ස්වභාව ධර්මයේ බොහෝ ක්‍රියාවලීන් සිදුවෙන්නේ හරි පුදුමාකාර විදිහට. මේ හැම ක්‍රියාවලියක්ම වගේ තවත් ක්‍රියාවලීන් මත තමයි රඳා පවතින්නේ. ස්වභාව ධර්මයේ සමතුලිතතාවය පවත්වාගන්න මේ ක්‍රියාවලීන් නිර්මාණය වෙලා තියෙනවා. සත්ත්ව ලෝකයත් ශාක ලෝකයත් එක්කරන එවැනි අමුතුම ක්‍රියාවලියක් ගැන යි මේ කතාව.
කූඩිත්තෝ කියන්නේ ශාකවල යුෂ උරාබොන කෘමි සත්ත්ව කොට්ඨාශයක් නෙහ්. මේ අයගේ මලපහ පැණි රසයි කියලා ඔබ සමහර විට දන්නවා ඇති. ඒක ටිකක් විතර අමුතු කතාවක් වුණාට, කූඩිත්තන් ගැන තියෙන එකම අමුතු කතාවත් මේක නෙවෙයි!
කවුද මේ කූඩිත්තෝ?
සත්ත්ව වර්ගීකරණයට අනුව කියනවා නම් කූඩිත්තෝ (Aphids) කියන්නේ ඇනිමාලියා රාජධානියේ ආත්‍රපෝඩා වංශයේ ඉන්සේක්ටා කියන වර්ගයට අයිති වෙන හෙමිප්ටෙරා ගෝත්‍රයේ කට්ටියක්. මේ ගෝත්‍රයට තමයි සිදුරුකර යුෂ උරාබොන කෘමීන් අයිති වෙන්නේ. මෙයට උදාහරණ විදිහට මකුණා, ගඳ කුරුමිණියා, සහ රැහැයියා හඳුන්වන්න පුළුවන්.
කූඩිත්තා කියන්නේ ශාක සිදුරු කරලා ඒවායේ තියෙන යුෂය උරා බොන පිරිසක්. කූඩිත්තෝ විශේෂ 4000ක් විතර ලෝකේ ජීවත් වෙනවා. ඒ අය එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ යුෂ උරාබොන ශාක වර්ග අනුව. ඒ කියන්නේ ඇපල් කූඩිත්තෝ, ගෝවා කූඩිත්තෝ, බඩ ඉරිඟු මුල්වල ඉන්න කූඩිත්තෝ විදිහට බෝග වර්ගවලට එන කූඩිත්තෝම විශේෂ 250ක් විතර ඉන්නවා.
කූඩිත්තන් හොයන ශාක යුෂ තියෙන්නේ ශාකය ඇතුළේ ප්ලෝයම නළ මාර්ගවල. මේ යුෂය තමයි ශාකවලට තියෙන වටිනාම සම්පත. ශාක පත්‍ර සෛලවල ඉඳලා මුල් දක්වාම ප්ලෝයම නාළ දිවෙනවා. ශාක පත්‍රවල නිෂ්පාදනය කරපු පිෂ්ඨය සුක්‍රෝස් (සීනි) බවට හරවලා, ගබඩා කරන තැන්වලට පරිවහනය කරන්නේ ප්ලෝයම දිගේ යි. සමහර ශාක වර්ගවල නිපදවන යුෂයේ ලීටරයක තියෙනවා අපි බොන සිසිල් බීම ලීටරයක තියෙනවාට වඩා වැඩි සීනි ප්‍රමාණයක්. මොකද ප්‍රභාසංස්ලේෂණයෙන් දිගටම කරන්නේ පිෂ්ඨය නිපදවලා සීනි විදිහට පොම්ප කරන එකනේ. “පොම්ප කරනවා” කියන වචනය මෙතනදි භාවිතා කරන්න වුණේ ශාක පත්‍රවල අපිචර්මීය සෛල ඇත්තටම පොම්පයක් වගේ ක්‍රියාකරන නිසා යි. ඒ සෛලවල නිපදවන පීඩනය ඉතා විශාල යි. මේ පීඩනය හඳුන්වන්නේ “ශූනතා පීඩනය” කියලා. සාමාන්‍යයෙන් කිලෝ පැස්කල් 600ක් විතර ශුනතා පීඩනයක් ශාකවල නිර්මාණය වෙනවා. උපරිමය කිලෝ පැස්කල් 2000ක් විතර වෙන ශාකත් තියෙනවා. ඒ කියන්නේ අපි භාවිතා කරන සාමාන්‍ය ටයරයක් ඇතුලේ වායු පීඩනය වගේ 9 ගුණයක් විතර පීඩනයක්.
