ද්‍රෝණියක් යනු පෘථිවි පෘෂ්ඨයේ බේසමක ( basin) ආකෘතියට පිහිටා ඇති අවපාතයක් හෝ ගිල්මකි. ඒවා ඕවලාකාර හෝ වෘත්තාකාර හැඩයකින් යුක්ත විය හැකිය. සමහර ඒවා ජලයෙන් පිරී ඇත. සමහර ඒවා හිස් ය. ද්‍රෝණි සෑදී ඇත්තේ පොළවට ඉහළින් (ඛාදනය වැනි) හෝ පොළවට පහළින් (භූමිකම්පා වැනි) හටගත් ස්වාභාවික සංසිද්ධි මගිනි. ඒවා වසර දහස් ගණනකින් හෝ එක රැයකින් හෝ නිර්මාණය වීමට අවකාශ ඇත්තේ ය.
ද්‍රෝණි පිළිබඳ සරල නිර්වචනය
ද්‍රෝණියක් යනු වර්ෂාවෙන් පතිත වන මතුපිට ජලය, දියවන අයිස්, හිම සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ගලා බසින ජලය ඇළකට, විලකට, ගඟකට හෝ එහි අතු ගංගාවලට බැස යන භූමි ප්රදේශයකි. ගංගා ද්‍රෝණිය, ජලාපවහන ද්‍රෝණිය, ජලාපවහන ප්‍රදේශය, ජල පෝෂක ප්‍රදේශය, ජල පෝෂක ද්‍රෝණිය ඇතුළු තවත් බොහෝ නම්වලින් ද්‍රෝණි හඳුන්වයි.
ද්‍රෝණියක් යනු මූලික වශයෙන් භූගෝලීය සැකැස්මකි. එය ජලය එකතු කරන පුනීලයක් ලෙස ක්‍රියා කරන අතර එය ජලය තනි අභිසාරී ලක්ෂ්යයකට යොමු කරයි. කඳු වැටි වැනි භූගෝලීය බාධක මගින් සෑම ජල පෝෂක ප්‍රදේශයක් ම තවත් ජල පෝෂක ප්‍රදේශයකින් වෙන් වුව ද එම ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ වී ද ඇත. මෝය හෝ සාගරය වැනි එහි අවසාන පිටවීමේ ගමනාන්තයට ජලය ළඟා වන තෙක් අවට භූ විෂමතාව මත පදනම්ව ද්‍රෝණි එකිනෙක ගලා යයි.
ප්‍රධාන ද්‍රෝණි වර්ග
ගංගා ජලාපවහන ද්‍රෝණි, ව්‍යුහාත්මක ද්‍රෝණි සහ සාගර ද්‍රෝණි ප්‍රධාන ද්‍රෝණි වර්ග ය. ගංගා ජලාපවහන ද්‍රෝණියක් යනු ගංගාවක් සහ එහි සියලු ම අතු ගංගා මගින් ජලය බැස යන ප්රදේශයකි. ගංගා ද්‍රෝණියක් විවිධ ජල පෝෂක ප්‍රදේශවලින් සැදී ඇත. ජල පෝෂකයක් යනු ගංගා ද්‍රෝණියක කුඩා ම කොටසකි. සෑම ඇළකට දොළකට, අතු ගංගාවකට ම තමන්ගේ ම ජල පෝෂකයක් ඇත. පසුව එය විශාල ජල මාර්ගයකට හෝ තෙත් බිමකට ගලා යයි. මෙම ඇළ දොළ, පොකුණු, තෙත් බිම් සහ වැව් ආදිය ගංගා ද්‍රෝණියක කොටසකි.
සෑම ගංගාවක් ම ගංගා පද්ධතියක සම්පූර්ණ ජලාපවහන ද්‍රෝණිය සෑදෙන ජල පෝෂක ජාලයක කොටසකි. ජලාපවාහන ද්‍රෝණියේ ඇති සියලු ම ජලය විශාල ගංගා දෙසට පහළට ගලා යයි. ඇමසන් ද්‍රෝණිය ලෝකයේ විශාලත ම ද්‍රෝණිය වේ. ඇමේසන් ගඟ සහ එහි අතු ගංගා වර්ග කිලෝමීටර මිලියන 7කට වඩා වැඩි ප්‍රදේශයක් (වර්ග සැතපුම් මිලියන 3ක් පමණ) පුරා ගලා යයි.
