Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මී කැලේ යාම ගැන ඔබ නොදත් රසබර කතා

කලකට පෙර මී මැසි රංචු ගුමු ගුමු නද දෙමින් අහසේ මල් සොයා යන දසුන සුලබ සිදුවීමක් වුණා. අද නම් එහෙම මී මැසි වලාකුළු දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ වෙනුවට දැන් මීමැසි පෙට්ටිවල කරනා මීමැසි පාලනය නම් දකින්න පුළුවන්. අතීතයේ රජරට වනාන්තරවලට ගොස් මී කඩපු හැටි දැනගන්න ඔබත් කැමති ඇති. මේ ඒ ගැන සොයා බැලීමක්.

මී පැණි සොයා මලින් මලට

ගුමු ගුමු නදින් පැණි සොයනා මීමැස්සා -wikipedia.org

මී පැණි එකතු කිරීමට මීමැස්සා දිනපතා සැතපුමක පමණ දුරක්‌ යන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. සැතපුමක්‌ හෝ ඊට වැඩි දුරක්‌ ගිය ද උන්ට යළි තමන්ගේ මීවදය සොයාගෙන ඒමේ හැකියාවක්‌ තිබෙන බව විද්‍යෘඥයෝ වැඩිදුරටත් කියා සිටින කරුණක්.

මී පැණි හා මී මැස්සා පිළිබඳව මිනිස් වර්ගයාගේ ආරම්භක යුගයේ පටන් දැන සිටි බවට පුරා විද්‍යාත්මක සාධක පවතිනවා. ඔවුන් මී මැස්සාගේ වදවලින් ලබා ගන්නා පැණි ආහාරයක් වශයෙන් භාවිතා කර තිබෙනවා. පුරාණ ඊජිප්තු වැසියන් මළ සිරුරු ආවරණය කිරීම සඳහා මී පැණි හා මී ඉටි යොදාගෙන ඇති බව සොහොන් කොත් වලින් හමු වී ඇති “මමී“  සාක්ෂ්‍ය සපයනවා. මීට අවුරුදු 2000කට පමණ පෙර විසූ ඊජිප්තු වැසියන් ගෘහස්ත මී මැසි පාලනය ආරම්භ කර තිබෙනවා.

මී පිළිබඳව තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයෙත් හමුවෙනවා. බුදුරදුන් ලෝකය හා මිනිසාගේ සම්භවය පිළිබඳව කරන විග්‍රහයේ දී මහ පොළොව මී වදයක් සේ හඳුන්වා තිබෙනවා. බුද්ධකාලීන සමාජයේත් මී කැඩීම සිදුවූ බව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරුවලින් පේනවා.

ලංකාවේ මී පැණි 

මලින් මලට පියාඹමින්- wikipedia.org

 

අතීතයේ සිට ශ්‍රී ලංකාවේ මිනිසුන් ද මී පැණි පරිභෝජනයට හුරුව සිටි බව පැහැදිලි යි. ආදීවාසී ජනතාවගේ ජීවන රටාවේ අනිවාර්ය අංගයක් වශයෙන් බඹර කැපීම සහ මී පැණි සොයා ගැනීම පැවතීමෙන් එය පේනවා. අපේ ජනකවි අතර “බඹර කවි” නැමති ගායනාවන් දක්නට ලැබීම මී පැණි රැස් කිරීමට ඔවුන් අනාදිමත් කාලයක් තිස්සේ පුරුදුව සිටින බවට හොඳ සාක්ෂ්‍යයක්.

ලංකාවේ ජීවත්වන මී මැසි විශේෂය ඒපිස් සෙරානා ඉන්ඩිකා (Apis cerana Indica) යන විද්‍යාත්මක නාමයෙන් තමයි හැඳින්වෙන්නේ. 

