Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිංගික හිංසනය, අධ්‍යාපනය හා ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික සමාජය 

පසුගිය දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ දී අත් අඩංගුවට ගැනුණා.සිඩ්නි පොලිසිය පසුගිය නොවැම්බර් මස 6 වන දා උදෑසන ඔහු අත් අඩංගුවට ගත්තේ, අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික ක්‍රියාවල නිරතවීමේ චෝදනා 4 කට අනුව යි. මේ සිදුවීම ආරංචි වීමෙන් පසුව, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඒ පිළිබඳ ව තම තමන්ගේ අදහස් දැක්වීමට පටන් ගෙන තිබෙනවා. ඉන් සමහරක්, චෝදනා කළ තැනත්තියට ඇඟිල්ල දිගු කරමින්, චූදිත ක්‍රීඩකයාගේ පාර්ශවය සාධාරණීකරණය කරමින් සිදු කෙරෙන අදහස් දැක්වීම් වෙනවා.

“ඇය මුලින්ම ඔහුට ලිංගික සම්බන්ධතාවක් සඳහා නිවසට ආරාධනා කළේ ඇයි?”, ‘ඇය සිව් වරක් අඩන්තේට්ටමට ලක්වන තුරු කිසිවක් නොකළේ මන්ද? “, “ඇයගේ අභිප්‍රාය වන්නට ඇත්තේ මුදල් උපයා ගැනීම යි” වැනි අදහස් රාශියක්, ක්‍රීඩකයා නිර්දෝෂී බැව් හුවා දැක්වීමට ඔවුන්ගෙන් ඉදිරිපත් වී තිබෙනවා. තවත් සමහරෙක්, මොවුන් දෙදෙනා හමු වූ අන්තර්ජාල යෙදවුම පෙන්වා දෙමින් පවසා ඇත්තේ, මෙම කාන්තාව එය භවිත කළ බැවින්, ඇය ‘පිටතට පෙනී යන තරම් හොඳ කාන්තාවක් නොවන බව යි. ක්‍රීඩාවට සම්බන්ධ කාන්තා අඩන්තේට්ටම් චෝදනාවලට ලක්ව සිටි දේශපාලනඥයෙකු වන එස්. බී දිසානායක ද ප්‍රසිද්ධියේ පවසා තිබුණේ “තරුණයන්, තරුණබව හා මේ කරුණ අරබයා ධනුෂ්කට පමණක් චෝදනා නැඟීම අසාධාරණ බව යි.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඒ පිළිබඳ ව තම තමන්ගේ අදහස් දැක්වීමට පටන් ගෙන තිබෙනවා – gettyimages.com

චෝදනා නැඟුණේ ලිංගික ක්‍රියා සඳහා පමණක් නොවේ

නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව, තිස් එක් වියැති ධනුෂ්ක ගුණතිලක හා විසි නව වියැති, චෝදනා ගොනු කළ කාන්තාව හමු වී ඇත්තේ, ‘ටින්ඩර්’ නම් සහකරුවන් සොයාගැනීම සඳහා නිර්මිත පරිගණක යෙදවුමක් මඟිනු යි. කිහිප විටක් ම දුරකථන සංවාද සහ කෙටි පණිවිඩ මඟින් ඔවුන් සාකච්ඡා කොට ඇති අතර, පසුගිය නොවැම්බර් මස දෙවන දා රෝස් බේ හී දී හමුවී ඇත්තේ, කාන්තාවගේ නිවස කරා යාමට පෙර යි. 

නිවසේ දී, පැය කිහිපයක් ඇතුළත ඔහු ඇයට කිහිප විටක් ම ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන අතර, ඔහු ඇයට කොණ්ඩමයක් පැලඳීමට යෝජනා කළ විට, එය ප්‍රතික්ෂේප කරමින් ඔහු ඇගේ ගෙල මිරිකාගෙන සිටි බව ද වාර්තාවල ලියැවී තිබෙනවා.

ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ ව චෝදනා

මෙම සිද්ධිය හුදු, ලිංගික ක්‍රියාවක් ප්‍රචණ්ඩකාරී බවට පත් වීමක් නොවේ. මෙය ලිංගික ක්‍රියාවක දී කැමැත්ත විමසීමේ ආකාරය සහ අනෙකාට එරෙහි ව තමන්ගේ බලය ක්‍රියාත්මක කිරීමේ සීමා වටහා ගෙන තිබීමේ අඩු ලුහුඬුතාවක් ද පෙන්වනවා. අවාසනාවකට මෙන් මෙය එවැනි එක ම සිද්ධිය නොවන අතර, මෙවැනි දේ වාර්තා වීම ද එතරම් දුලබ නැහැ.

අද මෙවැනි කාරණා බොහොමයක් සමාජයට විවර නොවී තිබෙන්නේ නැහැ – gettyimages.com

ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ ව චෝදනා නිතර ම සමාජයේ කතාබහට ලක් වන්නේ ඒවාට සුප්‍රසිද්ධ චරිත සම්බන්ධ වූ විට යි. මේ ආකාරයේ අඩන්තේට්ටම්වලට නිතර ම පාහේ ලක්වන සමාන්‍ය අයෙක් සමබන්ධයෙන් එතරම් පුවත් මැවෙන්නේ නැහැ. වර්තමානය වන විට සමාජ මාධ්‍යයට ප්‍රවිෂ්ඨ වීමට හා පරිශීලනය කිරීමේ හැකියාවට පින් සිදුවන්නට, මෙවැනි කාරණා බොහොමයක් සමාජයට විවර නොවී තිබෙන්නේ නැහැ. ඊට උදාහරණයක් ලෙස පසුගිය දිනෙක සමාජ මාධ්‍යයේ සංසරණය වූ, ජ්‍යෙෂ්ට පොලිස් නිලධරයකු කාන්තා පොලිස් නිලධාරිණියකට ප්‍රසිද්ධියේ අඩන්තේට්ටම් කරන වීඩියෝව ගත හැකි යි.

ප්‍රශ්නයේ මූලය

ඇත්තෙන්ම මේ ගැටලුවේ මූලය කොතැන ද? 2019 වසරේ සිදු කළ කාන්තාවන්ගේ යහපැවැත්ම සඳහා වූ සංගණනයකට අනුව, සෑම කාන්තාවන් පස් දෙනකුගෙන් අයෙක් ම සිය ජීවිත කාලය තුළ තම සැමියා හෝ පෙම්වතාගේ කායික හෝ ලිංගික හිංසනයට ගොදුරු වෙනවා. එම වාර්තාවට අනුව, වඩාත් බහුල ව සිදුවන හිංසනය වන්නේ සිය පෙම්වතා හෝ සැමියා විසින් අනර්ථයක් සිදුකරාවි යන බිය හේතුවෙන් තම කැමැත්තකින් තොරව ලිංගික කාර්යයන් හි නිරත වීමට සිදුවීම යි. එම කාන්තාවන්, එක් වරක් නොව, කිහිපවරක් ම මෙම හිංසනයට ලක් වී තිබෙනවා. 18 වැනි වියට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වූ බොහෝ කාන්තාවන් එය සිදු කර තිබෙන්නේ බලහත්කාරයෙන් ඊට යොමු කර ගැනීම නිසා යි.

සෑම විවාහක කාන්තාවන් පස් දෙනකුගෙන් දෙදෙනෙක් ම, තම කැමැත්ත නැති විටෙක, ලිංගික කර්තව්‍යයන් කිරීම සඳහා සැමියාට අවනත වූ බැව් මේ අධ්‍යයනයේදී හෙළි වුණා.

දරුවන් විෂයයෙහි ද මෙම දත්ත එලෙස ම අවුල් සහගත වෙනවා – gettyimages.com

දරුවන් සබැඳි හිංසන

දරුවන් විෂයයෙහි ද මෙම දත්ත එලෙස ම අවුල් සහගත වෙනවා. ජාතික ළමා රක්ෂණ අධිකාරියට අනුව 2021වසරේදී දරුවන් සබැඳි හිංසන 11,187 ක් වාර්තා වී තිබෙනවා. මින් 947 ක් ම (පෙර වසරට වඩා 82.8% ක වැඩිවීමකි ) ලිංගික හිංසන යටතට ගැනෙන අතර, 123 ක් දූෂණ සහ 246 ක් දරුණු ගණයේ ලිංගික හිංසන වෙනවා.