කූඩිත්තන් සතුව තියෙනවා නැවෙන සුළු උල් කටුවක් හෙවත් තුඩක්. ඒක භාවිතා කරලා ශාක බිත්තියේ සෛල අතරින් ගිහින් සීනි පරිවහන පද්ධතියට වෙනකන් මාර්ගයක් හදාගන්න කූඩිත්තට පුළුවන්. ඉන් පස්සේ අර යුෂය ඇඳලා ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. මොකද ඒක තියෙන්නේ අධික පිඩනයක නෙහ්. ඒ නිසා කූඩිත්තට තියෙන්නේ එයාගේ වෑල් එකක් අරින්න විතර යි. පීඩනය හින්දා යුෂය නිකන්ම එයාගේ ආහාර මාර්ගයට තල්ලු වෙනවා.
යුෂ උරා බීමට ශාකවල විරෝධය
ශාකවල නිෂ්පාදනය වන සීනි යුෂය ආරක්ෂා කරගන්න ශාක සතුව ස්වාභාවිකවම හැදුණු ආරක්ෂණ ක්‍රමවේද තියෙනවා. ඇතැම් ශාක පත්‍ර සහ නටු ඝනකම් බිත්තිවලින් සමන්විත වීම, ඇතැම් ඒවායේ බූව පිහිටා තිබීම සහ සිදුරු කළ විට ඉටි වැනි ඇලෙනසුළු දියර වෑස්සීමට සැලැස්වීම වගේ දේවල් ඒවගේ ආරක්ෂණ ක්‍රම විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ශාකවල යුෂයෙන්ම මේ ආරක්ෂා වීම සිදු කරනවා.
යම් කෘමියෙක් ශාකයක් සිදුරු කරලා යුෂය උරා බොන අවස්ථාවේ දී ශාක යුෂය ඒ කෘමියාගේ සෛල හා ගැටෙනවා. කෘමියාගේ සෛලවල තියෙන වතුර ප්‍රමාණය අර යුෂයේ තියෙන වතුර ප්‍රමාණයට වඩා වැඩියි. මොකද යුෂයේ වැඩිපුර අඩංගු වෙන්නේ සීනි නේ. ඉතින් සාන්ද්‍ර සීනි තියෙන පැත්තට වතුර ගමන් කරන්න පටන් ගන්නවා. මේක “ආස‍්‍රැතිය” කියල තමයි විද්‍යාවේ දී හඳුන්වන්නේ. මෙහෙම ඇදගන්න වතුර යුෂය එන මාර්ගය දිගේ ශාකය දෙසටම යනවා. එතකොට කෘමියා දිගටම යුෂ උරාබොද්දී කෘමියාගේ ඇඟේ තියෙන වතුර ශාකයට උරාගන්නවා. අවසානයේ දී කෘමියා වියළිලා මිය යනවා.