ද්‍රෝණි ප්‍රමාණයෙන් වෙනස් වේ: සමහරක් කුඩා වන අතර අනෙක් ඒවා ප්‍රාන්ත හෝ ජාතික දේශසීමා හරහා විහිදේ. ඇමසන් ද්‍රෝණියට අමතර ව, කොංගෝ සහ මිසිසිපි ගංගා ද්‍රෝණි ලෝකයේ විශාලත ම ජලාපවාහන ද්‍රෝණි වේ. එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බළකායට අනුව, මිසිසිපි ද්‍රෝණිය වර්ග සැතපුම් 1,245,000 කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරමින් කැනේඩියානු පළාත් දෙකක් පුරා ප්‍රාන්ත 31 ක් තුළ විහිදෙයි.
ව්‍යුහාත්මක ද්‍රෝණි
ව්‍යුහාත්මක ද්‍රෝණි සෑදී ඇත්තේ භූගෝලීය සංසිද්ධි මගිනි. පෘථිවි පෘෂ්ඨයේ විශාල කොටස් චලනය වන අතර එය භූ තැටි ලෙස හැඳින්වේ. භූමිකම්පා සහ ගිනිකඳු වැනි සංසිද්ධි සඳහා එම ක්‍රියාකාරිත්වය වගකිව යුතු ය. කාලගුණික හා ඛාදනයේ ස්වාභාවික ක්‍රියාවලීන් ද ව්‍යුහාත්මක ද්‍රෝණි සෑදීමට දායකත්වය සපයයි. භූ තැටි මාරුවීම නිසා ව්‍යුහාත්මක ද්‍රෝණි සෑදේ.
එය ද්‍රෝණියේ බිම ඇති පාෂාණ සහ අනෙකුත් ද්‍රව්‍ය බලහත්කාරයෙන් පහළට ඇද දමන අතර ද්‍රෝණියේ පැතිවල ඇති ද්‍රව්‍ය ඉහළට තල්ලු කරයි. මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් පුරා සිදු වේ. ද්‍රෝණියක් පාත්‍රයක හැඩයක් ගෙන තිබේ නම්, එය ව්‍යුහාත්මක ද්‍රෝණියක් කුඩා භාජන පොකුරක් ලෙස හැඩගස්වා ඇත. ව්‍යුහාත්මක ද්‍රෝණි සාමාන්‍යයෙන් වියළි කලාපවල දක්නට ලැබේ. එම ද්‍රෝණියක ප්‍රමාණවත් තරම් ජලය එකතු වූ විට, එය ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර පිහිටි මළ මුහුද වැනි ඉතා ලවණ සහිත විලක් සෑදීමේ හැකියාව ලබයි.
එහිදී ජලය වායුගෝලයට වාෂ්ප වන අතර ඛනිජ ලවණ ඉතිරි ව පවතී. ඊටත් වඩා ඉතිරි ජලය ලුණු බවට පත්වේ. මළ මුහුද යනු පෘථිවියේ ඇති ලුණු සහිත ස්වභාවික ජල කඳකි. මුහුදු මට්ටමේ සිට මීටර් 400 (අඩි 1,300) පමණ පහළින් පිහිටි එහි වෙරළ, පෘථිවියේ පහළ ම වියළි ස්ථානය වේ. එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩෙත් නිම්නය තවත් එන්ඩොර්හයික් ද්‍රෝණියකි.
මුහුදු මට්ටමේ සිට මීටර් 86 (අඩි 282) පමණ පහළින් පිහිටි එය, උතුරු ඇමරිකාවේ පහළ ම ස්ථානය යි. එහි දිය පහරවල් කිහිපයකින් ඩෙත් නිම්නයට බැස යන ජලය ද්‍රෝණියෙන් ගංගාවකට හෝ මෝයකට පිටවන්නේ නැත. එහි ජලය වාෂ්ප වී යාම හෝ බිමට කාන්දු වීම සිදු වේ.
විල් ද්‍රෝණිය
විල් ද්‍රෝණිය යනු තවත් ව්‍යුහාත්මක ද්‍රෝණියකි. විල් ද්‍රෝණි බොහෝ විට සෑදී ඇත්තේ නාය යෑමක්, ලාවා ප්‍රවාහයක් හෝ ග්ලැසියරයකින් ඉතිරි වූ පාෂාණවලින් හෝ වෙනත් සුන්බුන්වලින් අවහිර වූ නිම්නවල ය. සුන්බුන් වේල්ලක් ලෙස ක්‍රියා කරයි, ජලය රඳවා තබා විලක් සාදයි.
