Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුරුසියේ සිට ලොවෙන් වඳවී ගිය පක්ෂියා: ඩෝඩෝ

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී ගිය සත්ත්ව විශේෂයන් බොහොමයක් හමුවනවා. එලෙස වඳවී ගිය සත්ත්ව විශේෂ අතරට පිරනීස් ඉබෙක්ස්, ස්ටෙලර් මුහුදු ගවයා, තස්මේනියානු කොටියා, ක්වාගා, ඩෝඩෝ පක්ෂියා වැනි ජීවීන් අයත්. ඉහත සඳහන් කරන ලද ජීවීන්ගෙන් මුලින්ම වඳවී ගියේ ඩෝඩෝ පක්ෂියා යි. මුරුසි දිවයිනට ආවේණික වුණු එම පක්ෂි විශේෂය පිළිබඳව අවසන් වරට වාර්තා වුණේ 1662 වසරේ දී යි. ඉන් පසුව ගෙවුණු වසර 359ක කාලය තුළ ලෝකයේ කිසිදු රටකින් ඩෝඩෝ පක්ෂියා පිළිබඳව වාර්තා නොවීම නිසා උන් වඳවී ගිය සත්ත්වයන්ගේ ලැයිස්තුවට ඇතුළත්වී තිබෙනවා. 

 පිරනීස් ඉබෙක්ස් (extinctanimals.org)

ඩෝඩෝ පක්ෂියාව මුලින්ම හමුවුණු හැටි 

16 වන සියවසේ අග භාගය වන විට ඕලන්දයේ නාවික බලය ශක්තිමත්ව තිබුණා. එම නිසා ඕලන්දය පෙරදිග රටවල් සොයා යන්නට පටන්ගත්තා. ඒ අනුව 1598 වසරේ එක්තරා දිනයක ඕලන්ද නැවියන් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා ගමන් කරමින් සිටියා. එම ගමන අතරතුර දී  ඔවුන්ට මුරුසි නම් සුන්දර දිවයින හමුවුණා. ඊට වසර 90කට පමණ පෙර පෘතුගාල නාවිකයන් පිරිසක් සොයාගත් එම දූපතේ සුන්දරත්වය නිසා ඕලන්ද නාවිකයන් එය ගවේශනය කිරීමට තීරණය කළා. ඉන් පසුව සිය නැව වෙරළ ආසන්නයේ නැංගුරම් දැමූ පිරිස අවට වටපිටාව නිරීක්ෂණය කරන්නට වුණා. 

ඔවුන් දුටුවේ සාරවත් දූපත තුළ විවිධ පළතුරු වර්ග තිබුණු ආකාරය යි. ඉදුණු පළතුරු දැකීමෙන් සතුටට පත්වුණු නාවිකයන් පිරිස තව තවත් දූපත ඇතුළට ගමන් කළා. එම ගමනේ දී ඔවුන්ට අලංකාර සතුන් රාශ්‍රියක් දක්නට ලැබුණා. ඒ අතරින් එක්තරා කුරුළු විශේෂයක් ඔවුන් මීට පෙර දැක තිබුණේ නැහැ. පියාපත් නොමැති වුණු එම කුරුළු විශේෂය මුරුසි දූපත තුළ බහුලව දක්නට ලැබුණා. නාවිකයන් පිරිස එම අමුතු කුරුල්ලන් කිහිපදෙනෙකු අල්ලාගත්තා.

මේ කුරුල්ලන්ට තිබුණු අමුතු පෙනුම නිසා ඕලන්ද නාවිකයන් ඔවුන්ව දුටුවේ මෝඩ කුරුල්ලන් පිරිසක් ලෙස යි. එම නිසා උන්ට “ඩෝඩෝ” යන නම තබනු ලැබුවා. එදා ඕලන්ද නාවිකයන් පිරිස මුරුසි දිවයිනෙන් ඩෝඩෝ පක්ෂියා සොයාගැනීමට පෙර පෘතුගාල නාවිකයන් පිරිසක් ද මුරුසි දිවයින අසල ප්‍රදේශයේ දී අමුතු කුරුල්ලන් පිරිසක් දුටු බව ඔවුන්ගේ නාවික වාර්තාවල සටහන්කර තිබෙනවා. එම වාර්තාවන් පිළිබඳව අවධානය යොමුකළ ඉතිහාසඥයන් අනුමාන කළේ පෘතුගාල නාවිකයන්ටත් හමුවී තිබුණේ එකම පක්ෂි විශේෂය බව යි. 

