Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුහුල් – ලබුවල විස්මිත ගුණ

වතුර වගේ කිසි රහක් නෑ කියලා ගණන් ගන්නෙ නැති එළවළුවල තියෙන ගුණ ගැන දැනගත්තොත් ඔබ පුදුම වන්නටත් ඉඩ තිබෙනවා. පුරාණයේ අද මෙන් ලෙඩ දුක් බහුල නොවුණේ මෙවැනි එළවළු නිතර ආහාරයට ගැනීමේ පුරුද්ද අප සතුවුණු නිසා කියලත් හිතන්න පුලුවන්. නිරෝගී ජීවිතයක් පතන ඔබටත් මේ එළවළු ආහාරයට ගැනීමෙන් අපූරු ගුණ රැසක් ළඟාකර ගත හැකියි. මේ අතරින් සමහර එළවළු අද දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්.

අද අපි කතාකරන ලබු සහ අළුපුහුල් කියන්නේ අපේ රටේ පුරාණයේ පටන් භාවිත වූ එළවළු වර්ග තුනක්. කාලයක පටන්ම හේන්වල මේවා වගා කළ අතරම ලබු හා පුහුල් වැල් ගෙවතුවලත් බහුලව දක්නට ලැබුණා. අද නම් ලබු වගේම පුහුල් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. අපි පිටරටින් ගෙනා කැරට්, බීට් වගේ වළවළුවලට මුල්තැන දීලා. ලබු සහ පුහුල් වාණිජ මට්ටමෙන් වගා නොකිරීමත් ඒවා දුලබවීමට එක් හේතුවක්.

ලබු ගැන දැනගන්න

සරුසාරෙට ලබු හැදිලා- Sknerserymyshopicfy.com

අද ලබු සති පොළක හෝ මාකට් එකක පවා දැකගැනීම අසීරුයි. නමුත් වැල්වල හටගන්නා මේ එළවළුව ඉතා පහසුවෙන් වගාකරගත හැකියි. වැල ගසකට යැවීම තමයි කළ යුත්තේ. දියලබු කියලත් මෙය හඳුන්වන්නේ දියර අධිකව තිබෙන නිසයි. එහි සියයට 92ක් ඇත්තේ ජලයයි. ග්‍රෑම් 100ක ශක්තිය අඩංගු වන්නේ කැලරි 12ක් පමණයි. දේශීය වෙදකමට ගන්නා ඖෂධයක් වශයෙන් ද ලබු වැදගත්. සුශ්‍රැත සංහිතාවේ සඳහන් විදියට දියලබු කියන්නේ මවුකිරි වඩවන ආහාරයක්. ලබු මල්, ඇට වගේම කොළත් දේශීය වෙදකමේ බෙහෙත්වලට ගන්නවා. දිය ලබුවල බහුල වශයෙන් යකඩ, කැල්සියම්, පොස්පරස් සහ විටමින් ආදී පෝෂ්‍ය පදාර්ථ පවතිනවා

හැදෙන්නේ කොහෙද?

ලබු සුප් සූදානම්- vegrecepesofindia.com

ලබුගෙඩිය ළා කොළ පාටයි.  දියලබු වැලේ පත්‍ර රවුම් හැඩයෙන් යුක්තයි. දිගටි හැඩයෙන් යුත් දියලබු ගෙඩිය තරමක් ලොකුයි. ආසියාව, අප්‍රිකාව, ජපානය, මධ්‍යම අමෙරිකාව, චීනය වගේ කලාපවල මෙය පැතිර තිබෙනවා. ලෝකයේ දියලබු වර්ග රාශියක් තිබෙනවා. ඒ අතරින් අප රටේ බහුලව දක්නට ලැබෙන්නේ Bottle gourd නම් වර්ගයයි.

ලබුවල සුපිරි ගුණ

ව්‍යංජනය මේසෙට ඇරලා –  3bp.blogspot.com

දේශීය වෙදකමේ දී නිද්‍රාකාරක ආහාරයක් ලෙස ප්‍රචලිත දියලබුවලට ශරීරය ශාන්ත කිරීමේ හැකියාවක් පවතිනවා. ස්නායු පද්ධතිය ශාමක කිරීමටත් (ශාන්ත කිරීමට) දියලබු අගනා ඖෂධයක් බව ආයුර්වේදයේ සඳහන්. ශරීරයේ අධික දහදිය දැමීමෙන් ඇතිවන මුත්‍රා පෙරීම අඩුවීම නිසා හටගන්නා පීඩා වළක්වා ගැනීමට ලබු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. රුධිර සීනි මට්ටම පාලනයට වගේම රුධිර පීඩනය නියමිත මට්ටමේ පවත්වා ගැනීමටත් එය උපකාරී වෙනවා. ව්‍යාංජනයක් ලෙස ගැනීමට අමතරව චීනය සහ ඉන්දියාවේ ලබු සුප් ජනප්‍රියයි.