පාකිස්තානයේ හුන්සා විල නිර්මාණය වූයේ 2010 දී භූමිකම්පාවක් ඇතිවී විශාල නාය යෑමක් වීමෙන් අනතුරුව ය. හුන්සා ගඟ දිගින් දිගටම විල් ද්‍රෝණියට ගලා බසින අතර බොහෝ භූ විද්‍යාඥයින් සහ ගම්වැසියන් කනස්සල්ලට පත්ව සිටින්නේ ද්‍රෝණිය ජලය රඳවා ගැනීමට තරම් ශක්තිමත් නොවන බවයි.
අවසාදිත ද්‍රෝණි
අවසාදිත ද්‍රෝණි යනු සාමාන්‍ය ද්‍රෝණි මෙන් හැඩ නොගැසී, සමහර විට දිගු අගල් සාදන ව්‍යුහාත්මක ද්‍රෝණියකි. අවසාදිත ද්‍රෝණි වසර මිලියන ගණනක් පුරා පාෂාණ හා කාබනික ද්‍රව්‍ය ස්ථරවලින් පිරී ඇත. ද්‍රෝණිය තුළ පිරුණු ද්‍රව්‍ය අවසාදිත පිරවීම ලෙස හැඳින්වේ. අවසාදිත ද්‍රෝණි යනු ඛනිජ තෙල් සහ අනෙකුත් ෆොසිල ඉන්ධනවල ප්‍රධාන මූලාශ්‍ර වේ. වසර මිලියන ගණනකට පෙර ඩයටම් නම් කුඩා මුහුදු ජීවීහු සාගර ද්‍රෝණිවල ජීවත් වූ අතර පසුව මිය ගිය හ.
අවසානයේදී, මෙම පැරණි සාගර වියළී ගොස් වියළි ද්‍රෝණි ඉතිරි විය. ඩයටම්වල අවශේෂයන් මෙම ද්‍රෝණිවල පතුලේ තැන්පත් විය. වසර මිලියන ගණනක් පුරා ටොන් බිලියන ගණනක අවසාදිත පිරවුම් ද්‍රෝණි අවශේෂ තලා දැමිණි. එහි ප්‍රතිඵලය වූයේ අවසාදිත පිරවුමේ පීඩනය ඉතිරි ඩයටම් පෙට්‍රෝලියම් බවට පත් කිරීම ය. නයිජීරියාව, කැමරූන් සහ ඉක්වටෝරියල් ගිනියාව යන රටවල නයිජර් ඩෙල්ටා අවසාදිත ද්‍රෝණිය, අප්‍රිකාවේ වඩාත් ම ඵලදායි ඛනිජ තෙල් ක්ෂේත්රවලින් එකකි. උතුරු ඇමරිකාවේ, බටහිර කැනේඩියානු අවසාදිත ද්‍රෝණිය මහාද්වීපයේ විශාලත ම ගෑස් සහ ගල් අඟුරු සපයන්නන්ගෙන් එකකි.
සාගර ද්‍රෝණි
සාගර ද්‍රෝණි යනු පෘථිවියේ විශාලත ම අවපාතය යි. මහාද්වීපවල දාර, මහාද්වීපික රාක්ක ලෙස හැඳින්වෙන අතර ඒවා සාගර ද්‍රෝණිවල පැති සාදයි. ලෝකයේ ප්‍රධාන සාගර සමඟ සම්බන්ධීකරණය කරන ප්‍රධාන සාගර ද්‍රෝණි පහක් ඇත. ඒ පැසිෆික් ද්‍රෝණිය, අත්ලාන්තික් ද්‍රෝණිය, ඉන්දියානු ද්‍රෝණිය, ආක්ටික් ද්‍රෝණිය සහ දකුණු ද්‍රෝණිය ය. බොහෝ කුඩා ද්‍රෝණි බොහෝ විට පැසිෆික් සහ ආක්ටික් සාගර අතර උතුරු ඇලූටියන් ද්‍රෝණිය වැනි ස්ථාන සාගර ද්‍රෝණි ලෙස සැලකේ. භූගෝලීය ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සාගර ද්‍රෝණි වෙනස් කරයි. මුහුදු පත්ල පැතිරීම සහ යටපත් කිරීම සාගර ද්‍රෝණි හැඩගස්වන වඩාත් වැදගත් භූගෝලීය ක්‍රියාකාරකම් වේ. මුහුදු පත්ල පැතිරීම සිදු වන්නේ එකිනෙකින් වෙන් ව ගමන් කරන භූ තැටි වල මායිම් දිගේ ය. මෙම ප්‍රදේශ මධ්‍ය සාගර කඳු වැටි ලෙස හැඳින්වේ. මධ්‍ය සාගර කඳුවැටියක පතුලේ හෝ ඉරිතැලීම මගින් නව මුහුදු පත්ල නිර්මාණය වේ. මැද සාගර කඳු වැටි ඇති සාගර ද්‍රෝණි පුළුල් වෙමින් පවතී.
