Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව විශාලත ම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් කළ සන්ෆිෂ්

පෘතුගාලයට අයත් අසෝරස් දූපත් සමූහය ආසන්නයෙන් හමු වූ රාත්තල් 6,000 ක් නැතහොත්, ටොන් 3ක් බරැති යෝධ සන්ෆිෂ් මත්ස්‍යයෙක් මෙතෙක් වාර්තා වී ඇති බර ම අස්ථි සහිත මත්ස්‍යයා බවට නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

 තම වර්ගයා ම පරදවා ලූ යෝධ මත්ස්‍යයා

2021 දෙසැම්බර් 9 වැනි දින සොයා ගත් මෙම දැවැන්ත සන්ෆිෂ් (Mola alexandrini) මත්ස්‍යයා උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි අසෝරස් දූපත් සමූහයේ ෆයියල් දූපතේ වෙරළට ඔබ්බෙහි මිය ගොස් පාවෙමින් සිටිය දී හමුවූවා. එම දූපතේ ස්ථාපිත ලාභ නොලබන සංරක්ෂණ සහ පර්යේෂණ සංවිධානයක් වන Atlantic Naturalist Association හි ප්‍රකාශයකට අනුව, පළාත් පාලන ආයතන මත්ස්‍යයාගේ විශාල මළ සිරුර ගොඩ ගෙන, වරායට ගෙන ආ නිසා, එය නිසි ලෙස අධ්‍යයනය කිරීමට හැකි වී තිබෙනවා.

 අසෝරස්වලින් හමුවූ සන්ෆිෂ් මත්ස්‍යයා – cnet.com

පර්යේෂකයන් සන්ෆිෂ් මත්ස්‍යයා මරණ පරීක්ෂණයකට බඳුන් කළ අතර නව අධ්‍යයනයේ ප්‍රතිඵල සවිස්තරාත්මක ව “Journal of Fish Biology” නමැති ජර්නලයේ 2022 ඔක්තෝබර් 11 වැනි දා ප්‍රකාශයට පත් කළා.

මෙම දැවැන්ත මත්ස්‍යයා අඩි 12ක් (මීටර් 3.6) පමණ උසින් සහ අඩි 11ක් (මීටර් 3.5) පමණ දිගින් යුතු වූ අතර, බර රාත්තල් 6,049ක් හෙවත් ආසන්න වශයෙන් ටොන් 3ක් (මෙට්‍රික් ටොන් 2.7ක්) වූවා. පර්යේෂකයන් එම මත්ස්‍යයාගේ උදරයේ අන්තර්ගතය විශ්ලේෂණය කර, එහි DNA සාම්පල ලබා ගත් බවත් ප්‍රකාශ කළා.

 මුඛය ගිරා හොටක් වැනියි

Mola alexandrini ‍යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන සදර්න් සන්ෆිෂ් මසුන්ට සාපේක්ෂ ව කුඩා මුඛයක් ඇති අතර, එය ගිරවුන්ගේ හොටකට සමාන යි.

දිග මීටර් 3.3 (අඩි 11) දක්වා සහ බර කිලෝග්‍රෑම් 2,700 දක්වා වන මෙම මසුන් බර ම අස්ථි සහිත මත්ස්‍යයන් වන අතර, ඊට සමාන සම්භවයක් ඇති ඕෂන් සන්ෆිෂ් (Mola Mola) මසුන් ද මොවුන්ට දෙවැනි වන්නේ නැහැ.

 සන්ෆිෂ් (Mola mola) ඇටසැකිල්ලක නිරූපණයක් – wikimedia.org

මෙම විශේෂ දෙකට ම පෞච්ඡ අස්ථි, ඉළ ඇට සහ ශ්‍රෝණි වරල් නොමැති අතර, කශේරුකා එකිනෙක යාවී තිබෙනවා. වරල් පිහිටා ඇත්තේ දේහයේ පසුපස කෙළවරට නැඹුරු ව වන අතර, ඔවුන්ගේ පෘෂ්ඨීය වරල් ගුද වරලෙහි ප්‍රතිවිරුද්ධ පැතිවල පිහිටා තිබෙනවා. සිරුර පැතලි හා වටකුරු වන අතර, තිරස් අතට පිහිනන විට ඔවුන් විශාල වරල් ඉදිරියට සහ පසුපසට යාම සඳහා භාවිත කරෙනවා.

