නූතන ලෝකය හමුවේ ඇති දැවැන්ත ම අභියෝග වන්නේ කුමක්දැයි කාගෙන් හෝ විමසූ විට එකිනෙකට වෙනස්කම් සහිත උත්තර කීපයක් ඔවුන් ලබා දෙනු ඇත. නිතැතින්ම ඒ පිළිතුරු අතර දේශගුණ විපර්යාසය නැමැති පිළිතුර ඔබට හමු වනු නිසැක ය. කාලයක සිට උත්සන්නවන මෙම අභියෝගය සඳහා බලපාන හේතු විමසීමේ දී මානවයාගේ නොමනා ක්‍රියාකාරකම් ඊට සෘජුව ම බලපාන බව පසක් වී හමාර ය.
ඒ අතරින් දැඩි කතාබහට ලක්වන දිනෙන් දින වේගවත් වන කාන්තාරකරණය අපට අත්කර දී ඇත්තේ අහිතකර ප්‍රතිඵලයි. වසර දහස් ගණනක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි වනාන්තරයක් කපා බිම හෙළා විනාශ කිරීම පහසු වුවත් ඉන් පරිසරයට මෙන් ම ඉන් මුළු මහත් ලෝකයට ම සිදුවන හානිය නැවත පිළිසකර කිරීම උගහට ය.
විනාශ කළ වනාන්තර වෙනුවෙන් විකල්ප වැඩසටහන්
දැනට විනාශ කළ වනාන්තර වෙනුවෙන් සිදු කරන විකල්ප වැඩසටහන් බොහොමයක් ද අද කාලයේ දැකිය හැකි ය. ඒ අතරින් පැළ සිටුවීම ප්‍රධාන තැනක් ගනී. විනාශයට ලක්වුණු වනාන්තර භූමිය මත යළි පැළ සිටුවීම මහඟු කාර්යයක් වුවත් ඉන් වනාන්තරයක් ඇති වීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇත. ඒ හේතුව නිසාම මෙම වැඩසටහන් අසාර්ථක වී බලාපොරොත්තු වන ප්‍රතිඵල ද නොලැබී යන අවස්ථා ද වේ.
වනාන්තර එළිපෙහෙළි කිරීමේ දී කෘෂිකාර්මික කටයුතු හෝ ඉදිකිරීම් කටයුතු වැනි දේ ඊට සමගාමීව ම ආරම්භයත්, පැළ සිටුවීම වැනි වැඩසටහන් සඳහා මූලිකත්වය ගත් පිරිස්වලට ඉතා දිගු කාලයක් මේ ගැන සුපරීක්ෂණයේ යෙදීමේ අපහසුවත් මීට මූලික ව බලපා ඇත. ලෝකයේ තනි පුද්ගලයන් මැදිහත් ව නැවත ඇති කළ වනාන්තර පිළිබඳ වාර්තා විශාල ගණනක් ගැන අපට අසන්නට ලැබේ. වර්තමාන ලෝකයේ කටයුතු සියල්ල කාලය සමඟ තරගයකට සිදු වන නිසා අඩු කාලයකින් ප්‍රතිඵල ලබාදෙන සංකල්ප සමඟ අභියෝග ජයගත යුතු බව අද වන විට පසක් ව ඇත.
වන වගාව යන්න මීට කලකට පෙර දැව හා ආදායම මූලික කරගත් ක්ෂේත්‍රයක් වුවත් වර්තමානය වන විට එය මිනිසාගේ පැවැත්ම සඳහා සිදු කළ යුතු අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. වන වගාව හෝ වනාන්තරයක් සෑදීම යන වැකිය සමඟ ම බැඳී ඇති කාලාන්තරයක් ගත වීම යන කරුණ මූලික කරගෙන අප අධෛර්‍යමත් විය යුතු ද? මානව ඉතිහාසය පුරා අභියෝග ජය ගත්තේ ඒ සඳහා වූ විකල්ප සොයාගත් අය නිසාවෙනි. ඉතා කෙටි කලකින් වනාන්තරයක් ඇතිකර ගැනීමේ හැකියාවක් සතු මියාවකී ක්‍රමය කල එළි බසින්නේ මේ අතර ය.