හැබැයි බොහොමයක් කූඩිත්තන්ගේ තියෙනවා මේකට විරුද්ධව වෙනම සැලැස්මක්. එයාලගේ ආහාර මාර්ගයේ එන්සයිම විශේෂයක් තියෙනවා “සුක්‍රේස්” කියලා. මේ සුක්‍රෝස් නෙමෙයි, සුක්‍රේස්. ඒ එන්සයිමය මඟින් සුක්‍රෝස් අණු දෙකක් අරගෙන ෆ්‍රක්ටෝස් අණු එකක් සහ ඒකක තුනක් තියෙන සුක්‍රෝස් අණු එකක් හදනවා (සාමාන්‍ය සුක්‍රෝස් අණුවක ඒකක දෙකයි). ෆ්‍රක්ටෝස් අණුව විතරක් භාවිතා කරලා කූඩිත්තා ශක්තිය නිපදවා ගන්නවා. අර ඒකක තුනක් තියෙන සුක්‍රෝස් අණුව විතරක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ කලින් තිබුණු සුක්‍රෝස් අණු දෙක වෙනුවට දැන් තියෙන්නේ සුක්‍රෝස් අණු එක යි. ඒ කියන්නේ සමස්තයක් විදිහට සුක්‍රෝස් අණු ගාණ දෙකෙන් පංගුවට අඩුවෙනවා. සුක්‍රෝස් අණු අඩු වෙනවා කියන්නේ සුක්‍රෝස් සාන්ද්‍රණය අඩුවෙනවා කියන එක. සාන්ද්‍රණය අඩු නම් ආස‍්‍රැතිය නිසා කූඩිත්තාගේ ශරීරයෙන් ජලය ඇද ගන්න එකත් අඩුවෙනවා. මේ නිසා කූඩිත්තාට පුළුවන් වෙනවා එක දිගට දින කීපයක් වුණත් යුෂ උරා බොන්න.
කූඩිත්තෝ ගැන පුදුම හිතෙන දේවල්
ග්‍රීන් පීච් කියන කූඩිත්තෝ විශේෂයේ බෝවීම ටිකක් වෙනස්. සරත් සෘතුවේ දී ගැහැණු කූඩිත්තෙක් සහ පිරිමි කූඩිත්තෙක් අතර එක්වීමෙන් ගැහැණු සතා බිත්තර දමනවා. ඉන් පස්සේ අවුරුද්දේ වසන්ත සෘතුව වෙද්දී ඒ බිත්තර පුපුරලා පැටව් එළියට එනවා. හැබැයි ඒ එන හැමෝම ගැහැණු සතුන්. ඒ වගේම ඒ අය පරිණත වුණාම බිත්තර දාන්නේ නැහැ. ඒ වෙනුවට එයාල වගේම අයව පැටව් විදිහට බිහි කරනවා. වැඩේ කියන්නේ මේ ඉපදෙන පැටව් ඉපදෙද්දිම තවත් පැටියෙක් එයාලගෙත් ඇතුළේ ඉන්නවා. ඒ කියන්නේ බිත්තරවලින් එළියට ආපු ගැහැණු සත්තු බිහි කරන්නේ ප්‍රෙග්නන්ට් පැටව්. එතකොට අර අන්තිම පැටියා මුලින්ම ඉන්නේ එයාගේ ආච්චි අම්මගේ ඇඟ ඇතුළේ. විද්‍යාඥයෝ මේ විදිහට සතුන් බෝවීම හඳුන්වන්නේ “දුරේක්ෂාකාර වර්ධනයක්” විදිහට. දුරේක්ෂයත් කෙටි විදිහට තිබ්බට එක මත එක ලිස්සලා දිගු කරගන්න පුළුවන් වගේ, මේ සතුන්ගේ ඇතුළේ එක සතෙකුත්, ඒ සතාගේ ඇතුළේ තව සතෙකුත් ඉන්නවා.
තවත් පුදුමේ කියන්නේ ඒ විදිහේ ප්‍රෙග්නන්ට් පැටව් පරම්පරා දෙකක් අර බිත්තරවලින් එන එක ගැහැණු සතෙක් ඇතුළේ ඉන්නවා එක වෙලාවේම. ඉතින් බෝවීම ගැන කතා කරන්න දෙයක් නැහැනේ! මේ නිසා එක කන්නයක් නිමා වෙද්දී කූඩිත්තෝ පරම්පරා 20ක් නිර්මාණය වෙලා ඉවර යි.
