ලොව පුරා තැනින් තැන විවිධාකාරයේ පරිසර පද්ධතීන් පවතිනවා. විවිධ දේශගුණික තත්ත්වයන් මෙන්ම භූගෝලීය පිහිටීම් වැනි සාධක මේ විවිධත්වයට බලපානවා. ශ්‍රී ලංකාව ඇතුළු තෙත්, ඝර්ම කලාපීය රටවල හොඳින් වැඩෙන ශාක හා සතුන්ට නිරුදක කතරක හෝ ඉතා ශීත ධ්‍රැවාසන්න දේශගුණයක වැඩීමේ හැකියාව නැහැ. එමෙන්ම ඒ ඒ පරිසරවල ජීවත් වන සතුන් හා ශාකවල ශ්‍රී ලංකාව වැනි, ඉහළ ආර්ද්‍රතාවයක් සහිත පරිසරවල ජීවත් වන්නටත් බැහැ.
විවිධ පරිසරවල ජීවත් වීම සඳහා එහි වූ සතුන්ට විවිධාකාරයේ ව්‍යුහමය හා චර්යාමය අනුවර්ථන පිහිටා තිබෙනවා. මේවා ඒ ඒ සතුන්ට අනන්‍ය වෙනවා.
ධ්‍රැවාසන්න පෙදෙස් සැලකීමේ දී සාමාන්‍ය මිනිසෙකුට කිසිදු ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව එම පෙදෙස්වල ජීවත් වන්නට නොහැකියි. කෙසේ නමුත් කිසිදු අපහසුතාවක් නොමැතිව එම පරිසරවල පහසුවෙන් ජීවත් වන සතුන් විශේෂයන් සිටිනවා. ආක්ටික් වෘත්තයට අයත් පෙදෙස් සැලකීමේ දී එවැනි සතුන් විශේෂ රාශියක්ම අපට හමුවෙනවා. ඔවුන් අධික ශීතලට ඔරොත්තු දීම සඳහා හැඩගැසී ඇත්තේ කෙසේ ද?
ආක්ටික් වෘත්තය තුළ දේශගුණය
ආක්ටික් වෘත්තය තුළට ගැනෙන පෙදෙස වන්නේ ලොව උතුරු අක්ෂාංශ 66 1/2ට වඩා උතුරින් ඇති ප්‍රදේශය යි. මේ පෙදෙසේ සෑම කොටසකටම පාහේ අඩු වැඩි වශයෙන් බලපවත්වන දේශගුණික තත්ත්ව තිබෙනවා. විශේෂයෙන් මේ පෙදෙස්වලට ගිම්හානයේ උපරිමයේ දීත් හිරු එළිය පතිත වන්නේ අංශක 40ට වඩා වැඩි ආනතියකින් යුතුව යි. එමෙන්ම ශීත සමයේ උපරිමයේ දී හිරු එළිය පතිත වන්නේ අංශක 90ක් තරම් ආනතව යි. මේ නිසා කෙටි ගිම්හාන මෙන්ම අධික ශීතල සහිත දීර්ඝ ශීත සමයන් මෙහි ඇතිවෙනවා. මේ හේතුවෙන් මෙහි ශාක ද වැවෙන්නේ මඳ වශයෙන්. එම නිසා මෙහි ජීවත් වන ජීවීන්ට මුහුණදෙන්නට වන අභියෝග බොහොම යි.
විවිධ සතුන් දක්වන අනුවර්තන
ලෙමින්ග් නම් සත්ත්වයින් ආක්ටික් තුන්ද්‍රා ආශ්‍රිතව ජීවත් වන මීයන් විශේෂයක්. තුන්ද්‍රා පරිසරවල ඇත්තේ තැනින් තැන වැඩුණු කුඩා ශාක කිහිපයක් පමණ යි. මේවා කිසි ලෙසකින් මීයන් වැනි සතුන්ට ආරක්ෂා වී ජීවත් වන්නට සෑහෙන්නේ නැහැ. එම නිසා මේ සතුන් ජීවත්වන්නේ හිම ස්ථරයෙන් පහළට හාරාගත් ගුල්වල යි. මොවුන් ඉතා දිගු ලෝමවලින් ආවරණය වී තිබෙන නිසා ශීතල දැනෙන්නේ අඩුවෙන්. අනෙක් අතට ගුල වටා ඇති හිම ස්ථරය ඊග්ලූවක මෙන් තාප පරිවාරක ස්ථරයක් ලෙස ක්‍රියා කරන බැවින් ඒ තුළට අවට ඇති ශීතල කාන්දු වන්නේත් අඩුවෙනුයි. මේ හේතු නිසා මෙලෙස ගුල් හාරා ජීවත් වීම එම සතුන් සාර්ථක ලෙස සිදු කරනවා.