නාගරික වනාන්තර සංකල්පයට වඩාත් ඔබින මියාවකී
1928 ජනවාරි 28 දින උපත ලද ජපන් ජාතික උද්භිද විද්‍යාඥයකු මෙන් ම ශාක හා පරිසර විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අකිරා මියාවකී මෙම සංකල්පය ලොවට ඉදිරිපත් කළ තැනැත්තා ය. එය ප්‍රායෝගිකව ලෝකයේ ප්‍රදේශ රැසක ක්‍රියාවට නංවා එහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ පරීක්ෂණ මගින් ඔප්පු කර ඇත. ජපානයේ සාම්ප්‍රදායික පන්සල් ආශ්‍රිත ව පවතින ශාක ගහනයේ ස්වභාවය අධ්‍යයනයෙන් ඒ ඔස්සේ සිදු කළ ප්‍රායෝගික පරීක්ෂණවලින් ඔහු මෙම සංකල්පය වැඩිදියුණු කර ඇත.
හායනය වන බිම් කඩක් හා නිසරුතාවට පත්වන පසක් සහිත භූමියක එකී පසේ හියුමස් ප්‍රමාණය කාබනික ද්‍රව්‍ය, කොම්පෝස්ට් පොහොර හා හිතකර පාංශු ක්ෂුද්‍ර ජීවීන් එක් කිරීම වැඩිදියුණු කිරීම ඔස්සේ මියාවකී වනාන්තරයක් ඇති කිරීමට මූලික අඩිතාලම දමා ගනියි. ප්‍රදේශයේ ස්වාභාවික ශාක ව්‍යාප්තිය හා විශේෂ පිළිබඳ මූලික හඳුනාගැනීමක් ඒ සඳහා කළ යුතු අතර පසේ ස්වභාවය හා දේශගුණයට ගැළපෙන ශාක ද උපරිම විවිධත්වයක් ලැබෙන පරිදි ඒ සඳහා තෝරා ගැනේ.
ස්වභාවික වනාන්තරයක පවතින්නාක් මෙන් එක් එක් ශාක ස්ථරවලට අනුකූල වන ශාක යොදා ගෙන ඉතා ළං ළංව පැළ වර්ග සිටුවීම සිදු මෙහිදී සිදු කෙරේ. මුල් කාලයේ බිමට වසුම් යොදන අතර නිති පතා ජලය දැමීම හා වල් මර්දනය ද සිදු කෙරෙයි. පැළ කෙළින් අතට වැඩීම අවශ්‍ය වන නිසා ආධාරක සිටුවීමත් කළ යුතුය. මෙම නිරන්තර සුපරීක්ෂණය වසර තුනක් දක්වා සිදු කෙරේ. ඉන් පසු වනාන්තරයට ඉබේ වැඩීමට ඉඩ ලබා දේ.
මියාවකී වනාන්තරවල විශේෂතා
වයස අවුරුදු 100 ක වනාන්තරයක් අවුරුදු 10ක දී ඇති කිරීමට හැකි බව ඔබ කවරදාවත් සිතා තිබේ ද? තමාගේ ජීවිත කාලය තුළ දී ම තමා ම සෑදූ වනාන්තරයක් අත්දැකීමට අපට මේ හරහා හැකි වනු ඇත. නාගරිකව පවතින කුඩා ඉඩ ප්‍රමාණයකට ගැළපෙන පරිදි ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුතුව විශාල පැළ සංඛ්‍යාවක් වැඩි ගණත්වයකින් යුතු ව වගා කිරීම මියාවකී වනාන්තරවල දී සිදුවේ. සාමාන්‍ය වන වගාවකට වඩා 30 ගුණයක ශාක ඝනත්වයකින් යුතුව වගා කරන විශේෂ රාශියක පැළ, සාමාන්‍ය වගාවකට වඩා 10 ගුණයක වේගයෙන් වර්ධනය විම මෙහි විශේෂත්වයයි. මියාවකී වනයක් ඇති කිරීමට අවශ්‍ය අවම ඉඩ මීටර 4×3ක් බවයි පැවසෙන්නේ. ශාකවලට දිනකට පැය 8 ක අවම හිරු එළිය අවශ්‍ය වේ. අවුරුදු 3 ක කාලයක් යනතුරු පමණක් රැකබලා ගැනීම කළ යුතු ය. ඉන් පසු වනාන්තරයට අවැසි පරිදි වැඩෙන්නට ඉඩ දීම මෙහිදී සිදු වේ. හුදෙක් නාගරික වන වගාවට පමණක් සීමා නොවී ග්‍රාමීය හෝ වනාන්තර විනාශ වී ගිය ප්‍රදේශවල පවා මෙම සංකල්පය හොඳින් ක්‍රියාවේ යෙදවිය හැකි වීම විශේෂත්වයකි.
