කොපර්බෙල්ට් කලාපයේ පවතින අවිනිශ්චිත විදුලි බල සැපයුම යන කාරණාත් මේ සඳහා බලපා තිබෙන බව අනාවරණය වී තිබෙනවා. 2019 මුල් භාගයේ දී, සැම්බියාවේ තඹ නිෂ්පාදනය 9.3%කින් පහත වැටුණු විට සැම්බියාවේ ඉපැයීම් ද ඒ අනුව 23.5%කින් පහත වැටුණ අතර ආර්ථික විවිධාංගීකරණයක් නොමැති වීමේ ඵල විපාකයට සැම්බියාව එලෙසින් මුහුණ දුන්නා.

සැම්බියාවේ තඹ පතලක දර්ශනයක්/myknowledgeresources.com

පාවෙන සැම්බියානු ක්වාචාව

කොරෝනා වෛරසය හමුවේ තඹ සඳහා ඇති ඉල්ලුම මේ වනවිට තවත් පහත වැටී තිබෙන නිසා සැම්බියාවේ මුදල් ඒකකය වන සැම්බියානු ක්වාචාවක්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුනෙන් එකක් පමණ පහත වැටී තිබෙනවා. ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ පූරෝකථනයන්ට අනුව සැම්බියාවේ ආර්ථිකය මෙම වසර තුළ තවදුරටත් 5% කින් හැකිලී යාමේ අවදානමක් තිබෙනවා. 

M&G ආයෝජන සමාගමේ මූල්‍යෝපායකයෙකු සහ සැම්බියාවේ, ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයෙකු වන ග්‍රෙගරි ස්මිත් වරෙක මෙලෙස පවසනවා.

“වෙළඳපල ප්‍රවේශය අපට ලැබුණේ සැම්බියාව ඉතා අඩු ණය ප්‍රමාණයක් පැවති අවධියක යි. දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් යටතේ වුණත් අපට ඉතා හොඳ වර්ධන වේගයක් තිබුණා”

නමුත් තඹ පතල් පුද්ගලීකරණය සහ කිසිදා සෑහීමකට පත් කළ නොහැකි චීනයේ තඹ ඉල්ලුම යටතේ ඔවුන්ගේත් ආධාර සහිතව, 2015 සිට සැම්බියානු ආර්ථිකය ප්‍රමාණයෙන් දෙගුණ වීම ඇරඹුණා. සුවිශාල ආර්ථික අත්පත් කර ගැනීම් සමග එන ග්‍රාමීය දරිද්‍රතාවයේ ඉහළ අනුපාතයන්ට මුහුණ දීමේ අවශ්‍යතාවය නිසා, ලෝක බැංකුව වැනි ණය දෙන්නන්ගෙන් දුප්පත් රටවල් සඳහා සපයන සාම්ප්‍රදායික සහන ණය ලබාගත නොහැකි යටිතල පහසුකම් හා සබැඳි ව්‍යාපෘති සඳහා ඉල්ලුම සැම්බියාව තුළ ඇති වෙන්න පටන් ගත්තා. ඒ අනුව අවසානයේ දී සැම්බියාව, චීනය සහ වෙනත් ණය දෙන්නන් වෙත යොමු වුණා.

කවදා හිනැහේවි ද ඔවුන්?

මානව සංවර්ධන දර්ශකයේ අතිශය පහළ ස්ථානයක පවතින රටක් ලෙස සැම්බියාව මේ වනවිට මුහුණ දෙන කාලීන සමාජ ගැටළු අප්‍රමාණ බව මෙහිලා සඳහන් කළ යුතු වෙනවා. 2011 සිට 2014 අතර කාලයේ සැම්බියාව පාලනය කළ මයිකල් සාටාගේ දූෂිත පවුල් පාලනය සැම්බියාව තව තවත් ආර්ථික ආගාධය තුළටම ඇද දැමුවා. එමෙන්ම උග්‍ර සෞඛය සහ පානීය ජලයෙන් බොහෝ දුක් විඳින ජනතාවක් සිටින රටක් ලෙසත් සැම්බියාව හඳුනා ගැනෙනවා.