මී වද සොයා මහ කැලේට – localguidesconnect.com

වියළි කලාපයේ මල් පැණි වහනය වන පුෂ්ප විශාල ප්‍රමාණයක් නිපදවන අඹ, කජු, පොල්, සියඹලා, මොර වැනි ශාක බහුලව දක්නට ලැබෙනවා. දේශීය වනාන්තරවල විවිධ ශාක විශේෂ විශාල ප්‍රමාණයක් මිශ්‍රව පැවතීම නිසා වර්ෂය පුරාම පැණි පරාග ලබා ගැනිමේ හැකියාව පවතිනවා. එහෙයින් පැණි නිෂ්පාදනය සඳහා ඉහළම හැකියාවක්  පවතින්නේ වනාන්තර ආශ්‍රිතව යි.

නුවර කලාවියේ වැසියන් මහ කැලෙන් ලබාගන්නා දෑ අතර මීපැණිවලට ලැබුණේ ඉහළ ස්ථානයක්. ඔවුන් අනාදිමත් කාලයක සිට චාරිත්‍රයක් වගේ වාර්ෂිකව මී කැඩීමට වනගත වුණා. ඒකට කිව්වෙ “මී කැලේ යාම” කියල යි. මී කැඩීමට සම්බන්ධ වෙනම සිරිත් විරිත් රාශියක් තිබුණා.

එදා වනගත ප්‍රදේශවල සුලබ සම්පතක් සේ සැලකුණු මීපැණි වනාන්තර විනාශයත් සමග දුලබ සම්පතක් වෙලා. මීමැස්සන් පැණි ලබාගන්නා මල් පිපෙන ගස් වනාන්තරවල හිඟවීම එයට ප්‍රධාන හේතුවයි. මේ නිසා අපේ රටට ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකින් මීපැණි ආනයනය කැනවා. මීමැසි පාලනය ද අප රටේ බොහෝ ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට සමගාමීව කරනවා. ගෘහවාසීව මීමැසි ජනපද ඇතිකිරීමට ද බාධාවක් වී පවතින්නේ මීපැණිවලට සුදුසු මල් හටගන්නා ශාක වර්ග හිඟවීම යි.

මල් මාසය වෙසක්

මීවදවල පැණි පිරෙන මොරමල් වාරය -sites.google.com

බක් මාසය වන විට වනයේ ගස්වැල්වල අතු ලියලා එනවා. මල් මාසය නමින් හැඳින්වෙන වෙසක් මහට මල් පිපී රොනින් බර වෙනවා. මීමැස්සෝ ගහෙන් ගහට යමින් රොන් එකතුකර වද බඳිනවා. පොසොන් මාසය වන විට දැඩිවන ඉඩෝරයත් සමග පැණිවල දියර ගතිය අඩුවී රසයෙන් හා ගුණයෙන් ඉහළ උකු ගතියෙන් යුත් මීපැණි කැලේ ගස්වල මීවදවල තිබෙනවා. මේ වන විට වදවල සිටින මීමැසි පැටව් නොහොත් පිළවුන් වැඩී මීමැස්සන් ලෙස මීමැසි සමාජයට එක්වෙනවා. ඒ නිසා මේ කාලයේදී මී කඩාගැනීම පවක් නොවන බව නුවර කලාවියේ ගැමියන්ගේ විශ්වාසය යි. ඒ නිසාම ඔවුන් අතර මේ කාලයට ‘හාමුදුරුනමක් මීයක් කඩා වැළඳුවත් පව් නැතැ යි’ පිරුලක් ද පවතිනවා.

පැණි බේරෙන මීවද- youtube.com

වඩාත් හොඳ මීපැණි සොයාගත හැකි වන්නේ ‘මොරමල්’ පිපෙන සමයට බවට නුවර කලාවියේ පිළිගැනීම යි. මේ නිසා මීකැලේ යාමට යොදාගන්නේ මොරමල් පිපී වැටෙන්නට ආසන්න ‘කණුමුල්’ කාලය යි. “කණුමුල්” නම් මල් වරන සමය යි. මල් බහුල සමයෙහි මීමැස්සන් මල්පැණි බීමත්, කණුමුල් සමයෙහි මීවද මල්පැණියෙන් පිරවීමත් කෙරෙනවා.