මියාවකී වනාන්තර සංකල්පයේ අවශ්‍යතාව
ලෝකය වේගයෙන් නාගරීකරණය වීමත් සමඟ ඒ හා බැඳුණු සංකල්ප බොහොමයක් අතරින් නාගරික වන වගාව එහෙමත් නැතිනම් නාගරික වනාන්තරයක් ඇතිකිරීම මේ මියාවකී සංකල්පය යටතේ සිදු කෙරේ. මිනිසුන් වඩ වඩාත් නාගරික ප්‍රදේශ කරා ඇදී ඒමත් නාගරික ප්‍රදේශ තවතවත් විශාල වෙමින් පැතිරීමත් වේගයෙන් සිදු වෙයි. එහිදී මහා කොන්ක්‍රීට් වනාන්තරවල ස්වභාවික තුරුලතා දකින්නට නැතුවා මෙන් ම ඒ සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන්නටත් අපහසු වී තිබෙයි. වේගයෙන් ලෝකයේ පැතිරෙන සංකල්පයක් වන හරිත නගර සැලසුම් කිරීමේදී පවා හරිතවත් බව රැකගන්නට විනා සැබැවින් ම ගස්වැල් සඳහා ඉඩ වෙන් කරන්නට සිතන්නේ ඉතා කුඩා පිරිසකි. මෙසේ ශාක කීපයක් පමණක් හුදෙකලා ලෙස විසිරී යන පරිදි ස්ථාපනය කළ ද ඒ හරහා පරිසර පද්ධතියකින් සිදුවන කාර්යභාරය සිදුවේද යන්නත්, ජෛව විවිධත්වය රැකගන්නේ කෙසේද යන්නත් නොසිතීම බොහෝ නාගරික මෙන් ම අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ද දිනෙන් දින උත්සන්න වන ගැටලුවකි.
ගස් කැපීම සාධාරණීකරණය කිරීම සඳහා මියාවාකි වන වැවුම් භාවිත කරන නමුත් එවැනි වනාන්තරවල ස්වාභාවික වනාන්තර ගුණාංග නොමැති බවටත්, වර්ෂාව ගෙන ඒමට ඇති හැකියාව අතින් මියාවාකි වන වැවුම් දක්වන සහත්කම අඩු බවත් මේ අතර ඇතැම් හරිත ක්‍රියාකාරීන් පවසයි. එනමුත් පරිසරය පිළිබඳ දැඩි කතාබහක් ඇති වී ඇති මෙවන් සමයක තම තමන්ට ඇති කුඩා ඉඩ ප්‍රමාණවලින් හෝ ප්‍රයෝජන ගෙන ගෝලීය අභියෝගයකට මුහුණ දීමට ගෝලීය පුරවැසියකු සතු වගකීම ඉටු කිරීමට මියාවකී වනාන්තර සංකල්පය යොදා ගත හැකි වීම ඉස්පාසුවකි. එමඟින් ප්‍රායෝගිකව ඔබටත් මියාවකී වනාන්තරයක් ඇතිකිරීමට අවශ්‍ය මඟපෙන්වීම හා දැනුම ලබා ගැනීම අසීරු නොවනු ඇත.