මේ වන විට අන් කවරදාකටත් වඩා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දැඩි ඉල්ලුමක් මෙරට තුළ නිර්මාණය වී තිබෙනවා. 80 දශකයේ සිට මෙරට ආර්ථිකයේ ශක්තිමත්භාවය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ අංශයක් ලෙස විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හඳුන්වා දිය හැකි යි. මෑතක සිට වෙනත් වසරවලට සාපේක්ෂ ව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩු වී තිබෙනවා.
විනිමය අනුපාතිකයේ විවිධ ගැටලු හේතුවෙන් උන්ඩියල් හා හවාලා වැනි නිත්‍යනුකූල නොවන ක්‍රම හා මාර්ග හරහා මෙරටට මුදල් එවීම් ඉහළ යාම, කොවිඩ් 19 හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩුවීම වැනි කරුණු මේ සඳහා බලපා තිබෙනවා. රටේ මේ වන විට ඇති වී තිබෙන උග්‍ර මුල්‍ය අර්බුදය සඳහා මෙම ගැටලුව තදින් බලපා තිබෙන අතර මෙම ගැටලුව නිරාකරණය කිරීම උදෙසා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය මේ වන විටත් යොමු වී තිබෙනවා.
විදෙස් ප්‍රේෂණ ඇයි මෙතරම් වැදගත්
වෙනත් රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, ආර්ථිකය තුළ වැදගත් කර්තව්‍යක් ඉටු කරනවා. මෙම ප්‍රේෂණ දේශීය පරිභෝජනය හා ආයෝජනය උත්තේජනය කිරීමට සමත් වෙනවා. ඊට අමතර ව ජාතික ආර්ථිකයේ ඉතිරිකිරීම් ඉහළ නැංවීම හා මූල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීම සඳහා ද වැදගත්. මේ මඟින් විදේශ විනිමය හිඟය පියවාගැනීමෙන් ගෙවුම් ශේෂ හිඟය (අපනයන ආදායම – ආනයන වියදම ) පියවා ගැනීමටත් එය උපකාර වෙනවා.
විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල ස්ථාවරත්වය නිසා ඇතැම් රටවල් ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ලබා ගැනීම සඳහා එය ඇපයක් ලෙසත් භාවිත කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන් ම ලෝක බැංකුව ද පිළි ගත් ක්‍රමයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. අඛණ්ඩ හා ඉහළ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලබා ගතහොත් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට එය මහඟු රුකුලක් වෙනවා.
ඉහළ ගිය විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, ක්ෂණික ව කඩා වැටීම
1980 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 152ක් වූවා. එය, එම වසරේ දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට 3.8%ක්. 2016 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ යනවා. 2020 වසරේ දී එය ඩොලර් බිලියන 7.1ක මටම්මක පවතිනවා. එය, 2020 වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් 8.8%ක අගයක් ලෙස දක්වන්නට පුළුවන්. 1980 වසරේ සිට 2020 වසර දක්වා මිලියන හයකට අධික සංඛ්‍යාවක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති අතර ඔවුන් එවූ මුළු ප්‍රේෂණවල වටිනාකම ලෙස සටහන් වන්නේ ඩොලර් බිලියන 100ක්. ක්‍රමක්‍රමයෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාමට බලපෑ ප්‍රධානත ම හේතුව ලෙස රැකියා සඳහා වාර්ෂික ව පිටත් ව යන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම දැක්විය හැකි යි.
2019 වසරේ ශ්‍රී ලංකාවෙන් විදෙස් රැකියා සඳහා ගිය ශ්‍රමිකයන් ගණන 203,075 ක් ලෙස සටහන් වෙනවා. 2020 වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ගුවන් ගමන් තහනම් පනවනවා. ඒ හේතුවෙන් 2020 වසරේ දී මෙරටින් ගිය විදෙස් ශ්‍රමිකයන් ගණන ලෙස සටහන් වන්නේ 53,708ක්. එය 2020 වසරේ ප්‍රේෂණ ඩොලර් බිලියන 7.1කට වඩා වැඩි නොවීමට බලපෑ ප්‍රධානත ම කරුණ ලෙස දක්වන්නට පුළුවන්. ඊටත් වඩා දරුණු අර්බුදයක් නිර්මාණය වන්නේ 2021 හා 2022 වසරවල යි.
කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් 2021 වසරේ මෙරට ලද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය බිලියන 5.5 දක්වා අඩු වෙනවා. එය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් 6.5 % දක්වා අඩුවීමක්. ඇතැම් රටවල් සම්පූර්ණයෙන් ම වසා දැමීම, වසංගතය හේතුවෙන් ඇතැම් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට නැවත පැමිණීම, ඇතැම් ශ්‍රමිකයන් රැකියා අවසන් කිරීම, සංචරණ සීමා හේතුවෙන් ඔවුන් පිඩාවට පත්වීම හා රැකියා සඳහා පිටත්ව යාමේ අවිනිශ්චිත බව වැනි කරුණු ප්‍රේෂණ අඩුවීමට බලපාන හේතු ලෙස සඳහන් කරන්නට පුළුවන්.
ප්‍රේෂණ මෙරටට එවීමේ දී අවිධිමත් මාර්ගවලට වැඩි වශයෙන් යොමුවීම
2021 වසරේ අග භාගයේ දී මෙන් ම 2022 වසරේ දී ද මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය අනෙක් වසරවලට වඩා අඩු අගයක් පෙන්නුම් කරනවා. විනිමය අනුපාතිකය යටතේ මෙරට මහබැංකුව ඩොලරයට ගෙවන මුදලට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් අවිධිමත් හා නීතිවිරෝධී උන්ඩියල් හා හවාලා වැනි ක්‍රම ඔස්සේ ලබා දෙනවා. බොහෝ ශ්‍රමිකයන් මේ ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වෙනවා.
සාමාන්‍යයෙන් මෑතකාලීන ඕනෑම වසරක සෑම මසක ම ලැබෙන ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 400 -600 අතර පවතිනවා. සමහර මාසවල එය මිලියන 700 පවා ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසරේ අගභාගයේ සිට 2022 වසරේ මේ දක්වා එකම මසකවත් විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 400 ඉක්මවා ගොස් නෑ. එය බරපතල අර්බුදයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.
රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමඟ මේ වන විට විදෙස් ගතවන ශ්‍රමිකයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2022 වසරේ මේ වන තෙක් සෑම මාසයක ම එම අගය මාසයකට ශ්‍රමිකයන් 20000 ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවා. එය, මෙම ක්ෂේත්‍රයේ ධනාත්මක ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකි අතර අනාගතයේ දී වැඩිපුර ප්‍රේෂණ මෙරටට ලැබීමට එම කරුණ හේතුවක් විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ප්‍රේෂණ ලැබීම ඉහළ නංවා ගැනීමට සුදුසු පියවර මොනවා ද ?
“මෙරට විධිමත් හා අවිධිමත් මූල්‍ය වෙළෙඳපොළ දෙකේ පවතින සැලකිය යුතු විනිමය අනුපාත වෙනස්කම් අඩු කිරීම සඳහා ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ තරගකාරී විනිමය අනුපාතිකයක් හැකි සෑම විට ම රජය පවත්වා ගැනීම මඟින් හවාලා උන්ඩියල් ක්‍රමවලට ශ්‍රමිකයන් ඇදී යාම වැලැක්විය හැකි යි. අවිධිමත් ක්‍රම හරහා ගනුදෙනු කිරීමේ ඇති අවදානම හා ඉන් රටට ඇතිවන අනිටු ප්‍රතිඵල ගැන මහජනතාව දිගින් දිගට ම දැනුම්වත් කිරීම කළ යුතු වෙනවා. විදේශ රැකියාවල දී මැදපෙරදිග රටවල් මත වැඩිපුර යැපීමෙන් බැහැර වී ඉහළ වැටුප් ගෙවන විකල්ප රටවල් අප සොයා ගත යුතු වෙනවා. දකුණු කොරියාව, ජපානය, සිංගප්පුරුව හා යුරෝපා රටවල් සමඟ රජය හැකි ඉක්මනින් ද්විපාර්ශවික ගිවිසුම්වලට එළඹිය යුතු යි.
විදේශත ශ්‍රමිකයන්ට ඉහළ තීරු බදු සහන, විදුලි මෝටර් රථ ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම හා බැංකු ණය පහසුකම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කිරීම වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කළ යුතු යි. මෙරටට ගලා එන ප්‍රේෂණ ස්ථාවරව පවත්වා ගැනීමට නම් ශ්‍රමිකයන්ගේ නිපුනතා සංවර්ධනය සඳහා ද රජය ආයෝජනය කළ යුතු වෙනවා.”
මෙලෙස අදහස් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසුකිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තිලක් රංජීව යි.
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණවල පැහැදිලි අඩුවක් මෑතකාලයේ දී දකින්නට ලැබෙන අතර ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කුමක් කළ යුතු ද ?