නින්ද නොයන අයට මෙය ගුණදායකයි. පිපාසය සංසිඳුවන දියලබු හෘදයට හිතකරයි. කෙඳි සහිත ආහාරයක් නිසා මලබද්ධය වළක්වන එළවළුවක් වශයෙන් ද එය වැදගත්. දියලබු දින කිහිපයකට වරක් ආහාරයට ගැනීම හදවතට ගුණදායකයි. කොලෙස්ටරෝල් අඩුකර එය හදවත ශක්තිමත් කරන බව සඳහන්.

තරබාරුකමින් පෙළෙන බර අඩු කරගන්න අවශ්‍ය අයට මෙය කදිම ආහාරයක්. ඒ මෙහි කැලරි අඩංගු වන්නේ ඉතා අඩුවෙන් නිසයි.

මානසික ආතතිය පළවා හරී

ලබුවලින් තැනූ අතුරුපසක්, කොරියාව- Wikipedia.org

ස්නායු රෝග නිසා අපේ සමාජයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. මානසික ආතතිය නැති කිරීමට සහ ස්නායු රෝග වළක්වා ගැනීමට දියලබු නිතර ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා.  ආහාර ජීරණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමටත් දිය ලබු යුෂ වීදුරුවක් උදෑසන පානය කිරීම කදිම ප්‍රතිකර්මයක්.  එමඟින් උදරයේ ආම්ලික ගතියත් අඩු කෙරෙනවා.

ලබු සහිත සුප් වර්ගයක්- Wikipedia.org

ගැස්ට්‍රයිටිස්, උදරාබාධ, උදරය ආශ්‍රිත තුවාල හටගත් අයටත් මේ ව්‍යංජනය ඉතාමත් සුදුසුයි. අක්මාව ආශ්‍රිත රෝගවලින් සහනයක් ලැබීමට ලබු කොළ ඉස්ම කෂාය ඉතාමත් ගුණදායකයි.

ලබු ගෙඩියෙන් කුරුළු කූඩු

ලබුකටුවෙන් තැනූ කුරුලු කූඩු-  pinest.com

එළවළුවක් ලෙස ගැනීමට අමතරව  පැසුණු දියලබු ගෙඩිවල මැද මදය ඉවත් කර දමා ඒ කටුව වතුර දමන්නත් භාවිත කරනවා. ඒ වගේම අතීතයේ මී පැණි දමන්නත් අපේ රටේ දියලබු බඳුන භාවිත කර තිබෙනවා. අදත් සුරතල් සතුන් ලෙස කුරුල්ලන්ට කූඩු තැනීමට එංගලන්තය ඇතුළු බොහෝ රටවල ලබුකටුව භාවිත කරනවා. අලංකාර ලෙස තැනූ ලබු කුරුළු කූඩු අලෙවිය ගැන අන්තර්ජාලයෙත් විස්තර රැසක් හමුවෙනවා.

දියලබු පානය

ලබු යුෂ පානය-healthplus.com

දිනපතා ලබු යුෂ වීදුරුවක් පානය කිරීම හිරුරට ඉතා ගුණදායක බව ආයුර්වේදයේ මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයේත් සඳහන්. මුත්‍රා දැවිල්ල විට ලබු ඉස්ම අරගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර දිනපතා උදෑසන හිස් බඩට එය පානය කරන්න. දින කිහිපයකින් යහපත් සුවතාවක් ඔබට දැනේවි. ලබු මදය කිරිබත්වලට දමා ලබුකිරිබත් ඉවීමේ සිරිතක් පුරාණයේ අප අතර තිබුණා. අදනම් එය දකින්න නැහැ.

රසවත් අළු පුහුල්

මෙන්න පුහුල්- 2bp.blogspot.com

අළුපුහුල් වැල් වශයෙන් සැදෙන එළවළුවක්. එය ඉතා ඉක්මනින් වැඩෙන වෙනත් ගස් ආධාරයෙන් ඉහළ නගින ශාකයක්. එහි ඵලයේ සුදු පැහැති අළු වැනි ස්වභාවයක් තිබෙන නිසා ඒවාට අළු පුහුල් කියනවා. ඉංග්‍රීසියෙන් Ash gourd නැත්නම් Ash pumpkin කියලා මෙය හඳුන්වනවා.

හැදෙන්නේ කොහෙද?