කූඩිත්තන්ගේ මලපහ ගැනත් වෙනම කතාවක් තියෙනවා. සෑම පැය දෙකකටම පාරක් තමන්ගේ ඇඟේ මුළු බරට සමාන බරක් තියෙන මලපහ ප්‍රමාණයක් මේ පුංචි කූඩිත්තෝ පිටකරනවා. ඇයි ඉතින්, එක දිගට දවස් ගණන් කරන්නේ ශාක යුෂ උරාබොන එකනේ. එහෙනම් අර කලින් කතා කරපු බෝවීමත් එක්ක සැලකුවාම අති විශාල ප්‍රමාණයක් එයාලගේ මලපහත් එකතු වෙන්න ඕන. ඇත්තටම අක්කරයක පමණ වගාවක ඉන්න කූඩිත්තෝ ගහණයෙන් එයාලගේ මලපහ කිලෝ සියගාණක් එකතුවෙනවා. හැබැයි වාසනාවට මේවා පැණි රස යි. මොකද ඒවයේ අඩංගු වෙන්නේ වෙන සත්තුන්ගේ මලපහවල තියෙන විදියේ අපද්‍රව්‍ය නොවන නිසා. ඒවා රසායනිකව විශ්ලේෂණය කරලා බැලුවාම ඒවායේ තියෙන්නේ ශාකවලින් උරාගත් ශාක යුෂම තමයි. ඇත්තටම කූඩිත්තන්ගේ මලපහ අවර්ණ පැණියක්. “හනිඩිව්” (Honeydew) කියලා හඳුන්වන්නේ මේවා තමයි.
කූඩිත්තන්ගේ ගැනුම්කරුවන්
කූඩිත්තන් පිටකරන මලපහ, එයාලගේ “නිෂ්පාදනයක්” කියලා හඳුන්වන්න පුළුවන්. මේ නිෂ්පාදනයේ ඵල ප්‍රයෝජන ලබන ගොඩක් පාර්ශවයන් ඉන්නවා. ඒ අතරින් සමහර කූඹින් වර්ග විශේෂ යි. ඒ අය සම්පුර්ණයෙන්ම ජීවත් වෙන්නේ කූඩිත්තන් පිටකරන පැණිවලින් විතර යි. ඔවුන් කූඩිත්තෙක් හොයාගෙන උගේ ළඟට වෙලා ඉන්නවා. ඉන්න ගමන් කූඩිත්තාගේ උදරය තද කරනවා. එතකොට කූඩිත්තා කූඹින් දෙසටම මලපහ හෙවත් උන්ගේ පැණි පිටකරනවා. මේ ක්‍රියාවලිය හරියට කූඹින් “කිරි දෙවීමක්” කරනවා වගේ. කූඹියෝ ඒ පැණි ආහාරයට ගන්නවා.
මේ වැඩේට කූඩිත්තා කැමති වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි, කූඹි රංචුව විසින් කූඩිත්තා විලෝපිකයින්ගෙන් ආරක්ෂා කිරීම. විලෝපිකයෙක් කූඩිත්තාට ළං වුණොත් කූඹි රංචුව ක්‍රියාත්මක වෙලා ඒ සතාට පහර දෙනවා. බොහෝ විට ලේඩිබග් වැනි කුරුමිණියන්, බමර මැස්සන්, හෝහපුටුවන් ආදීන් කූඩිත්තන්ගේ විලෝපිකයින්. සමහර කූඹි විශේෂ කූඩිත්තන්ගේ විලෝපික සතුරන්ගේ බිත්තර පවා විනාශකර දමනවා. ඒ තරම් ඔවුන්ගේ බැඳීම දියුණු යි.
විලෝපිකයින්ගෙන් ආරක්ෂාව ලබාදෙනවාට අමතරව, සමහර කුහුඹු විශේෂ විසින් සමහර කූඩිත්තන්ව සමහර දේශගුණ තත්ත්වවල දීත් ආරක්ෂා කරනවා.