මුහුදේ යාත්‍රා කළ ඕලන්ද නැවක් (Blogger)

පක්ෂියාගේ පෙනුම 

ඩෝඩෝ පක්ෂියාව හඳුනාගන්නා යුගය වන විට ලෝකය තාක්ෂණික අතින් විශාල දියුණුවක් ලබා තිබුණේ නැහැ. එම නිසා ඩෝඩෝ පක්ෂියාගේ පෙනුම පිළිබඳව පසු කලෙක අවබෝධයක් ලබාගැනීමට එකල විවිධ නාවිකයන් විසින් ඩෝඩෝ පිළිබඳව සටහන් ලියා තිබුණු සටහන් උපකාරී වුණා. එසේම ගවේශකයන් අඳින ලද චිත්‍රවලින් ද ඩෝඩෝ පක්ෂියාගේ ස්වරූපය පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට හැකියාව ලැබුණා. 

ඒ අනුව ඩෝඩෝ පක්ෂියාට නිල්, අළු, සුදු සහ දුඹුරු පැහැයෙන් යුත් පිහාටු තිබුණු බවට අනුමාන කරනවා. එසේම එම පක්ෂියාට කෙටි පියාපත් තිබුණත් පියෑඹීමට හැකියාවක් තිබුණේ නැහැ. තව ද ඩෝඩෝ සතුව ලෝකඩ පැහැයෙන් යුත් විශාල හොටක් තිබුණා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු කුරුල්ලෙකු රාත්තල් 50ක පමණ බරකින් යුක්ත වුණා. ඊට අමතරව ඩෝඩෝ පක්ෂියාට කෙටි වලිගයක් තිබුණා. එසේම කහ පැහැයෙන් යුත් ඩෝඩෝ පක්ෂියාගේ පාදවල ඉදිරිපස ඇඟිලි 3ක් ද පසුපස ඇඟිලි එකක් ද පිහිටා තිබුණා.

ඩෝඩෝ පක්ෂියා (History.com)

අනුභව කළ ආහාර 

එකල නාවිකයන් සහ දේශ ගවේශකයන් ලියන ලද වාර්තාවලට අනුව ඩෝඩෝ පක්ෂීන් ආහාරයට ගත් බවට අනුමාන කරන්නේ පහත සඳහන් ආහාර වර්ග යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණය වුණේ  මෙම පක්ෂියා ශාක ආහාර වැඩිපුර පරිභෝජනය කිරීම යි. 

1) ඉදුණු පළතුරු වර්ග 

2) ගස්වල මල් පොහොට්ටු සහ කොළ වර්ග 

3) ඇතැම් ශාකවල අල සහ මුල් වර්ග 

4) සියළුම වර්ගවල තණකොළ 

5) කුඩා කෘමීන් වර්ග 

ජීවන රටාව 

හුදකලාව වාසය කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ ඩෝඩෝ පක්ෂීන් යුගල වශයෙන් වාසය කළේ ප්‍රජනන කාලයට පමණ යි. ඩෝඩෝ ගැහැණු පක්ෂියා බිත්තර ලැබෙන්නට ආසන්න වන විට පිරිමි පක්ෂියා විවිධ කොළ අතු වර්ග එකතු කර කුඩා කන්දක් සේ ශක්තිමත් කූඩුවක් සාදන ආකාරය දකින්නට ලැබුණා. පැටවුන් බිහිවීමෙන් අනතුරුව පිරිමි පක්ෂියා මෙන්ම ගැහැණු පක්ෂියා ද කූඩුව ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා සහභාගි වුණා. නාඳුනන ඩෝඩෝ පක්ෂියෙකුට කූඩුවේ සිට මීටර් 200ක පමණ දුර සීමාවට ඇතුළුවීමට ඉඩක් ලැබුණේ නැහැ. හදිසියේවත් නාඳුනන ඩෝඩෝ පක්ෂියෙකු එලෙස ඇතුළු වුණොත් උන්ව වහාම එළවා දැමීම සිදුකළා. ඒ අයුරින් ඩෝඩෝ පක්ෂීන් සිය පැටවුන්ට විශාල ආරක්ෂාවක් ලබාදුන්නේ උන්ගේ ප්‍රජනන අනුපාතය අඩුවීම නිසා බව අනුමාන කළ හැකියි.