කිරට හැදූ පුහුල්- kamalascorner.com

ලංකාව, ඉන්දියාව, මලයාසියාව, ජපානය, චීනය හා නිවර්තන අප්‍රිකානු කලාපයේ රටවල මේ බෝගය දැකගත හැකියි. ව්‍යාංජනයක් ලෙස මෙන්ම  රසකැවිලි සැදීමටත් මෙය ගන්නවා. ඇයි බලිතොවිල් වගේ ශාන්තිකර්මවලටත් එදා අපේ රටේ පුහුල් ගත්තා.  පුහුල් දෝසි අදටත් ලංකාවේ කුඩා කර්මාන්තයක් ලෙස පවතිනවා. ඉන්දියාවේ පුහුල්වලින් රසකැවිලි සහ ව්‍යංජන පමණක් නොවේ, සුප්, රසම් ආදියත් සකස් කර ගන්නවා. ඉන්දියානු නිර්මාංශ ආහාර අතර පුහුල්වලට මුල් තැනක් ලැබෙනවා. විටමින් බී කාණ්ඩයේ පෝෂණ සංඝටකත්, ප්‍රෝටීන්, විටමින් සී ආදියත් අළුපුහුල්වල තිබෙනවා. මේදය ඉතා අඩුවෙන් පවතින මෙහි සෝඩියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, ආදී ඛනිජත් අඩංගුයි. ජලය අධික මේවායේ ග්‍රෑම් 100ක ශක්තිය ඇත්තේ කැලරි 10ක් පමණයි. ආයුර්වේදයට අනුව වැල්වල හටගන්නා ගෙඩි අතුරින් සිරුරට හොඳම වර්ගය අළු පුහුල් බවයි පැවසෙන්නේ.

මෙන්න ගුණ

පුහුල් ගෙඩි සහ මල් – wikipedia.org

අධික උණුසුම් කාලගුණයක් ඇතිවිට ශරීරයෙන් වැඩිපුර දහදිය පිටවන බව ඔබ දන්නවානේ. මේ නිසා ශරීරයේ ජලය ප්‍රමාණය අඩුවීමෙන් තදපිපාසය, මුත්‍රා දැවිල්ල, ශරීරයේ පණනැති බව, හා මලබද්ධය පවා ඇතිවෙනවා. එවැනි අයට අළුපුහුල් ආහාරයට ගැනීම ප්‍රතිඵලදායකයි. අළුපුහුල් යුෂ බීම ද ඉහත රෝග තත්ත්වයන්ට කදිම ඔසුවක්. මුත්‍ර පිටකිරීමේ අපහසුව ද අළුපුහුල්වලින් මඟහැරෙනවා. ඒ වගේම වකුගඩු වලින් මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටද අළුපුහුල් උපකාරී වෙනවා

අධික පීනස නසන අළුපුහුල් කෙට්‌ටු ශරීර තර කරන බව ද සඳහන්. ඒ වගේම එය කාම ශක්‌තිය ලබාදෙන එළවළුවක්. ආහාර රුචිය ඇති කරන අතරම පිත නසනවා.

අද බහුලව පවත්නා ආමාශයේ සහ ආහාර ජීරණ පද්ධතියේ බොහෝ රෝගවලට මෙම එළවළුව කදිමයි. බඩවැලේ පිළිකා වැළැක්වීමටත් අළුපුහුල් උපකාරී බව බව හෙළිවී තිබෙනවා. මොළයට ද මේ එළවළුව ගුණයි. පුහුල් නිසා මොළයට හොඳින් රුධිරය සැපයෙන අතර මතක ශක්තිය වර්ධනය කරනවා. මානසික රෝග ඇති අයටත් ලබු වගේම මෙයත් ගුණදායක යි. ඉන් මානසික ආතතිය අඩුකරනවා.

විස නසන පුහුල්

ලාබයි අළුපුහුල්- bfnsrilanka.org

සිරුරේ විස (බෙහෙත්වල විස සහ වැරදීමකින් කැවෙන විස වර්ග) නැසීමට ද අළු පුහුල් හොඳයි. සමහර අවස්ථාවන් වලදී වැරදීමකින් ඖෂධ වර්ග වැඩිපුර බීමෙන් ශරීරයේ විස තත්ත්වයක් ඇතිවූ විට අළුපුහුල් යුෂ බීමට දීම ඉතාමත් ගුණදායකයි. සමහර මස් මාලු, තක්කාලි ආදිය අහාරයට ගත්විට සමහරුන්ට ඇස් දැවිල්ල, තුනටියේ වේදනාව, හන්දි කැක්කුම ආදී අසාත්මිකතා හටගන්නවා. එවැනි පීඩා ඇති අයට මෙය ආහාරයට දීමෙන් සුවය ලබාගත හැකියි.

දෝසි දෝසි-  itslifein.com

කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර රෝගයටත් අළුපුහුල් හිතකරයි. පිළිස්සුණු විට පුහුල් ඉස්ම වත්කිරීමෙන් හෝ පුහුල් කොළ ලුණූ දියරෙන් අඹරා තුවාළය මත ගෑමෙන් දියබිබිලි මතුවීම වළක්වාගත හැකියි. මෑතකදී ඉන්දියාවේ කළ පරීක්ෂණයකින් හෙළිවූයේ අළුපුහුල් දියවැඩියාව වැළැක්වීමටත් විශාල මෙහෙයක් කරන බවයි.

ආශ්‍රිත මූලාශ්‍ර-

ශාක ලෝකය හා ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක- සරත් රණවීර, රේඛා රණවීර

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පත්‍රිකා

vegrecipesofindia.com

Food.ndtv.com

planetayurveda.com

thehindu.com

කැප්ෂන්

Related Articles