විශේෂයෙන්ම, විදේශ රටවල සීත කාලයේ දී ඇතැම් කූඹින් කූඩිත්තන්ගේ බිත්තර හොඳ උෂ්ණත්වයක් සහ ආර්ද්‍රතාවයක් සහිත ස්ථානවල ගබඩාකර තබනවා. නැවත දේශගුණය හොඳ අතට හැරුණාම හෝ වසන්තය පැමිණියාම ඒ බිත්තර නැවත ධාරක ශාකයක් වෙත ගෙන එනවා. ශාකය වියළී මැලවී ගියෝතින්, එවිටත් කූඹින් ක්‍රියාත්මක වෙලා වඩා හොඳ සෞඛ්‍යමත් ශාකයක කූඩිත්තන් පිහිටුවනවා. මේ වගේ උපරිමයෙන් උදව් කරන කූඹි විශේෂයක් බඩ ඉරිගු වගාවේ දී අපට හමුවනවා. බඩ ඉරිගු වගාවේ ඉන්න “ලේසියස්” කියන කුහුඹු විශේෂය, බඩ ඉරිඟු මුල් ආශ්‍රිතව ඉන්න කූඩිත්තන් විශේෂය ආරක්ෂා කරගන්නේ ඉහත කිව්වා වගේ උපරිම අන්‍යොන්‍ය සම්බන්ධතාවයකින්.
අතීතයේ ජීවත් වුණු ස්වදේශික ඇමෙරිකානුවන් ඇතැම් තෘණ විශේෂ වගාකළේ කූඩිත්තන් ලවා ඒවායේ පැණි ලබාගැනීමට. කූඩිත්තන් ගිම්හානය පුරා පිටකරන පැණි උදෑසන පිනි හේතුවෙන් දියරමය ස්වභාවයක් ගන්නවා. නමුත් දිවා කාලය වෙද්දී ඒවායේ ජලය වාෂ්ප වෙලා ඝන වෙනවා. ගිම්හානය අවසන් කාලයේ දී මිනිසුන් මේ තෘණ ගස් කපා අව්වේ වියලෙන්න හරිනවා. ඉන්පසු ඒවා මැඬවීමෙන් ඒවාට සවිවී ඇති ස්ඵටිකමය සීනි වෙන්කර ගන්නවා. ඉන්පසු ඔවුන් ඒවා විවිධ හැඩවලට සකස්කර කේක් සහ වෙනත් රසකැවිලි සාදනවා. සමහර අවස්ථාවල ඔවුන් මේවා උණුකර ඉවුම්පිහුම් කටයුතුවලට භාවිතා කරනවා. අද වෙද්දීත් බටහිර ඇමෙරිකාවේ ජනතාව කූඩිත්තන් නිපදවන පැණි ප්‍රයෝජනයට ගන්නා බව සඳහන්.
සමහර මීමැසි වර්ග කූඩිත්තන්ගේ පැණිවලින් පමණක් එයාලාගේ මී වද සාදනවා. මේ මී පැණි බොහෝ මිනිසුන් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් කූඩිත්තන්ගේ පැණි මිනිස් ආහාරයක් බවටත් පත්වෙලා තියෙනවා.
කොහොම වුණත් කූඩිත්තන් කියන්නේ බෝග වගාවන්වලට හිතකර සත්ත්වයෙක් නෙමෙයි. මේ අය ශාකවල පෝෂ්‍යදායි සාරය උරාගන්නා නිසා ශාක දුර්වල වෙනවා. ගෙඩි සහ මල් හටගැනීම නවතින්නත් කූඩිත්තන්ගේ ක්‍රියාකලාපය හේතුවක් වෙනවා. ශාකවලට වෙනත් දිලීර රෝග ඇතිවෙන්නත් කූඩිත්තන්ගේ පැණි නිෂ්පාදනය හේතු වෙනවා. ශාක පත්‍රවල තැවරුණු සීනි මත දිලීර ක්‍රියාකරලා කළු පැහැ පැල්ලම් නිර්මාණය වෙනවා. ඒවගේම ශාක පත්‍රවල කූඩිත්තන්ගේ සිදුරු කිරීම් නිසා ශාකය මඟින් කැල්සියම් ශ්‍රාවය කරනවා. එවැනි අවස්ථාවල පත්‍ර මත සුදු පැහැ දිලිසීම් දකින්න පුළුවන්. ඒ නිසා අප පරිභෝජනයට ගන්නා බෝගවල කූඩිත්තන් මර්දනය ඉතා වැදගත්. නමුත් ස්වදේශික ඇමෙරිකානුවන් වගේ තෘණ වගාකර පැණි ලබාගැනීම නම් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන්!