තුන්ද්‍රා පරිසරයේ ජීවත් වන තවත් සත්ත්ව විශේෂයක් වන්නේ ආක්ටික් සාවා යි. මේ සාවුන් විශේෂයටත් ලොව ජීවත් වන වෙනත් සාවුන් විශේෂවලට වඩා දිගට වැවුණු ලෝම පිහිටා තිබෙනවා. මේ නිසා යම් පමණකට කටුක ශීතලෙන් ඔවුන් ආරක්ෂා වෙන අතර චර්යාමය වශයෙනුත් ඔවුන් ශීතලෙන් දැනෙන බලපෑම අවම කරගන්නවා. මේ සාවුන් නිතරම විශාල රංචු වශයෙන් එකට සිටින අතර සමහර විටෙක මොවුන් රංචුවක සාවුන් සිය ගණනක් සිටිනවා. මේ හේතුවෙන් එකිනෙකා ගේ ශරීර උෂ්ණත්වය කරණකොට ගෙන ශීතලෙන් ඔවුනට වන බලපෑම අවම වෙනවා.
ආක්ටික් වෘත්තය තුළ ජීවත් වන ආක්ටික් ලේනුන් අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා අපූරු ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ එක දිගට මාස 7ක් පමණ නිදා ගැනීමෙනුයි. ආක්ටික් වෘත්තයට මාස 7ක පමණ දීර්ඝ මෙන්ම කටුක ශීත සමයක් එළැඹෙන අතර, ඒ කාලයට පෙර පරිසරයෙන් විවිධ තාප පරිවාරක ද්‍රව්‍ය සොයාගෙන, ඒවායෙන් තම කූඩුව සම්පූර්ණයෙන් ආවරණය කරගන්නා ඔවුන් ශීත සමය එළඹීමත් සමග දීර්ඝ නින්දකට පිවිසෙනවා. මෙහිදී ඔවුන්ගේ ශරීරවල පරිවෘත්තීය ක්‍රියා සෑහෙන තරමකින් අඩපණ වන අතර හෘද ස්පන්දනයත් විශාල ලෙස පහළ බහිනවා. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 0කට ආසන්න අගයකට පත් වෙනවා. මොවුන් මේ ආකාරයෙන් නැවත උණුසුම් සමය එළඹෙන තුරු සිටින අතර ඒ කාලය උදා වූ සැනින් අවදි වී නැවත පෙර ලෙසම ක්‍රියාශීලීව ඔබ මොබ සැරිසරනවා.
ආක්ටික් තුන්ද්‍රාවල ජීවත් වන විශාල සත්ත්වයින් සැලකීමේ දී මස්ක් ගවයින්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔවුන්ගේ ශරීරවල ඝණව වැඩී ඇති තද පැහැති ලෝම කාර්යයක්ෂ්ම තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. මේ ලෝමවල විශේෂත්වයක් වන්නේ ඒවායේ ස්ථර තුළ විශාල වශයෙන් හිස් අවකාශ පැවතීම යි. මේ නිසා සෑහෙන තරමකින් තාප පරිවරණය වීමක් සිදුවෙනවා. මීට අමතරව ආක්ටික් සාවුන් මෙන් මස්ක් ගවයින් ද විශාල රංචු වශයෙන් එකට සිටිමින් අධික ශීතලෙන් ආරක්ෂා වෙනවා.
හිම වලසා හා අනුවර්ථන
ආක්ටික් තුන්ද්‍රාවල ජීවත් වීමට ඉතා හිතකර අනුවර්ථන රාශියක්ම ඇති සත්ත්වයා ලෙස සැලකෙන්නේ හිම වලසා යි. හිම වලසා සතුවත් ඉතා ඝණව වැඩුණු ලෝම වැස්මක් ඇති අතර එය මේදමය ද්‍රව්‍යකින් තෙමී පවතිනවා. මේ නිසා ඒවායේ තාප පරිවාරක හැකියාව කිහිප ගුණයකින් වැඩි වෙනවා.
අධ්ක ශීතලෙන් ආරක්ෂා වීම සඳහා හිම වලසෙකුගේ ශරීරයේ පවතින තවත් සුවිශේෂීම අනුවර්තනයක් වන්නේ ඔවුන්ගේ සමට යටින් ඉතා තද මේද ස්ථරයක් පැවතීම යි. මේ නිසා ආක්ටික් තුන්ද්‍රාවල වෙසෙන අනෙක් සතුන් බොහෝ දෙනෙකුට වඩා ශීතල සුළඟ හා ජලය විඳදරාගැනීමේ හැකියාව හිම වලසුන්ට තිබෙනවා.
පසුවදන
ආක්ටික් වෘත්තයට උතුරින් පවතින් කටුක දේශගුණය සහිත පරිසරයක ජීවත් වීම මිනිසෙකුට නම් ඉතා දුෂ්කර කාර්යයක් වන්නේ ඒ සඳහා වූ අනුවර්තන කිසිවක් ඔවුනට පිහිටා නැති නිසා යි. එය ඒ ආකාරයටම ඉහත දැක්වූ සතුන්ට ද අනෙක් අතට බලපවත්වනවා. සමස්ථයක් වශයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මේ සතුන්ට ඉතා අහිතකර ලෙස බලපානවා. මේ නිසා අනාගතයේ ඔවුනට ඔවුන් රුචි පරිසරවල ජීවත් වීම අභියෝගයක් වෙනු ඇති.