මීපැණි වර්ග

බඹර වදයක්- wikipedia.org

දඬුවැල්බෑ පැණි, බඹර පැණි, කනමීපැණි ආදී වශයෙන් වර්ග කිහිපයක් කැලේ ගස්වල, ගල්බෙනවල හමුවෙනවා. මී බැඳ ඇති ස්ථාන අනුව හුඹස් මී, මහ මී, කුඩා මී, රජ මී (ඔටුන්නක හැඩය ගත්) ආදී වශයෙන් ද හැඳින්වෙනවා. මහ මී, හුඹස් මී, රජ මී යන මී වර්ග එකම මීමැසි කුලයකින් බඳිනු ලබනවා. දඬුවැල්බෑ සහ කනමී මැස්සන් ද, බඹරුන් ද වෙනම මැසි වර්ග යි. වෙළෙඳපොළ ඉල්ලුම සහ ඖෂධීය ගුණ වැඩිපුරම ඇත්තේ මහ මීපැණිවල යි. මහ මීමැස්සන් කැලෑ බස්වහරේ දී ‘ගබඩාකාරයෝ කියල යි හඳුන්වන්නේ. මේ මී කැඩීම ගැන එන ජන කවියක්:

ගසෙක් නොවෙයි ගස් රුකුලක නොවෙයි     මී

බීමත නොවෙයි බිම් තුඹසක නොවෙයි         මී

ගලෙන් නොවෙයි ගල් සිදුරක නොවෙයි       මී

අපි දුටුවෙමු මී පිට මී තුනයි                        මී

මී වද සොයා මහ කැලේට 

මලකින් රොන් ගන්නා මී මැස්සෙක්- wikipedia.org

මී සොයා යන ගමන ආරම්භ කරන්නේ ඔවුනොවුන් අතර බඹ දෙක තුනක ඉඩක් තබා කණ්ඩායම පෙළට සෑදීමෙන්. කැලේ යන්නවුන් අතර ලබුකැට, ලී කැබලි, කෙටේරි හෝ පොරොව වැනි ආයුධ පවතිනවා.

මී කඩන කණ්ඩායම කැලේට ඇතුළු වෙන්න ඉස්‌සර වෙලාම කරන්නේ කතරගම දෙවියන්ට බාරවීම යි. කැලේට ඇතුළු වෙනකොටම කොළ අත්තක්‌ කඩලා වන්නි අම්මාගෙන් අවසර ගන්නවා. කැලේට යනකොට ආයුධයකට කියලා ගෙනියන්නේ පොරෝ කෙටිය යි, මන්න පිහියක්‌ විතර යි. වැඩියෙන්ම ගෙනියන්නේ ලුණු, මිරිස්‌, තුනපහ, හාල්, පොල්, කරවල, සීනි තේ කොළ. භූමි තෙල්, පොල් තෙල්, පෝර උර, ඉටි කොළ කෑලි ටිකකුත් අරගෙන යනවා. බතක්‌ හොද්දක්‌ රත් කරගන්න වළඳකුයි, ඇතිලියකුයි වතුර බූලියකුත් ගෙනියනවා. ඒ හැරෙන්න බුලත්, පුවක්‌, දුම්කොළ, තෙල් බෙහෙත් ආලේප ටිකකුත් අරගෙන යනවා.

කණ්ඩායම අත ඇති පොලුවලින් දෙපස ඇති ගස්වලට තට්ටු කරමින් තමයි පෙරට ඇදෙන්නේ. තට්ටු කරන්නේ මීවද තුළට වී සිටින මැස්සන් කලබල කරවා විසිරීමට සැලැස්වීමට යි. එමෙන්ම මීවද ආසන්නයේ ගැවසෙන වලසුන් පලවාහැරීමත් එලෙස ශබ්ද කිරීමේ එක් අරමුණක්.

