
සත්ත්ව ලෝකය පුදුමාකාරයි. මුහුදු පතුලේ, ඇමසන් වනාන්තරයේ එහෙමත් නැතිනම් අප්‍රිකාවේ සවානා තණබිම් ආශ්‍රිතව අපූරු පැහැයන්ගෙන් සහ හැඩයන්ගෙන් යුතු සතුන් දැක ගැනීමට ලැබීම අරුමයක් නෙමෙයි. නමුත් ඇතැම් සතුන් දුටු විට ඔවුන් සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ ජීවත් වන සතුන් දැයි හිතට කුතුහලයක් ඇති වෙන අවස්ථා ද තිබෙනවා.
මේ සත්ත්ව ලෝකයේ දී හමු වන එවැනි අරුම පුදුම අමුත්තන් කිහිප දෙනෙකු ගැන තොරතුරු යි.
මාකෝ එළුවා

© McKenzie Young
පකිස්ථානයේ ජාතික සත්ත්වයා ලෙස සැලකෙන මාකෝ එළුවා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මධ්‍යම ආසියානු කඳුවැටි, රුසියාවේ දකුණු දෙසට වන්නට ඇති වනාන්තර, බටහිර හිමාලයානු කඳුවැටි සහ පකිස්ථානයේ උතුරු ප්‍රදේශ ආශ්‍රිත ව යි. Capra falconeri යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඔවුන් දැනට ලෝකයේ හඳුනාගෙන ඇති එළුවන් අතරින් විශාලත ම විශේෂය ලෙස සැලකෙනවා.
දුඹුරු පැහැය මිශ්‍ර අළු පැහැයට හුරු මාකෝ එළුවෙකුගේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ ඔවුන් සතු කස්කුරුප්පුවක් (corkscrew) මෙන් ඇඹරී ගිය දැවැන්ත අං තට්ටුව යි. වැඩුණු පිරිමි සතෙකුගේ අං තට්ටුව සෙන්ටි මීටර් 160 (දළ වශයෙන් අඩි 5) ක පමණ ප්‍රමාණයකින් යුතු වෙනවා. නමුත් ගැහැනු සතෙකුගේ අං තට්ටුව වැඩෙන්නේ සෙන්ටි මීටර් 25 ක (දළ වශයෙන් අඩියකට අඩුවෙන්) ප්‍රමාණයක් පමණ යි.
මැංගලිකා ඌරා

© Edward Tenny
සරලව ම බැටළු සමක් පොරවා ගත් ඌරෙක් විදියට හැඳින්විය හැකි මැංගලිකා ඌරන්ගේ නිජබිම වන්නේ හංගේරියාව යි. 19 වැනි සියවසේ දී යුරෝපීය වල් ඌරා සහ සර්බියානු සූමාඩියා නම් විශේෂය අතර ඇති වූ ස්වභාවික දෙමුහුම් අභිජනනයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බිහි වී තිබෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ සිරුර ම බැටළුවෙකුගේ මෙන් ලොම් වැස්මකින් ආවරණය වී ඇති අතර වඩාත් ජනප්‍රිය වන්නේ තඹ පැහැයෙන් යුතු සත්ත්වයින්. ඊට අමතර ව කළු, තද රතු පැහැය මුසු වූ දුඹුරු සහ අළු පැහැති ඌරන් ද දැක ගැනීමට ලැබෙනවා.
නිල් පා ඇති බූබි

© Ben M
Sula nebouxii යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නිල් පා ඇති බූබි කුරුල්ලන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේ බටහිර ඉවුරු ආශ්‍රිත ව යි. නමේ සඳහන් ව ඇති පරිද්දෙන් ම දීප්තිමත් නිල් පැහැයෙන් යුතු පාදවලට උරුමකම් කරන ඔවුන් ගැහැනු සතුන් ව ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස එය යොදා ගන්නවා. ඒ අනුව අභිජනන සමයේ දී තමන්ගේ දෙපා මනා ව දර්ශනය වන ලෙස නර්තනයක යෙදෙන පිරිමි සතුන් අතරින් වඩාත් ම නිල් පැහැති පාද සහිත පිරිමි සතා ව තෝරා ගැනීම කෙරෙහි ගැහැනු සතුන් උනන්දුවක් දක්වනවා.
රතු තොල් ඇති වවුල් මාළුවා

© Gary Taylor
තමන්ගේ දෙතොල් දීප්තිමත් රතු පැහැ තොල් ආලේපනයක් යොදා ගනිමින් වර්ණ ගන්වන ලද වවුලෙකු මෙන් පෙනෙන රතු තොල් ඇති වවුල් මාළුවා වාසය කරන්නේ ගැලපගෝස් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදේ යි. Ogcocephalus darwini යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඔවුන් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 40 ක පමණ දිගකින් යුතු වන අතර අනෙක් මසුන්ට මෙන් නිදහසේ පිහිනා යා නොහැකි ඔවුන් මුහුදු පතුලේ ඇවිද යාම සඳහා ඔවුන්ගේ දෙපා සහ වරල් භාවිතා කරනවා.
තරහෙන් සිටින කාන්තාවක් සේ පෙනුන ද රතු තොල් ඇති වවුල් මාළුවා ස්වභාවයෙන් උපද්‍රව රහිත මුහුදු සත්ත්වයෙක් ලෙස සැලකෙනවා.
පැණි කුරුලු උකුසු සලබයා