කාරණා තවත් නරක අතට පෙරළමින්, අන්තර්ජාලය ඔස්සේ හිංසන සිදුකිරීමත් පසුගිය වසරවල ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SLCERT) අනුව 2021 වසරේ දී එවැනි සිද්ධීන් 5938 ක් වාර්තා වී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 783.38% ක වැඩි වීමක්.

  දත්ත එකතු කිරීමේ විවිධ සීමා නිසා මෙම දත්ත, වාතාවරණයේ සැබෑ භයානක තත්ත්වය පිළිබඳ ව නිවැරදි ම චිත්‍රයක් මවන්නේ නැහැ. මෙලෙස වාර්තා වී ඇත්තේ තමන් ලත් අත්දැකීම් ලොවට හෙළි කරනට තීරණය කළ අය හා සබැඳි සිද්ධීන් පමණ යි. එලෙස හෙළි නොවූ සිද්ධීන් ද හෙළි වුවහොත්, මෙම වාතවරණය තවත් නරක අඩියක ඇති බැව් පෙනී යනු ඇති.

‘අපේ හතේ පොත’ නමින් පාසල් පොතක් – readsrilanka.com

අධ්‍යාපනය මඳ වීම සහ වේදිකා විස්තාරණය වීම

වර්තමානයේ උද්ගත වී ඇති ඉහත තත්ත්වයට වඩාත් ම හේතු වී ඇත්තේ, ඒ සබැඳි අධ්‍යාපනයේ – විශේෂයෙන් ම ලිංගික අධ්‍යාපනයේ මඳ බව යි. ලිංගික අධ්‍යාපනය විෂයයෙහි බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ ‘ ලිංගික සංසර්ගයේ නිරත වීම ‘ යන කොටසට පමණ යි. නමුත් සැබැවින් ම, එම විෂය ඊට වඩා බොහෝ අනු කොටස් ඇති විෂය පථයක් වෙනවා. ග්‍රාස් රූටඩ් ස්ටස්ට් හි නිර්මාතෘ හාන්ස් බිලිමෝරියාට අනුව, සංවේදනය, ගරු කිරීම සහ අනෙකා ගේ කැමැත්ත වටහා ගැනීම වැනි දේ ලිංගික අධ්‍යාපනය ඉගෙනීමේදී සහ සමාජයේ ජීවත් වීමේදී අතිශය වැදගත් වෙනවා.

සමාන්‍යයෙන්, මෙම කරුණු කුඩා කලයේ දී ම දරුවෙක් තුළ ස්ථාපිත කළ යුතු වෙනවා. විශේෂයෙන් යම් කිසිවෙක් සිය ඇකැමැත්ත හැඟවීම සඳහා ‘නැත’ යන්න ප්‍රකාශ කිරීම අවබෝධ කිරීම අතිශය ඇදගත් වෙන අතර, එය දිවියේ පසුකාලීනව ද වැදගත් වෙනවා. “අපට විවාහයෙන් පසු ද ලිංගික එක්වීමකට අනෙකාගේ කැමැත්ත අවශ්‍ය ද?, ලිංගිකව එක් වී සිටියදී ද සමහර ක්‍රියාවලට කැමැත්ත ගැනීම අත්‍යවශ්‍ය ද?” වැනි ප්‍රශ්න ඇසෙන්නේ එය නිසියාකාරව වටහා ගැනීමේ අඩු ලුහුඬුකමක් නිසා යි.