මී වඩුලෑම

මී වදවල පිලව්  – wikipedia.org

මී වඩුලෑම කියන්නේ ගස් බෙනයක බැඳ තිබෙන මීය පොරොවෙන් කෙටීම යි. එම කාර්යභාරය පැවරෙන්නේ මීය මුලින්ම දකින කෙනාට යි. ඔහුට හිමිවන විශේෂ පැණි කොටසට කියන්නේ ‘ඇස් කුලිය’ කියල යි. මීය සහිත ගසට කන තබා මීමැසි හඬ අනුව ගස් බෙනයේ කවර තැනක එය තිබෙනවාදැ යි විමසා බලනවා. ගබඩාවක් (මීවදයක්) වඩුලෑමට පෙර පොරව ගසට හේත්තුකොට තෙවරක් වැඳ දෙවියන් සිහිකොට වඩුලෑම ආරම්භ කරනවා.

දළදා වහන්සේට මීපැණි පූජා කරන වැදි නායකයා- dinamina.lk

මීය කඩාගැනීමෙන් පසු මුලින්ම කරන්නේ ඉහකඩ පූජාව තැබීම යි. ඒ වන්නියේ දෙවියන් නමට කඩාගත් මීයේ මුල් කොටස පූජා කිරීම යි. එහිදී මුල්ම පැණි කැටිය බොල්පනා කොළ අතුරා සකසාගත් යහන මත තබා දෙවියන්ට අඬගසා කංකාරිය කරනවා.

වනාන්තරයේ ගස්වල බෙන තුළ බැඳ ඇති මී වද පිහිටි ඉසව්ව සොයාගැනීම ලෙහෙසි වැඩක් නොවෙයි. මීමැස්සන් අලුයම මල් සහිත ගස්වලින් පැණි අරන් ආපසු යන අවස්ථාව බලා උන් පසුපස ගොස් ඒ ප්‍රදේශ හඳුනාගැනීමට පැරණි ගැමියන් සමත්කම් දක්වනවා.

රජ මීය

රජමහ ගබඩාව නමින් ද හැඳින්වෙන මෙය විශාල මීයක්. ඉතා කලාතුරකින් හමුවන මේ මීය කොටාගැනීමට පෙර වත්පිළිවෙත් කිහිපයක්ම පිළිපැදිය යුතු යි. මෙවැනි මීයක් බඳින්නේ මිනිසකු තරම් විශාල ගස් බෙනයක යි. රජ මීයකින් පැණි කල හතක් ලබාගත හැකිබව විශ්වාස කෙරෙනවා.

විවිධ මල් වර්ගවලින් ලබාගන්නා පැණිවල රස, ගුණ, පැහැය ආදිය වෙනස්. පොල්මල්, මොරමල් ආදියෙන් ගන්නා පැණි රළු යි. පෝෂ්‍ය ගුණයෙන් අධික යි. කදුරු මල් පැණි තිත්ත යි. ඒවායෙහි තිත්ත රසය මැකීමට මීමැස්සන් කරන්නේ කදුරුමල් පැණිවලට මයිල මල්රොන් මිශ්‍රකිරීම යි. වෙම්බඩංගා හා වැල්මල්වල පැණි දියාරු නැහැ.

මෙලෙස කඩාගන්නා මී ගමට ගෙනවිත් අසල්වාසීන් අතර බෙදාහදාගන්නවා. අතිරික්තය අලෙවි කරනවා. සමහරක්‌ වදවල බෝතල් දහය, දොළහා තියෙනවා. ඒ පරණ මී වද. නැති නම් බෝතල් පහක්‌, තුනක්‌ වගෙ ගණනක් තිබෙන බව යි මී කඩන පැරණි ගැමියන් පවසන්නේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

මහ කැලේ යාම -වත්තෙවැවේ ධම්මානන්ද හිමි

doa.gov.lk

divaina.com

කවරය- කැලෙන් කඩා ගන්නා මීවද - localguidesconnect.com

Related Articles