© Hugo von Schreck
මහා බ්‍රිතාන්‍යයේ බොහෝමයක් ගෙවතුවල දී දැක ගත හැකි පැණි කුරුලු උකුසු සලබයා විද්‍යාත්මකව හඳුන්වන්නේ Macroglossum stellatarum ලෙස යි. තැඹිලි පැහැය මිශ්‍ර දුඹුරු පැහැයෙන් යුතු පියාපත් යුගලකින් සහ අළු පැහැයට හුරු දුඹුරු පැහැ සිරුරකින් යුතු ඔවුන් සාමාන්‍යයෙන් මිලිමීටර් 50 – 88 දක්වා ප්‍රමාණයෙන් යුතු වෙනවා. අනෙකුත් සලබයන් මෙන් නොව පැණි කුරුල්ලෙකු මෙන් වේගයෙන් පියාපත් සලමින් මල් පැණි සොයා යන ඔවුන් දකුණු යුරෝපයේ සහ අප්‍රිකාවේ සිට සංක්‍රමණයට වන්නට ඇති බව විශ්වාස කරනවා.
නිල්වන් ගිරා මාළුවා

© Kevin Bryant
දීප්තිමත් නිල් පැහැ ප්ලාස්ටික් යොදා ගනිමින් නිර්මාණය කළ මාළු ටැංකියක අලංකාරය සඳහා භාවිතා කරන කෘතිම මාළුවෙක් ලෙස පෙනෙන නිල්වන් ගිරා මාළුවා විද්‍යාත්මක ව Scarus coeruleus ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30 – 75 අතර දිගකින් යුක්ත වන ඔවුන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ බටහිර අත්ලාන්තික් සාගරයේ, බහමාස් දූපත් සහ බ්‍රසීලයේ දකුණු දෙසට වන්නට යි. එසේ ම බටහිර ඉන්දීය කොදෙව් ආශ්‍රිත ව ද නිල්වන් ගිරා මාළුවන් සුලබ යි.
අප්‍රිකානු කේශාකාර පඳුරු පොළඟා

© Mark Kostich
Atheris hispida යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අප්‍රිකානු කේශාකාර පඳුරු පොළඟා මධ්‍යම අප්‍රිකාවට අවේණික විෂ සහිත පොළඟුන් විශේෂයක්. ඔවුන්ගේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ සාමාන්‍ය සර්පයන්ගේ මෙන් නොව ඔවුන්ගේ පෘෂ්ඨීය කොරපොතු කෙඳි සහිත උල් මෙන් දර්ශනය වීම යි. වැඩි වශයෙන් ඔවුන් දක්නට ලැබෙන්නේ කොංගෝව, බටහිර කෙන්යාව සහ නිරිත දිග උගන්ඩාවේදී යි.
සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 73 ක පමණ දිගකින් යුතු අප්‍රිකානු කේශාකාර පඳුරු පොළඟා කහ, කොළ සහ කළු පැහැයෙන් යුතු වන අතර ප්‍රමාණයෙන් විශාල ඔවුන්ගේ ඇස් වටා උල් සහිත කොරපොතු 9 – 16 අතර ප්‍රමාණයක් දැක ගැනීමට ලැබෙනවා.
යෙටී කකුළුවා

© Bernard Wee
2005 වර්ෂයේ දී සොයා ගන්නා ලද යෙටී කකුළුවා ව පොදුවේ එලෙස හඳුන්වන්නේ ඔවුන්ගේ අඬු වටා දක්නට ලැබෙන ලෝම හේතුවෙන්. Kiwa hirsute යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඔවුන්ව වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන්නේ ශාන්තිකර-ඇන්ටාක්ටික් මුහුදු සීමාවේදී යි. යෙටී කකුළුවෙකුගේ අඬු යුගලය සාමාන්‍යයෙන් මිලි මීටර් 51.5 ක පමණ අගයක් ගන්නා අතර සමස්ත සිරුර මිලි මීටර් 88.4 ක පමණ දිගකින් යුතු වෙනවා.
මොණර මැන්ටිස් ඉස්සා

© Perry Aragon
ඉන්දු පැසිෆික් සාගරයේ ගුවාම් සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා වන මුහුදු තීරයේ දී දක්නට ලැබෙන මොණර මැන්ටිස් ඉස්සා සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 3 – 18 දක්වා ප්‍රමාණයෙන් යුතු යි. කොළ පැහැ සිරුරකින්, තැඹිලි පැහැයට හුරු ඉදිරිපස අඬු දෙකකින් සහ රතු පැහැ පසුපස පාදවලින් යුතු ඔවුන් ව විද්‍යාත්මක ව හඳුන් වන්නේ Odontodactylus scyllarus යන නමින්. ඔවුන්ගේ සිරුරේ ඇති වර්ණවත් බව නිසාම දෙස් විදෙස් මින්මැදුරුවලින් ඔවුන්ට ඇත්තේ ඉහළ ඉල්ලීමක්.
නිල්වන් ග්ලව්කස් හම්බෙල්ලා

© Sylke Rohrlach
සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 5 – 8 අතර ප්‍රමාණයකින් යුක්ත වන නිල්වන් ග්ලව්කස් හම්බෙල්ලා ව දකින්ට ලැබෙන්නේ දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළ තීරයේ, යුරෝපය අවට මුහුදේ, ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සහ මෙසැක්බික් අවට යි. විද්‍යාත්මක ව Glaucus atlanticus ලෙස හඳුන්වන ඔවුන්ගේ සිරුර තද නිල් පැහැයෙන් යුතු රීදිවන් අළු පැහැයෙන් යුතු වෙනවා. ඔවුන් ව නිරන්තරයෙන් ම වතුර මතුපිට පාවෙමින් සිටින ආකාරය දැක ගත හැකි යි. ඒ ඔවුන්ගේ ආමාශයේ ඇති වායු පිරි මල්ලක ආධාරයෙන්.
කවරයේ පින්තූරය : මොණර මැන්ටිස් ඉස්සා (Wikimedia Commons)