ලිංගික අධ්‍යාපනයේ මූලික පියවර

කෙසේ නමුත් රටක අධ්‍යාපන පද්ධතිය මෙම කරුණු සැලකීමෙහි ලා අපොහොසත් වේ නම්, මෙම අධ්‍යාපනය දරුවන්ට ලැබෙන්නේ කෙසේ ද? බොහෝ දෙනාට ලිංගික අධ්‍යාපනයේ මූලික පියවර ලැබෙන්නේ ලිංගික දර්ශන සහිත වීඩියෝ නැරඹීම මඟින්, තම සම වයස් යහළුවන්ගෙන් හා සමාජ මාධ්‍ය මගිනු යි. අවාසනාවකට, මේ දේ බොහොමයක් – ලිංගික දර්ශන සහිත වෙබ් අඩවි පවා – ලබා දෙන්නේ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධ සැබෑ රූපය නොවේ. මෙම වෙබ් අඩවි නරඹා ලිංගිකත්වය ඉගෙනගැනීම, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාව නරඹා රිය හැසිරවීම ඉගෙන ගන්නවා වැනි ය.

වඩාත් භයානක කාරණාව වන්නේ, මෙම වෙබ් අඩවි සම්මතයෙන් පිට කාරණා සමාජගත කිරීමෙහි ලා ක්‍රියාකාරී වීම යි. පෝන් හබ් වැනි වෙබ් අඩවි මෙවා විකාශය කර මුදල් ඉපැයීමට ක්‍රියා කරන අතර, තවත් සමහර වෙබ් අඩවිවල අහම්බයකින් මේවා පල වූ පසු, වහාම ඉවත් කර දැමුවද, ඒ වන විට විය හැකි හානිය වී අහවර ය. වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ විවිධ දෑ සංසරණය වන වේගයත් සමඟ, ඒ වන විටත් විශාල විනාශයකට එය මුල පුරා අවසන් ය.

දරුවන් තුළ ලිංගිකත්වය පිළිබඳ ව ස්වභාවික නොවන කාරණා සහ අපේක්ෂා පැලපදියම් වේ – gettyimages.com

 ලිංගිකත්වය පිළිබඳ ව ස්වභාවික නොවන කාරණා

මෙම හේතු නිසා තරුණ දරුවන් තුළ ලිංගිකත්වය පිළිබඳ ව ස්වභාවික නොවන කාරණා සහ අපේක්ෂා පැලපදියම් වේ. මේවා හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළහොත්, මෙම අපේක්ෂා ඔහු හෝ ඇය වැඩිහිටියන් බවට පත් වී ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන කාලය දක්වා ම පැවතිය හැකි ය. විශේෂයෙන් කලින් සහකරුවාගෙන් පලිගැනීම සඳහා වෙනත් අයකු සමඟ ලිංගිකව එක් වීම, දැන හඳුනා ගත් වන ම ලිංගික ක්‍රියා සිදුකිරීම වැනි දෑ තරුණ තරුණියන්ගේ හිස් තුළට යන්නේ මෙම වෙබ් අඩවි මඟිනි. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලිංගික එක්වීම්වලදී අනෙකාගේ කැමැත්ත පිළිබඳ ව වැරදි චිත්‍රයක් ඔවුන් තුළ මැවෙන අතර,  ලිංගික අඩන්තේට්ටම් සංඛ්‍යාව ලොව දිනෙන් දින වැඩි වන්නේ ඒ නිසා ය.

ප්‍රධාන මාධ්‍ය ද සමහර විටෙක මෙම කාරණාවලට උඩගෙඩි දෙන සෙයක් පෙනේ – – gettyimages.com

ප්‍රධාන මාධ්‍ය ද සමහර විටෙක මෙම කාරණාවලට උඩගෙඩි දෙන සෙයක් පෙනේ. ගුණතිලකගේ සිද්ධිය පුරාවට ම, එහි බරපතලකම අඩු වන පරිදි කිහිප විටක ම මාධ්‍ය හැසිරෙනු දැකගත හැකි විය. කාටූන් මඟින් විසුළු ස්වරූපයෙන් එම සිද්ධිය දැක්වීම මෙන් ම සමහර වැදගත් කාරණා පසෙක ලා සිද්ධිය වාර්තා කිරීම නිතර ම පාහේ දැකගත හැකි විය.

