Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියාවේ පිහිටි රෝස පැහැති විල

විලක්, මුහුදක් හෝ ජලය පිරුණු ස්ථානයක් පිලිබදව සිතන විට සාමාන්‍යයෙන් නිල්, දුඹුරු හෝ කොළ පැහැයෙන් යුතු ජලය පිරුණු ස්ථානයක් පිළිබඳව​ ඔබගේ මතකයට නැගේවි. මන්ද යත් අප සාමාන්‍යයෙන්  දකින ස්වභාවික ජල ප්‍රභවයන්ගේ පැහැය එයින් එකක් වීමයි. නමුත් රෝස පැහැති ජලය පිරුණු විලක් පිලිබදව ඔබට අසන්නට ලැබුනහොත්, ඔබ එය සමහර විටෙක විශ්වාස නොකිරීමට පවා පුළුවන්. එසේත් නොමැතිනම් එය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා රෝස පැහැයට හැරෙන්නට ඇතැයි ඔබ සිතාවි. නමුත් අපේ රට තුල දකින්නට නැතත් ලෝකයේ විවිධ රටවල් වල මෙවැනි රෝස පැහැති ජලය පිරුණු විල් ඇති බව ඔබ අසා තිබුනාද? ඒවා සංචාරකරන් අතර ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන අතර සංචාරක පාරාදීස වශයෙන් ද හදුන්වන්නට පුළුවන් වෙනවා. මෙම ලිපියෙන් විස්තර කරන්නේ ඕස්ට්‍රලියාවේ පිහිටි එලෙස රෝස පැහැති ජලයෙන් පිරුණු විලක් පිළිබඳවයි.

රෝස පැහැති විලෙහි පින්තුරයක් (thewest.com.au)

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය වැඩි කරන ස්වභාවික දායාදයක් ලෙස මෙම රෝස පැහැති විල් හදුන්වා දෙන්නට පුළුවන් වෙනවා. මෙවැනි රෝස පැහැති විල් කිහිපයක් ඕස්ට්‍රේලියාවේදී දකින්නට ලැබෙන අතර ඒ අතරින් බොහෝ සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව ඇති, එමෙන්ම වඩාත් රෝස පැහැයකින් යුතු ජලය සහිත විල ලෙස මෙම Lake Hillier (හිලියර් විල​) යනුවෙන් හදුන්වනු ලබන විල හදුනා ගන්නට පුළුවන් වෙනවා. මෙම විල පිහිටා තිබෙන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණු දිගට වන්නට පිහිටි දූපතකයි. එය මීටර 600ක පමණ දිගකින් යුතු වෙන අතර පළල මීටර 250කින් පමණ යුතු වෙනවා. මෙහි පිහිටීම පිලිබදව සලකා බලන විට එය අවට කපුරු වැනි ගස් වලින් සමන්විත වන අතර එහි උතුරු දෙසින් පිහිටා තිබෙන්නේ පැසිපික් සාගරයයි. මෙම විල පළමු වරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු මෙන්ම සිතියම් අදින්නෙකු වූ Matthew Flinders විසින් වන අතර ඒ 1802 වසරේදීයි. ඔහු ඒ අසල තිබු උස කන්දකට නැගි විට​ ඔහුට රෝස පැහැයෙන් යුතු මෙම විල දැකගන්නට ලැබී ඇති අතර ඔහු විසින් ඒ පිළිබඳව​ ඔහුගේ දිනපොතෙහිද සටහනක් තබා තිබෙනවා.

මෙම විල භූමියේ සිට බැලූ විට එතරම් පැහැපත් නොවුනද ඉහල සිට බලන කල ඔබගේ සිත් වශී කරවන්නට සමත් වෙනවා. ඉහල සිට බලන විට රෝස පැහැයෙන් මෙම විලත් නිල් පැහැයෙන් පැසිපික් සාගරයත් දිස් වන්නේ මනස්කාන්ත දර්ශනයක් ඔබගේ නෙත් මානයට ගෙන එමිණුයි.