මෙම මසුන්ගේ සම රළු දන්තමය කොරපොතුවලින් සමන්විත වෙනවා. සම දුඹුරු සහ අළු පැහැයෙන් යුක්ත වන අතර සුදු පැහැති පැල්ලම් ද තිබෙනවා. මරණයට පත්වීමට ආසන්න වෙද්දී මෙම පැල්ලම් විශාල වී සම බෙහෙවින් සුදු පැහැයට හැරීමත් විශේෂත්වයක්. යටි හනුව සාමාන්‍ය පරිදි තිබුණ ද උඩු හනුව වක් හැඩයක් ගත් මෙම මසුන්ගේ කරමල් ජෙලටිනීමය ස්ථරයකින් ආවරණය වී තිබෙනවා.

 සමේ ඇති සුදු පැල්ලම් වියපත් වත් ම විශාල වෙනවා – futurecdn.net

බාහිරින් ස්ත්‍රී පුරුෂ බව කිව නොහැකියි

ලිංගිකත්වය අනුව මෙම මත්ස්‍යයන්ගේ බාහිර වෙනස්කමක් නැහැ. එනමුත්, ලිංගික ග්‍රන්ථිවල හැඩය අනුව පිරිමි සහ ගැහැනු ලෙස වෙන් කර හඳුනා ගත හැකි අතර, ගැහැනු සතුන්ට ගෝලාකාර තනි ඩිම්බ කෝෂයකුත්, පිරිමි මත්ස්‍යයන්ට දිගටි වෘෂණ යුගළයකුත් තිබෙනවා.

ශුක්‍රාණු සහ ඩිම්බ ජලයේ දී බාහිර ව සංසේචනය වෙනවා. සන්ෆිෂ් මසුන් ඉතා විශාල බැවින් එක් වැඩිහිටි ගැහැනු සතකුට බිත්තර මිලියන 300 ක් නිපදවිය හැකි යි. සංසේචනය නොකළ බිත්තර විෂ්කම්භය මිලි මීටර 0.42-0.45 පමණ වෙනවා.

උණුසුමට ප්‍රියයි

Mola කුලයට අයත් සාමාජිකයන් ලොව පුරා බොහෝ සාගරවල දක්නට ලැබුණ ද මෙම විශේෂය වඩාත් හොඳින් වර්ධනය වන්නේ නිවර්තන සහ සෞම්‍ය මුහුදේ විවෘත සාගරයේ යි. සෙල්සියස් අංශක 16.8-25.6 වැනි උණුසුම් පරිසරවලට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා.

 Mola alexandrini මත්ස්‍ය ආදර්ශකයක් – wikipedia.org

සන්ෆිෂ් මසුන්ගේ ජීවිතය බොහෝ විට ගෙවෙන්නේ සාගර දියවැල් ආශ්‍රිත ව යි. පරිසරය අනුව ඔවුන්ගේ චලන රටා ද වෙනස් වෙනවා. රාත්‍රී කාලයේදී මොවුන් එකම ප්‍රදේශයක රැඳී සිටින නමුත්, දිවා කාලයේදී උණුසුම සොයා ගෙන නිතර ජලය මතුපිටට පැමිණෙනවා. මෙසේ පැමිණීමෙන් දේහය උණුසුම් කරගැනීම පමණක් ම නොව, ඔක්සිජන් ගබඩා පුරවා ගැනීමත්, මුහුදු ලිහිණින් ලවා තම පරපෝෂිතයන් ඉවත් කරවා ගැනීමත් සිදු කරගන්නා බවට සැලකෙනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව, මීට පෙර බරින් වැඩි ම අස්ථි සහිත මත්ස්‍යයා ලෙස ලෝක වාර්තාවක් තබා තිබුණේ 1996 දී ජපානයේ දී අල්ලා ගත් තවත් බර රාත්තල් 5,070 හෝ කිලෝග්‍රෑම් 2,300ක් වූ තවත් සන්ෆිෂ් මත්ස්‍යයෙක්.

ඔබ දන්නවා ද? සදර්න් සන්ෆිෂ් මත්ස්‍යයෙක් ඕස්ට්‍රේලියාවේ දූපතක් වන නෝර්ෆෝක් හි $1.10ක් වටිනා මුද්දරයකට ද යොදා තිබෙනවා.

 හමු වූ මත්ස්‍යයා වරායට ගෙන ආ අවස්ථාව – atlanticnaturalist.org

කවරයේ ඡායාරූපය: atlanticnaturalist.org 

මූලාශ්‍ර: 

atlanticnaturalist.org

Related Articles