වර්තමාන උත්සාහ හා ඒ සබැඳි අභියෝග

මෙම වාතාවරණය වෙනස් කිරීමට උත්සාහ ගෙන නැතුවා ද නොවේ. උදාහරණයක් ලෙස,  SLCERT ආයතනය, සමාජ මාධ්‍ය සම්බන්ධ සිද්ධීන් වාර්තා කරන්නට ත්‍රෛභාෂික උපකාරක පද්ධතියක් සකසා තිබේ. පසුගිය මාර්තු මස, SafeWebLK ආරම්භ කෙරුණේ අන්තර්ජාලයේ දී අඩන්තේට්ටම්වලට ලක්වීමෙන් ආරක්ෂා වීමේ ක්‍රියා ක්‍රියා පටිපාටියක් නිර්මාණය කිරීමි අභිප්‍රායෙනු යි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනය විසින් පසුගිය දා ‘ආස්ක් ශ්‍රී’ (Ask Sri) නම් චැට් බොට් පද්ධතියක්, ලිංගික අධ්‍යාපනය හා ගැටලු විසඳීමට සහාය වීමෙහි ලා හඳුන්වා දී ඇත.

වර්තමාන උත්සාහ හා ඒ සබැඳි අභියෝග – www.youtube.com/@ShhhTalkshow

2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශයත් ‘අපේ හතේ පොත’ නමින් පාසල් පොතක් නිකුත් කරමින් 7 වැනි වසරට ලිංගික අධ්‍යාපනය (නැවත) හඳුන්වා දීමට උත්සාහ කළේ ය. මෙය ලිංගිකත්වයට ඇති කැමැත්ත සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව විෂය නිර්දේශයට අනුකූල ව සැකසූ ග්‍රන්ථයක් වන අතර, අවාසනාවට මෙන්, ස්වයංවින්දනය සඳහා එය යොදා ගැනීමට හැකි බැව් දක්වමින්, සමහර ආගමික කණ්ඩායම්වලින් එයට එල්ල වූ දරුණු වාග් ප්‍රහාර මත එය හකුළා ගැනීමට සිදු විය. ඒ 2005 වසරේ පටන් එහි අන්තර්ගත කරුණු විෂය නිර්දේශයේ පවතින වටපිටාවක ය.

Grassrooted හි සාමාජිකාවක වන පබා දේශප්‍රිය කරුණු දක්වන්නේ මෙවැනි සාධනීය උත්සාහයන් පවා එතරම් මල්ඵල නොගැනීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්‍රමවේදය ලිංගික අධ්‍යාපනය වැනි විෂයයක් ඉගැන්වීමෙහි ලා සුදුසු ආකාරයෙන් සන්නද්ධ වී නොමැති නිසා බව ය.

 දේශපාලනික සහ ආගමික බලපෑම්

බිලිමෝරියා පවසන ආකාරයට, ලිංගිකත්වය සම්බන්ධයෙන් ස්මාජයේ දීර්ඝකාලීන සාධනීය තත්ත්වයක් ළඟා කරගැනීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය විශාල වශයෙන් වෙනස්කම්වලට භාජනය කළ යුතු ය. උදාහරණයක් ලෙස ගුරුවරුන්ට එවැනි විෂයයක් ඉගැන්වීම සඳහා වූ දක්ෂතා වැඩිදියුණු කිරීම සිදු කළ යුතු ය. අවාසනාවට දේශපාලනික සහ ආගමික බලපෑම්වලින් ගහන මෙරට සාම්ප්‍රදායික සමාජයක එවැන්නක් කරන්නට නම් රජය විශාල තල්ලුවක් ඒ සඳහා දිය යුතු වේ. ඒ වන තුරු  ධනුෂ්ක සම්බන්ධ අඩන්තේට්ටම් සහ බලහත්කාරකම් කිරීම වැනි සිද්ධීන් අපට  නිතර ඇසෙනු ඇත.

පරිවර්තනය: දිනිඳු ඒකනායක  

කවරයේ ඡායාරූප සැකැස්ම - Roar Media/Jamie Alphonsus

Related Articles