නිදසුනක් වශයෙන්, අත්ලාන්තික් ද්‍රෝණිය මුහුදු පත්ල පැතිරීම නිසා ප්‍රසාරණය වේ. එකිනෙක කඩා වැටෙන භූ තැටිවල මායිම් ඔස්සේ යටපත් වීම සිදුවේ. මෙම කලාප තුළ, වඩාත් බරැති භූතැටිය යටින් ගමන් කරයි, සැහැල්ලු භූ තැටිය යටපත් කරයි. පැසිෆික් ද්‍රෝණිය වැනි යටත්වීම අත්විඳින සාගර ද්‍රෝණි හැකිලෙමින් පවතී. පෘථිවියේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් සාගර ද්‍රෝණිවලින් සමන්විත වුව ද, විද්‍යාඥයන් ඒවා ගැන දන්නේ අල්ප වශයෙනි. සමහර සාගර විද්‍යාඥයන් සහ සමහර තාරකා විද්‍යාඥයන් පවසන්නේ සාගර පත්ලේ මතුපිට ගැන අපට වඩා චන්ද්‍රයාගේ මතුපිට ගැන අප දන්නා බව යි.
සාගර ද්‍රෝණියේ අගල් සහ සාගර මැද කඳු වැටි වැනි ගොඩබිම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ඉතා අපහසු ය. මෙම ගොඩබිම් ජල මතුපිට සිට අඩි දහස් ගණනක් පහළින් පිහිටා ඇත. සාගර ද්‍රෝණි පතුලේ ඇති දැඩි පීඩනය, සීතල සහ අඳුර විඳ දරාගත හැක්කේ උපකරණ කිහිපයකට පමණි. පර්යේෂකයන් ගිල්විය හැකි විශේෂ සබ්මැරීනවල සාගර ද්‍රෝණි ගවේෂණය කරයි.
ද්‍රෝණි වැදගත් වන්නේ ඇයි?
ජල පෝෂක ද්‍රෝණි යනු පස, ශාක, සතුන් සහ ජලය යන සාධක සියල්ල එකිනෙක රඳා පවතින පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය අංග වේ. ද්‍රෝණි මිනිස් පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ඒවා මිනිසාගේ පානීය අවශ්‍යතා සඳහා පිරිසුදු ජලය සපයයි. ඓතිහාසික වශයෙන්, භූ දේශපාලනික දේශසීමා නිර්ණය කිරීමේ දී ද්‍රෝණි තවත් වැදගත් සාධකයක් වේ. නූතනයේ ගංගා ද්‍රෝණිවල වගකීම් සහගත කළමනාකරණය වාණිජ, ප්‍රවාහන හා කෘෂිකර්මයට මෙන් ම මූලික මිනිස් පැවැත්මට අත්‍යවශ්‍ය වේ.
උතුරු කැරොලිනාවේ පාරිසරික අධ්‍යාපන හා මහජන කටයුතු පිළිබඳ කාර්යාලය නිවැරදිව පෙන්වා දෙන පරිදි, “සියලු දෙනාම ජීවත් වන්නේ ද්‍රෝණියක” වන අතර එම නිසා ගංගාවකට, ඇළකට, ජලධරයකට හෝ ජලධරයට ගලා බසින භූමියේ ජීවත් වන මිනිසුන්ගේ සියලු ම ක්‍රියා හේතුවෙන් එයින් පහළට ගලන ජලයේ ගුණාත්මක භාවය බලපායි. ගංගා ද්‍රෝණියක් තුළ, කෘෂිකාර්මික, කාර්මික සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සහ භාවිත කරන පොහොර, පළිබෝධනාශක, කෘමිනාශකවලින් ගලා යන අවශේෂ සියල්ල අවසානයේ ජල මූලාශ්‍රයකට බැස යන අතර එය ඛනිජවල ස්වාභාවික සමතුලිතතාවට හා අනෙක් අතට එහි ගුණාත්මක භාවයට බාධා ඇති කරයි.