ඩෝඩෝ සතුන්ගේ සිතුවමක් (Think First)

වඳවී යාමට හේතු  

ඈත අතීතයේ දී කිසිදු උපද්‍රවයකින් තොරව ජීවත් වුණු ඩෝඩෝ පක්ෂීන් ඉතාමත් ඉක්මනින් වඳවී ගියේ උන් පිළිබඳව ලෝකයට අනාවරණය කර සියවසක් ගතවීමටත් පෙර යි. ඩෝඩෝ පක්ෂියා වඳවී යාමට පහත සඳහන් හේතු බලපාන්නට ඇති බව ඉතිහාසඥයන් අනුමාන කරනවා.

මස් පිණිස දඩයම් කිරීම 

1598-1662 අතර කාලයේ දී බොහෝ නාවිකයන් සහ දේශ ගවේශකයන් මුරුසි දිවයිනට පැමිණියා. ඔවුන් සමග පැමිණි පිරිස් මෙම දිවයිනේ මාස ගණන් නැවතී සිටියා. එලෙස නැවතී සිටි පිරිස්වලට ආහාර අවශ්‍ය වුණා. එහි දී ඔවුන් ආහාර සපයාගත් ක්‍රමය වුණේ දඩයම යි. ඩෝඩෝ පක්ෂියා තරමක් උදාසීන එකෙකු වුණු නිසා පහසුවෙන්ම දඩයක්කරුවන්ට ගොදුරු වුණා. එලෙස අසීමිතව ඩෝඩෝ පක්ෂියන්ව දඩයම් කිරීම නිසා උන් ක්‍රමයෙන් වඳ වී ගියා.

අඩු ප්‍රජනන අනුපාතය

ඩෝඩෝ පක්ෂීන්ගේ ප්‍රජනන අනුපාතය අඩු නිසා උන් විනාශ වන තරමට අළුතින් පැටවුන් බිහිවුණේ නැහැ. එසේම සමහර මිනිසුන් ඩෝඩෝ කූඩුවල තිබුණු බිත්තර ආහාර සකස් කිරීම සඳහා භාවිතා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙලොව එළිය දැකීමට සිටි ඩෝඩෝ කුරුළු පැටවුන් රැසක් අකාලයේ විනාශවී ගියා. ඩෝඩෝ පක්ෂියා මිහිතලයෙන් වඳවී යාමට එයත් ප්‍රධානතම හේතුවක් වුණා. 

මිනිසා සමග දූපතට විවිධ සතුන් පැමිණීම 

මුරුසි දිවයිනට පැමිණි මිනිස් කණ්ඩායම් සමග බල්ලන් සහ පූසන් වැනි සතුන් ද පැමිණියා. උන් දූපත තුළ ජීවත්ව සිටි කාලය තුළ විවිධ සතුන්ව දඩයම් කළා. එහි දී එම සතුන් විසින් ඩෝඩෝ පක්ෂීන්ව ද දඩයම් කරනු ලැබුවා. ඩෝඩෝ පක්ෂියා ලෝකයෙන් අතුරුදහන් වීමට එයත් හේතුවක් වුණා.

වාසස්ථාන සහ ආහාර හිඟය

විවිධ මිනිස් කණ්ඩායම් මුරුසි දිවයිනට පැමිණ සිදුකළ විනාශය නිසා ඩෝඩෝ පක්ෂීන්ගේ වාසස්ථාන අහිමි වුණා. එසේම උන් සුලභව පරිභෝජනය කළ ආහාර ක්‍රමයෙන් වඳවී ගියා. එලෙස වාසස්ථාන සහ ආහාර අහිමිවීම ඩෝඩෝගේ පැවැත්මට විශාල තර්ජනයක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන් ලෝකයෙන් තුරන්වී ගියා. 

කවරයේ ඡායාරූපය- ඩෝඩෝ පක්ෂියා (Youtube)

Related Articles