රෝස පැහැති ජලය​ (traveldigg.com)

මෙම විලෙහි ජලය මෙලෙස රෝස පැහැයෙන් දිස් වන්නේ ආලෝකය නිසා සිදු වන මායාවක් හෝ වෙනයම් මිනිස් ක්‍රියාකාරකමක් නිසා නම් නොවෙයි. එයට මෙම පැහැය ලැබීමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැති වුවද​ ඒ සම්බන්ධව​ දිගින් දිගටම පර්යේෂණ​ සිදු කරනවා. ඒ අනුව මෙහි වර්ණය සම්බන්ධයෙන් විවිධ මත පලවී තිබෙනවා. ඒ අතරින් එක් මතයක් වන්නේ එහි ඇති ඉතාමත් කුඩා ඇල්ගී විශේෂයක් වන Dunaliella Salina නැමැති ඇල්ගීන් නිසා එයට මෙම වර්ණය ලැබී ඇති බවයි. 2015 දී මේ සම්බන්ධව පර්යේෂණයක් සිදු කර ඇති අතර මෙහි ඇති අධික ලවණතාවය නිසා ජිවින්ට මෙහි විසීමට අපහසු වුවද, ලවණ ජලයේ ජිවත්වන ජීවින් මෙහි වර්ණයට හේතු වන්නේදැයි එයින් සොයා බලා තිබෙනවා. එහිදී ලැබුණු ප්‍රතිඵල​වලට අනුව ලවණ ජලයේ ජිවත් වීමට ප්‍රිය කරන ජීවින් විශේෂ 10ක් පමණ මෙහි වාසය කරන බවට හදුනාගෙන තිබෙන අතර ඒ අතර බැක්ටීරියාවන් මෙන්ම Dunaliella වර්ගයේ ඇල්ගී විශේෂ කීපයක්ද හමුවී තිබෙනවා. එම ජීවින් සියල්ලම පාහේ රෝස හෝ රතු පැහැයෙන් යුතු වී ඇති අතර ඔවුන් මෙහි වර්ණයට හේතු විය හැකි බවට නිගමනය කෙරෙනවා.

එසේම මේ සම්බන්ධව​ ඉදිරිපත් වන තවත් මතයක් වන්නේ මෙහි ඇති ලවණ ගතිය මෙයට හේතුවක් විය හැකි බවයි. එනම් මෙම විලෙහි ඇති ලවණ සාන්ද්‍රණය අනෙකුත් මුහුදු ජලයේ ඇති ලවණ සාන්ද්‍රණයට වඩා 10 ගුණයකින් පමණ වැඩි වෙනවා. එය ඇල්ගී වර්ග බෝ වීමට හේතු වී ඇති බවද සැලකෙනවා. එසේම මෙම ලවණ සාන්ද්‍රණය නිසා එම ලවණ හා සෝඩියම් බයිකාබනෙට් අතර ඇති වන ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් ලෙස මෙහි වර්ණය ඇති වන බවටද මතයක් පවතිනවා. එමෙන්ම එහි ඇති ලවණ සාන්ද්‍රණය තුල ඇති halophilic නැමැති බැක්ටීරියාවක් මෙහි වර්ණයට හේතු වන බව තවත් මතයක් වෙනවා. එසේම මෙහි ඇති ඇල්ගී විශේෂවලට කරොටින් වර්ණකය නිපදවීමට ඇති හැකියාව නිසාත් මෙම විල රෝස පැහැයෙන් යුතු වෙන බවට මත පල වී තිබෙනවා.

මෙම විල 20 වන සියවස මුල් කාලයේ වසර කීපයක් තිස්සේ ලුණු නිෂ්පාදනය සදහා යොදාගෙන තිබුනද වර්තමානයේදී එය සම්පුර්ණයෙන්ම සංචාරකයන් වෙනුවෙන්ම විවෘත වී තිබෙනවා. මෙම​ විලෙහි ජලය අනෙක් රෝස පැහැති විල් වලට වඩා විශේෂ වන්නේ එහි ඇති ජලය එයින් ඉවතට ගත්තද එම රෝස පැහැයෙන්ම දිස් වීම නිසයි. මෙම විලෙහි ජලය පැහැදිලි වෙනවා මෙන්ම මිනිසාගේ හමට හානිකර වන්නේද නැහැ. Dunaliella Salina යනු මිනිස් සිරුරට හානිකර නොවෙන ඇල්ගී විශේෂයක්.

මේ අකාරයට සොබා දහමෙහි තවත් විශ්මිත නිර්මාණයක් ලෙස මෙම රෝස පැහැති විල හදුනා ගන්නට පුලුවන් වෙනවා. අපට එතරම් හුරු පුරුදු දෙයක් නොවුනද එය අප පරිසරයේ සුන්දරත්වය තවතවත් වැඩි කරන්නා වූ අතර මිනිසුන් විසින් රැකගතයුතු සම්පතක්ද වෙනවා.

Cover Image (youtube screengrab)

Related Articles