චීනය විසින් සැම්බියාව තුළ සිදුකෙරෙන ඉදිකිරීම් ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය පිළිබඳව නිතර විවේචන එල්ල වෙමින් තිබෙනවා. ඊට ප්‍රධානතම උදාහරණය ලෙස චීන ආධාර මත තැනූ, සිම්බාබ්වේ දේශසීමාවේ සිට සැම්බියාවේ කොපර්බෙල්ට් ප්‍රදේශය දක්වා දිවෙන මහා මාර්ගය මෙහිලා දැක්විය හැකියි. මාස දහ අටක් වැනි කාලයක් තුළ මෙම මාර්ගය අබලන් වීමට පටන් ගත් බව සඳහන් වෙනවා. 2011 නොවැම්බරයේ දී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සැම්බියාවේ චීනය සතු පතල්වල සිදුවෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හෙළා දැක වාර්තාවක් ද නිකුත් කළා. දුර්වල සෞඛ්‍යය සහ ආරක්ෂණ රෙගුලාසීන් මෙම වර්තාව තුළින් වඩාත් ඉස්මතු කර දැක්වුණා.

ගෝලීය වසංගතය හමුවේ සැම්බියානු මුදල් ඒකකයේ කඩා වැටීම/ft.com

 

වර්තමානයේ චීන ජාතිකයන් 100,000කට අධික සංඛ්‍යාවක් සැම්බියාවේ නිල වශයෙන් වාසය කරන නමුත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි වන්නටත් පුළුවන්. චීන සංවර්ධන ආධාර මඟින් ස්ථාපිත කර ඇති විශේෂ ආර්ථික කලාපවල වැඩ කිරීමේ අවස්ථාව සහ එම කලාප තුළ පවතින අඩු බදු අනුපාත සහ වෘත්තීය අවස්ථා හේතුවෙන්,  චීන ජාතිකයින් මෙම කලාප තුළට සංක්‍රමණය වීමේ වැඩි නැඹුරුතාවයක් පවතිනවා. මෙහි ඇති ගැටළුව වන්නේ චීන ආධාර මඟින් දේශීය ජනතාවට සහ ව්‍යාපාරවලට සුළු ප්‍රතිලාභයක් ලබා දීමේ ප්‍රවණතාවය යි. මෙම විවේචනය කොතරම් පුළුල් ද යත්, එය සැම්බියානු දේශපාලකයන්ගේ මැතිවරණ වේදිකාවල අනිවාර්ය මාතෘකාවක් බවට පත්ව තිබුණා. නිදසුනක් වශයෙන්, 2011 දී හිටපු ජනාධිපති මයිකල් සාටා ජාතික මැතිවරණය ජය ගත්තේ පැහැදිලිවම චීන විරෝධී ආකල්ප මතින්. එසේ වුවත්, බලයට පත් සැම්බියානු නායකයින් ඒ සියළු දෝෂාරෝපණ පසෙකලා කිසිවක් නොවූ ආකාරයෙන් චීන ණය පසුපස යෑමට පටන් ගත්තා.

කෙසේ හෝ වේවා චීනය හමුවේ ඇති වැඩි ණය ප්‍රමාණය සහ අනෙකුත් ණය නිසා මේ වනවිට සැම්බියාව තම ආර්ථික භූමිකාව තුළ තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙනවා. චීන ණය ලෝකය තුළ රඟ දක්වන භූමිකාව ගැන සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීමට, අප මින්පෙර පලකළ “චීනයේ සැඟවුණු ණය ලබාදීම්” ලිපිය කියවන්න.

Cover photo: kectil.com

මූලාශ්‍රයයන්: britannica.com

cfr.org/

ft.com/

globalriskinsights.com/

Related Articles